• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් සජිත් එක්ක කරපු කතාබහ එළියට එයි! සජබ-එජාප එකමුතුවට රාජිත එළිපිට ගහන්න පටන් ගනී! චම්පිකත් කලබල වෙලා! කිසිම පත්තරයක නොයන දවස් හතක දේශපාලනය! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

February 8, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

පළාත් සභා අතුරුදන්

2005දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වී වසර 10ක කාලයක් එම ධුරයේ කටයුතු කරද්දී මහින්දට විපක්ෂය එල්ල කළ ලොකුම චෝදනාවක් වූයේ වසරකට කීපයක් බැගින් කඩ කඩා මැතිවරණ පවත්වන බවය. ආණ්ඩුවට රට ඇතුළෙන් හෝ ජාත්‍යන්තරයෙන් යම් බලපෑමක් එල්ල වෙන විට මහින්ද කුමක් හෝ මැතිවරණයක් පවත්වා සිය ජනවරම අලුත් කොට රටටත්, ලෝකයටත් පෙන්වූ බව එසේ චෝදනා කළ පිරිස් කියා සිටි කාරණය විය. කෙසේවෙතත් එම ඡන්දවලදී මහින්ද නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේ විපක්ෂයට අහලකටවත් පැමිණීමට නොහැකි ලෙසය. මහින්දගේ ඡන්ද තැබිල්ල එකල කෙතරම් ජනප්‍රියද කියනවා නම් පරදින බව දැන දැන පවා මහින්ද උතුරු නැගෙනහිර පවා ඡන්ද තැබීමට කටයුතු කළේය.Sri Lanka Latest News

මහින්දගේ පරාජයෙන් පසු 2015 බලයට පත්වූ මෛත්‍රීපාල-රනිල් යහපාලන ආණ්ඩුව 2018දී පළාත් පාලන ඡන්දය පවත්වා මුළු රටෙන්ම හේදී ගියේය. ඒ හේතුව නිසාම රනිල්ලා කළේ පළාත් සභා ඡන්දයට සීමා නිර්ණ මාතෘකාව පෙන්වා වංගුවක් ගසා එය නොපවත්වා සිටීමය. මෛත්‍රීපාලගෙන් පසු බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂද පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නැත. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිං ජනාධිපති ධුරය ලබාගත් රනිල් බලයට පත්වුවද පළාත් සභා මැතිවරණය ඒ ආකාරයෙන්ම නොපවත්වා සිටීමට පියවර ගත්තේය. එපමණක් නොව, නීති විරෝධී ආකාරයට මුදල් නැති බව කියමින් පළාත් පාලන මැතිවරණයද කල්දැමීමට රනිල් පියවර ගත්තේය. ඒ අවස්ථාවේදී විපක්ෂය අධිකරණය හමුවට ගිය අතර, අධිකරණයේ මතය වූයේද පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවය. එමෙන්ම මැතිවරණ කොමිසමද සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට වූ ස්ථාවරයේය. නමුත් රනිල්ගේ කාලයේ මැතිවරණ කිසිවක් පැවැත්වූයේ නැත.
ඉන් අනතුරුව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අනුර කුමාර පළමුව මහ මැතිවරණය තබා තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට සමත් විය. ඒ සමගම ආණ්ඩුවේ නියෝජිතයන් කියා සිටියේ වසරක් ඇතුළත පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සියල්ලම පවත්වා අවසන් කරන බවකි. ආණ්ඩුවට විශාල ඡන්දයක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ලැබී තිබීම හේතුකොට ගෙන බොහෝ දෙනා සිතුවේද හැකි ඉක්මනින් ආණ්ඩුව පළාත් සභා ඡන්දයත් පවත්වා අවසන් කරනු ඇති බවකි.

ඒ අනුව මහ මැතිවරණයෙන් මාස 5කට පසු අනුර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පියවර ගත්තේය. එහිදී කිසිවකුත් නොසිතූ ආකාරයට ලක්ෂ 20ක පමණ ඡන්ද ප්‍රමාණයක් අහිමිව ගොස් ප්‍රබල පසුබෑමකට මුහුණ දීමට මාලිමා ආණ්ඩුවට සිදුවිය. ඒ අනුව අනුරද කළේ රනිල් කළ ආකාරයටම පළාත් සභා මැතිවරණය සීමා නිර්ණ මාතෘකාව එළියට ගනිමින් වංගුවක් ගසා අතුරුදන් කිරීමය.

ලියුම් 4කට උත්තර නෑ

පසුගිය සතියේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුවිය. ඒ, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපි 4ක් යොමුකොට ඇති නමුත් ඒ අවස්ථා හතරේදීම අඩුම තරමේ කිසිදු පිළිතුරක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එවා නොමැති බවය. අප දන්නා ආකාරයට නම් ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු – නැගෙනහිර දෙමළ පක්ෂවලට පොරොන්දුවක් ලබාදී තිබුණි. එමෙන්ම සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාවටද පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නේය. රටටද පළාත් සභා මැතිවරණය පවත්වන බවට පොරොන්දුවක් දුන්නේය. නමුත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් එන තොරතුරුවලට අනුව මේ වනවිට වාර්තා වන්නේ කුමන හේතුවක් මතවත් ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට පෙර පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට මාලිමා ආණ්ඩුව තීරණය කොට ඇති බවය. අඩුම තරමින් මැතිවරණ කොමිසම ජනාධිපති කාර්යාලයට එවූ ලිපිවලට පිළිතුරක් හෝ යොමුකොට නැත්තේ ඒ හේතුව නිසා විය යුතුය.

මේ අතර පළාත් සභා මැතිවරණය ආණ්ඩුව හිතාමතාම කල්දමන බවට හොඳම උදාහරණය ලෙස දැකගත හැක්කේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට ආණ්ඩුවේ සාමාජිකයන් පත් නොකර සිටීමෙන්ය. එම තේරීම් කමිටුව පසුගිය ජනවාරි මාසයේ පත්කිරීමත් සමග ඊට විපක්ෂයේ නියෝජිතයන් හතර දෙනා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර් සහ ශානක්‍යයන් රාසමානික්කම් පත්කිරීමට විපක්ෂය පියවර ගත්තේය. නමුත් මේ දක්වාම ආණ්ඩුව ඊට සිය නියෝජිතයන් 12 දෙනා පත්කිරීමට පියවර ගෙන නොමැත. මෙම පාර්ලිමේන්තු තේරීම් කමිටුව නිසි ලෙස පත්කොට පළමු රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දින 90ක් ඇතුළත අවසන් වාර්තාව ලබාදිය යුතු බවට කොන්දේසියක් ඇතුළත් කොට ඇතත් ආණ්ඩුව ඊට සිය නියෝජිතයන් නම් නොකිරීම හේතුකොට ගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බවක් දැනගන්නට ඇත.

කවුරුවත් සද්ද නෑ

කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ඇති පුදුමසහගත කාරණාව වන්නේ ආණ්ඩුවේ මෙම මැතිවරණ සිතියම හැකිලීමට එරෙහිව ප්‍රධාන විපක්ෂය හෝ විපක්ෂයේ පක්ෂ හෝ උතුරු නැගෙනහිර ද්‍රවිඩ-මුස්ලිම් පක්ෂ හෝ වචනයක් කතා නොකිරීමය. මැතිවරණය ඉල්ලා කිසිදු සටනක් දියත් නොකිරීමය. එය මැතිවරණවලට මුහුණදීමට පවතින බිය නිසාද, එසේත් නැත්නම් විපක්ෂය ඇතුළේ ඇති යම් අර්බුදයක් නිසාද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් නැතත් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂය මේ වනවිට සිටින්නේ මුණිවත රකිමිනි.

ආණ්ඩුව පැත්තෙන් එහි වරදක් කියන්නට නොහැක්කේ හරි හෝ වැරැදි හෝ වේවා පළාත් පාලන මැතිවරණයෙන් ලද පසුබෑමත් සමග පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් මේ වනවිට රට ඇතුළේ ගොඩනැගී ඇති තත්ත්වය හමුවේ දරුණු පසුබෑමක් නියත වශයෙන්ම ලැබීමට සිදුවනු ඇති බව ආණ්ඩුව වටහාගෙන සිටීම නිසාය. ඒ නිසා ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ පළාත් සභා මැතිවරණය පවත්වා අනවශ්‍ය ප්‍රශ්නයක් මේ මොහොතේ ආණ්ඩුවේ කරේ දමා නොගැනීමටය.

අනෙක් අතට වෙනදා නම් ඉන්දියාව හෝ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට බලපෑම් කිරීම සාමාන්‍ය තත්ත්වයය. මන්ද ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ ඉන්දියාව මැදිහත්ව, ඉන්දු-ලංකා ගිවිසුම හරහාය. නමුත් දැනට පෙනෙන්නට ඇත්තේ ඉන්දියාවද පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට කිසිදු බලපෑමක් ආණ්ඩුවට එල්ල නොකරන තත්ත්වයකි. ඒ අනුව විපක්ෂයේද, උතුරු නැගෙනහිර දෙමළ පක්ෂවලද ඉන්දියාවේද මෙම නිහඬතාව මත ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොපවත්වා ඉතා සුවපහසු ගමනක යෙදෙන බවක් දැකගන්නට පුළුවන.

කිසිම එකඟතාවක් නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර ඇතිකරගෙන තිබූ විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පසුගිය සති ගණනාව පුරාම විශේෂ අනාවරණයන් රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිදුකිරීමට අපි කටයුතු කළෙමු. එහිදී අප වාර්තා කර සිටියේ දැනට පවතින තත්ත්වයන් යටතේ මැතිවරණයකට යනවා තියා හිතන්නවත් බැරි තත්ත්වයකට ආර්ථිකය පත්වීමේ අවදානමක් රට ඇතුළේ මතුවෙමින් පවතින බවකි. අප එසේ වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්වයෙන් සහ අනෙකුත් ආර්ථික විශ්ලේෂකයන්ගෙන් අප වෙත ලැබුණු තොරතුරු එතරම් යහපත් තත්ත්වයක නොතිබීම හේතුකොට ගෙනය. ඉකුත් ජනවාරි 22 වැනි දිනද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පැමිණි අතර, ඔවුන් ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් එම සාකච්ඡා සම්බන්ධයෙන් කිසිදු වැඩිදුර තොරතුරක් කුමන පාර්ශ්වයකින් හෝ වාර්තා කොට නොතිබිණි. වාර්තා වූ එකම කාරණාව වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවට පැමිණ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡා සාර්ථක බවත්, ඔවුන් පෙරළා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවත් පමණි.

කෙසේ වෙතත් අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡාවලදී ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කිසිදු එකඟතාවකට පැමණීමට නොහැකි වී ඇති බවකි. ලංකාවට ලබාදී තිබූ ණය මුදලේ පස්වැනි වාරිකය නිදහස් කිරීමට අදාළ කාර්ය මණ්ඩල එකඟතාව ලැබීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 15 වැනි දිනය. නමුත් මූල්‍ය අරමුදල එය අත්සන් කිරීම කල්දැමීමට පියවර ගත් බව මීට පෙර අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. එමෙන්ම සුළි කුණාටුව පැමිණීමෙන් පසු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව රහිතව රුපියල් බිලියන 500ක මුදලක් මුදාහැරීමට තීරණය කිරීම හේතුකොට ගෙන ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර වාදවිවාද සහ මතගැටුම් මතුවූ බවද අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු.

කෙසේ වෙතත් මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවට පැමිණියේ පස්වැනි වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවලට පැමිණීම සඳහාය. ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඊට අදාළ දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන කාර්ය මණ්ඩල ගිවිසුම්වලට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව මගින් එය අනුමත කරනු ඇතැයි කියාය. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට සූදානම් වන්නේ එම සාකච්ඡාවලදී ඒ කිසිදු එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට නොහැකි වී ඇති බවය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඩොලර් ආදායම සහ රුපියල් ආදායම සම්බන්ධයෙන් තදින් ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති අතර, මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ එකඟතාවන් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන්ද දැඩිව ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවක් ආරංචිය. ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක කරුණු දෙක මෙය වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ පිළිබඳ දැඩිව ප්‍රශ්න කළද ආණ්ඩුවෙන් ඊට ලබාදී ඇති පිළිතුරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නොමැති බවද ආරංචිය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විශාල අවදානමක් මතුව ඇති බවක් මේ හරහා දැකගන්නට තිබේ. ඒ අනුව කුමන අවස්ථාවකදී හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ අවදානමක් මේ වනවිට මතුව තිබේ. යම් හෙයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ප්‍රකාශයක් සිදුකළහොත් ලංකාව මුහුණ දෙන අර්බුදයේ ආරම්භය එය වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද ලංකාවේ සංචාරය කිරීමට තීරණය කොට තිබේ. එම සාකච්ඡාවලදී ඇතිකරගන්නා එකඟතාවන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මූල්‍ය අරමුදල සිය අවසන් නිගමනයට එළඹීමට නියමිත බවක් දැනගන්නට ඇත.

බංගලාදේශය ඉදිරියට

මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර යම් යම් මතගැටුම් මතුවෙද්දී කිසිවකුත් නොසිතූ පැත්තකින් තවත් ආර්ථික අවදානමකට ලංකාවට මුහුණ දීමට නියමිතව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලොව බොහෝ රටවල් ඉලක්ක කර සිදුකරනු ලැබූ තීරුබදු පැනවීම්වලදී ශ්‍රී ලංකාව 20% දක්වා එම තීරුබද්ද අඩුකර ගැනීම හරහා විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට කටයුතු කොට තිබිණි. ලොව වෙනත් කිසිදු රටකට එවැනි සහනයක් ලබාදී නොතිබුණු පසුබිමක එය ඇත්ත වශයෙන්ම අනුර කුමාර රජය ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඇත්තටම ආණ්ඩුවට එම ජයග්‍රහණය ලැබීම සඳහා පාර කපා දී තිබුණේ වෙන කවුරුවත් නොව, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන මහින්ද සමරසිංහය. මහින්ද සමරසිංහ සතු රාජ්‍යතාන්ත්‍රිකභාවයත්, අත්දැකීම් බහුල බවත්, සූක්ෂ්ම ලෙස සාකච්ඡා මෙහෙයවීමේ හැකියාවත් නිසා ලංකාවට එම වාසිසහගත තත්ත්වය ලබාගැනීමට හැකි වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණි. නමුත් මහින්ද සමරසිංහ තිරය පිටුපස එවැනි විශාල වැඩ කොටසක් සිදු කළද එහි ක්‍රෙඩිට් එක ගත්තේ අනුර ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවය.

නමුත් ට්‍රම්ප් අනෙකුත් රටවල් සමග ගනුදෙනු කළේ ලංකාව සමග ගනුදෙනු කළ ආකාරයට නොවේ. විශේෂයෙන්ම ඉන්දියාව ඇමෙරිකාවේ තීරණයට පිටුපා රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුකොට ගෙන විශාල තීරුබද්දක් ඉන්දියාටව පැනවීමට ට්‍රම්ප් පියවර ගත්තේය. දෙදෙනා අතර මතගැටුම්ද වරින් වර සිදුවිය. නමුත් පසුගිය සතිය වනවිට තිරය පිටුපස පැවැති සාකච්ඡාවලදී ඉන්දීය බලධාරීන් මෙම ගැටුම විශාල වශයෙන් සමතයකට පත්කර ගැනීමට පියවර ගෙන තිබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ට්‍රම්ප් සහ මෝදි අතර පැවැති දුරකතන සාකච්ඡාවකදී එකඟතා රැසකට පැමිණීමට හැකි වීමය. එහිදී ඉන්දියාව දැනුම් දී තිබුණේ රුසියාවෙන් තෙල් මිලට ගැනීම සම්පූර්ණයෙන් නවත්වා, ඇමෙරිකාවෙන් සහ වෙනිසියුලාවෙන් තෙල් ලබාගැනීමට ඔවුන් තීරණය කොට ඇති බවකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප් ඉන්දියාවට පනවා තිබූ තීරුබද්ද 18% දක්වා අඩු කිරීමට පසුගිය සතියේ තීන්දු කළේය. එය ලංකාවට බොහෝ අනතුරුදායක ලෙස බලපානු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. මන්ද යත් ලංකාවේ විශාලම ගැනුම්කරු ලෙස කටයුතු කරන්නේ අමෙරිකාවය. ලංකාවට වඩා අඩු තීරුබදු පැනවීමක් ඉන්දියාවට ලබාදීම හරහා දැන් පළමු තර්ජනය ලංකාවට එල්ල වී තිබේ.

දෙවැනි අනතුර ලබන සඳුදා දිනයේදී ලංකාවට දැකගත හැකි වනු ඇති බව අප වෙත ලැබෙන අලුත්ම තොරතුරුවලින් දැනගන්නට තිබේ. ඒ, ලබන සඳුදා දිනයේදී ට්‍රම්ප් පරිපාලනය සහ බංග්ලාදේශය අතර තීරුබදු සම්බන්ධයෙන් අවසන් ගිවිසුම අස්සන් කිරීමට තීරණය කොට තිබීමය. අපනයන වෙළෙඳපළේදී ලංකාවේ ආසන්නතම තරගකාරීන් දෙදෙනා වන්නේ ඉන්දියාවත්, බංග්ලාදේශයත්ය. මේ වනවිටත් ඇමෙරිකාව ඉන්දියාවේ තීරුබදු ප්‍රතිශතය 18% දක්වා අඩු කොට තිබේ. බොහෝ දෙනා සඳහන් කරන්නේ බංග්ලාදේශයට ට්‍රම්ප් විසින් පැනවූ තීරුබද්ද 18%ට හෝ ඇතැම් විට ඊටත් වඩා අඩු කිරීමට පියවර ගනු ඇතැයි කියාය. එය බොහෝ දුරට ලංකාවට පැනවූ තීරුබද්දට වඩා අඩු ප්‍රතිශතයක් වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

ගිවිසුම තවම නෑ

මෙහි ඇති බරපතළ කාරණාව වන්නේ බංග්ලාදේශය ඇමෙරිකානු තීරුබද්ද සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා එය ගිවිසුමක් බවට පත්කර ගැනීමට කටයුතු කළත්, ලංකාව තවම එවැනි අවසානයක් දක්වා පැමිණ නොතිබීමය. තවමත් ඇත්තේ ඇමෙරිකාව ලංකාවට 20%ක තීරුබද්දක් පැනවූ බවට ඇති වාචික එකඟතාව පමණි. එය ස්ථිර ගිවිසුමක් බවට පත්කිරීමට නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා දෙපාර්ශ්වයේම එකඟතාවන් මත දෙරට අතර ගිවිසුමක් අස්සන් කිරීමට කටයුතු කළ යුතුය. සාමාන්‍යයෙන් එවැනි කටයුත්තක් අවසන් කිරීමට මාස කීපයක් ගතවීම සාමාන්‍ය ස්වභාවයය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ දෙරට අතර ආර්ථික කටයුතු සම්බන්ධ ප්‍රධාන කරුණු 5ක් 6ක් සම්බන්ධයෙන් තවමත් කිසිදු සාකච්ඡාවක් පැවැත්වී නොමැති බවකි. ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය හෝ ආයෝජන මණ්ඩලය අදාළ පාර්ශ්වයන් සමග කිසිදු ආකාරයේ අදහස් හුවමාරු කරගැනීමක් හෝ සිදුව නොමැති බවක්ද ආරංචිය.

ලංකාව එවැනි තැනක සිටියද බංග්ලාදේශය ලබන සඳුදා දිනයේදී මේ සියලු අවස්ථාවන් පසුකොට එය ගිවිසුමක් දක්වා රැගෙන ඒමට කටයුතු කොට තිබීම සුවිශේෂය. බංග්ලාදේශය යනු ජනතා අරගලයකින් පසු එරට අගමැතිවරියද රටෙන් පන්නා බරපතළ දේශපාලන අස්ථාවරත්වයක පසුවූ රටකි. මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් එහි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු පළමු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 12 වැනි දිනය. එම මහ මැතිවරණයෙන් පසු බංග්ලාදේශයට ස්ථිර ආණ්ඩුවක් ලැබෙනු ඇති බව කියැවේ. එම මැතිවරණයෙන් හිටපු අගමැතිනි කලීඩා ශියාගේ පුත්‍රයකු වන තරීක් රෙහ්මාන්ගේ බීඒපී පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒ අනුව බංග්ලාදේශයට නව ආණ්ඩුවක් පත්වන විට ඇමෙරිකාව සමග ගිවිසුමද අස්සන් තබා අවසන් කොට ස්ථාවර ගමනක් සඳහා මූලික අඩිතාලම දමාගෙන තිබේ. ඒ අනුව ලංකාවට වඩා අඩු තීරුබද්දක් පනවා තිබීම හේතුකොට ගෙන බොහෝ දුරට ලංකාවේ ඇඟලුම් කම්හල් කීපයක් සිය මෙහෙයුම් අවසන් කොට බංග්ලාදේශයට යනු ඇති බවද බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එමෙන්ම ඉන්දියාවද නුදුරේදීම ඇමෙරිකාව සමග සිය අවසන් ගිවිසුම අස්සන් තබනු ඇති බවක්ද දැකගන්නට ඇත. නමුත් ලංකාව සහ ඇමෙරිකාව අතර ගිවිසුම තවමත් අස්සන් තැබීමට ප්‍රමාද වී ඇති තත්ත්වයක් යටතේ ඉතා භයානක තත්ත්වයකට මෙරට අපනයන ක්ෂේත්‍රය මුහුණපානු ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මෙම තත්ත්වය දැනගෙනද, එසේත් නැත්නම් නොදැනද නොදන්නා නමුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අතිශය භයානක හෙළිදරව්වක් කළේය. එහිදී සජිත් කියා සිටියේ ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන මාස් හෝල්ඩිංග්ස් සමාගම සතු ආයතන කීපයක් වසාදැමීමට තීරණය කොට ඇති බවකි. ඒ හරහා දහස් ගණනකගේ රැකියා අනතුරක ඇති බවද සජිත් එහිදී අවධාරණය කළේය. මෙම පුවත ඇතැම් මාධ්‍ය වර්තා කිරීමටද පියවර ගෙන තිබිණි.

මීට අමතරව අප වෙත ලැබුණු තවත් තොරතුරකින් කියැවෙන්නේ තවත් ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දැමීමට මේ වනවිට තීරණය කොට ඇති බවකි. කිසියම් ආයෝජකයෙක් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තවදුරටත් පවත්වාගෙන යෑමට ඉදිරිපත් වුවත්, රජය පැත්තෙන් ඊට නිසි සහායක් නොලැබීම හේතුකොට ගෙන එම ආයෝජකයාද මේ වනවිට සිය අදහස අත්හැරගෙන සිටින බවක් දැනගන්නට ඇත. මෙම අවදානම ලබන සඳුදා දිනයේදී ඇමෙරිකාව සහ බංග්ලාදේශය අතර අවසන් තීරුබදු ගිවිසුම අස්සන් කිරීමෙන් පසු තවදුරටත් තීව්‍ර වනු ඇති බවක්ද දැකගන්නට පුළුනව. ඒ අනුව ඉදිරි මාස කීපය ලංකාවේ බොහෝ පෙරළි සිදුවිය හැකි මාස කීපයක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහිදී ආර්ථික පෙරළි, දේශපාලන පෙරළි මෙන්ම ජනතා පෙරළිද දැකගත හැකි වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

සජිත්-රනිල් හමුව

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ බොහෝ පාර්ශ්ව අතර උද්‍යෝගිමත්ව මාතෘකාව වූයේ සමගි ජන බලවේගයේත්, එක්සත් ජාතික පක්ෂයේත් තරුණ නායකයන් අතර සිදුව තිබූ මුහුණට මුහුණ හමුවය. මීට අඩිතාලම වැටුණේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එජාප තරුණ නායකයන් වන රුවන් විජේවර්ධන, නවීන් දිසානායක සහ අකිල විරාජ් කාරියවසම් ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බු ක්ලබ්හි පැවැත්වූ සාකච්ඡාවත් සමගය. පක්ෂ දෙක එකතු කිරීම සම්බන්ධයෙන් පසුව සජිත් එජාප ජාතික සංවිධායක සාගල රත්නායක සමගත්, එජාප මහලේකම් තලතා අතුකෝරාල සමගත් එම ස්ථානයේදීම සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදී බොහෝ දෙනා පෙන්වා දුන් කාරණාවක් වී තිබුණේ දෙවැනි පෙළ මට්ටමේ සාකච්ඡා අවසන් කරමින් වහාම පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා මුණගැසී සාකච්ඡා පවත්වා අවසන් තීන්දුවකට පැමිණිය යුතු බවය. ඒ ගැන සජබය ඇතුළේත් යම් යම් ප්‍රශ්න කිරීම් සිදුවෙද්දී සජිත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන්නේ ඒ සඳහා ඉක්මන් නොවිය යුතු බවත්, ගම් මට්ටමේ පක්ෂ දෙකේ සාමාජිකයන් මුලින් එකතු කළ යුතු බවත්, ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී පක්ෂ දෙකේ නායකයන් එකතු වී සාකච්ඡාවක් පවත්වා අවසන් තීන්දු තීරණ ගත හැකි බවත්ය.

මෙවැනි පසුබිමක් පවතිද්දී හිටිහැටියේම පසුගිය ඉරිදා දින සමාජ මාධ්‍ය ජාලවල රනිල් සහ සජිත් එකට සිටින ඡායාරූපයක් වේගයෙන් සංසරණය වන ආකාරයක් දැකගත හැකි විය. එම ඡායාරූපයට වැඩිම ප්‍රචාරයක් ලබාදී තිබුණේ එජාපයේ හරීන් ප්‍රනාන්දුට සම්බන්ධ සමාජ මාධ්‍ය බළකාය මගිනි. රනිල් දැනුවත්ව එම ඡායාරූපයට ඉහළ ප්‍රචාරයක් ලබාදෙන ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් සොයාගෙන යද්දී එම හමුව සිදුවී තිබුණේ කොළඹ සිනමන් ලේක් හෝටලයේය. එජාප නියෝජිතයකු මෙන්ම හිටපු ජනාධිපති උපදේශකයකුද වන සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය සිනමන් ලේක් හෝටලයේ පැවැති අතර, ඊට සමන් රනිල්ට මෙන්ම සජිත්ටද ආරාධනා කර තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ යාබද මේස දෙකක් දේශපාලන නියෝජිතයන්ට වෙන්කොට තිබූ සමන්, ඉන් එක් මේසයක් එජාප දෙවැනි පෙළ නායකයන්ටද, අනෙක් මේසය රනිල් සහ සජිත් ඇතුළු ඉහළ පෙළ නායකයන්ටද වෙන් කිරීමට පියවර ගෙන තිබීමය.

මෙහිදී සජිත් මංගල උත්සවයට පැමිණෙන විට උත්සවය ආරම්භ වී තිබූ අතර, එජාප නායකයන් මේස දෙකේම අසුන්ගෙන සිටි ආකාරය දැකගත හැකි විය. ඒ අනුව රනිල් අසුන්ගෙන සිටි මේසයේ යාබද අසුන සජිත්ට වෙන්කොට තිබුණත්, කිසිවකුත් නොසිතූ ආකාරයට සජිත් ගොස් අසුන් ගත්තේ රුවන්, අකිල, සාගල, තලතා, නවීන් අසුන්ගෙන සිටි ඊට යාබදව තිබූ මේසයේය. ඒ අනුව බොහෝ වේලාවක් සජිත් ඒ සියලු දෙනා සමග විහිළු තහලු කරමින් කතාබහ කරමින් සිටිද්දී ඊට යාබද මේසයේ රනිල්, වජිර, රාජිත, මනෝ ගනේෂන්, දිගම්බරම් ඇතුළු කණ්ඩායම අසුන්ගෙන සිටි බවක් දැකගන්නට ලැබිණි.

රනිල් සජිත් ළඟට

මේ ආකාරයට සැලකිය යුතු වේලාවක් සජිත් සිය හිතවතුන් සමග සුහද සාකච්ඡාවක නිරත වෙමින් සිටියදී හිටිහැටියේම සියල්ලන්ම පුදුමයට පත්කරමින් රනිල් සිය ආසනයෙන් නැගිට සජිත් අසලට පැමිණ සිය සාක්කු දෙකේ අත් දෙක දමාගෙන ඉංග්‍රීසි භාෂාවෙන් සජිත් සමග කතා කිරීමට පටන් ගත්තේය. එහිදී සිනාසෙමින් රනිල් කියා සිටියේ ‘හරි හරි දැන් මේ යාළුවොත් එක්ක කතාකරලා ඉවර වෙලා එන්න අපිත් එක්ක කතා කරන්න…’ යැයි කියාය. රනිල් එසේ කියා තමන්ගේ ආසනයට ගොස් අසුන්ගත්තද සජිත් සිය පැරැණි හිතවතුන් සමග තවත් වේලාවක් කතාබහ කරමින් සිටින ආකාරයක් දැකගත හැකි විය. එහිදී සජිත්ට අනෙක් මේසයට යන ලෙස මුලින්ම සඳහන් කළේ තලතා අතුකෝරාලය.

‘මෙතන ඉන්නේ මොකද? නායකයො ඉන්නේ එහා මේසේ…’ යනුවෙන් තලතා කියද්දී නවීන්ද සිනාසෙමින් කියා සිටියේ ‘නායකතුමා ඔයා එනකන් අනිත් මේසේ බලා ඉන්නවා..’ යැයි කියාය. දිගම්බරම්ද පැමිණ ඒ බව සජිත්ට මතක් කරද්දී සජිත් සිනාසෙමින් කියා සිටියේ, ‘නෑ නෑ එතැනට යන්න ඉස්සෙල්ලා මම මගේ පරණ යාළුවොත් එක්ක කතාකරලා ඉන්න ඕනේ..’ යැයි කියාය. ඒ අනුව තවත් සුළු මොහොතක් අකිල, නවීන්, තලතා, රුවන් ආදීන් සමග සාකච්ඡා කොට සජිත් ඔවුන්ගෙන් සමුගෙන යාබද මේසයේ සිටි රනිල් සමග එකතු වීමට පියවර ගත්තේය. මෙහිදී දෙදෙනා අතර සාකච්ඡා කෙරුණේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අදාළ සිදුවීමය. එහිදී රනිල් කියා සිටියේ සමන්ගේ දුක සැප බැලීමට තමන් රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය බවකි. සජිත් ඔහු සම්බන්ධයෙන් රනිල්ගෙන් වැඩිදුර තොරතුරු අසා දැනගැනීමට කටයුතු කළේය. ඒ අනුව සමන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළා විනා දෙදෙනා අතර කිසිදු දේශපාලන සාකච්ඡාවක් එහිදී සිදුවූයේ නැත.

ඉන් අනතුරුව රනිල් එජාප මහලේකම් තලතා අතුකෝරාලටද තම මේසයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඒ අනුව තලතාද එම මේසයට පැමිණ අසුන්ගැනීමෙන් අනතුරුව ඔවුන් බොහෝ වේලාවක් විහිළු තහළු කරගනිමින් අල්ලා සල්ලාපයේ යෙදී සිටි ආකාරයක් දැකගත හැකි විය. එම කාලය අතරතුරදී කෝපි කෝප්ප දෙකක්ම ගෙන්වාගෙන පානය කළ සජිත් තමන්ට තවත් උත්සවයකට සහභාගි වීමට ඇති බව කියමින් කල්තියා පිරිසගෙන් සමුගෙන පිටත්ව යෑමට පියවර ගත්තේය.

හරීන්ගේ සමාජ මාධ්‍ය බළකාය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණේ සජිත් සහ රනිල් අතර ඇතිවූ මෙම සාකච්ඡාවටය. කෙසේ වෙතත් එම ඡායාරූපයටද මුලින් ටාජ් සමුද්‍රා හෝටලයේ සජිත්, රුවන්, අකිල, නවීන් හමුවූ ඡායාරූපයටම ලැබුණු ඉහළ ප්‍රතිචාර හිමිව තිබූ අතර, සජබ-එජාප පාක්ෂිකයන්ගේ උද්‍යෝගයට ඒ හරහා විශාල උත්තේජනයක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය.

අලුත්ම සූත්තර පුංචා

කෙසේ වෙතත් පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ අනාවරණයක් කරමින් සජබ-එජාප සමගියට අකුල් හෙළන සූත්තර පුංචලා සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ මෙම එකඟතාවලට විෂබීජ දමන සූත්තර පුංචලා දෙතුන් දෙනකු එජාපයේ සිටින බවකි. ඒ බව පැහැදිලිවම දැකගන්නට ලැබුණේ සජිත් – රනිල් හමුවට පෙර දින රාජිත සේනාරත්න විසින් යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්ව සජිත්ට සහ සජබයට විශාල ප්‍රහාරයක් එල්ල කර තිබීම හරහාය. එහිදී ජලනිටද ප්‍රහාරයක් එල්ල කළ රාජිත සජබ-එජාප එක්වීමෙන් කිසිදු ඵලක් නොවන බව කියමින් බරපතළ ප්‍රකාශ කීපයක්ම සිදු කිරීමට පියවර ගෙන තිබිණි.

රාජිත මෙසේ පක්ෂ දෙකේ එකමුතු වීමට ප්‍රහාර එල්ල කිරීමට හේතු කීපයක්ම තිබේ. ඒ, රාජිතට දැන් යෑමට කිසිදු තැනක් ඉතිරිව නොතිබීම නිසාය. මේ වනවිට කළුතර සජබ ශක්තිය වර්ධනය වී ඇති හෙයින් පක්ෂ දෙක එකමුතු වුවද කළුතරින් තමන්ට තැනක් නැති බව රාජිත දනී. එමෙන්ම රාජිත යනු එක තැන දේශපාලනය කර පුරුදු අයකු නොවේ. රාජිතට ඇත්තේ තැනින් තැනට මාරු වෙමින් යන දේශපාලන ගමනකි. විජය සමග දේශපාලනය ආරම්භ කළ රාජිත, පසුව මහින්දට එක්විය. මහින්දගෙන් රනිල්ට එක්විය. රනිල්ගෙන් මෛත්‍රීපාලට එක්විය. මෛත්‍රීපාලගෙන් යළි රනිල්ට එක්විය. අනතුරුව සජිත්ට එක්විය. යළිත් සජිත්ගෙන් ඉවත් වී රනිල්ට එක්වූ රාජිතට තවත් යන්නට තැනක් නැත. එමෙන්ම සජිත්ද සිටින්නේ රාජිතව ගණන් නොගන්නා ස්ථාවරයකය. එමෙන්ම සජබ – එජාප එකමුතුවට එරෙහිව තැන් තැන්වල ප්‍රකාශ කිරීම මුල්කරගෙන එජාපයේ ප්‍රබලයන් වන තලතා, රුවන්, අකිල, නවීන් සිටින්නේද රාජිත සමග විශාල මතගැටුමකය.

එවැනි පසුබිමක පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ තැන් තැන්වල වහෙන් ඔරෝ භාෂාවෙන් සජබ – එජාප එකමුතුවට එරෙහිව අදහස් ප්‍රකාශ කළ රාජිත, එළිපිට මෙහිදී අදහස් ප්‍රකාශ කිරීමය. එහිදීද රාජිත කියා සිටියේ සජබය සහ එජාපය එකතු වී ඵලක් නොමැති බවත්, සජිත් නායකයෙක් නොවන බවත්ය.

‘අපි සජබයත් එක්ක එකතු වෙලා තේරුමක් නෑ. සජිත් ආවොත් අපෙන් පළිගනීවි. සජිත් කියන්නේ නායකයෙක් නෙවෙයි. සජිත් එක්ක හැමෝම ඉන්නවා කියලා කිව්වට මමත් ඔය මහාචාර්යවරු, ආචාර්යවරු, දොස්තරලා නිතරම හමුවෙනවා. ඒ කිසි කෙනෙක් සජිත් එක්ක නෑ. ඉතින් අපි සජබය පස්සෙවත් සජිත් පස්සෙවත් යන්න ඕනෙ නෑ. අනෙක නාමල් මේ වෙද්දී ගොඩක් උඩට ඇවිල්ලයි තියෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ මේ ඔක්කොමත් එක්ක සන්ධානයක් දාලා පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ගේන්න වැඩ කරන එකයි…’ යනුවෙන් රාජිත ප්‍රකාශ කළද ඊට කිසිදු කෙනෙක් වචනයකින් හෝ ප්‍රතිචාර දැක්වීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමක් විය.

කෙසේ වෙතත් එහිදී හරීන් අදහස් දක්වමින් කියා සිටියේ, ‘නෑ සජිත් අයියා සාමාන්‍යයෙන් වෛර පිරිමහන කෙනෙක් නෙවේ…’ යැයි කියාය. එමෙන්ම රනිල්ද රාජිතගේ අදහසට කිසිදු සහායක් පළ නොකරමින් කියා සිටියේ, ‘නෑ නෑ අපි අනිත් ඒවා ගැන කතාකරන්න ඉස්සෙල්ලා සජබයත් එක්ක මුලින්ම සාකච්ඡා කරලා ඉවර කරන්න ඕනේ. අපි මුලින් සාකච්ඡා කරන්න ඕනේ සජබයත් එක්ක….’ යැයි කියාය.

ඒ අනුව සජබ-එජාප එකමුතුවට කැමැත්තක් නොදක්වන පිරිස් සම්බන්ධයෙන් අප හෙළිකළ සූත්තර පුංචලා අතරින් එක් අයකු වන්නේ රාජිත සේනාරත්නය. තවත් අයකු වන්නේ අජිත් මාන්නප්පෙරුමය. අජිත් මාන්නප්පෙරුමද මේ හා සමානම කතාවක් එජාප සාකච්ඡාවකදී කළ බව අපි මීට සති තුනකට ඉහත ‘රාජ්‍ය රහස්’ තීරයකදී හෙළි කළෙමු. අනෙක් සූත්තර පුංචා මේ දිනවල එළිපිට කතා නැතත් හීන්සීරුවේ වැඩේ යටින් සිදුකරගෙන යන ආකාරයක් දැකගන්නට තිබේ. මේ සූත්තර පුංචා වරෙක නාමල්ට කතාකොට සන්ධානයක් ඇතිකරගත යුතු බව කියයි. තවත් වරෙක සජිත්ටද කතාකොට එකතු විය යුතු බව කියයි. එමෙන්ම මේ දිනවල තමන්ගේ නිවසේ පැවැත්වෙන යම් යම් සාකච්ඡාවලට සහභාගි වන පිරිස් හට මේ සූත්තර පුංචා කියන්නේ, ‘මන්ත්‍රීකමක්වත් නැතුව ගෙදරට වෙලා හිටපු රනිල්ව මන්ත්‍රී කරලා ජනාධිපති කළේ මමයි. මගේ ළඟට ආවොත් මම සජිත්වත් අවුරුද්දක් ඇතුළත ජනාධිපති කරනවා…’ යැයි කියාය. මෙසේ වහසිබස් දොඩවන මේ සූත්තර පුංචා මේ වනවිට නම් එළිපිට අදහස් නොදක්වා කට පියාගෙන සිටින බවක් දැකගන්නට පුළුවන.

චම්පික ඇයි කලබල වෙලා

මේ අතරවාරයේ එජාපයේ නොවන පිටත සිටින අයකුද සජබ-එජාප එකතුව සම්බන්ධයෙන් පසුගිය සතියේ කලබලයට පත්ව තැන් කීපයක අදහස් දක්වා තිබූ බවක් සජබය ඇතුළේත්, එජාපය ඇතුළේත් මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ, වෙන කවුරුවත් නොව හිටපු අමාත්‍ය චම්පික රණවකය. චම්පික පසුගිය සතියේ එජාප උපසභාපති නවීන් දිසානායක මහතා හමුවීමට ගොස් පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් ඍණාත්මක අදහස් දක්වා ඇති බවක් ආරංචිය. නවීන් යනු සජබ-එජාප එකමුතු කිරීමේ ඉහළම වැඩකොටසක් සිදුකරන අයෙකි. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත්, කළමනාකරණ කමිටු රැස්වීමේදීත් එජාපය පොහොට්ටුව සමග නොව සජබය සමග එක්විය යුතු බවට පළමුවෙන්ම ප්‍රසිද්ධියේම අදහස් පළ කළේ නවීන්ය. පක්ෂ දෙක එකමුතු කිරීම සඳහා කොළඹ ටාප් සමුද්‍රා හෝටලයේ පැවැති පළමු සාකච්ඡාවටද නවීන් එක්ව සිටියේය. නවීන් සහ සජිත් දේශපාලනයට පිවිසියේත්, පාර්ලිමේන්තුවට පිවිසියේත් එකම කාලවකවානුවකදීය. එමෙන්ම නවීන් යනු ගාමිණී දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.

චම්පික සහ නවීන් අතර පැවැති හමුවෙන් පසු නවීන් සිය හිතවතුන්ටත්, එජාපයේ සාම සාකච්ඡා සඳහා පිවිස සිටින කිහිප දෙනාටත් දැනුම් දී තිබුණේ චම්පික පැමිණ තමන් හමුවූ බවත්, සජිත් සමග එකතු නොවන ලෙස තමන්ට දැනුම් දුන් බවත්, සජිත් යනු භයානක පුද්ගලයකු මෙන්ම මිනිසුන්ව අනාථ කරන අයකු බව දැනුම් දුන් බවත්ය. එමෙන්ම සජබය සමග එකතු නොවන ලෙසටද චම්පික තමන්ට කී බවද නවීන් එහිදී සිය හිතවතුන්ට දැනුම්දී සිටියේය. නවීන් එම තොරතුර සජිත්ටද දැනුම් දීමට සැලැස්සුවේය.

චම්පික නවීන් හමුවූ පුවත පසුව දිගම්බරම්ටද දැනගන්නට ලැබී තිබූ අතර, ඔහුද වහා කතාකොට නවීන්ගෙන් මෙම කතාවේ ඇත්ත නැත්ත විමසීමට පියවර ගෙන තිබිණි. එහිදී නවීන් දිගම්බරම්ටද දැනුම්දී තිබුණේ එම කතාව සත්‍ය බවත්, චම්පික පැමිණ තමන්ට එලෙස දැනුම් දුන් බවත්ය. ඒ අනුව දිගම්බරම්ද සජිත්ට පණිවුඩයක් තබමින් මේ බව වහාම දැනුම්දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව චම්පිකගේ මේ හැසිරීම දැන් එජාපය ඇතුළේත්, සජබය ඇතුළේත් සියලු දෙනාම දන්නා කාරණයක් බවට පත්ව තිබේ. ඒ සියලු දෙනාගේම ප්‍රශ්නය වී ඇත්තේ සජබය සහ එජාපය එක්වීම සම්බන්ධයෙන් චම්පික මෙතරම් කලබල වී ඇත්තේ මන්දැයි කියාය. මේ තොරතුර මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට කටයුතු කරන අතර, චම්පිකට ඒ සම්බන්ධයෙන් පැවැසීමට යමක් ඇත්නම් අප ඊටද ඉඩ ලබාදීමට සූදානම්ය.

මේ අතරවාරයේ පසුගිය සතියේ රාජිත හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට ගොස් තවත් අලුත් හෙළිදරව්වක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ, 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජවිපෙටත්, එකල ස්වාධීන ලෙස පෙනී සිටිමින් පිළිගත් නම් සහිත කීප දෙනකු එක්ව නිර්මාණය කරගත් ‘පුරවැසි බලය‘ නමැති සංවිධානයටත් රුපියල් මිලියන ගණනින් මුදල් ලබාදීමට පියවර ගත් බවකි. රාජිත කළ මෙම ආන්දෝලනාත්මක අනාවරණය ඒ හැටි දුරදිග ඇදෙන පාටක් පෙනෙන්නට නැතත්, පසුව චම්පික හිරු නාලිකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් මෙම සිදුවීම පිළිබඳ චම්පිකගෙන්ද ඇසීමට පියවර ගත්තේය. චම්පික එහිදී කියා සිටියේ තමන් එය පෞද්ගලිකව නොදන්නා නමුත් රාජිත මේ වනවිට එම කතාව එළියේ ප්‍රකාශ කොට ඇති නිසා එය අසත්‍යයක් නම් ජවිපෙට ඊට එරෙහිව නඩු පැවරිය හැකි බවකි. හැකි නම් එසේ නඩු පවරා පෙන්වන ලෙස චම්පික ජවිපෙට අභියෝගයක්ද සිදුකළේය. එමෙන්ම නාමල්ද පසු අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ එජාපයෙන් මුදල් ගෙන රාජපක්ෂවරුන්ට පහර දුන් ආකාරය මේ වනවිට හෙළිදරව් වී ඇති බව කියා සිටියේය. එජාපය ජවිපෙට මුදල් ලබාදුන් ආකාරය කෙසේ වෙතත් ඉදිරි සතියකදී අප එජාපයෙන් ‘පුරවැසි බලය‘ මුදල් ලබාගත් ආකාරය පිළිබඳවත්, එසේ මුදල් ලබාගත්තේ කවුරුන්ද යන්න පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය.

අර්ජුන් මහේන්ද්‍රන් ගේනවා

මෙම සාකච්ඡාව එළියට ආවේ බැඳුම්කර මුදල් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජිතගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය. නමුත් දැන් ආණ්ඩුවටද බැඳුම්කර මහා වංචාව පිළිබඳ කිසිවක් මතක නැති ගානය. වත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් රටට දුන් ප්‍රධානම පොරොන්දු දෙකෙන් එකක් වූයේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙනවා යැයි කියාය. එහි මහමොළකාරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට බෙල්ලෙන් අල්ලාගෙන එනවා යැයි කියාය. අනෙක් පොරොන්දුව වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට උපරිම දඬුවම් දෙනවා යැයි කියාය. මෙහිදී පාස්කු මහමොළකරුවන් සම්බන්ධයෙන් කෙසේ වෙතත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නම් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ අප විශේෂ තොරතුරක් හෙළිදරව් කීරීමට සූදානම්ය. ඒ, යම් පරීක්ෂණ කණ්ඩායමක් බැඳුම්කර කොල්ලයේ මහමොළකරු වශයෙන් සැලකෙන අර්ජුන මහේන්ද්‍රන් සමග යම් ගනුදෙනුවක් ආරම්භ කර ඇති බවය. මීට පෙරාතුවද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වරක් තොරතුරු අනාවරණ කරමින් කියා සිටියේ එක්තරා විමර්ශන කණ්ඩායමක් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබූ බවකි.

කෙසේ වෙතත් මෙවර මෙම විමර්ශන කණ්ඩායම සිංගප්පූරුව බලා ගොස් තිබුණේ ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගෙනය. මින් පළමු කරුණ වූයේ අර්ජුන මහේන්ද්‍රන් මුණගැසී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුතුවලට ඔහුගේ සහාය ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමය. අපට ඇති තොරතුරු අනුව මෙම විමර්ශන කණ්ඩායම සහ අර්ජුන මහේන්ද්‍රන් අතර සිංගප්පූරුවේදී රහස් හමුවක් සිදුව තිබේ.

දෙවැනි කරුණ වී තිබුණේ සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් තොරතුරු ලබාගැනීමය. නමුත් මෙම මෙහෙයුම අසාර්ථක වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මන්ද යත් සිංගප්පූරු නීතියට අනුව එවැනි තොරතුරු ලබාදීමක් සිදුකරන්නේ නම් ඊට අදාළ නීතිමය ක්‍රමවේදයක් පැවැතීමය. එසේ නොමැතිව කිසිදු අවස්ථාවක සිංගප්පූරු නීතියට අනුව එරට බැංකු ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු හෙළිදරව් කිරීම නීති විරෝධීය. ඒ අනුව එම මෙහෙයුම අසාර්ථක වී ඇති බවක් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පළමු මෙහෙයුම සාර්ථක වූ නිසාදෝ පසුගිය සතියේ අර්ජුන් මහේන්ද්‍රන් යළිත් වතාවක් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය හමුවේ පෙනී සිටීමට පියවර ගත්තේය. මීට පෙර අර්ජුන මෙසේ සිංගප්පූරුවේ සිට පළමු වරට එළියට පැමිණියේ ලන්ඩනයේ සිටින මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරියගේ ෆේස්බුක් ගිණුම හරහාය. එහිදී උවිඳු අර්ජුන සමග සංවාදයක නිරත වන ඡායාරූපයක් පළමු වරට හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ජනවාරි 01 වැනි දින අර්ජුන මහේන්ද්‍රන් සිය බිරිය සමග අලුත් අවුැද්දට සුබ පතමින් ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව අර්ජුන සිය ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කළ තුන්වැනි අවස්ථාව මෙයය. එමෙන්ම සිය ෆේස්බුක් ගිණුම කලකට පසු යාවත්කාලීන කරමින් සිය හිතවතුන් සමග සිටින විශේෂ ඡායාරූපයක්ද පසුගියදා අර්ජුන ප්‍රසිද්ධියට පත් කළේ හෙට අනිද්දා ඔහු නැවත වතාවක් ප්‍රවෘත්ති මවන්නකු බවට පත්වීමේ ඉඩකඩක් ඇති නිසාදැයි කියන්න දන්නේ නැත.

සාගරට උත්තර දුන් චන්ද්‍රිකා

සජබය සහ එජාපය අතර ගොඩනැගෙමින් පවතින එකමුතුව කැඩීම සඳහා යම් යම් පුද්ගලයන් විවිධ මෙහෙයුම් තිරය පිටුපස දියත් කරමින් සිටියදී පසුගිය සතියේ සජබය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන අනපේක්ෂිත ප්‍රහාරයක් හිටිහැටියේම පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගෙන් එල්ල විය. නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සී.අයි.ඩී,යටත්, එෆ්.සී.අයි.ඩී.යටත් කැඳවීමට පෙර දිනයේ හිටිහැටියේම මාධ්‍ය හමුවකට එක්වූ සාගර කාරියවසම් කියා සිටියේ සජිත් නායකයකු නොවන බවත්, සජබයට ඉදිරි දේශපාලන ගමනක් නොමැති බවත්ය.
ඇතැම් ප්‍රශ්නවලදී සජබය සහ පොහොට්ටුව පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් යම් යම් ප්‍රශ්නවලදී එකට කටයුතු කළත්, කිසිදු හේතුවක් නොමැතිව හිටිහැටියේ සාගර මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳ කිසිවකුටත් හිතාගත නොහැකි විය. සාමාන්‍යයෙන් සාගර යනු එලෙස තනිව සිතාමතා පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන අයකු නොව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන දැනුම් දීම්වලට අනුව ප්‍රකාශ නිකුත් කරන අයෙක් ලෙස ප්‍රකටය. සාගරට මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට එක්කෝ ඇමෙරිකාවේ සිටින බැසිල්ගෙන් යම් උපදෙසක් ලැබිය යුතුය. එසේත් නැත්නම් පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන නාමල් රාජපක්ෂගෙන් ඒ සඳහා උපදෙසක් ලැබිය යුතුය. එසේත් නැත්නම් සජිත්ට පහරදෙන ලෙස එජාපයේ ඇතැමුන්ගෙන් ලැබුණු උපදෙසකට අනුව නාමල් එය සාගර ලවා සිදුකරවිය යුතුය. එසේ නොමැතිව සාගරට මෙවැනි අවස්ථාවකදී මෙවැනි ප්‍රහාරයක් සජිත්ට එල්ල කිරීම සඳහා කිසිදු හේතුවක් දැකගන්නට නැත.
කෙසේ වෙතත් සාගර එල්ල කළ මෙම ප්‍රහාරයට සමාජය ඇතුළේ හෝ වැඩි ඉඩක් ලැබුණේ නැත. එමෙන්ම සජිත්ට හිතවත් කීප දෙනකු සාගරගේ මෙම ප්‍රකාශය වට්ස්ඇප් මාර්ගයෙන් සජිත්ට යොමුකර තිබුණද, සජිත් එය සත පහකට ගණන් ගත්තේද නැත. සජබ මන්ත්‍රීවරුන් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බව කියා සිටියත්, එහිදී සජිත් කියා සිටියේ එය ප්‍රතිචාර දැක්විය යුතු තරම් වැදගත් කාරණාවක් නොවන බවත්, මෙසේ පහරදීම අපට වාසියක් බවත්ය.

කෙසේ වෙතත්, මේ ආකාරයට විවිධ පුද්ගලයන් ලවා තමන්ට අවශ්‍ය අයට ප්‍රහාර එල්ල කොට ඔවුන් තමන් සමීපයට ගෙන්වා ගැනීමේ කලාවක් අතීතයේදී මහින්ද රාජපක්ෂ විසින්ද ක්‍රියාත්මක කොට තිබිණි. එහිදී මහින්ද තමන් ළඟට ගෙන්වා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට විවිධ පුද්ගලයන් ලවා පහරදීමෙන් අනතුරුව ඔවුන් වහාම දිවවිත් මහින්දට එම පණිවුඩය කියන්නේ ‘අනේ සර් මෙයා මට ගහනවා, මේක කොහොම හරි බේරලා දෙන්න..’ යැයි කියාය. එහිදී මහින්දද කිසිවක් නොදන්නා ආකාරයට වහාම අදාළ පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබාදී පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා ඉදිරියේදීම ඔහුට බැණවැදී සිද්ධිය සමතයකට පත්කිරීම සිරිතක් කොට ගෙන තිබිණි. මහින්දගේ මේ තියරිය අනුගමනය කරමින්දෝ කවුරුන් හෝ සාගර ලවා සජිත්ට ප්‍රහාර එල්ල කළද මහින්දගේ තියරිය මේ අවස්ථාවේදී වැඩ නොකළේ සජිත් එය සත පහකට ගණන් නොගැනීම නිසාය. ඒ අනුව බොහෝ දෙනා කියා සිටියේ කාගේ හෝ ලණුවක් කා හෝ වැරැදි උපදෙසක් මත සාගර සජිත්ට නිස්කාරණයේ ප්‍රහාර එල්ල කළා යැයි කියාය.

කෙසේ වෙතත් සාගර මේ ප්‍රකාශය සිදුකොට පැය කීපයක් යෑමට මත්තෙන් නාමල්ට එහි ප්‍රතිඵල දැනෙන්නට වූ නිසාදෝ අවස්ථා ගණනාවකදීම නාමල් සජිත්ට කතාකිරීම සඳහා දුරකතන ඇමතුම් ලබාගෙන තිබිණි. නමුත් ඒ කිසිවකට ප්‍රතිචාර දැක්වීමට සජිත් කටයුතු කළේ නැත. ඉන් අනතුරුව නාමල් එස්.එම්.එස්. පණිවුඩ කීපයක්ම සජිත්ට යවා තිබුණත්, සජිත් ඊටද ප්‍රතිචාර දක්වන්නට ගියේද නැත.

ඒ කොයි හැටි වෙතත් දෛවයේ සරදමකටදෝ සාගර සජිත්ට ප්‍රහාර එල්ල කොට පැය 24ක් යෑමට මත්තෙන් හදිසියේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමාජ මාධ්‍යයට විශේෂ වීඩියෝවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ඇය රාජපක්ෂලා හොරු වශයෙන් ඍජුවම හඳුන්වමින් දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණි. මෙම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් සාගරගේ වීඩියෝව සජිත්ට එවා තිබුණා සේම, චන්ද්‍රිකාගේ වීඩියෝවද සජිත්ට යැවීමට කටයුතු කොට තිබිණි. එහිදී සජිත් ඊටද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා එයද මැදහත් සිතින් භාරගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. නමුත් සාගරගේ වීඩියෝව දුටු සජිත් පෘථග්ජන පුද්ගලයකු ලෙස කිසියම් කනගාටුවකට පත්වන්නට ඇති නමුත් චන්ද්‍රිකාගේ වීඩියෝව දුටු සැණින් ‘අනේ මට ගහලා උඹලට වෙච්ච දේ…’ යැයි සිතී දෙකොනින් සිනා ගියාට සැක නැත.

චන්ද්‍රිකාගේ වීඩියෝව දුටු ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ද සජිත්ට කතාකොට ඒ පිළිබඳ විමසද්දී සජිත් කියා සිටියේ, ‘සාගර මටයි පක්ෂෙටයි ගහපු එක ආශීර්වාදයක්. අපිට පොහොට්ටුව එක්ක කොහොමත් යන්න බෑ. අපෙයි පොහොට්ටුවෙයි සංස්කෘතිය වෙනස්. එහෙම ගියොත් අපි ඉවරයි. ඒක චන්ද්‍රිකාගේ වීඩියෝ එක බලද්දි ඔප්පු වුණා….’ යැයි කියාය.

ශ්‍රීධරන් පන්නයි

තමිල් අරසු කච්චි පක්ෂය පසුගිය සතියේ ත්‍රිකුණාමලයේදී සිය දේශපාලන මණ්ඩලය රැස් කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබුණේ ආණ්ඩුවත් සමග එක්ව කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති තමිල් අරසු කච්චි පක්ෂ මන්ත්‍රී එස්. ශ්‍රීදරන් සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමය. පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග කර තිබූ පෞද්ගලික සාකච්ඡාවලදී ශ්‍රීදරන්ද එය පිළිගෙන තිබීම නිසා ව්‍යවස්ථාදායක සභාවෙන් ශ්‍රීදරන්ට ඉවත් වන ලෙස දැනුම් දීමද මෙම සාකච්ඡාවේ එක් අරමුණක් වී තිබිණි.

ඒ අනුව රැස්වීම ආරම්භ කිරීමෙන් පසු ශ්‍රීදරන්ට දැනුම් දී සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වන ලෙසටය. නමුත් ඊට ශ්‍රීදරන් සිය අකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමග තමිල් අරසු කච්චි පක්ෂය තීන්දු කළේ මෙතෙක් ඔහුට ලබාදී තිබූ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක තනතුරෙන් ඔහු ඉවත් කිරීමටය. ඒ අනුව ඊට අදාළ ලිපිය වහාම පාර්ලිමේන්තුවට යොමු කිරීමට පක්ෂය පසුගිය සතියේ පියවර ගෙන තිබිණි. ඒ අනුව නව කණ්ඩායම් නායකයා ලෙස ශානක්‍යයන් රාසමාණික්කම් පත් කිරීමට පියවර ගැණින.

ටිල්වින් ගංගාරාමයේ

පසුගිය සතියේ අපූරු ඡායාරූපයක් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ, ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ සිටීමය. නවම් පෙරහැර ආරම්භ කිරීමේ අවස්ථාවට අගමැතිවරිය සමග එදින මාලිමාව නියෝජනය කරමින් මැති ඇමැතිවරුන් කිහිප දෙනකුද, ටිල්වින්ද විහාරස්ථානයට පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණි.

අතීතයේ සිටම ගංගාරාම පන්සල ප්‍රසිද්ධව තිබුණේ එජාපයට සමීප පන්සලක් ලෙසය. විශේෂයෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිකම් සහ ජනාධිපතිකම් කරන සමයේ ගංගාරාමයේ නායක හාමුදුරුවන් වූ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන් සමග පැවැතියේ ඉතා සමීප සබඳතාවකි. එමෙන්ම ගංගාරාමයේ ප්‍රධාන දායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමණ්ඩිය වන රංජිත් විජේවර්ධන මහතාය. මේ නිසාත්, එජාපය සහ ගංගාරාමය අතර එදා සිටම විශේෂ හිතවත්කමක් තිබිණි.

1994 චන්ද්‍රිකා බලයට පැමිණි පසු ගංගාරාම පන්සල සමග ගැටුම් කීපයක්ම සිදුවිය. එවක ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා ගංගාරාමයේ නායක හිමියන් සමග ලොකු ඉඩම් ප්‍රශ්නකටද පැටලුනේය. එවක ප්‍රේමදාස රජය විසින් ගංගාරාමයට පවරා දී තිබූ ඉඩමක් නැවත පවරා ගැනීමට මංගල උත්සාහ කර තිබූ අතර, පසුව විශාල ගැටුමකින් පසු එය සමතයකට පත්කර ගැනීමට දෙපාර්ශ්වයට හැකි විය. එමෙන්ම මංගල බේරේ වැව ආශ්‍රිතව සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරද්දී මංගල ගංගාරාමය ආශ්‍රිතව රාත්‍රී සමාජ ශාලා ඇතිකිරීමට උත්සාහ කරන බවටද චෝදනා එල්ල විය.

චන්ද්‍රිකාගෙන් අනතුරුව බලයට පත්වූ මහින්ද පන්සල සමග තිබූ යටගිය දේශපාලනය අමතක කර දමා විශේෂ හිතවත්කමක් ගොඩනගා ගැනීමට පියවර ගත්තේය. මේ හිතවත්කම මහින්ද කොතරම් දුරට ගොඩනගා ගත්තාද කියනවා නම් අසල පිහිටි අරලියගහ මන්දිරයේ සිට නිතරම පන්සලට යෑමට ඒමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වරක් ගංගාරාම පෙරහැරේ නිලමේලාටත් අඳින්නට මහින්දගේ දරුවන් දෙදෙනකුට අවස්ථාව හිමි විය.

මේ ආකාරයට එජාපයට සහ මහින්දට හිතවත් බව කියැවුණද ගංගාරාමය කිසිදු අවස්ථාවක ජවිපෙට හිතවත් පන්සලක් බවක් සඳහන්ව තිබුණේ නැත. ජවිපෙ සාමාන්‍යයෙන් ආගම ධර්මයට මුල් තැන දී දේශපාලනය සිදු නොකරන පක්ෂයක් නිසා ඔවුන් කෙදිනකවත් ගංගාරාම පන්සලට පැමිණ තිබුණේද නැත. නමුත් අවස්ථා කීපයකදී මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු හරිනි ගංගාරාම පන්සලට පැමිණි බවත්, එහිදී රනිල් සමග සාකච්ඡා සිදුකළ බවත් මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි.

මෙවන් පසුබිමක් පැවැතියදී සියලු දෙනාම තුෂ්නිම්භූත කරමින් පසුගිය සතියේ ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ගංගාරාම පන්සලට පැමිණ තිබිණි. ඒ අනුව හැමෝම බලන්නට වූයේ එජාපයට ළැදි පන්සලක් ලෙස ප්‍රකට ගංගාරාමයට හදිසියේම ටිල්වින් පැමිණියේ කුමන හේතුවක් නිසාදැයි කියාය. එමෙන්ම අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ටිල්වින් ගංගාරාමයට පැමිණීම සම්බන්ධයෙන් රනිල්ද ඉහළම තැනකට යම් ප්‍රතිචාරයක් දක්වා ඇති බවය. එම ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ අප වාර්තා නොකරන නමුත් එය තරමක් බරපතළ එකක් බවද ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත.

මේ ආකාරයට ටිල්වින් හදිසියේම ගංගාරාම පන්සලට පැමිණීම විශේෂයක් වූවා සේම ටිල්වින් මුල්කරගෙන තවත් විශේෂ සිදුවීමක්ද පසුගිය සතියේ සිදුවිය. ඒ, පළමු වතාවට ටිල්වින් ඉන්දීය සංචාරයක නිරත වීමය. ජවිපෙ ආරම්භයේ සිටම සැලකෙන්නේ ඉන්දීය විරෝධය පෙරමුණේ තබාගත් පක්ෂයක් ලෙසටය. 87 ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරද්දී ජවිපෙ ඊට එරෙහිව පාරට බැස රට පුරාම දැවැන්ත විරෝධතාවක් දියත් කළේය. 88-89 කැරැල්ල දක්වා වර්ධනය වූයේ ජවිපෙ දැක්වූ එම විරෝධයය. නමුත් එදා සිටම දැඩි ඉන්දීය විරෝධයක සිටි ජවිපෙ මේ වනවිට ඉන්දියාවත් සමග සමීපව ගනුදෙනු කිරීම විශේෂ සිදුවීමකි. අනුර කුමාරද බලයට පත්වීමට පෙරත්, ඉන් අනතුරුවත් ඉන්දියාවේ සංචාරය කිරීමට පියවර ගත්තේය. එමෙන්ම මේ මස අවසානයේදී නැවත වතාවක් ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඒ අනුව එදා සිටම දැඩි ඉන්දීය විරෝධයක සිටි ජවිපෙ මේ වනවිට ඉන්දියාව සමග එකතුව දේශපාලන ගමනක් යෑමට තීරණය කර ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ චීනය සමග යම් මතගැටුමක් ආණ්ඩුව ඇතිකරගෙන සිටින නිසාදැයි කියන්න දන්නේ නැත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කතානායකට එරෙහි පැමිණිල්ල විමර්ශන කරන්න අල්ලස් කොමිසම තීරණය කරයි! හොරට පත්වුණා කියපු චමින්ද කුලරත්න ගැනත් පරීක්ෂණ පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

අනේ කාලේ වනේ වාසේ – මොකක්ද මේ මහා සාපේ…! Sri Lanka Latest News

MORE NEWS

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

Load More
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා...

Read more
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.