පුංචි තිරයේ ආදරණීය අහිංසක පෙම්වතකු ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු, සැබෑ ජීවිතයේදී යකඩ සමග ඔට්ටු වන ඉංජිනේරු ශිල්පියෙකි. ‘සැලෙනා නුවන්’ ටෙලිනාට්‍යයේ ‘පොඩි මහත්තයා’ ලෙස අපේ ආලින්දයට ආ ලක්ෂිත මධුෂාන්, ඔහුගේ කලා ලොවේ ගමන්මග සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ ‘හාට්’ අප කළ පිළිසඳර මෙසේ දිගහැරේ.Sri Lanka Latest News
ලක්ෂිත, ඔබ ගැන විස්තරයක් කියලම කතාව පටන් ගමු නේද?
මම නමින් ලක්ෂිත මධුෂාන්, නුවර කොල්ලෙක්. මගේ පාසල් කාලය ගෙවුණේ නුවර. පාසල් යන කාලේ ඉඳන්ම මම චිත්‍ර කලාවට සහ සෞන්දර්ය විෂයන්ට ලොකු ඇල්මක් දැක්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. ඒ වගේම මම ජර්මන් ටෙක් ආයතනයේ පුහුණුව ලැබූ තාක්ෂණ ශිල්පියෙක්. අද වනවිට මම වෘත්තීමය වශයෙන් ‘වේගා’ මෝටර් රථ ආයතනයේ වැඩකටයුතු කරමින් ඉන්නවා. කෙටියෙන් කිව්වොත් මම කලාවයි තාක්ෂණයයි මැද ජීවත් වන කෙනෙක්.
කලාවට එන්න ලැබුණු මුල්ම අවස්ථාව මතක් කරමුද?
මගේ අඩිතාලම වැටුණේ පාසල් වේදිකා නාට්‍ය හරහා. ඒ ලැබූ පන්නරයත් එක්ක මට ජාතික රූපවාහිනියේ ‘සබ්බ සකලමනාව’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. රංගන ක්ෂේත්‍රයේ දොරටු විවෘත වුණේ එතැනින්.

‘සැලෙනා නුවන්’හි ‘පොඩි මහත්තයා’ වෙන්න ආරාධනා ලැබුණේ කොහොමද?
ප්‍රවීණ අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් අයියා හා තිරපිටපත් රචක නිදුක් මධුෂික අයියලා දෙන්නා තමයි මගෙන් ඇහුවේ මේ චරිතය කරන්න කැමැතිද කියලා. ඊට කලින් මම ඔහු සමග ‘ධරණී’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වගේම මම මීට පෙර ‘සිඳු’ හා ‘පොදු’ ටෙලිනාට්‍ය තුළත් විවිධ චරිත රඟපා තිබුණා. නමුත් පොඩි මහත්තයාගේ චරිතය මට ලැබුණේ අභියෝගයක් වගේම ලොකු අවස්ථාවක් විදිහටයි.
පොඩි මහත්තයාගේ චරිතයේ ඔබ වඩාත්ම කැමැති ගතිගුණ මොනවද?
ඔහු හරිම අවංක, ආදරණීය පෙම්වතෙක්. ටිකක් බොලඳයි, මෝඩයි වගේ පෙනුණට රුඳී තිබුණු ආදරය නිසාම ඇයව ජය ගන්නවා. ඒ අවංකකමට මම ගොඩක් කැමැතියි.
ලක්ෂිතට වඩා මිනිස්සු අද ඔබට ‘පොඩි මහත්තයා’ කියලයි අමතන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක ලොකු සතුටක්. මම තමයි මගේ නිර්මාණවල හොඳම ප්‍රේක්ෂකයා. පිටපතක් ලැබුණු වෙලාවේ ඉඳන් මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මිනිස්සු මාව ඒ නමින් හඳුනනවා කියන්නේ මම ඒ චරිතය තුළ ජීවත් වෙලා තියෙනවා කියන එකයි. ප්‍රේක්ෂකයා අප තුළ රඳවා ගැනීමට නම් අපි ඒ චරිතය තුළ ජීවත් විය යුතුයි. ඉතින් මම කරන්නේ මුලින්ම ඒ චරිතයේ අභ්‍යන්තර පැතිකඩ අල්ලා ගන්න එකයි.
ඉදිරියේදී සිනමාවෙන් ඔබව දකින්න ලැබේවිද?
අනිවාර්යයෙන්ම. මම දැනටමත් සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒවා තිරගත වන දිනයක් ගැන හරියටම කියන්න බැහැ. මට සිනමාවට ලොකු ඇරයුම් තවම ලැබිලා නැතත්, මම වැඩිපුරම ආසාවෙන් හිටියේ සිනමා නළුවෙක් වෙන්න.
රංගනය නිසා ඔබට යම් දේවල් මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වුණේ නළුවෙක් වීමයි. මම ඒ හීනය ඉටු කරගෙන තියෙනවා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්. සමහර විට මම නළුවෙක් නොවුණා නම්, ජර්මන් ටෙක් පුහුණුවත් එක්ක විදේශ රටක හොඳ රැකියාවක් කරන්න තිබුණා. නමුත් මම අද මගේ වෘත්තියයි, කලාවයි දෙකම සතුටින් කරගෙන යනවා.
ඉදිරි වැඩකටයුතු හා නැවත පුංචි තිරයට එන්නේ කවදාද?
නැවතත් ඔබට පුංචි තිරයෙන් මාව දැකගන්න පුළුවන්. අලුත් ටෙලිනාට්‍යයක ‘සිහින’ කියන චරිතය හරහා. ඒක ගමක ලස්සන කතාවක්. ‘සැලෙනා නුවන්’හි නාරදට හෝ පොඩි මහත්තයාට වඩා වෙනස්, ඉතා සුන්දර චරිතයක් මම එහි රඟපානවා. ප්‍රේක්ෂකයන් ඒකට ගොඩක් ආදරය කරයි කියලා මම හිතනවා.
පවනි උමේෂා











