නොසිතූ ලෙස ‘බච්චන් පවුල’ පසුගිය දිනෙක ‘කොරෝනා’ හෙවත් ‘කෝවිඞ්-19’ අවදානමට මැදිවිය.
ඒ අතර ඡයා බච්චන් හැරෙන්නට අන් සියල්ලන්ම දැඩි මානසික පීඩනයක බඳුන්ව සිටියහ.
අමිතාබ් නිතරම පාහේ පීඩාවට පත්ව සිටියේ තම හුරුබුහුටි මිණිපිරිය වූ ‘ආරාධනා’ ගැනය. ඡයාට මෙන්ම අයිස්චර්යාටද අමිතාබ් නිතර පණිවුඩ තැබුවේ තම පුංචි ‘රෝස මල’ පරෙස්සමෙන් බලාගන්නා ලෙසය.
අමිතාබ් ඉතාම තද නීතිගරුක පුද්ගලයකු ලෙස ප්‍රකට නිසාදෝ මන්දා තමාටද අන් කොරෝනා රෝගීන්ට අයත් නීති මාලාව භාවිතයට ගන්නා ලෙස ‘නැණාවතී’ රෝහලෙහි සේවක මඬුල්ලට කියා සිටියේය. ‘ජුනියර් බච්චන්’ හෙවත් අභිෂේක් බච්චන්ටද එය එලෙසම ක්‍රියාත්මක විය.
කොරෝනා ආසාදිතයකු සතු අවදානමෙන් අමිතාබ් සර්ව සම්පූර්ණයෙන් මිදී ඇති බවට වෛi මතය තහවුරු වූයේ අගෝස්තු මස පළමුවැනි දින සවසය.
ඔබ මීට වඩා සැහැල්ලුවට පත්වෙතැයි කියලායි මම සිතා සිටියේ,
යැයි කියා වෛi පටෙල් අමිතාබ්ට පැවසුවේය.
‘ඔබට අද ඔබේ ගෙදරට පය තියන්නට පුළුවනි,’
යනුවෙන් ඔහු පවසන මොහොතේ අමිතාබ් දැඩි උපේක්‍ෂාසහගත ස්වරූපයක නියැළී සිටි නිසාවෙනි.
ඒ මොහොතේ වෛi පටෙල් දෙස තත්ත්පර කිහිපයක් බලා සිටි අමිතාබ් ඉතාම හැඟීම්බරව,
‘ඔබට යමක් අමතක වුණා මං හිතන්නේ හැබැයි, මට අමතක කරන්න බැහැ ‘ජුනියර් බච්චන්’ තවමත් කොවිඞ් ආසාදනයෙන් මිදිලා නැතිය කියා.’
යනුවෙන් පැවසුවේය. ජුනියර් බච්චන් යැයි ඔහු සඳහන් කළ අය වූයේ ‘අභිෂේක් බච්චන්ය.’
බච්චන් පවුලේ බැඳීම ඉතා හැඟීම්බරය. රේඛාගේ පරන පළහිලව් යම්තමට එබිකම් කොට පුංචි පුංචි වැසි, අකුණු පුපුරා ගියද අමිතාබ් ඡයා අභිෂේක් සහ ස්වේතා ඉතා සමීපව ඇසුරු කළ අය විය. ඒ නිසා අභිෂේක්ව ‘නැණාවතී’ වෙද පියසෙහි දමා යෑම අමිතාබ්ට මඳක් අසීරු විය.
එහෙත්,
අභිෂේක් තම පියාට කීයේ සුව සිතින් ගිහින් ප්‍රතීක්‍ෂා නිවහනේ තනිව සිටීමට තම දියණිය බිරිය සහ මවට හයියක් වන්නට යැයි කියාය.
‘නැණාවති’ වෙද පියසෙන් පියමැන අමිතාබ් රථයට නඟින්නටත් පළමුව අභිෂේක් තම ට්විටර් සාමාජිකයන් හමුවේ පියාගේ තතු මුදා හැරියේය.
මගේ තාත්තා කෝවිඞ්-19 ආසාදනයෙන් මිදී රෝහලෙන් දැන් පිටව ගියා. ඔහුගේ සොඳුරු නිවහන තරම් සුවදායී තෝතැන්නක් ඔහුට නොවන නිසා ඉතාම සුවෙන් හෙතෙම එහිදී විවේක ගනු ඇත.
ඔහු වෙනුවෙන් දෙවියන් යැද පඬුරු තැබූ බාර හාර වූ සියලුම ආදරනීයයන්ට ස්තුති කරන්නෙමි.
මා පිළිබඳව තාත්තාගේ කනගාටුව මට දැඩි සිත්තැවුලකි. අවාසනාවකට තවමත් මම ‘කොවිඞ්’ ආසාදිතයකුව සිටිමි. ඒ ගැන මා පෙළෙන යම් දුකක් වේද එය පුස්සක්ව යන්නේ ‘සීයා’ ගෙදර පැමිණීම ගැන ආරාධනා තුළ ඇතිවන අමන්දානන්දය සිහිවීමෙනි. ආරාධනා ඒ තරමට සීයා සමඟ කුලුපගය.
නැවැත නැවැතත් බච්චන් පවුලේ සැම වෙනුවෙන් නිවෙස වටා එක් රොක්වූ අයටත්, දෙවියන් ඇමතූ අයටත් ස්තුතිය තබමි. ඉතා නිහතමානීව ඔබට ණයගැති වෙමි. ‘කෝවිඞ්-19’ පරාජය කර නැවැත නිරෝගී සුවය සමඟ නිවෙසට පැමිණීමට බලාපොරොත්තු වෙමි. එලෙසම පොරොන්දු වෙමි.
අභිෂේක් සිය ට්විටර් පණිවුඩ පෙළ අවසන්කර තිබුණේ එහෙමය.
පොරොන්දු වෙමි, යන අවසන් වදන් දෙක අවසානයේ අභිෂේක් ප්‍රශ්නාර්ථ පෙළක් සටහන්කර තිබිණි. අභිෂේක් යම් තරමකට දුර්මුඛව සිටින්නේවත් දැයි යන සැකය ඔහුගේ ට්විටර් සාමාජිකයනට දැනෙන්නට විය.
‘අභිෂේක් ඔබට ඉක්මන් සුවය’
යන ප්‍රාර්ථනයන් එයට පහතින් පළවූයේ එනිසා වන්නට ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











