‘තෝඩු’ ටෙලිනාට්‍ය හරහා කලා ක්‍ෂේත්‍රයට පැමිණි සෙව්වන්දි නයනතාරා අද බොහෝ දෙනෙක් දැන හඳුනනවා. ඉතින් ඇයව නැවැතත් අපට මේ දවස්වල හමුවන්නේ ‘නාඩි’ ටෙලිනාට්‍යයේ ‘ලවන්ස්‍යා’ ලෙසටයි. ඉතින් ඒ කරුණු කාරණා සියල්ලට වඩා ඇයගේ රතැඟිලිවලට රන්මුදු පලඳවන දිනය වැඩි ඈතක නොවෙයි. ඉතින් ඒ සුන්දර ආදර කතාවට හදවතින්ම සුබපැතුම් එක්කරන අතර, ඒ රසබර කතාව ගැන හරියටම දැනගන්න ඇයව සම්බන්ධ කරගත්තා.
මේ දවස්වල සතුටින් කාලය ගෙවනවා නේද?
සතුටින් නම් කාලය ගෙවනවා. ඒ වගේම ටිකක් කාර්යබහුලවෙලා ඉන්නේ මේ දවස්වල.
සෙව්වන්දිගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන බවයි ආරංචිය. දැන්වත් ඒ සුන්දර ආදර කතාව කියමුකො බලන්න?
අගෝස්තු 21 වැනි දින මගේ විවාහ මංගල්‍ය කටයුතු සිදුවෙනවා ගෝල්ෆේස් හොටෙල් පරිශ්‍රයේදී. ඉතින් සීමිත පිරිසක් සමඟ කලා ක්‍ෂේත්‍රයේ මගේ හිතවත් කිහිපදෙනකුත් ඒ සුන්දර දවසට පැමිණෙනවා. ඉතින් මේ දවස්වල විවාහ මංගල්‍යයේ කටයුතු නිසා කාර්යබහුලවෙලා ඉන්නේ.
මෙච්චර කාලෙකට අපට සඟවපු ඒ ආදර කතාව හමුවුණේ කොහොමද?
නවලෝක හොස්පිට්ල් එකේදි තමයි මාව දැකලා තියෙන්නේ. මගේ පෙම්වතාගේ අම්මා ඉතින් කොහොම, කොහොම හරි මගේ විස්තර හොයාගෙන අපේ ගෙදරට ඇවිත් මේ ගැන කතා කළා. අපේ ආදර කතාවට අවුරුදු හතක් විතර වෙනවා. ඉතින් අපි හිතාගෙන හිටියා අපේ විවාහය වෙනකම් මේ ගැන කාටවත් නොකියා ඉන්න. ඒ ගැන කතා කරන්න සුදුසුම කාලය තමයි දැන්.
ඒ කියන්නේ සෙව්වන්දිගේ නාඩි ගැහෙනවා ඇති?
ඇත්තටම වෙනදාටත් වඩා හොඳටම ගැහෙන බව මට දැන් දැනෙනවා. මොකද ‘නාඩි’ ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියේ දිනපතා රාත්‍රි 7.30ට විකාශය වෙනවා. මම හිතනවා ‘නාඩි’ ටෙලිනාට්‍යයට ගොඩදෙනෙක් ආදර කරයි කියලා වෙනස්ම ආදර කතාවක් නිසා.
ඔබ අපට මුලින්ම හමුවන්නේ ‘තෝඩු’ ටෙලිනාට්‍යය හරහා තමයි. මොකද හිතෙන්නේ අද ඉන්න තත්ත්වය ගැන?
මම අහම්බෙන් මේ ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක්. මගේ හිතකවත් තිබුණේ නැහැ මේ ක්‍ෂේත්‍රයට එකතු වෙන්න. හැබැයි මම අද සතුටු වෙනවා. ගොඩදෙනෙක්ගේ ආදරය, ගෞරවය ලැබෙන නිසා.
විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත්වෙයිද එතකොට?
මම එහෙම එක දිගට වැඩ කරන කෙනෙක් නෙවේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් තෝරා බේරාගෙන වැඩ කරනවා. නැතුව එහෙම පස්සෙන් ඉල්ලගෙන ගිහින් මම රඟපාන්න යන්නේ නැහැ. දැනටමත් චිත්‍රපට තුනකින් මට ආරාධනා ලැබුණා. ඒත් මම ඒ කිසිවක් බාර ගත්තේ නැහැ.
වසන්ත විතාරණගේ











