අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිපල ලෙස මේ වන විට පාතාලයට හා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය වී තිබේ. එහි ඇති විශේෂත්වය වන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ද මෙම අපරාධකරුවන් හා සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වීමය. මෙසේ මත්කුඩු ජාවාරම්වලට අදාළව ආරක්ෂක අංශයට අදාළ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමත් සමගය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශන ඉතා පුළුල් ආකාරයෙන් සිදුවෙමින් පවතී.
එම විමර්ශනවලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය නිලධාරීන් සමඟ මත්කුඩු ජාවාරම මෙහෙයවූ ප්‍රධානම පුද්ගලයා හැටියට හඳුනාගෙන ඇත්තේ බඩෝවිට ලොකූ නමැති පුද්ගලයෙකි. මොහු පිළිබඳව වැඩිදුරටත් කෙරුණු විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හා ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර සම්බන්ධතා පවත්වාගෙන යෑම සඳහා අතරමැදියකු ලෙස මොහු ක්‍රියාකර ඇති බවයි. මෙම පුද්ගලයාගේ රාජකාරිය වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබාදෙන මත්කුඩු ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන්ට අලෙවි කර මුදල් ලබදීමය. ඔහු පිළිබඳව සනාත කර නොගත් ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ මෙම පුද්ගලයා සතුව අලෙවිකර මුදල් ලබා නොදුන් මත්කුඩු කිලෝ 100ක මුදලක් තිබී ඇති බවයි. ඔහු පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ මෙම බඩෝවිට ලොකු නමැති පුද්ගලයා ඉන්දියාවට පළාගොස් ඇති බවයි. මන්නාරම් ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළාගොස් ඇති මොහු ඒ සඳහා ලක්ෂ 50ක පමණ මුදලක් වියදම් කර ඇති බවත් අනාවරණය වී ඇත. ඉන්දියාවට පළාගිය බඩෝවිට ලොකු ඩුබායි රටට පළායෑම සඳහා උදව් ඉල්ලා ඇත්තේ ප්‍රංශයේ සැඟවී සිටින ප්‍රබල අපරාධකරුවකු වන ගොනාකෝවිලේ අංජුගෙනි. නමුත් මොහුට වෙනත් රටකට පැනගැනීමේ අවස්ථාව ඇහිරී ඇත්තේ කොරෝනා වසංගතයත් සමඟ රටවල් අතර සංචරණයට සීමා පැනවීමත් සමඟය. මොහු පිළිබඳව ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ මොහු මේ වන විට ලංකාවෙන් ඉන්දියාට පැනගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ රැකවරණය යටතේ පසුවන බවකි.
මේ පිළිබඳව පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක වෙද්දී පසුගියදා මත්කුඩු අපරාධකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගැණිනි. ඔහු පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණය වූයේ මෙම බන්ධනාගාර නියාමකවරයා කොස්ගොඩ තාරක නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් ප්‍රවාහන කටයුතු සිදුකර ඇති බවයි. මීට අමතරව තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වන්නේ අපරාධකරුවන් සඳහා ජංගම දුරකතන ලබාදීම, සුඛෝපබෝගී භාණ්ඩ ලබාදීම වැනි කාරණා සඳහා උදව් ලබාදීම සම්බන්ධයෙනි. මේ අතර සුරාබදු නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වන්නේ එතනෝල් ජාවාරමක නිරත වීමක් සම්බන්ධයෙනි. මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නිලධාරීන් නොයෙක් චෝදනා මත අත්අඩංගුවට පත්වෙද්දී, ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මාධ්‍යට සම්බන්ධ පිරිසකුත් මෙම ජාවාරම් සඳහා සහාය වී ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ මේ පිළිබඳව ඉතා රහසිගතව සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මාධ්‍යවේදී බෝඞ් ලෑල්ලට මුවාවී වෑන් රථයකින් ගිනි අවි තොගයක් ප්‍රවාහනය කිරීමේ සිදුවීමක් පිළිබඳවය. ඒ ගිනිඅවි ප්‍රවාහනයත්, පසුගියදා පිටිපන ප්‍රදේශයෙන් සොයාගැනුණු ටී-56 ගිනිඅවි 12 අතර යම් සම්බන්ධයක් තිබෙන බවටත් මේ වන විට සිදුකර ඇති විමර්ශනවලින් තොරතුරු අනාවරණය වෙමින් පවතී. මෙසේ මාධ්‍යවේදී බෝඞ් උපයෝගී කර ගනිමින් ගිනි අවි ප්‍රවාහනය කර ඇත්තේ මාධ්‍යවේදීන්ද, එසේත් නොමැති නම් වෙනත් පිරිසක්ද යන්න අපට ලැබෙන තොරතුරුවලින් නිශ්චිතව කිව නොහැකිය. නමුත් එවැනි සිදුවීමක් පිළිබඳව සැක සහිත තැන් ඇති බවට ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.
මේ අතර බන්ධනාගාර උසස් නිලධාරීන් කිහිපදෙනකුට කොස්ගොඩ තාරක හා ලැසී යන පාතාල කල්ලි ප්‍රබලයන් එල්ල කළ තර්ජන පිළිබඳව පරීක්ෂණ සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. මෙහිදී මෙම තර්ජනවලට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ මෙම අපරාධකරුවන් ජනාධිපති හා ආරක්ෂක ලේකම්ටත් මෙම තර්ජනය එල්ල කර ඇති බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උත්සාහය වී ඇත්තේ අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කර රඳවා ගැනීමේ නියෝගයක් මත මොවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමටයි. මේ පිළිබඳව ඉව වැටී මෙම අපරාධකරුවන්ගේ එකම ඉලක්කය වී ඇත්තේ කෙසේ හෝ අධිකරණයෙන් ඇප ලබා මෙයින් ගැලවී යෑමය. කෙසේ හෝ නීතිඥයන් ලවා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීම වළක්වන ලෙස ඔවුන් නිවෙස්වලට දැනුම්දී ඇත්තේ බන්ධනාගාර නිලධාරියකුගේ දුරකතනයකනි.
මේ අතර තොරතුරු වාර්තා වන්නේ කොස්ගොඩ තාරක වැනි පාතාලයේ අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥවරුන්ගේ සහාය ලබාදීම සඳහා මාධ්‍යවේදීන් මැදිහත් වී ඇති බවයි. මෙම මාධ්‍යවේදීන් ඔවුන්ගේ මාධ්‍ය වාර්තා වෙනත් අපරාධකරුවන් අනාවරණය සඳහා යොදාගත්තද කොස්ගොඩ තාරක වැනි ප්‍රබලයන්ට එරෙහිව යොදාගත් අවස්ථා නොමැති බවත් කියැවේ. කොස්ගොඩ තාරක ඔහුගේ මුදල් බලය යොදාගෙන මෙම මාධ්‍යවේදීන් ඔවුන්ගේ පැත්තට නම්මගත්තාදැයි සැකයකුත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බුද්ධි අංශ අවධානය යොමුවී තිබෙනවා.
මේ අතර කොස්ගොඩ තාරක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ට එල්ල කළ තර්ජන හේතුවෙනි. මේ ආකාරයටම 2013 දී මාකඳුරේ මධුෂ් ත්‍රස්ත විමර්ශන භාරයට පත්වන්නේ එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එවක හිටපු ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමක් සම්බන්ධයෙනි. එහිදී මොහු ත්‍රස්ත විමර්ශන භාරයට පත්වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක්ව මෙම ඝාතනය සැලැසුම් කළා යන චෝදනා මතය. එහිදී මාකඳුරේ මධුෂ් වසර එකහමාරක පමණ කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන විමර්ශන කටයුතු සිදුවිය. නමුත් එහිදී ඔහුට එල්ලවන චෝදනා කිසිවක් සනාථ කරගත නොහැකිව නැවැතත් ඔහු වසර එකහමාරකට පමණ පසුව බන්ධනාගාරගතවේ. එම කාලය තුළ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරියකුගේ වැඩ තහනම් වන්නේ මධුෂ්ට දුරකතනයක් ලබාදීමේ චෝදනා මතය. එදා මධුෂ් රඳවා තබාගෙන සිදුකළ විමර්ශනවලදී වැදගත් යමක් හෙළි නොවූ ආකාරයටම මෙවර කොස්ගොඩ තාරක රඳවාගෙන සිදුකිරීමට යන විමර්ශනවලින් ඵලක් වේද යන්න බොහෝදෙනාගේ කතාබහට ලක්වී තිබෙන්නකි.
රූවන් වෙඩිවර්ධන











