පියුමි මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල හතේ කල්ලිය ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක සතියේ දවස් පහම විකාශනය වෙන නාට්‍යයක් හින්දා ඒ වෙනුවෙන් තමයි වැඩි කාලය යොදවලා තියෙන්නේ.
පියුමි ඉස්සර වගේ දැන් පේන්න නැහැ කියලා ඔබගේ රසිකයෝ කතා වෙනවා. ඒක එහෙමද?
කොහොමත් පසුගිය දවස්වල නම් කලා කටයුතු තිබුණේම නැහැනේ. ඒත් හතේ කල්ලිය දැන් නැවත විකාශය වෙන හින්දා දවස් පහේම රසිකයන්ට සමීප වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට අමතරව අපි පසුගිය කාලේ ගොඩක් ප්‍රසංග තුළින් තමයි ඒ අයට ළං වුණේ. ඒත් දැන් ඒ සියල්ල අවලංගු වෙලා තියෙන්නේ. ඒවා ආයේ කවදා පටන් ගනියිද කියලත් හිතා ගන්න බැහැ.
අපි දන්න විදියට පියුමි බොතේජු කියන්නෙ ලැබෙන හැම චරිතයම බාර ගන්න කෙනකුත් නෙවෙයි?
ඔව්. ඇත්තටම මම කරන්න බැරි තරම් වැඩ බදා ගන්න කෙනෙක් නෙවෙයි. මට ගැළපෙන්නේ නැති නම් මොනම හේතුවක් හින්දාවත් මම කිසිම චරිතයක් බාර ගන්නේ නැහැ.
අපි ටිකක් අතීතයට යමු. පියුමි බොතේජු කොහොමද කලාවට යොමු වෙන්නේ?
මුලින්ම ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ ගුවන් විදුලිය එක්ව සංවිධානය කරපු දීපව්‍යාප්ත අවුරුදු කුමාරී තරගය ජය ගැනීමත් එක්ක තමයි කලාව සමඟ සම්බන්ධ වෙන්න මට හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ ලක්හඬ ගුවන් විදුලියේ නිවේදිකාවක ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි කලා ලෝකයට එකතු වුණේ.
එතැනින් පස්සේ ටෙලි නාට්‍ය හා සම්බන්ධ වුණු විදිය ගැන කතා කළොත්?
මම රඟපෑව ටෙලි නාට්‍ය අතරින් හිට් විකට් ටෙලි නාට්‍ය තමයි මුලින්ම විකාශනය වුණේ. ඊට කලින් පාසල් යන කාලෙදිම නෝනාවරුණි මහත්වරුණි ටෙලි නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. ඒත් ඒ ටෙලි නාට්‍ය අතරමඟ නැවතුණු හින්දා ඒ කොටස් විකාශනය වුණේ නැහැ.
නමුත් ඔබව රටම හැඳින ගන්නේ පබා ටෙලි නාට්‍යයෙන්. අපි ඒ ගැන කතා කරමු?
ඔව්. පබා ටෙලි නාට්‍යයෙන් තමයි මාව බොහෝ දෙනෙක් අඳුර ගත්තේ. ඒ හරහා ලැබුණු ඒ ආදරය අදටත් එහෙමමයි. පබා ටෙලි නාට්‍යයේ හිමාලි විදියට තමයි අදටත් මට බොහෝ දෙනෙක් සලකන්නේ. ඇත්තටම පබා ටෙලි නාට්‍ය සඳහා මට සම්බන්ධ වෙන්න ලැබුණෙත් අහම්බයකින්. ඒ සඳහා තෝරා ගෙන හිටිය නිළිය වෙනුවට අධ්‍යක්ෂවරයා මාව තෝරගෙන තිබුණේ රූගත කිරීමට දවසකට කලින්. ඒ වෙනුවෙන් රූගත කිරීම් එක දවසකින් පස්සට දාන්නත් ඔවුන්ට සිද්ධ වුණා.
ඒ ජනප්‍රියත්වය හරහා ඔබට සිනමාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා?
ඔව්. සිනමා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. නමුත් ඒ අතරින් රන්ජා චිත්‍රපටයේ ස්වර්ණා අක්කගේ චරිතය තමයි වැඩි දෙනාගේ අවධානය දිනා ගත්තේ.
ඉදිරියේදී පියුමි බොතේජුව රසිකයන්ට දකින්න ලැබෙන්නේ මොන විදියටද?
හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ කබඩි චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. එහි මම ප්‍රධාන චරිතයක් රඟපානවා. ඊට අමතරව කොටස් පහළොවේ ටෙලි නාට්‍ය කිහිපයක්ම රඟපාල ඉවර කළා. ඒවා ඉදිරියේදී විකාශය වේවි. ඒ වගේම සුර්ශන බණ්ඩාර අධ්‍යක්ෂණය කරන නව ටෙලි නාට්‍යයක රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ වෙන්න නියමිතයි.
චන්දන පොන්නම්පෙරුම











