ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ආණ්ඩුව නිල නොවන තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
අප පසුගිය සතියේ ‘මව්රට’ පුවත්පත ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ආණ්ඩුව ලබන වසරේ මුල් කාර්තුවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවත්, ලබන ජනවාරියේ ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිතව ඇති බවත්ය.
පළාත් සභා මැතිවරණය ඉලක්ක කර 2026 වසර සදහා ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කොට ඇති බවද අප එහිදී අනාවරණ කර සිටියෙමු.
අප කළ අනාවරණය තහවුරු කරමින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන කේ.ඩී. ලාල්කාන්ත මහතාද කියා සිටියේ ලබන වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවකි.
කෙසේවෙතත් පසුගිය සතියේදී ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් පැවැත්වී ඇති දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව තීන්දු වී ඇත්තේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමටය.
පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වන ජවිපෙ ස්ථාවරය, උතුරු නැගෙනහිරට ලබා දෙන දේශපාලන විසදුම සහ බලය බෙදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබදව අවසන් තීන්දුවක් ගන්නා තුරු පළාත් සභා මැතිවරණය කල්දැමීමට එහිදී යෝජනා වී ඇති බව සදහන්ය.
ඒ අනුව ලබන වසරේ ජනප්‍රිය අයවැයක් ඉදිරිපත් කිරීමට ගෙන තිබූ තීන්දුවද ආණ්ඩුව විසින් හකුලාගෙන ඇති බවක් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තවත් සවිස්තරාත්මක තොරතුරු මෙවර මව්රට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ බලාපොරොත්තු වන්න.










