කලාවට තිබෙන ආදරය, ගෞරවය නිසාම ඔහු නිෂ්පාදනයට අත්පොත් තැබුවා. ඒ අතර ඔහු නිෂ්පාදනය කළ ‘ඉස්කෝලෙට මං ආවා’ චිත්‍රපටය පසුගියදා දිවයින පුරා තිරගත වුණා. ඒ වගේම ඔහු කලා ක්‍ෂේත්‍රයේ අසරණ කලාකරුවන්ට හිසට සෙවණක් සලසන සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු තමයි සඳුන් දොළමුල්ල. ඔහු මේ කරන උතුම් ක්‍රියාව රටටම කිවයුතු නිසා ඔහු සමඟ කෙටි කතාබහකට යෙදුණේ මේ විදියට.
සඳුන් ඔබ ළමයින් උදෙසා වෙනස්ම වැඩකට අතගැසුවා. එය ගැන සඳහන් කළොත්?
මේක ‘බේබි’ කියලා ඇප් එකක්. කුඩා දරුවන්ට රස විඳින්න පුළුවන් කතන්දර ගීත රාශියක් එයට ඇතුළත් කර තිබෙනවා. විශේෂයෙන් දරුවන්ගේ ආකල්ප දියුණුවන විදියේ කතන්දර තමයි මම යොදාගත්තේ. කොන්ද නමාගෙන, හිංචි පිංචි හාවා, පැරැණි ළමා ගීත එහි අඩංගුකර තිබෙනවා. ඇනිමේෂන් වීඩියෝවක් සමඟ රස විඳින්න පුළුවන් විදියට තමයි ‘බේබි’ ඇප් එකට නිර්මාණ ඇතුළත්කර තිබෙන්නේ මම.
මුදල් පරමාර්ථයෙන්ද මෙවැනි වැඩකට අත ගැසුවේ?
ඔය ප්‍රශ්නයට මම මෙහෙම පිළිතුරක් දෙන්නම්. මම කරන රාජකාරි කටයුතුත් එක්ක නිතරම කුඩා දරුවන් හමුවෙනවා. මම ඒ දරුවන් සමඟ කතාබහ කරනවා. කියන්න කනගාටුයි, අපි කුඩා කාලේ අහපු ළමා ගීත ඒ දරුවන් අහලා නැහැ.
අද තිබෙන කාර්යබහුල සමාජයත් එක්ක බොහෝ මවුපියන්ට තමන්ගේ දරුවන්ට එවැනි කතන්දර ගීත කියන්න වෙලාවක් නැති තරම්. අනෙක කිසිම මාධ්‍යයකින් එවැනි හරවත් නිර්මාණ කුඩා දරුවන්ට රසවිඳීමට ඉඩ සලසා දෙන්නේ නැහැ. මෙතැන ලොකු අඩුවක් මම දැක්කා. ඒ හිස්තැන පුරවන්නයි මම උත්සාහ කළේ. ලක්‍ෂ ගණන් මම වියදම් කළා. සතපහකවත් ලාබයක් නැහැ.
ඔබ කලාකරුවන්ට විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කරගෙන යනවා නේද. එය ගැන සඳහන් කළොත්?
එක්තරා දවසක මම අපේ පැරැණි කලාකරුවෙක් වන සැනෙවි දික්කුඹුර ගැන පුවතක් දැක්කා. එහි ඔහු දැනට නවාතැන් ගෙන ඉන්න පින්තූර කිහිපයක් දැක ගන්නට ලැබුණා. මට පුදුම හිතුණා අපේ කලාකරුවෙක් ඉන්න තැන දැක්කම. මගේ හිතවත් මිතුරෙක් මාර්ගයෙන් සැනෙවි මහතාට කතා කරල ඔහුව බලන්න ගියා. ඔහු ඉන්නේ නිවෙසක නෙවේ. මඩුවක. මම ඔහුගෙන්ම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පටන් ගත්තා.
ඒ වගේම ඔහුගේ නිවෙස අලුත්වැඩියා කරලා දුන්නා. තවත් කලාකරුවන් කිහිපදෙනකු තෝරාගෙන විශ්‍රාම වැටුප් ලබාදෙන්න මම තීරණය කළා.
ඔබ කලාවට පිවිසුණු විදිය කතා කළොත්?
මම මුලින්ම නිෂ්පාදනය කළේ ‘පිටකොටුව’ ටෙලිනාට්‍යය. 2015 විතර තමයි මම එය නිෂ්පාදනය කළේ. ඒත් තවම එය විකාශය කරගැනීමට බැරි වුණා. ඉන්පසු ‘ඉස්කෝලෙට මං ආවා’ චිත්‍රපටය මම නිෂ්පාදනය කළා. මම නිෂ්පාදනය කළ ‘අපි දැන් කොහේද යන්නේ’ කෙටි චිත්‍රපටය අන්තර් ජාතික සම්මානයට පාත්‍ර වුණා. ඉදිරියටත් කලාවට තිබෙන ආදරය නිසා නිර්මාණ කිරීමට සැදී පැහැදී ඉන්නවා.
වසන්ත විතාරණගේ











