තමිල්නාඩු සිනමාවේ සුපර් ස්ටාර් තලපති විජේ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සානුකම්පිත වූ අයෙකි. 2009දී ලංකා ආණ්ඩුව එල්.ටී.ටී.ඊ.ය විනාශ කරන්න යන විට තමිල්නාඩු සිනමා නළු නිළියෝ පාරට බැස සත්‍යග්‍රහයක් කළහ. ඒ සත්‍යග්‍රහයේ සුපර් ස්ටාර් විජේද විය. ඔහු අනෙකුත් සිනමා නළු නිළියන්ට වඩා ක්‍රියාකාරී ලෙස එම සත්‍යග්‍රහයට සහභාගි විය. විජේ ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මෙතරම් සංවේදී වන්නේ ඔහුගේ බිරිය ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත කාන්තාවක් නිසාද දන්නේ නැත. ඇය ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ පවුලක දියණියකි. ඇය සහ මවුපියන් යුද සමයේ ලන්ඩන් ගොස් පදිංචි විය. විජේ 2024දී ලංකාවට ආවේ ඔහුගේ ‘තලපති 68’ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය. එහිදී උතුරේ දෙමළ ජනතාව ඔහුව මහ ඉහළින් පිළිගත්හ.Sri Lanka Latest News
ඔහු පසුගියදා කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු යැයි සිදුකළ ප්‍රකාශය ලංකාවේ ආන්දෝලනයකට ලක්වී ඇත. ඉන්දියාව ලංකාවට කච්චතිව් දූපත පවරා දුන්නේ 1976දීය. කච්චතිව් දූපත ලංකාවට පවරා දීමට එරෙහිව තමිල්නාඩු විරෝධය මතුවූයේ 2009 යුද්ධය අවසන් වීමෙන් පසුවය. 2008දී එවක තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීමට එරෙහිව උසාවි ගියාය. ඉන් පසු හිටපු මහ ඇමැති කච්චතිව් පවරා දීමට එරෙහිව උසාවි ගියේය. කරුණානිධි මරණයට පත්වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය කරුණානිධි වෙනුවට ඩී.එම්.කේ. පක්ෂ නායක ටී.ආර්. බාලාට එම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටින්න ඉඩ දුන්නේය. ඒ 2025 මාර්තු මාසයේය. මෙම නඩුව මේ සැප්තැම්බර් 15 යළි ඇරැඹීමට නියමිතය. විජේ කච්චතිව් යළි ඉන්දියාවට පවරාගත යුතුය යන ප්‍රකාශය කළේ සැප්තැම්බර් 15 නඩුව කැඳවීමට නියමිතව තිබියදීය. මීට පෙර ඉන්දීය විදේශ ඇමැති ජෙයශංකර් කච්චතිව් ලංකාවට පවරා දීම කොංග්‍රස් ආණ්ඩුව කළ ඓතිහාසික වරදක් යැයි කීවේය. ඉන්දීය අගමැති මෝදි ‘එක්ස්’ පණිවුඩඩයක් තබමින් සඳහන් කළේ කොංග්‍රස් ආණ්ඩුව කච්චතිව් දූපත හිතාමතාම අත්හැරියා කියාය. ජයශංකර් සහ මෝදි මෙම ප්‍රකාශ කරන විට ලංකාවේ බලයේ සිටියේ රනිල්ගේ ආණ්ඩුවය. ඒ ආණ්ඩුව මෝදිගේ සහ ජයශංකර්ගේ ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වූයේ පරෙස්සමිනි.
එහෙත් වත්මන් අනුරගේ ආණ්ඩුව විජේගේ ප්‍රකාශයට ප්‍රතිප්‍රහාර දීම අරඹා ඇත. විදේශ ඇමැති විජිත හේරත් කච්චතිව් අයිති ලංකාවට යැයි දැඩි ස්ථාවරයක සිට කීවේය. ජනාධිපති අනුර කච්චතිව් දූපතට ගොස් කච්චතිව් දූපත ලංකාවට අයත් භූමියක් බවත්, එය කිසිසේත්ම වෙනස් නොවන බවත් කීවේය. කච්චතිව් දූපතට ගිය පළමු රාජ්‍ය නායකයා අනුරය. කච්චතිව් දූපත ඉන්දියාවෙන් පවරා ගත් හිටපු අගමැතිනි සිරිමාවෝවත් කච්චතිව් දූපතට ගොස් නැත. මන්ද කච්චතිව් දූපතට ගොස් දේශපාලන වාසි ලබාගැනීමට යෑම ඉන්දියාව රිදවීමක් යැයි ඇය සිතූ නිසා විය හැකිය. අනුරගේ කච්චතිව් ගමන ඉන්දියාව කෙලෙස නිරූපණය කරයිද කියා කිව නොහැකිය.










