.
ඊයෙ (05) රාත්‍රිය දැන් අවසන්. දැන් තව ටික වෙලාවකින් ඉර පායවි. තවමත් මිනිස්සු ඇල්ලෙ ඉන්නෙ. ඇල්ල අවට මිනිස්සු මේ මුළු රෑම නිදි නෑ. ගණන් හිලව් කියන්න දන්නෙ නැති වුණාට දහස් ගාණන් දෙනා එකතු වෙලා හිටියා. ඒ හැම කෙනෙක්ම වෙන වෙනම ආවදානමක් ගත්තෙ. එක් අයෙක් ඒ අවදානම අස්සෙ මියගිහිල්ලා තිබුණා. ඒ කවුද, ඒක වුණේ කොහොමද කියන එක හොයාගන්න බෑ. එක මොහොතකට මනුස්ස කලාපය හිරි වැටිලා ගියා ආරංචියක් විතරයි ඒක. Sri Lanka Latest News
මේක මහ කාලකණ්ණි රාත්‍රියක්. සොබාදමට චෝදනා කරන්න එපා. සොබාදහමට රටාවක් තියෙනවා. ඒ රටාව එයාලා වෙනස් කළේ නෑ. හවස හතර පහ වෙනකොට මීදුම ආවෙ ඊයෙ විතරක් නෙවෙයි. ඒක හැමදාම එහෙමයි. රාත්‍රිය කොහොමටත් අඳුරුයි.
එකින් එක ඇඳෙන හඳ හෙවනැලි විතරයි කාට වුණත් පාර කියන්නෙ. කාටවත් වෙනසක් නෑ. පාට පාට ලයිට් දාපු තොරම්බල් වස්වලට වඩා මේ අන්ධකාරෙ අස්සෙ තියෙන ආලෝක ලප බලවත්. මේ ප්‍රපාත අස්සෙ කවුරුවත් දන්නෙ නැති රහස් තියෙනවා. ඈත කඳු සිරසෙන් හෙමින් සීරුවෙ පහළට බහින රිදී පාට දියඇලිවල හඬ ඈතට ඇහෙනවා.
එදා ඒ වෙලාවෙ ඒ සද්ද ඇහුණේ මර ළතෝනියක් වගේ. ඈත කඳුපන්ති අස්සෙන් එන හුළඟ කෙඳිරිල්ලක් වෙලා. දහස් ගාණන් මිනිස්සු බලාගෙන උන්නෙ ඉහළට ගත්ත හුස්ම පහළට දාගන්න බැරුව. රාජකාරියට අයිති වුණත් නැති වුණත් කරදරේකදි කොන්දේසි විරහිතව දුවගෙන එන පොලිසිය. ඊළඟට හමුදාව. නාඳුනන මිනිස්සු වෙනුවෙන් රැයක් දවාලක් නැතිව ඔට්‍ටු වෙන කොල්ලො කෙල්ලො. උන් දන්නෙ නෑ මේ ඉන්නෙ එයාල දන්න අයද නොදන් අයද කියලා. ඒත් ඒ කිසිම දෙයක් අහන්නවත් වෙලාවක් නැතිව උන් වැඩේට බහිනවා.
‘පැයක් යන්නත් කලින් මුළු ඇල්ලම මෙතන. ගම් හතක් නෙවෙයි ගම් දාහක් එකතු වෙලා වගේ. හැමෝම මාර මහන්සියක් වෙන්නෙ. අපි කියන්නෙත් නැතුව මිනිස්සු ඕනෙ දේවල් අරන් ඇවිත්. මහ පුදුමාකාර හයියක් ඒ මිනිස්සු දෙන්නේ….’
– ඇල්ල පොලිස් ස්ථානාධිපති
‘සමහරු වතුර බෝතල් පහ හය අරන් ඇවිල්ලා. කඹ දෙක තුන අරන් ආපු අයත් ඉන්නවා. සමහරු ටෝච් දෙක තුන හොයන් ඇවිල්ලා. මිනිස්සු මාර සපෝර්ට් එකක් දෙන්නෙ…..’
-ජනමාධ්‍ය
‘අපේ ටීම් එක මාර ගේමක් දෙන්නෙ ඇළ ළඟට යන්න. මේක මාර අමාරු ඔපරේෂන් එකක්. බස් එක තියෙන තැනට යන්න ගොඩක් අමාරුයි. ඒත් අපේ ටීම් එක යක්කු වගේ වැඩ. අපිට ඕනේ කොහොම හරි ඒ ජීවිත ටික බේරගන්න….’
-හමුදාව
‘මිනිස්සු බේරගන්න ගිය පුද්ගලයෙක් පහළට ඇදවැටී මියගිහින්.’
-පොලීසිය
‘2002ත් මෙතනම මෙහෙම අනතුරක් සිද්ධ වුණා…’
-සමාජ මාධ්‍ය
‘බදුල්ල ලේ බැංකුවේ රුධිරයෙ අඩුවක් තියෙනවා. උදේම පුළුවන් හැමෝම ලේ දෙන්න එන්න…’
-සමාජ මාධ්‍ය
මේ හැම වෙලාවකම ඉස්සරහට ආවෙ මිනිස්සු. කොන්දේසි විරහිතව ඉසාරහට ආවෙ මිනිස්සු. මේ මිනිස්සු බස් එකේ ආවෙ කවුද කියලවත් දන්නෙ නෑ. මිනිස්සු කඹවලින් බැස්සා. ටෝච් ගහගෙන කැලේ පීරුවා. සමහරුන්ට හම්ඹවුණේ මළසිරුරු. ඉඳහිට පණ තියෙන එකෙක් දෙන්නෙක් මුණගැහුණාම උන් කෑගැහුවා. සතුටෙන් හූ කිව්වා. පණ තියෙන මිනිස්සුන්ව උස්සගෙන දිව්වා. කෑගගහා දිව්වා.
1990 කොල්ලොයි කෙල්ලොයි එක තප්පරයක් නැවතුණේ නෑ. ඒ අස්සෙ ඇල්ලෙ හැමදාම බැණුම් අහන ටැක්සි ඩ්‍රයිවර්ලා පුළුවන් වේගෙන් ආවා. ගෙදර දරුවෙක්ට රටකජු ටිකක් කන්න නොදී පරිස්සම් කරපු වාහනවලට ලේ ගලන මිනිස්සු පැටෙව්වා. අතපය නැති මිනිස්සු තමන්ගෙ ළඟම අය ඉන්නවද බලන්න කියලා කෑගැහුවා. දරුවො අම්මලව හෙව්වා. අම්මලා දරුවන්ව හෙව්වා. දන්න අඳුනන මළසිරුරු දැක දැක අතපය නැති මිනිස්සු නම කියලා කතා කළා.
‘ලේකම් මහත්තයා හම්බෙලා…..’
එක්කෙනෙක් කිව්වා. මිනිස්සු පොරකෑවා.
ලේකම් මහත්තය වෙනද වගේ කතා කළේ නෑ. ලේකම් මහත්තයා වගේවගක් නැතුව හිටියා. ලේකම් මහත්තයා මේ වගේ වෙලාවට දුවලා පැනලා වැඩ කරනවා. පුළුවන් හැම විදියකම අනිත් අයට උදව් කරනවා.
‘අරයට මොක ද?’
‘මෙයා ගැන බලන්න…’
‘අර පොඩි ළමයි කෝ…’
අරවා මෙව්වා මොනවවත් කිව්වෙ නෑ. ලේකම් මහත්තයව සුදු රෙද්දකින් හිසේ ඉඳලා දෙපතුලටම වැහුවා.
‘ඊ ළඟට….’
ඔව් බස් එකේ අපු පහළොවක්. නටපු ගහපු කෑ ගහපු විහිළු කරපු පහළොවක් අතපය නැතිව ලේ ගලමින් වැටිලා ඉන්නවා. මේ ලියන මොහොත වෙනකොට හෙලිකොප්ටර්වලින් මිනිස්සු හොයනවා.
‘තංගල්ල නගර සභාව….’
සඳුදට එතැන මොනවගේ තැනක් වෙයිද? හිස් පුටු මේසවලට අඬන්න පුළුවන් නම් කෑගහලා අඬයි. ලංකාවෙ රාජ්‍ය ආයතනයක් එක රැයකින් හිස්වුණු පළමුවැනි වතාව මේක. ප්‍රධාන පෙළේ නිලධාරීන් ඇතුළුව ලොකු ගානක් දෙනා හෙට වැඩට එන්නෙ නෑ.
සමහර විට ඒ අය ආයෙ එන්නෙම නෑ. සමහරුන්ට මාස ගාණකට එන්න බෑ. වැඩ නතර කරපු තැනින් ආයෙත් පටන් ගන්න පුළුවන්ද කියලවත් හිතන්න බෑ.
ඒ අතර මෙන්න මෙහෙම සමාජ මාධ්‍ය සටහනක් දැක්කා.
‘තම පණ දෙවැනි කොට රාවණා ඇල්ල අනතුරින් තුවාල ලැබූවන් බේරාගන්නට ඉදිරියට ආ යුද හමුදා වීරයා…’
රාවණා ඇල්ලේ බස් රථ අනතුර සිදුවූ බවට යුද හමුදාවට ලැබුණු තොරතුරට අනුව රාත්‍රී 9.20 වනවිට පළමු යුද හමුදා භට කණ්ඩායම අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟාවිය.
එම අවස්ථාවේදී එම ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිට ඇති අතර, එම පිරිස අතර සිටි තරුණයන් කණ්ඩායමකට නායකත්වය දෙමින් එක් විශේෂ කාර්ය පළකා ටී ෂර්ටයක් ඇඳ සිටි තරුණයකු අනතුරට පත්වූවවන් මුදාගැනීමේ නිරත වී සිට ඇත.
අනතුරට පත්වූ බස් රථය නැවතී තිබූ ස්ථානයට ඉහළින් තිබූ පුද්ගල මළසිරුරු හතරක් සහ තුවාලකරුවන් තිදෙනකු සිරවී තිබී ඇත.
සාමාන්‍ය පුද්ගලයකුට ළඟාවීමට තබා සිතන්නටවත් අපහසු එම ස්ථානයට ළඟා වී අදාළ මළසිරුරු සහ තුවාලකරුවටන් සියලු දෙනා තම ජීවිතය ගැන පවා නොසිතා ආරක්ෂිත ස්ථාන වෙත ඉහළ සිට පහළට රැගෙනවිත් ඇත්තේ මෙම තරුණයාය.
ඔහු තම ඇඟ වටා ආධාරක කඹ පටලවාගෙන තුවාලකරුවකු රැගෙන එන විට ගලක් වැදීමෙන් ඔහුගේ හිස දැඩි ලෙස තුවාල වී ඇත.
ඒ තුවාල වේදනාවද පසෙකලා ඔහු මෙම ගලවාගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමට දායක වී ඇත. පසුව ඔහුට මූලික ප්‍රතිකාර ලබාදී බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
පසුව අණාවරණය වූයේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි විශේෂ බළකායට අයත් ලාන්ස් කෝප්‍රල් ඩබ්.එම්.වී.එම්. බණ්ඩාර බවයි.
ඔහු නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටියදී මෙම අනතුර තම නිවස අසළ සිදුවූ අනතුරෙන් අනතුරට පත්වූවන් බේරාගැනීමට පැමිණ ඇත…’
ඔහු ලේ ගලන තුවාල තියාගෙන මිනිස්සු ගානක ගෙ පණ බේරුවා කියලා කියනවා.
මේ වෙලාවෙ ආපු මිනිස්සු අතරෙ දෙතුන් සීයක් එකම කඹය අල්ලගෙන උන්නා. මනිස්සු මළසිරුරු ඇඟේ බැඳගෙන උඩට ආවා. තුවාලකාරයො අරගෙන ආවෙත් එහෙම. අපි අප්පුඩි ගහනවා අපේ රටේ මිනිස්සුන්ට. දොස්තර මහත්තුරු නර්ස්ලා කිසිම කෙනෙක් අහක බැලුවෙ නෑ. වෙන වෙලාවට මොන පිස්සුව නැටුවත් ඇටෙන්ඩන්ගෙ ඉඳලා හැමෝම එක සීරුවට වැඩ කළා. හැම මිනිහම එක වගේ. අරයට වඩා මෙයා හොඳයි මෙයාට වඩා එයා හොඳයි මේ කිසිම එකක් කියන්න බෑ.
‘දොස්තර කෙනෙක් අඩි 700ක විතර පහළට බැහැලා හිටියා…’ මම දැක්කා කෙනෙක් කියනවා. පාලිත රාජපක්ෂ කියන්නෙ දොස්තර කෙනෙක් නෙමේ. මේ මනුස්සයෙක් වෙන්න බෑ. එයා දෙවියෙක්. මොකක් හරි එහෙකට මනුස්ස වේසෙන් ඉන්න. ඒ නිසා එයා ගැන කතාකරන්න දෙයක් නෑ.
කොහොම වුණත් මීට කලින් වතාවල් කීපයකම මෙතැනම මේ විදියටම අනතුරු වෙලා තියෙන බව කියනවා.
2002 සැප්තැම්බර් 05
ඔතැනම නෙමේ. එක වංගුවක් එහායින් නාගොල්ලාගම ඉඳන් ආපු බස් එකක් පෙරලුණා. එදා 23ක් මියගිහිල්ලා තිබ්බා. දන්න තරමින්. ඔතැන අම්පාර – බණ්ඩාරවෙල බස් එකකුත් පෙරළුණා, ්ක ඔය තරම් පහළට ගියෙ නෑ. ඒකෙ තුන් දෙනෙක් මැරුණා.
තව අනතුරු 10ක් 11ක් වගේ ඔතැන වෙලා තියෙනවා. 2002 සහ 2025 තමා ලොකුම අනතුරු වුණේ කියලා කෙනෙක් කියලා තිබ්බා. ඒ වගේම 1996 හෝ 1997 වගේ කාලෙකත් ඔතැනම අනතුරක් වුණාලු. දවස වෙලාව පවා ගැළපෙන මේ අනතුරුවල රහස අපි දන්නෙ නෑ.
වාහනේක හදිසියේ බ්‍රේක් නැතිවෙන්නෙ ඇයි? (අලුත් පරණ ඕනෙම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)
මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරියට හෝ සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා.
පහුගිය කාලෙ වගේම ඊයෙත් කඳුකර ප්‍රදේශයක් වෙච්ච ඇල්ල – වැල්ලවාය පාරෙ අනතුරක් සිද්ධ වුණා. ඇල්ලෙ ඉඳලා වැල්ලවාය නගරය පේන දුරක් දක්වා එක දිගටම තද බෑවුම. ඉතින් එහෙම පාරක බොහොමයක් අනතුරුවලට බලපාන්නෙ බ්‍රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම. ඒ වගේම මේ වගේ තිරිංග ක්‍රියා විරහිත වීම බොහොමයක් වෙලාවට වෙන්නෙ කඳුකර මාර්ග නුපුරුදු තරුණ රියැදුරන් අතින්. මොකද එයාලා වාහනේ තිරිංග හෙවත් බ්‍රේක් පද්ධතිය ගැන අධික විදියට විශ්වාසය තියනවා. ඒත් මේ පහළ තියෙන හේතුවලින් එකක් නිසා හදිසියේ සම්පූර්ණයෙන්ම බ්‍රේක් නැතිවෙලා යන්න පුළුවන්.
මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන.
ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්‍රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටි කීයද, නිෂ්පාදනය කළ රට මොකක්ද කියන එක මෙතැනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්ත්වයක්. එහෙම වෙන්න හේතු තමා මේ.
- බ්‍රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය
කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්‍රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා
ඒ යෙදෙන අධික තාපය නිසා බ්‍රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි.
ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට වුණාම ඉතින් සොරිම තමා. - Engine braking භාවිත නොකිරීම
Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය.
මේ විදියට එන්ජිම බර ගියර්වල පල්ලම් බහිද්දි brakesවලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. - Continuous braking – Brakes එක දිගට භාවිත කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට pumping or intermittent braking බ්‍රේක් වරින් වර භාවිත කිරීම (brake, release, brake) කරන්න.
ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිත කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමෙයි.
ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ 2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහනවල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බලා ඉන්න නෙමේ පාවිච්චි කරන්න.
සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් එක දිගට පල්ලමක එනවා නම් එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්‍රේක්වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න.
නැතිනම් ඔයාගෙ වාහනේ බ්‍රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම වුණොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ ටීවී නිවුස්වලින් තමා.
මට මතකයි ගිය වතාවෙ මේ පෝස්ට් share වෙද්දි ලේලන්ඩ්වල මෙහෙම වෙන්නෙ නෑ කියල එක පණ්ඩිතයෙක් දාලා තිබ්බා. ලේලන්ඩ් නෙමේ මොකේ වුණත් මේක වෙනවා. වෙලාත් තියෙනවා. අත්දැකීමුත් තියෙනවා.
කියලා සමීර තරිඳු බෝපගේ ෆේස්බුක් එකේ දාපු සටහනකින් මේක මම ඉවර කරන්නෙ, ආයෙ ම්හෙම එකක් ලියන්න නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

ජීවන පහන් තිළිණ










