අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් මෙතෙක් සකස් කර නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.Sri Lanka Latest News
ඔහු මේ බව පවසා සිටියේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හෙට (24) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විවාදය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායකවරයා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි .
විපක්ෂ නායකවරයා විමසා සිටියේ, යම් නිශ්චිත පත්‍රිකාවක් හෝ ලියවිල්ලක් නොමැතිව, එනම් ධවල පත්‍රිකාවක් නොමැතිව මෙවැනි වැදගත් ප්‍රතිසංස්කරණ සාකච්ඡාවක් ඉදිරියට ගෙන යා හැකිද යන්නයි.
එසේම විපක්ෂනායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත යෝජනාවලියක් හෝ සටහනක් ලබා දී නොමැති බවයි. එබැවින් අගමැතිවරිය ඉදිරිපත් කරන පවර් පොයින්ට් පත්‍රිකාව වෙනුවට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ධවල පත්‍රිකාවක් අපේක්ෂා කරන බවද විපක්ෂනායකවරයා පැවසීය.
අමාත්‍ය බිමල් රත්නායක ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවසන් කෙටුම්පතක් හෝ නිශ්චිත යෝජනාවලියක් මෙතෙක් සකස් කර නොමැති බවයි.
අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරනු ලබන ‘පවර් පොයින්ට්’ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත් ඒ සම්බන්ධව විවාදය හරහා ජනතාවට අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
එසේම “අධ්‍යාපනය සම්බන්ධව වයිට් පේපර් ඕන නෑ. වයිට් පේපර්ස් ඕන වුණේ අතීතයේ බ්‍රිතාන්‍යයේ මුද්‍රණ කඩදාසි හිඟ නිසයි. දැන් ඩිජිටල් නිසා, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් ඇති” බවද ඔහු සඳහන් කළේය.










