ඔබ වියතෙක්ද? උගතෙක්ද?
මම හිතන්නෙ ඔය දෙකේ වෙනස තියෙන්නේ අර ඉංග්‍රීසි භාෂාවෙ කියැවෙන ‘wisdom’ කියන වචනය අනුව. වියතෙක් කියන්නෙ අධ්‍යාපන සුදුසුකම්වලටත් වඩා එහා ගිය ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැත පුද්ගලයන්ට. උගතෙක් කියන්නෙ පොතේ පතේ දැනුම ඇති අයට. මම හිතන්නෙ මම ඔය දෙකටම අයිති වෙනවා.
ඒකද ඔබ දේශපාලනයට එන්න ‘වියත්මග’ තෝරාගත්තෙ…?
මම දේශපාලනයට එන්න කවදාවත් ‘වියත්මග’ තෝරාගත්තෙ නැහැ. අපි ‘වියත්මග’ සංවිධානය හැදුවේ මේ රටේ කාලයක් තිස්සේ ඉල්ලපු ජාතික අවශ්‍යතාවක් සපුරා ගන්න. පසුගිය කාලෙ අපිට ජාතික නායකත්වයක් අවශ්‍ය වෙලා තිබුණා. මේ රට ප්‍රතිපත්තිමය රාමුවක් මත පාලනය කළ හැකි පුද්ගලයකුගේ අවශ්‍යතාවක් මතුවෙලා තිබුණා. අපි ඒ වෙලාවෙ හඳුනාගත්තෙ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මීට සුදුසු පුද්ගලයෙක් කියලා. ඔහුව කැඳවාගන්න තමයි අපි ‘වියත්මග’ සංවිධානය හැදුවේ.
ගෝඨාභය ඒකට කැමැති වුණාද?

ඔහු මුලින් ඒකට එකඟ වුණේ නැහැ. මොකද ඔහු දේශපාලනය කරපු කෙනෙක් නෙවෙයි. පසුව අපේ දැඩි බලකිරීම මත ඊට එකඟවෙලා ඒකට නායකත්වය දුන්නා. ඒ අනුව අපි ‘වියත්මග’ හැදුවේ හුදෙක්ම ජාතික නායකත්වයක් බිහි කිරීමටත්, ඒ ජාතික නායකත්වයට රට පාලනය, ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදන්නත්. නමුත් මම දේශපාලනයට එන්නෙ පසුකාලීනව ජනාධිපතිතුමා මගෙන් දේශපාලනයට එන්න කියලා ඉල්ලීමක් කරපු නිසයි. එතුමා කියනකම් මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ දේශපාලනයට එන්න. එතුමා කිව්වත් මම දෙපාරක් ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. තුන් වැනි අවස්ථාවේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් පැහැදිලිව මට කිව්වා මේ වෙලාවෙ ජනතාව උගත්තු, අලුත් මුහුණු පාර්ලිමේන්තුවට ඉල්ලනවා, ඒ නිසා මේ අවස්ථාව ගන්න කියලා.
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ජනතාව ප්‍රතික්‍ෂේප කරලා ඉවරයි.
මේකට මොකද්ද හේතුව?
මම නම් දකින විදියට ඒව අසාධාරණයි. මොකද 225ම එක වගේ නෙවෙයි. පාර්ලිමේන්තුවේ එදත්, අදත් හොඳ, වැදගත් මිනිස්සු හිටියා. යහපාලන ආණ්ඩුව මේ රට විනාශ කරද්දීත් ඊට එරෙහිව නැඟී හිටපු හොඳ මිනිස්සු හිටියා. 225ම එපා කියන මතය ආවේ පාර්ලිමේන්තු ආපු සමහරුන්ගේ හැසිරීම නිසා. ඒ අය සමාජයේ අප්‍රසාදයට ලක්වූ නිසා ජනතාව සමස්ත පාර්ලිමේන්තුවම ප්‍රතික්‍ෂේප කළා. එම නිසා මේ තත්ත්වය අවම කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මම උත්සාහ කරන්නේ හොඳ කොටසට ඇතුළත් වෙලා දේශපාලනය කරන්නයි.
එතකොට පොහොට්ටුව ඇතුළෙ නරක අය නැද්ද?
හැම පක්‍ෂයකම හොඳ අය ඉන්නවා. හැම පක්‍ෂයකම නරක අය ඉන්නවා. නාලක ගොඩහේවා කියන චරිතය පසුගිය කාලෙ ප්‍රසිද්ධ වුණේ ආණ්ඩුවේ ප්‍රබල ආයතනවල තනතුරු දැරීම හරහා.
මහින්ද රාජපක්‍ෂ තමයි ඔබට ඒ තනතුරු දුන්නෙ. මෙහෙම මහින්දගෙ මිනිහෙක් වෙච්ච නාලක ගොඩහේවා කොහොමද එකපාරටම ගෝඨාභයගෙ මිනිහෙක් වුණේ?
මුලින්ම මම මහින්දගෙ මිනිහෙක් කීම වැරැදියි. මොකද 2009 මහින්ද මහත්තයා රක්‍ෂණ සංස්ථාව ආණ්ඩුවට ගන්න වෙලාවේ පස්වැනි තැනට වැටිලා තිබුණෙ. ඒකට අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත්කරනතුරු නිසි බලධාරියෙක් විදියට කටයුතු කරන්න පුළුවන් තනි පුද්ගලයෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ වෙලාවේ කවුරු හරි ගිහින් කියලා තියෙනවා මම ගැන. එතකම් මම කිසිම සම්බන්ධයක් රාජපක්‍ෂවරු සමඟ තිබුණේ නැහැ. පළමු වතාවට තමයි මම ජනාධිපති මන්දිරයට ගිහින් එතුමා හමුවුණේ.
එතකොට ගෝඨාභය රාජපක්‍ෂ හඳුනාගත්තෙ කොහොමද?

ගෝඨාභය මහජනයා හඳුනාගත්තෙ මම එතුමාව එවකදි මගේ යටතේ තිබ්බ ඇපලෝ රෝහලේ සභාපති වෙන්න ආරාධනා කරන්නයි. බැසිල් මහත්තයා හඳුනාගත්තෙ ඊටත් පස්සෙ. ඒ නිසා මම මහින්දගෙ මිනිහෙක් වුණා නම් ඒ වගේ වැඩ නිසා. මගේ වැඩ ගැන සතුටු වෙලා තමයි මට විවිධ තනතුරු දුන්නෙ. ඒ ඇරෙන්න පරණ හිතවත්කම් තිබිලා නෙවෙයි. මට දුන් සෑම ආයතනයක්ම මම ලාබදායි ආයතන බවට පත්කළා. රක්‍ෂණ සංස්ථාව, ඇපලෝ රෝහල, ලක්සල, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක මණ්ඩලය, කොටස් වෙළෙඳපොළ වගේ සියලු ආයතන මම දියුණු කළා.
එතකොට කොහොමද මේ ‘වියත්මග’ට සම්බන්ධ වෙන්නේ?
‘වියත්මග’ හැදුවේ මම. ඒ සංකල්පය මුලින්ම ගිහින් ගෝඨාභය මහත්තයාට යෝජනා කළේ මම.
එතකොට ඔබතුමා ළඟ ඔළුවෙ තිබ්බද ගෝඨාභය අපේක්‍ෂකයා වෙන්න ඕන කියලා. නැතිනම් අපේක්‍ෂකයෝ කිහිපදෙනෙක් හිටියද?
පැහැදිලිවම ගෝඨාභය රාජපක්‍ෂ විතරයි. මම තව කිහිපදෙනෙක් එක්ක 2015 අගභාගයේදී ‘වියත් හඬ’ කියලා කඹුරුගමුවේ වජිර හිමිගේ ප්‍රධානත්වයෙන් සංවිධානයක් පිහිටුවා ගත්තා. හැබැයි මට දැනුණා ටික දවසක් යද්දි ඒක ඉස්සරහට යන්නෙ නැහැ කියලා. මොකද අපේ මිනිසුන්ගේ දුර්වලතාවක් තමයි සංවිධානයක් හදපු ගමන් තනතුරු බෙදාගන්න හදනවා. ඒකෙත් වුණේ ඒක. ඒ නිසා මම තීරණය කළා එතැනින් එළියට ගිහින් ගෝඨාභය මහත්තයත් එක්ක අලුත් සංවිධානයක් හදන්න. අපි කිහිප දෙනෙක් 2017 දෙසැම්බර් මාසෙ ගෝඨාභය මහත්තයගෙ මිරිහානෙ ගෙදරට ගිහින් මේ යෝජනාව ඉදිරිපත් කරලා සභාපතිකම බාර ගන්න කිව්වා. එතැන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාත් හිටියා. සංවිධානය ආරම්භ කළේ 2018 පෙබරවාරි 04 වැනිදා. හැබැයි මම යෝජනාවක් දැම්මා මේ සංවිධානෙ තනතුරු නැහැ කියලා. මම ගත්තෙත් නැහැ. ඒ නිසා ‘වියත්මග’ බොහොම වේගෙන් වර්ධනය වුණා. හිටියේ විධායක කමිටු සාමාජිකයන් විතරයි. ඊට පස්සෙ ටික දවසක් යද්දි එතැන හිටපු අයටත් තනතුරු වුවමනා වුණා. ඒ අනුව එක තැනකදී ගෝඨාභය මහත්තයා තීන්දු කළා 30ක විතර විධායක කමිටුවක් පත්කරන්න. මගේ මතය නම් ඒක වුවමනාවක් නැහැ කියන එකයි.
හැබැයි මෙච්චර වැඩකොටසක් කරපු ‘වියත්මග’ අද ඇයි නිහඬ?
‘වියත්මගේ’ හිටපු ප්‍රධාන සක්‍රිය ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙක් මේ වන විට රජයේ විවිධ බරපතළ වගකීම් දරනවා. ඒ අනුව සක්‍රියම පිරිස වෙනස් වගකීම්වලට ගියාම එදා තිබ්බ සක්‍රිය බව ‘වියත්මගේ’ අද දැකගන්න ලැබෙන්නෙ නැහැ. එතරම් ජ්‍යෙෂ්ඨ නොවන පිරිසක් තමයි අද එම කාර්යාලයේ කටයුතු කරන්නේ. නමුත් ජනාධිපතිතුමාට වුවමනාවක් තියෙනවා මේක නැවැතත් සක්‍රිය කරලා බුද්ධි මණ්ඩපයක් විදියට මේක ඉදිරියට අරන් යන්න.
ජනාධිපතිතුමාට ලොකු වුවමනාවක් තිබුණා නේද හැම දිස්ත්‍රික්කයකින්ම මහමැතිවරණයට ‘වියත්මගේ’ නියෝජනයක් ඇතුළත් කරන්න. නමුත් ඒ සැලැස්මට ඇතුළෙන්ම ප්‍රහාර එල්ල වුණා නේද? මොකද්ද ඇත්තටම වුණේ?
හැම දිස්ත්‍රික්කයකින්ම වියත්මගේ නියෝජනයක් ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමාට වුවමනා වුණා කියන එක මතයක් විතරයි. හැබැයි වියත්මගේ හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍යතාවය එතුමට තිබ්බා. රාජ්‍ය ආයතනවල පත්කරන පිරිසක් ඉන්නවා. ආණ්ඩුකාරවරු, ආසන සභාපතිවරු, අධ්‍යක්‍ෂවරු විදියට ඒ වගේම ජනතාව පත්කරන පිරිසකුත් ඉන්නවා. මන්ත්‍රිවරු විදියට. එතුමා පත්කරන පිරිසට වියත්මගේ හොඳ සක්‍රිය අය පත්කළා. පාර්ලිමේන්තු නියෝජනය බලද්දී එතුමා කිව්වා ඡන්දෙට දාන්න ඕන දිනන අය කියලා. වියතෙක් වුණා කියලා ඡන්දෙ දිනන්න බැහැ. එතුමා බැලුවෙ කාටද ජනමතයක් හදාගෙන දිනන්න පුළුවන් කියලා. එතැනදී තමයි අද්මිරාල් සරත් වීරසේකර, මා වගේ කිහිපදෙනෙක් පමණයි වියත්මගෙන් එන්නෙ.
මෙතැනදී පොහොට්ටුවෙන් කැපිල්ලක් ආවේ නැද්ද?
ජනාධිපතිතුමා නම් කළ කිසිවකුට කැපිල්ලක් ආවේ නැහැ. නමුත් ජනතාව බලාපොරොත්තු වූ සමහර වෘත්තිකයන්ට සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගෙන් කැපිල්ල ඇවිත් අවස්ථාව ලැබුණේ නැහැ. ඒක රටේ ගියේ ජනාධිපතිතුමාගේ නියෝජිතයන්ට කැපිල්ලක් ආවා කියලයි.
එතකොට ඔබතුමා ජනාධිපතිතුමාගෙ ‘වියත්මග’ නියෝජනයක්?
පැහැදිලිවම මම ජනාධිපතිතුමා නම් කළ නියෝජිතයෙක්.
හැබැයි ජනාධිපතිගෙ නියෝජිතයෙක් වුණත් ගම්පහට ඔබතුමා යද්දි ඇතුළෙන්ම විරෝධයක් ආවා නේද? ඒක ඔබ පිළිගන්නවාද?
අනිවාර්යයෙන්ම පිළිගන්නවා. සාම්ප්‍රදායික දේශපාලනය තුළ දේශපාලනයට අයිතිකාරයෝ ඉන්නවා. ලංකාවේ ප්‍රබල දේශපාලනඥයෝ 90%ක්ම පවුල් පසුබිමක් තුළ ඇවිත් ස්ථාවර වූ අය. ඒ අය බලය ගිලිහෙනවාට කැමැති නැහැ. කවුරු හරි අලුතින් ඒ අයගෙ වපසරියට ඇතුළු වෙනවනම් මේ මනාප ක්‍රමය තුළ ප්‍රතිවිරෝධයක් එනවා. ඉතින් මාව ගම්පහට දානවා කිව්ව ගමන්ම ඒ සමහරු හොඳින් කිව්වා මෙයාව ගම්පහට දාන්න එපා කියලා. නෑ දාන්නම ඕන කිව්වම මුහුණට පෙන්නන්නෙ නැතිව යටින් විරෝධය යනවා. හැබැයි මම සතුටු වෙනවා කිසිම කෙනෙක්ගෙ සහයෝගය නැතිව මම මගේ ගමන මේ දක්වා ගිහින් තියෙනවා. මේ ඡන්දෙදි ජනාධිපතිතුමා කාටවත් උදව් කරන්නෙ නැහැ. එතුමා මාව පූල් එකට දාලා පීනන්න කියලයි කියන්නෙ. මාත් එක්ක තව දෙතුන් දෙනෙක් දාන්න ගියා. සමහරු දාන්න කලින් බය වුණා. සමහරු දැම්මට පස්සෙ ගොඩවුණා. නමුත් මම පීනුවා.
එහෙම පීනද්දි ආපු බාධක මොනවද?
මේක මෝරුන් එක්කනෙ පීනන්නෙ. තවමත් ඒ බාධක තියෙනවා. හැබැයි දැන් අපි ජනතා මතය හදලා ඉවරයි.
ඔබතුමා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, බැසිල් රාජපක්‍ෂට මේ බාධක ගැන පැමිණිලි කළාද?
මම එන්න කලින්ම දන්නවා. මේ බාධක එනවා කියලා. ඒක දැනගෙනයි මම මේකට බැස්සේ. මම කිසිම තැනක ගිහින් මේවා ගැන නාහෙන් අඬලා පැමිණිලි කරන්නේ නැහැ. ප්‍රශ්නවලට මුහුණ දෙනවා.
ඔබතුමා හිතනවද මේ බාධක මැද්දේ පිනලා ගොඩ එන්න පුළුවන්ද කියලා?
අනිවාර්යයෙන්ම.
ඊට පස්සේ ජනාධිපතිතුමා කිව්වොත් වගකීමක් බාරගන්න කියලා. ඔබතුමා ඒකට සූදානම්ද?
ජනාධිපතිතුමා කිව්වොත් ඕනෑම වගකීමක් බාර ගන්නවා. මම සූදානම්.
ඕනෑම විෂයක?
ඔව් ඕනෑම විෂයක. මගේ අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද විශාල පරාසයක තියෙන්නේ. ඕනෑම විෂයක් කෙටි කලකින් ඉගෙනගන්න මට පුළුවන්.
ඒ කියන්නේ ඔබතුමා වැඩකාරයෙක්?
ඒක මම ඉතිහාසයෙන් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.
හැබැයි ඒ පරිපාලන පැත්තෙන්. දේශපාලනයෙනුත් ඔබතුමාට වැඩකාරයෙක් වෙන්න පුළුවන්ද?
සාම්ප්‍රදායික දේශපාලනයට අනුකූලව ඇවිල්ලා පවුල් දේශපාලනයට අභියෝග කරලා මම හොඳ ගමනක් ඇවිත් තියෙනවා. දේශපාලනය කිරීමයි, දේශපාලන දැනුමයි දෙකක්. අපි හැමදාම දේශපාලන දැනුමින් යුක්තව සිටි පවුලක්.
ඒ කියන්නෙ අපිට අනාගතයේ හොඳ දේශපාලකයෙක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
අපි බලාගෙන ඉමු.
කපිල පුංචිමාන්නගේ
කව්ද මේ නාලක ගොඩහේවා
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි ස්ංදේශන ඉන්ජිනේරු
උපාධිය (BSc.Engineering)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය (M.B.A.)
මහා බ්‍රිතාන්‍යයේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ පූර්ණ සාමාජිකත්වය (F.C.M.A.)
මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරුවන්ගේ සංගමයේ පූර්ණ සාමාජිකත්වය (F.C.I.M.)
දකුණු ඕස්ටේ්‍රලියානු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය (Phd)
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ
සෙලාන් බැංකුවේ අධ්‍යක්‍ෂ
ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්‍ෂ
යුනිලීවර් සමාගම, ඵග්ගීග සමූහ ව්‍යාපාරය වැනි එතෙර, මෙතර පෞද්ගලික සමාගම් රැසක විධායක තනතුරු
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති
ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති
ගම්පහ ගොඩදාන ගොඩහේවාගේ ප්‍රතිපත්තිය මෙන්න
තරුණ පරපුරට දේශීය – ජාත්‍යන්තර රැකියා නිර්මාණය කිරීම
ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීම
දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කිරීම
ගම්පහ නිවාස ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක්
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට පූර්ණ සහාය
ක්‍රීඩා – ප්‍රජා යටිතල පහසුකම්, ආගමික ස්ථාන සංවර්ධනය
පොදු ප්‍රවාහන ගැටළුවලට නිශ්චිත විසඳුම්
සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම
කුණු – ජල – පාරිසරික ප්‍රශ්නවලට විසඳුම්
කෘෂි – ධීවර කර්මාන්තයේ පුනර්ජීවයක්











