• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

හොරු ඇල්ලිල්ලෙන් ආණ්ඩුව ඔළුව උස්සගත්තත් යටින් යන අතිභයානක ‘දිය වැළට’ හසුවී ආණ්ඩුව ගහගෙන යයිද? රාජ්‍ය රහස්! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 21 mins read
A A
Share on WhatsAppShare on Facebook

බිමල්ට එරෙහිව නලින්දත් එළියට ආවාද?

අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් එනවා! 

සජිත් අතුරුදන්!

රනිල් හොරෙන්ම රුසියාවට!

ආණ්ඩුව ඔළුව උස්සයි

පළාත් පාලන මැතිවරණයේදී ඉකුත් මහමැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 23ක් තරම් වූ දැවැන්ත ඡන්ද ප්‍රමාණයක් අඩුවීමත් සමග කවුරු කෙසේ තර්ක කළද මාලිමාවේ විශාල පසුබෑමක් සිදුව ඇති ආකාරයක් ඒ හරහා දැකගන්නට ලැබිණ. ඒ සඳහා විවිධ කරුණු බලපා තිබූ අතර හිටපු කතානායක අශෝක රංවල මහතාගේ ව්‍යාජ ජපන් උපාධි සහතිකයේ සිට හෙළ නිළි රැජින වූ මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍යය දක්වා සිදුවූ විවිධ සිදුවීම්වලදී ආණ්ඩුව දැක්වූ කළමනාකරණයේ සහ අත්දැකීම් අවම වීමේ දුර්වලතා ඊට හේතු වී ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මේ ආකාරයට දිගින් දිගටම සිදුවූ අසාර්ථකත්වයන් හමුවේ ඔළුව සඟවාගෙන සිටීමට සිදුවූ මාලිමා ආණ්ඩුවට යන්තම් කෙළින් කටින් සිටගැනිමට හැකි හොඳ ඔක්සිජන් පාරක් පසුගිය සතිය වනවිට ලැබී තිබිණි. ඒ හිටපු ආණ්ඩුවල ප්‍රබල අමාත්‍ය ධුර හෙබවූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු යන දෙදෙනා පිළිවෙළින් වසර 20කට සහ 25කට බරපතළ වැඩ ඇතිව සිර දඬුවමකට යටත් කිරීමට අධිකරණය පියවර ගැනීමත් සමගය. ඊට අදාළ නඩුව යහපාලන ආණ්ඩු සමයේ පැවරූ එකක් වුවද ඊට අදාළ නඩු තීන්දුව වත්මන් මාලිමා ආණ්ඩුව යටතේ ලැබීමත් සමග ජනතාව අතර යම් මතයක් ගොඩනැගෙන්නට වූයේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව දැන් හොරු අල්ලන්නට පටන්ගෙන ඇති බවටය. ආණ්ඩුවේ ප්‍රබලයන්ද ඒ මතය ඉතා සූක්ෂ්මව ජනතාව අතරට රැගෙන යෑමට කටයුතු කර තිබූ අතර විපක්ෂය එහි සුලමුල රටට කියා සිටියත් ජනතාව පිළිගෙන ඇත්තේ ආණ්ඩුව හොරු අල්ලන්නට පටන්ගෙන ඇති බවට වූ ජනප්‍රිය මතය බවක් දැකගන්නට ඇත.Sri Lanka Latest News

මෙම මතය මේ වනවිට වඩාත් තහවුරු වී ඇති බවක් පෙනීයන්නේ දිනපතාම පාහේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පසුගිය ආණ්ඩුවල සිටි ප්‍රබල මැති ඇමැතිවරුන් හා නිලධාරීන් කැඳවීමත් සමගය. ඒ අනුව මේ වනවිට පෙළක් අයගේ මතය වී ඇත්තේ කඩාවැටෙමින් තිබූ ආණ්ඩුවේ ජනප්‍රියතාව මේ සිදුවීම් මාලාවත් සමග යළි කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බවය. ආණ්ඩුවටද ඒ සම්බන්ධයෙන් රහ දැනී ඇති නිසා අනෙක් සියලු කරුණු පසෙක තබා ආණ්ඩුවද හොරු ඇල්ලීම සඳහා සම්පූර්ණ කාලය යොදවා ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය හරහා මාලිමා ආණ්ඩුව ජනතාව අතර යළි ජනප්‍රියත්වය තහවුරු කරගන්නා අතරවාරයේ පසුගිය සතිය වනවිට කිරි කළයට ගොම බින්දුවක් වැටුණා සේ මේ ජනප්‍රියත්වය ‘අල’ කරගන්නා සිදුවීමක් සිදුවිය. ඒ, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හරහාය. මොරටු සභාව පිහිටුවීමේ උත්සවයට පැමිණ සිටි හර්ෂණ එහිදී ඉතා ආවේගශීලී කතාවක් සිදුකළ අතර එහි එක් තැනකදී හර්ෂණ කියා සිටියේ මාලිමා ආණ්ඩුව නොතිබෙන්නට මහින්දානන්දට මෙවැනි සිර දඬුවමක් නොලැබෙනු ඇතැයි කියාය.

හර්ෂණගේ මේ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමග විපක්ෂයේ විවිධ කණ්ඩායම් මෙය අර්ථකථනය කරන්නට වූයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටුයතු කරන හර්ෂණගේ ප්‍රකාශය හරහා අධිකරණයට යම් අපහාසයක් සිදුව ඇති බවටය. විපක්ෂයේ එම මතයට මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමග හර්ෂණද පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ යම් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මාධ්‍ය තමන් කළ ප්‍රකාශය සංස්කරණය කොට පළකර ඇති බවත්, තමන්ගේ සම්පූර්ණ කතාව අසන ලෙසත්ය. නමුත් එහිදීද විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ අධිකරණ අමාත්‍යවරයා කළ එම කතාව හරහා අධිකරණයට අපහාස කිරීමක් සිදුව ඇති බවකි.

නඩුවක් වැටෙයිද?

මේ සිදුවීම එතැනින් නවතිනු ඇති බවට ආණ්ඩුවේ බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවන බවක් පෙනී යන්නේ විපක්ෂයේ යම් යම් කණ්ඩායම් හර්ෂණ කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීති උපදෙස් ගැනීමට කටයුතු කොට තිබීම හරහාය. ඒ අනුව පසුගිය සතියේ දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනකු සහ නීතිඥයන් කණ්ඩායමක් හිටපු ප්‍රබල අගවිනිසුරුවරයකු හමුවී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කොට තිබිණි. එහිදී හර්ෂණ නානායක්කාර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සාකච්ඡා වී ඇති අතර එම ප්‍රකාශය හා එස්.බී. දිසානායක, රන්ජන් රාමනායක, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අතර යම් සමානකමක් ඇති බවට තර්කයක් මතුව ඇති බවක්ද දැනගන්නට ඇත. කෙසේ වෙතත් එම සාකච්ඡාවේ අවසන් තීන්දු තීරණ පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු නැතත් මෙම සිදුවීම දැන් අධිකරණය හමුවට යන තැන දක්වා තල්ලු වෙමින් පවතින බවක් දැකගැනීමට පුළුවන. පසුගිය සතියේ නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ කළ යම් යම් ප්‍රකාශ ඔස්සේද ඊට අදාළ ඉඟි පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි.

ඒ සියල්ල අතරතුර ආණ්ඩුව මේ වනවිට සිය ගැලවීමට සහ දේශපාලන පැවැත්මට ඇති එකම මාර්ගය ලෙස මේ හොරු ඇල්ලීමේ උපායමාර්ගය තෝරාගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මෙහිදී වත්මන් මන්ත්‍රීවරුන්ද නොදන්නා, හිටපු මැති ඇමැතිවරුන්ද නොදන්නා අඩුම තරමේ බරපතළ වැඩ ඇතිව වසර 20කට ඇතුළට ගිය මහින්දානන්දලා හෝ නොදන්නා විශේෂ කතාවක් තිබේ. ඒ, පසුගිය අවුරුදු දෙකක කාලය තුළ මේ හිටපු ඇමැතිවරුන්ම අත් ඔසවා සම්මත කළ නව අල්ලස් පනත සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ටම දැන් දඬුවම් විඳින්නට සිදුව ඇති කාරණයය. මෙම පනත් දෙක ඉතා ප්‍රබල බව මේ අත් උස්සපු මන්ත්‍රීවරුන්ටම තේරුම් ගොස් ඇත්තේ එම පනත් උපයෝගී කොටගෙනම ඔවුන්ට එරෙහි විමර්ශන ආරම්භ වීමත් සමගය. ඔවුන්ට හිරේ විලංගුවේ වැටීමට සිදුවීමත් සමගය. එමෙන්ම මෙහි රස ආණ්ඩුවටත් දැනී ඇති බැවින් වංචා දූෂණවලට අදාළ විමර්ශනයන් නිදහසේ සිදුකිරීමට අවශ්‍ය පරිසරය අල්ලස් කොමිසමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ලබාදීමට ආණ්ඩුවද තීරණය කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටින හිටපු මැති ඇමැතිවරුන්ගේ සහ සිරගත කොට ඇති හිටපු මැති ඇමැතිවරුන්ගේ සිදුවීම් දෙස බැලීමේදී බොහෝ දෙනා පෙන්වා දෙන කාරණයක් වී ඇත්තේ අලුතෙන් ආරම්භ කොට ඇති විමර්ශනවලදී තාක්ෂණික කරුණු මුල්කරගෙන නඩු පැවරීම සිදුකළහොත් ඊට විශාල කාලසීමාවක් ගතවන නිසා මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පැවරීමේ ප්‍රවණතාවක් දැකගන්නට ඇතැයි කියාය. උදාහරණයක් ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සම්බන්ධ සිදුවීමේදී කැලණිය ප්‍රදේශයේ ඉඩමක් මුල් කරගෙන අත්අඩංගුවට ගැනීම සිදුවුවත් මේ වනවිට විමර්ශන යොමුවී ඇත්තf් මර්වින් සහ ඔහුගේ පුත්‍රයා විසින් ඉඩකඩම්, යානවාහන ඇතුළු දේපළ මිලදී ගත් ආකාරය සම්බන්ධයෙන්ය. නව අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ එය ඉතා පහසුවෙන් සිදුකළ හැකි වාතාවරණයක් මේ වනවිට මතුව ඇති බවක් දැනගන්නට තිබේ.

එහිදී මර්වින් සිල්වා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතීන්ට කොළඹ ඉඩකඩම් ඇතුළු දේපළ මිලදී ගත් ආකාරය ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, ඒ අනුව නව නීතිරීති යටතේ ඊට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කොට මුදල් විශුද්ධිකරණ සහ අල්ලස් පනත යටතේ ඉතා ඉක්මනින් නඩු පැවරීමටත් තීරණය කොට ඇති බවත් දැනගන්නට ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මේ වනවිට හිටපු ප්‍රබලයන් රැසකගේ බැංකු ගිණුම් සහ ඔවුන් උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් විශාල විමර්ශන ප්‍රමාණයක් ආරම්භ කොට ඇති බවක්ද ආරංචිය.

මැණික් කතාවක්

කෙසේ වෙතත් මේ වත්කම් සම්බන්ධයෙන් සොයාගෙන යද්දී පෙළක් හිටපු මැති ඇමැතිවරුන් විමර්ශන කණ්ඩායම් හට අපූරු උත්තරයක් ලබාදී ඇති බවක්ද ආරංචිය. එහිදී බොහෝ දෙනෙක් කියා ඇත්තේ තමන්ට රත්නපුරේ මැණික් පතල් ඇති බවත්, කලකට ඉහතදී විශාල මැණිකක් ලැබුණු බවත්, එය රත්නපුරේදී තායිලන්ත ජාතිකයකුට අත්පිට මුදලට විකුණා මුදල් ලබාගත් බවත්, එම මුදලින් මෙම දේපළ මිලදී ගත් බවත්ය. මේ වනවිට මැණික මිලදී ගත් තායිලන්ත ජාතිකයා සොයාගැනීමට අපහසු වී ඇති බවද පෙළක් හිටපු මන්ත්‍රීවරුන් විමර්ශන කණ්ඩායම් වෙත කියා ඇති බවක්ද ආරංචිය.

ඒ කොයිහැටි වෙතත් අනීතික අයුරින් උපයාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කණ්ඩායම් ඇතැම් හිටපු මැති ඇමැතිවරුන් නීති විරෝධී අයුරින් උපයාගෙන ඇති බිලියන ගණන් වටිනා දේපළ සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට එක්රැස් කරගෙන ඇති බවක් දැනගන්නට තිබේ. එහිදී හිටපු ප්‍රබල ඇමැතිවරයකු පසුගිය අවුරුදු දෙකේ පමණක් අදහාගත නොහැකි ආකාරයෙන් මුදල් හා වත්කම් උපයාගෙන ඇති බවක්ද අනාවරණ වී ඇති බවක් ආරංචිය. මෙම හිටපු ප්‍රබලයා කොළඹ 03 බම්බලපිටිය ප්‍රදේශයේ අක්කරයකට ආසන්න දැවැන්ත ඉඩමක පිහිටි සුවිසල් මන්දිරයක් මිලදී ගෙන ඇති බවත්, එය සිය පුතාගේ නමට පවරා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත. මේ පිළිබඳ තොරතුරු විමසද්දී හිටපු ප්‍රබලයා මැණිකක විස්තර විමර්ශන අංශ වෙත කියා ඇති බවද ආරංචිය. මෙම ප්‍රබල දේශපාලකයා මීට වසර ගණනාවකට පෙරද කොළඹ පිහිටි දැවැන්ත ඉඩමක් තමන්ට හිමිකරගත් ආකාරය පිළිබඳවද විමර්ශන පවත්වන නිලධාරීන්ට සැක මතුව ඇති බවත් ආරංචිය. මේ හිටපු ප්‍රබලයාට අමතරව තවත් හිටපු ප්‍රබලයන් රැසක්ම මෙම දේපළ අත්පත් කරගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කරද්දී මැණික් තියරියෙන්ම පිළිතුරු දීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. කෙසේවෙතත් මේ විමර්ශන හරහා හිටපු ප්‍රබල මැතිඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් මේ වනවිට විශාල තිගැස්මකට පත්ව සිටින බවද රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත.

අනතුරක් එනවා

කෙසේ වෙතත් හොරු ඇල්ලීමේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව මේ දිනවල ලොකු චූන් එකකින් සිටින නිසා වටපිටාවෙන් එල්ල වීමට නියමිත අනතුරු සම්බන්ධයෙන් අවධානය ගිලිහී ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. විශේෂයෙන්ම මීට පෙර අප මෙම රාජ්‍ය රහස් තීරය ඔස්සේ ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත බරපතළ යෝජනාව පිළිබඳවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර මතුවෙමින් පවතින මතගැටුම් පිළිබඳවත් අවස්ථා කිහිපයකදීම වාර්තා කිරීමට පියවර ගත්තෙමු. ආණ්ඩුව මේ දිනවල ජනප්‍රියත්වයෙන් ගිනිකන වැටී සිටින නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකොට නොමැති බව දැනගන්නට ඇති නිසා නැවත වරක් මේ අනතුර සම්බන්ධයෙන් සිහි කැඳවීමක් කිරීමට අප සූදානම්ය. එහිදී ප්‍රධානම කරුණ වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයය. මේ මාසයේදී ටර්ක් ලංකාවට පැමිණෙන්නේ පසුගිය වතාවන්වලදී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශ සහ සම්මත කළ යෝජනාවල ප්‍රගතිය විමර්ශන කිරීම සඳහාය. ලබන සැප්තැම්බර් මාසයේදී තවත් බරපතළ යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වීමට නියමිතව ඇති පසුබිමක ටර්ක්ගේ මේ හදිසි ලංකා ගමන ආවාට ගියාට සිදුකරන එකක් ලෙස සැලකීමට නුපුළුවන. අනෙක් අතට එම යෝජනාව ඉදිරිපත් කිරීමට අවශ්‍ය සියලු පසුබිමද මේ වනවිට ජාත්‍යන්තරයේ නිර්මාණය වී අවසන්ය. ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ කැනඩාවේ ඊළාම් ස්මාරකය විවෘත කිරීම හරහා කොටි ඩයස්පෝරාව මේ වනවිට විශාල වශයෙන් සක්‍රිය වී තිබීමය. ලබන සැප්තැම්බරයේදී ලංකාවට එරෙහිව ජිනීවාවලට ඉදිරිපත් වීමට නියමිත බරපතළ යෝජනාව ඉලක්ක කොට මෙම විවෘත කිරීම සිදුකොට ඇති බවක් මේ වනවිට දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් ජිනීවාහිදී සම්මත වුණු යෝජනා නිර්දේශයන්ගෙන් බොහෝ ප්‍රමාණයක් තවමත් ලංකාව පැත්තෙන් ඉටුකොට නොමැති බවක් දැනගැනීමට පුළුවන. ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැනුමක් ඇති පිරිස් සමග කතාබහ කිරීමේදී ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුකොට නොමැති බවක් පෙනෙන්නට ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. එම තොරතුරුවලට අනුව නම් ආණ්ඩුව මේ වනවිට සූදානම් වී සිටින්නේ සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීමට සහභාගි වීමටත්, ලංකාවට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත යෝජනා ප්‍රතික්ෂේප කොට කතාවක් සිදුකර නැවත ලංකාවට පැමිණීමටත්ය.

එමෙන්ම ලංකාවට එරෙහි යෝජනාව සම්මත කිරීම සඳහා ඡන්ද විමසීමක් සිදුකරන බවට වූ බරපතළම කොටස අමතක කරදමා ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටින බවක්ද දැකගන්නට තිබේ. මෙම ඡන්ද විමසීමේදී ලංකාවට ලැජ්ජාසහගත පරාජයකට මුහුණ දීමට සිදුවුවහොත් ඒ හා බැඳුණු තවත් බරපතළ ප්‍රතිවිපාකයන් රැසකට මුහුණ දීමට ලංකාවට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස මේ සම්මත වන යෝජනාව පාදක කොටගෙන වෙනත් රටවල් ලංකාවට එරෙහි තීන්දු තීරණ ගැනීමේ බරපතළ අනතුරක් මේ හරහා නිර්මාණය වීම වැළැක්විය නොහැක. එම නිසා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දන්නා කියන පිරිස් කියන්නේ ආණ්ඩුව වහාම විශේෂඥ කණ්ඩායමක් මේ සඳහා නම්කොට ජිනීවා සාමූහිකයේ ලංකාවට හිතවත් රටවල් සමග පමණක් නොව ලංකාවට එරෙහි රටවල් සමගත් සාකච්ඡා කළ යුතුව ඇතැයි කියාය. නමුත් තවමත් ආණ්ඩුව පැත්තෙන් එවැන්නක් සිදුවන ලකුණු දැකගන්නට නොමැති වීම විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් ඉදිරි දින කීපය ඇතුළත ලංකාවට පැමිණෙන ටර්ක් ආණ්ඩුවේ නියෝජිතයන් පමණක් නොව විපක්ෂයේ නියෝජිතයන්ද, උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන නියෝජිතයන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. එම සාකච්ඡා අවසානයේ ටර්ක් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන වාර්තාව අතිශය තීරණාත්මක එකක් බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් ටර්ක් සමග ගනුදෙනු කරන්නට ආණ්ඩුව සිතා සිටින ආකාරය පිළිබඳ තවමත් පැහැදිලි සඳහනක් නැත.

මූල්‍ය අරමුදලේ ගැටුම

මෙම ජිනීවා ප්‍රශ්නයට අමතරව ආණ්ඩුව මුහුණ දෙන ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෝදුවෙමින් පවතින අර්බුදයය. පසුගිය සතියේ මේ පිළිබඳ පළමු වරට අනාවරණයක් කරමින් අප කියා සිටියේ ලංකාව සම්බන්ධයෙන් පත්කොට සිටින මූල්‍ය අරමුදලේ නව ප්‍රධානියා වන ඉවාන් පපාජියෝර්ජියෝ සමග ආණ්ඩුව යම් මතගැටුමක් නිර්මාණය කොටගෙන ඇති බවය. මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට 4 වැනි වාරිකය මුදාහැරීමට කටයුතු කළ යුතුව තිබුණද මෙතෙක් එය නිදහස් කිරීමට පියවර ගෙන නොතිබීමය. මූල්‍ය අරමුදල ඒ සම්බන්ධයෙන් කියා තිබුණේ විදුලි බිල පිරිවැය සමග නොගැළපීම ඇතුළු කරුණු කිහිපයක් ඊට බලපා ඇති බවය. මෙහිදී වෙනදා නම් මූල්‍ය අරමුදල මෙවැනි කරුණු සම්බන්ධයෙන් යම් නම්‍යශීලී බවක් පෙන්නුම් කළද මේ වනවිට ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඒ නම්‍යශීලී බව අවම වී ගොස් ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. සිවුවැනි වාරිකය නිදහස් කිරීමට නම් කොන්දේසි අනිවාර්යයෙන් ඉටුකළ යුතු බවට වූ ස්ථාවරයේ ඔවුන් පසුවන බව ආරංචිය. උදාහරණයක් ලෙස විදුලි බිල ගැළපීමේදී ආණ්ඩුව යෝජනා කර ඇති 18%ක ප්‍රමාණයට මූල්‍ය අරමුදල සිය එකඟතාව පළකොට නොමැති බවත්, ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ 30%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවත්ය. එමෙන්ම අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන්ද මූල්‍ය අරමුදල මේ වනවිට දැඩි ස්ථාවරයක සිටින බව ආරංචිය.

ආර්ථිකය වැටෙනවා

මේ සම්බන්ධයෙන් මීට සති කීපයකට ඉහතදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරමින් දැනට 5%කට පවතින ආර්ථික වර්ධන වේගය මේ වසරේදී 3.2%කට අඩුවනු ඇති බවට පුරෝකථනයක් කොට ඇති බවත්, එවැනි පසුබිමක මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්නත් විමසා සිටියේය. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඊට පිළිගත හැකි ආකාරයේ පිළිතුරක් ඉදිරිපත් වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. සජිත් කළ එම කරුණු අනාවරණයෙන් පසු මූල්‍ය කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කොට සිටියේ ආර්ථික වර්ධන වේගය මේ වසරේ 3.2%ට අඩුවනු ඇති බවට වාර්තා කොට තිබියදී ආණ්ඩුව පිස්සු නටනවා යැයි කියාය.

මේ බව දන්නා නිසාදෝ මූල්‍ය අරමුදල මේ වනවිට ආණ්ඩුවට දැඩි බලපෑමක් කරමින් කියා සිටින්නේ කලින් ඇති කරගත් එකග`තාවන්ට අනුව කොන්දේසි ඉටුකරන ලෙසටය. ඒ අනුව මතුපිටින් පෙනෙන ආකාරයට ආර්ථිකය නිසලව තිබුණත් ඒ යටින් අතිභයානක ‘දිය වැලක්’ ගමන් කරමින් ඇති ආකාරයක් මේ සිදුවීම් හරහා දැකගැනීමට පුළුවන. යම් හෙයකින් ආණ්ඩුව ඒ දියවැලට හසුවුවහොත් බරපතළ තත්ත්වයකට රට වැටෙනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

බාර් සටන

ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජබ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට කඩාගැනීම සඳහාත්, සජබ මන්ත්‍රීවරුන්ගේ සහාය තමන්ට ලබාගැනීම සඳහාත්, පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහාය දිගටම තමන්ට තබාගැනීම සඳහාත්, උතුරු නැගෙනහිර දමිළ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම සඳහාත් අල්ලස් වශයෙන් මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බව පළමු වරට හෙළි කළේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය. එහිදී අප දිගින් දිගටම කියා සිටියේ මෙසේ රනිල් විසින් මත්පැන් බලපත්‍ර ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව වහාම රටට හෙළිකළ යුතු යැයි කියාය. අප මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කළ අනාවරණයෙන් පසුව එවක විපක්ෂයේ සිටි සජිත් ප්‍රේමදාස මහතාත්, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මාලිමා ප්‍රධානීනුත් ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් බලයට පැමිණි වහාම මෙම මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිකරන බවත්, එතැනින් නොනැවතී අදාළ මත්පැන් බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට කටයුතු කරන බවත්ය.

අනුරත් මගහැරියා

ජනාධිපතිවරණයෙන් පසු බලයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා කිව්වා වගේ පළමු අදියරේදීම මේ මත්පැන් බලපත්‍ර අහෝසි කර, එම බලපත්‍ර ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කරනු ඇතැයි සිතා සිටියත් මාස කීපයක් යනතුරුම එවැන්නක් සිදු නොවීය. ඒ නිසා අපි නැවත නැවතත් ‘මව්රට’ පුවත්පත ඔස්සේ මේ සටන දිගටම සිදුකරමින් අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට හෙළිකරන ලෙස ඉල්ලා සිටියෙමු. අප එසේ දිගටම සටන් කළේ වෙන කිසිවක් නිසා නොව, එම මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ සිටියද, සජබයේ සිටියද, එජාපයේ සිටියද මේ කැත, දහජරා දේශපාලන සංස්කෘතිය එතැනින් නැවතිය යුතු නිසාය. අප දිගින් දිගටම ඒ සටනේ සිටියද ආණ්ඩුව පැත්තෙන් ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු තැන අපද ඒ පසුපස පැන්නීම අත්හැර දැමීමට පියවර ගත්තෙමු.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වරින් වර සමාජයේ කතාබහ මතුවීමත් සමග මාලිමා ආණ්ඩුව ඇපෙන් බේරෙන්නට මෙන් රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. බොහෝ දෙනා සිතා සිටියේ එම නම් ලැයිස්තුවේ හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් විශාල වශයෙන් සඳහන්ව ඇතැයි කියා වුවත් එය කොලේ වසා ගැසීමක් බව අනාවරණ වූයේ මැති ඇමැතිවරුන්ගේ නම් වෙනුවට මත්පැන් හල් පවත්වාගෙන යන පුද්ගලයන්ගේ සහ ආයතනවල නම් පමණක් එහි සඳන්ව තිබීම හේතුවෙනි. ඒ අනුව නැවත වතාවක් අප සටන ආරම්භ කරමින් මත්පැන් බලපත්‍ර ලබාගත් සහ ඊට රෙකමදාරු කළ මන්ත්‍රී නම් ලැයිස්තුවද වහාම මාලිමා ආණ්ඩුව රටට හෙළිදරව් කළ යුතු බව කියා සිටියෙමු. ඒ මොහොතේ අප ගෙනගිය සටනට දකුණේ මන්ත්‍රීවරු පමණක් නොව, උතුරු නැගෙනහිර සුමන්තිරන්, රාසමානික්කම් වැනි මන්ත්‍රීවරුන්ද සහාය දැක්වූහ. නමුත් මාලිමා ආණ්ඩුව ඒ මන්ත්‍රී නම් ලැයිස්තුව හෙළිදරව් නොකොට හීන්සීරුවේ එය යටගැසීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් මෙම නම් ලැයිස්තුව ඉල්ලා ඒ වනවිට අධිකරණ හමුවේ නඩුවක් ගොනුකිරීමට මාතලේ ප්‍රදේශයේ තංගවේලු ධනේන්ද්‍ර රාජා නැමැති අයකු කටයුතු කර තිබිණි. ඒ අනුව පසුගිය සතියේ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති නඩු විභාගයේදී ඉතා හොඳ තීන්දුවක් ලැබිණ. එහිදී විනිසුරු මඩුල්ල නඩුව ඉදිරියට ගෙන යෑමට තීන්දුව දුන්නා පමණක් නොව මැතිවරණ සමයේදී සහ ඉන් එපිට සමයේදී නීති විරෝධී අයුරින් මත්පැන් බලපත්‍ර ලබාදුන් සියලු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුවටත්, ඊට අදාළ ආයතනවලටත් නියෝග කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඉදිරි නඩු වාරයේදී මෙම ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත. ඒ අනුව එම මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණය විසින් තීන්දු කරනු ඇත. ඒ අනුව අප මෙතෙක් ගෙනගිය සටන ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරයට ඇත්තේ නිහතමානී ආඩම්බරයක් සහ සතුටකි. එමෙන්ම අප දැන් බලා සිටින්නේ රනිල්ගේ කාලවකවානුවේදී මන්ත්‍රීවරුන් බාගැනීම සඳහා බෙදාදුන් අල්ලස් මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් අදාළ වගකිව යුත්තන්ට අධිකරණය ලබාදෙන දඬුවම දෙසය.

නලින්දත් බිමල්ට එරෙහිවද?

ආණ්ඩුව ඇතුළේ යම් දේශපාලන අර්බුදයක් ගොඩනැගෙමින් පවතින බව මුලින්ම රටට අනාවරණ කළේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය. වරින් වර එහි අභ්‍යන්තර තොරතුරු රටට අනාවරණ කරමින් ආණ්ඩුව ඇතුළේ මාලිමාව සහ ජවිපෙ අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බවත්, ඊට උදාහරණත් ඒ අනුව වරින් වර අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කළෙමු. අප කළ එම අනාවරණයන් 100%ක්ම නිවැරැදි බව තහවුරු වූයේ මීට සති දෙකකට ඉහතදී ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයා මෙන්ම ජවිපෙ ඊළඟ නායකයා ලෙස සැලකෙන බිමල් රත්නායක මහතා රාජ්‍ය මාධ්‍යයට පැමිණ කළ ප්‍රකාශයක් හරහාය. එහිදී අප කී කරුණු තහවුරු කරමින් බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බවත්, තමන්ගේද ඇතුළුව අමාත්‍ය තනතුරු සංශෝධනය කිරීමක් සහ වගකීම් මාරුකිරීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බවත්ය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ අප කී ආකාරයටම මේ අර්බුදය පිළිබඳ සාකච්ඡා වී ඇති බවත්, ඒ අනුව ඇමැතිවරුන්ගේ සංශෝධනයක් සිදුකිරීමට ජවිපෙ තීන්දු කර ඇති බවත් බිමල්ගේ කතාව හරහා තහවුරු විය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජවිපෙ ඇතුළේ බරපතළ සංවාදයක් මතුව ඇති බවද තහවුරු විය. ඒ හේතුව නිසාම අප බිමල් කළ එම කතාව එම සතියේ ‘මව්රට’ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස රටට අනාවරණ කිරීමටද පියවර ගත්තෙමු.

කෙසේ වෙතත් අප කළ මෙම අනාවරණයත් සමග මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ ඉතා තීරණාත්මක සාකච්ඡාවන් රැසක් සිදුව ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මේ වනවිට බිමල් කළ අනාවරණය වෙන පැත්තකට හැරෙන ලකුණු ජවිපෙ පැත්තෙන් පහළ කොට තිබේ. එය පළමු වරට මාධ්‍යයට ප්‍රකාශ කළේ සුනිල් හඳුන්නෙත්තිය. හෙතෙම පෞද්ගලික මාධ්‍යයක් සමග පැවැති සංවාදයකදී ප්‍රසිද්ධියේම කියා සිටියේ එවැනි කිසිදු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නැති බවත්, ආණ්ඩුවේ එන්ජිම හොඳට වැඩකරන බවත්ය. හඳුන්නෙත්තිගේ මේ කතාව එක්තරා ආකාරයකට බිමල් කළ අනාවරණයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැලකිය හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණ.

එපමණක් නොව පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්සා මහතාගෙන්ද මාධ්‍යවේදීන් මේ කැබිනට් සංශෝධන කතාව ප්‍රශ්න කර සිටියේය. එහිදී නලින්දද කෙළින්ම කියා සිටියේ එවැනි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත්, එවැනි වුවමනාවක් ආණ්ඩුවට නොමැති බවත්ය. මෙය ඇතැම් කණ්ඩායම් සහ මාධ්‍ය විසින් නිර්මාණය කර ඇති අසත්‍යයක් බවද නලින්ද එහිදී කියා සිටියේය. ඒ අනුව බිමල් පැහැදිලිවම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට තීන්දු කොට තිබියදී නලින්ද කළ මෙම ප්‍රකාශයද බිමල් හට කළ එක්තරා ආකාරයක ප්‍රහාරයක් හා සමාන විය.

අනුර කොතනද?

කෙසේ වෙතත් බිමල්ගේ ප්‍රකාශයත් හඳුන්නෙත්තිගේ සහ නලින්දගේ ප්‍රකාශයනුත් හේතුකොට ගෙන ආණ්ඩුව ඇතුළේ එක්තරා ආකාරයක බෙදීමක් මතුව ඇති බවක් පැහැදිලිවම දැකගන්නට තිබේ. බිමල් මෙවැනි ප්‍රකාශයක් කර තිබියදී හඳුන්නෙත්ති සහ නලින්ද මේ අයුරින් ඊට ප්‍රතිචාර දැක්වූයේ තමන්ගේ තමන්ගේ තනි මතයට යැයි කිසිසේත්ම සිතිය නොහැකිය. බොහෝ දුරට එය ආණ්ඩුවේ ප්‍රධානීන් සහ සාකච්ඡා කිරීමෙන් පසුව සිදුකළ එකක් බවට අනුමාන කළ හැකිය.

ඒ අනුව මේ වනවිට සියලු දෙනාම බලා සිටින්නේ මෙම මත ගැටුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක්ද කියා දැකබලා ගැනීමටය. ඒ අනුව ‘රාජ්‍ය රහස්’ තීරයට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමකින් පසුවනවා යැයි කියාය. එය කුමක්ද යන්න පිළිබඳ තවමත් අනාවරණ වී නොමැත.

කෙසේ වෙතත් මේ ආකාරයට තමන් කළ ප්‍රකාශයකට ජවිපෙම ප්‍රධාන ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රතිචාර දැක්වීමෙන් පසු බිමල් ඊට පිළිතුරු සපයන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දෙනා අවධානයෙන් සිටියහ. ඇතැමුන් කියා තිබුණේ නිසැක වශයෙන්ම බිමල්ද ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි කියාය. නමුත් බිමල් ඊට පිළිතුරු දුන්නේ රාජ්‍යතාන්ත්‍රික ආකාරයටය. ඒ තමා කළ ප්‍රකාශය අසත්‍යයක් බව හඳුන්නෙත්ති සහ නලින්ද කියද්දීත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවට සහ ආණ්ඩුවේ එන්ජිම වෙනස් කරන බවට තමන් කළ ප්‍රකාශයට අදාළ වීඩියෝ පටය ඒ අයුරින්ම සිය ෆේස්බුක් පිටුවේ තියෙන්නට හැරීමය. ඒ හරහා බිමල් පෙන්වා සිටියේ තමන් කළ ප්‍රකාශය නිවැරැදි බවත්, තමන් තවදුරටත් එම ප්‍රකාශයේ සිටින බවත්ය. වෙනත් පක්ෂයක නම් මෙවැනි ප්‍රබල ප්‍රතිචාරයක් ලැබුණු විට ඊට අදාළ පෝස්ටුව ඉවත් කිරීමට කටයුතු කරන නමුත් බිමල්ගේ ෆේස්බුක් පිටුවේ තවමත් මෙම ප්‍රකාශය තිබෙන ආකාරයක්ද දැකගැනීමට පුළුවන.

මීට අමතරව පසුගිය සතියේදී වියට්නාමයේ ප්‍රබල දූත පිරිසක්ද ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර, ඔවුන් කණ්ඩායම ජවිපෙ පක්ෂ කාර්යාලයටද පැමිණීමට පියවර ගෙන තිබිණි. එහිදී වියට්නාම දූත පිරිස සමග සාකච්ඡාවට ජවිපෙන් එක්ව සිටියේ පක්ෂ මහලේකම් ටිල්විනුත්, ඔහුගේ වම් අත පැත්තෙන් බිමල් රත්නායකත්ය. ඒ අනුව බිමල් හා පක්ෂ මහලේකම් ටිල්වින් අතර විශේෂ සබඳතාවක් පවතින බවද මෙහිදී පැහැදිලිවම දැකගන්නට ලැබිණි.

හරිනි මොකද කරන්නේ?

ඊළඟට සියලු දෙනාම බලා සිටියේ මෙම අර්බුදයට මැදිවී සිටින අගමැතිනි හරිනි අමරසූරිය සිදුකරන දේශපාලන කටයුතු පිළිබඳවය. බිමල් කළ කතාවෙන් පසු බොහෝ දෙනා එය විග්‍රහ කරමින් කියා සිටියේ එම කතාව හරහා හරිනි අගමැති තනතුරෙන් ඉවත් කිරීමේ සැලසුමක් පිළිබඳ පෙනෙන්නට තිබුණා යැයි කියාය. නමුත් පසුගිය සතියේ අප මෙම තීරයෙන් කියා සිටියේ තමන්ට එරෙහිව ජවිපෙ ඇතුළෙන් යම් විරෝධයක් මතුවෙද්දී පවා හරිනි පසුනොබැස දිගටම සටන් වැදීමට තීරණය කොට ඇති බවකි. විශේෂයෙන්ම හරිනි යනු ලේසිපහසු චරියක් නොවන බවත්, රැඩිකල් චරිතයක් බවත්, තමන්ට පහරදීමට පැමිණෙන පිරිසට පෙරළා පහරදෙන ජාතියේ චරිතයක් බවත් අපි එහිදී කියා සිටියෙමු. හරිනිට ප්‍රහාර එල්ල කොට ඇය දේශපාලන සිතියමෙන් ඉවත් කිරීමට හැකි බවක් කවුරු හෝ සිතනවා නම් එය ලොකු අත්වැරැද්දක් බවද අප එහිදී කියා සිටියෙමු.

ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවන්නේ හරිනි මේ වනවිට තීන්දු කොට ඇත්තේ මෙම ගැටුමින් පළා නොගොස් ඊට මුහුණ දීමට බවය. ඊට ආරම්භයක් වශයෙන් ඇය මේ දිනවල සිය අමාත්‍යාංශවල කටයුතුවලට සක්‍රීයව දායක වී සිටින ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි තීන්දු තීරණ කීපයක්ම පසුගිය සතියේ ඇය විසින් ගනු ලැබ තිබිණි. ඉන් ප්‍රධානම එකක් වී ඇත්තේ සරසවිවල සිදුකරන නවක වධ සිදුවීම්වලට එරෙහිව කටයුතු කිරීමට ඇය ගෙන ඇති තීන්දුවය. පසුගිය කාලය පුරාම එම නවක වධ සිදුවීම්වලදී බොහෝ පාර්ශ්වලින් චෝදනා එල්ල වූයේ ජවිපෙට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාර මෙහි පසුපස සිටිනවා යැයි කියාය. විවිධ ආණ්ඩු බලයට පත්වුවද සරසවි තුළ ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය ඉතා ප්‍රබලය ක්‍රියාකාරීව සිටි බැවින් ඊට එරෙහිව කිසිවක් කිරීමට ඒ ඒ ආණ්ඩුවලට නොහැකි වී තිබිණි. නමුත් ඒ වනවිට ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවක් යටතේම හරිනි තීන්දු කොට ඇත්තේ නවක වධය දීමේ සිදුවීම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නටය. ඒ අනුව පෙනී යන්නේ තමන්ට එරෙහිව එල්ල වන අභියෝගයේදී අමුතුම ආකාරයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හරිනි කටයුතු කරමින් සිටිනවා යැයි කියාය.

මේ අතර, පසුගිය සතියේ අප හරිනි සම්බන්ධයෙන් තවත් විශේෂ අනාවරණයන් කීපයක්ම කළෙමු. එහිදී අප කියා සිටියේ හරිනි සමග කිසියම් සබඳතාවක් ගොඩනගා ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටිනවා යැයි කියාය. ඒ අනුව රනිල්ගේ සමීපතමයකු වන මිලින්ද මොරගොඩට අයත් පාත්ෆයින්ඩර් ආයතනය මගින් සංවිධාන කළ උත්සවයකට හරිනිව ගෙන්වා ගැනීමට සැලසුම් කළ ආකාරයද අපි අනාවරණ කළෙමු. පළමුව එම ආරාධනාව භාරගෙන පසුව ඊට සහභාගි විය නොහැකි බවට හරිනි දැනුම් දී තිබූ බවද අප එහිදී අනාවරණ කර සිටියෙමු. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ තොරතුරු වාර්තා වීමෙන් පසු ජනාධිපතිවරයාද යම් තිගැස්මකට ලක්ව සිටි බවකි. ඒ අනුව කිසියම් වුවමනාවක් සඳහා රනිල් විසින් හරිනිව පාවිච්චි කරනවාද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස සීරුවෙන් සිට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මේ සඳහා බලපෑ විශේෂ සිදුවීමක්ද තිබේ. ඒ, හරිනි සම්බන්ධයෙන් රනිල් තැන් කීපයකදීම කියා ඇති කතාවකි. එහිදී රනිල් කියා ඇත්තේ ‘අපි වැඩිය කලබල වෙන්න ඕනේ නෑ. ඊළග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විදියට හරිනි ගේන්න තමයි අපි සැලසුම් කරන්න ඕනේ. මොකද හරිනිට පුළුවන් සියලු පාර්ශ්ව එකතු කරගන්න’ යැයි කියාය.

රනිල් මේ කතාව නිතරම විවිධ කණ්ඩායම්වලට කියන්නේ කුමන පරමාර්ථයෙන්ද යන්න පිළිබඳ නොදන්නා නමුත් බොහෝ දෙනා කියන්නේ කොළඹ නගර මැද පිහිටි සුප්‍රකට දේශපාලන කපුකම් කරන පන්සලකදී රනිල්ගේ පාර්ශ්වයෙන් හරිනිට විවිධ පණිවුඩ කීපයක්ම ලැබී ඇති බවකි. මේ බව අනුරද නොදන්නාව නොවේ. ඒ අනුව අනුරද පහුගිය දිනවලදී රනිල්-හරිනි ගැන කියන කතා ඇත්තටම කියන ඒවාද, එසේත් නොමැති නම් කෙටවීම සඳහා කියන ඒවාද, නැතිනම් ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණෙන් යුතුව කියන ඒවාද යන්න පිළිබඳ සොයමින් සිටින බවක් දැනගන්නට ඇත.

රනිල් හොරෙන්ම රුසියාවට

සාමාන්‍යයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් සම්බන්ධයෙන් රටට පෙන්වා සිටින්නේ ඉහළ තලයේ ජාත්‍යන්තර සබඳතා ඇති අයෙකු ලෙසටය. තමන්ට වඩා ජාත්‍යන්තර සබඳතා ඇති අයකු ලංකා දේශපාලනයේ නොමැති ලෙසටය. තමන්ට නිතරම ජාත්‍යන්තර දේශපාලනයේ නිරත කීර්තිමත් පුද්ගලයන් හමුවනවා සහ කතාබහ කරන ලෙසටය. නමුත් පසුගිය කාලය පුරාම ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විසින් රනිල් ගෙනගිය මේ ප්‍රචාරය අමු බොරුවක් බව පෙන්වා දුන්නෙමු. ඒ කියන ආකාරයේ ජාත්‍යන්තර සබඳතා රනිල්ට නොමැති බව කියා සිටියෙමු. ඊට උදාහරණද වරින් වර පෙන්වා දුන් අප රනිල් ජනාධිපතිකම් කළ කාලයේදී මේ කියන ජාත්‍යන්තර සබඳතාවලින් රටට සත පහක වැඩක් නොවුණු බවද අප පෙන්වා දුන්නෙමු.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසු රනිල් අවස්ථා කීපයකදීම රට රටවල දේශන පැවැත්වීමට යැයි කියමින් විදෙස්ගත වුවද ඒ සෑම එකක්ම එම රටවලින් සිදුකළ ආරාධනාවන් නොව, රනිල් විසින් ඉල්ලාගෙන ගිය ඒවා විය. කිසියම් රටක සමුළුවක් පැවැත්වෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා හිටපු ජනාධිපතිවරයා වශයෙන් ඊට සහභාගි වීම සඳහා අයැදුම් කිරීම රනිල්ගේ සිරිතය.

පසුගිය සතියේදීද මේ හා සමාන සිදුවීමක් වාර්තා විය. ඒ, පසුගිය සතියේදී රනිල් ගිය සිංගප්පූරු සංචාරය අතරවාරයේදීය. රනිල් මෙම සංචාරයට ගියේ කරුණු දෙකක් මුල්කරගෙනය. ඉන් එකක් වූයේ පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීමය. දෙවැන්න එහි ජාතික විශ්වවිද්‍යාලයක දේශනයක් පැවැත්වීමටය. නමුත් රනිල් තමන්ට හිතවත් මාධ්‍යවල පළ කළේ සම්මන්ත්‍රණයක දේශනයක් පැවැත්වීම සඳහා සිංගප්පූරුවට යනවා යැයි කියාය.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ සිටියදී රනිල් හිටපු සිංගප්පූරු අගමැති සියෑං ලූන්ග් මහතා හමුවීමට දැඩි උත්සාහයක් දැරුවේය. සිංගප්පූරු බලධාරීන්ගෙන් දිගින් දිගටම ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළේය. නමුත් ඒ සෑම අවස්ථාවකදීම සිංගප්පූරු බලධාරීන් කියා සිටියේ රනිල් ලංකාවේ සිටි රාජ්‍ය නායකයා වී සිටියද, මේ කියන ආකාරයට හිටපු අගමැතිවරයා හමුවීමට අවස්ථාව ලබාදිය නොහැකි බවය. එය ජාත්‍යන්තර ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීමක් බවද සිංගප්පූරු බලධාරීහු රනිල්ට දැනුම් දී සිටියහ. ඒ අනුව වෙනත් මාර්ගයකින් පෞද්ගලිකව හෝ සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා හමුවීමට රනිල් දැඩි උත්සාහයක් දැරුවත් අවසන් මොහොත වන තෙක්ම එයද සාර්ථක කරගැනීමට රනිල්ට නොහැකි විය. ඒ අනුව රනිල් සිය සිංගප්පූරු සංචාරය නිමවා ලංකාවට පැමිණියේ හිස් අතින් වීම විශේෂ සිදුවීමක් විය.

මීට අමතරව මේ කියන්නට යන්නේ ලබන 12 වැනිදා රනිල් සිදුකිරීමට යන තවත් විදේශ සංචාරයක් පිළිබඳවය. මෙවර රනිල් යන්නේ කිසිවකුත් නොසිතන රුසියාවටය. සාමාන්‍යයෙන් ඇමෙරිකාවට හෝ එංගලන්තයට රනිල්ගේ යෑම අමුතු එකක් නොවුණද රුසියාවට යෑම තරමක් අමුතු එකක් වී ඇත්තේ එදා සිටම රනිල් දැරූ අතිදක්ෂිණාංශික ප්‍රතිපත්තිය හේතුකොට ගෙනය. ඒ අනුව රනිල් රුසියා ගොස් නැවතීමට තීන්දු කොට ඇත්තේ ශාන්ත පීටර්ස්බර්ග්වලය. මේ පිළිබඳ තවත් තොරතුරු සොයාගෙන යද්දී අපට දැනගන්නට ලැබුණේ මෙම සංචාරය සංවිධාන කිරීම සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන විශාල වැඩකොටසක් සිදුකොට ඇති බවය. ඒ, රුසියාවේ මෙන්ම ලංකාවේද බොහෝ ව්‍යාපාර සිදුකරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු හරහාය. ඔහුට වජිර සමග බොහෝ සබඳතා ඇති බව කියැවේ. එමෙන්ම රනිල් රුසියා යන්නේද ආරාධනාවක් අනුව නොව, තමන් විසින් ඉල්ලාගෙන යන සංචාරයක් ලෙසටය. ඒ අනුව රනිල් රුසියාවට යන්නේ කුමකටද ඔහු නතර වෙන්නේ කොහේද, රනිල් සහභාගි වන සම්මන්ත්‍රණය කුමක්ද, රනිල්ට රුසියාවේදී පහසුකම් සලසන්නේ කවුරුන්ද යන්න පිළීබඳ මේ වනවිට සියලු තොරතුරු යම් යම් පාර්ශ්වයන් විසින් සොයාගෙන ඇති බවක්ද ආරංචිය.

සජිත් අතුරුදන්

පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමත් සමග සුපුරුදු පරිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට රට තුළ පැනනැගී ඇති ප්‍රශ්න කීපයක් පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු කිරීමට පියවර ගත්තේය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වනතෙක් සභාවේ රැඳී සිටීම සජිත්ගේ සිරිත වුවද සිය කතාව අවසන් කළ සැණින් එදින සජිත් පාර්ලිමේන්තුවෙන් පිටව යනු බොහෝ දෙනාට දැකගත හැකි විය. ඒ පිළිබඳ සොයා බලද්දී බොහෝ දෙනාට දැනගන්නට හැකි වූයේ යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් සජිත් පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් ඇති බවකි. ඒ අනුව සජිත් පසුගිය සතියම ගත කළේ සිය නිවසට වී විවේක සුවයෙනි. එසේ සිටියද පළාත් පාලන ආයතනවල බලය ඇල්ලීමේ සටන අත්හැරීමට සජිත් කටයුතු කළේ නැත. නිරතුරුවම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සමග දුරකතනයෙන් සාකච්ඡා කරමින් පළාත් පාලන ආයනවල බලය පිහිටුවීම පිළිබඳ සැලසුම් සකස් කිරීමට අසනීපව සිටි දින කිහිපය ඇතුළත සජිත් පියවර ගෙන තිබිණි.

මේ අතර, පසුගිය සතියේ සජිත් අපූරු ඡායාරූපයක්ද සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමට පියවර ගත්තේය. ඒ, සජිත්ගේ දියණියගේ දෙවැනි උපන් දිනය නිමිත්තෙන් ගත් ප්‍රේමදාස පවුල එකට සිටින ඡායාරූපයකි. මෙම ඡායාරූපය පසුගිය සතියේ කෙතරම් වයිරල් වූවාද කියනවා නම් ඡායාරූපය පළකොට දිනක් යෑමට මත්තෙන් වාර්තා රැසක් තබමින් ඊට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව තිබූ ආකාරයක් දැකගත හැකි විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රනිල් හොරෙන්ම රුසියාවට! Sri Lanka Latest News

Next Post

ඇතුළට ගියා එළියට ආවා! චාමර මුළු පාර්ලිමේන්තුවම හෙල්ලුවා! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.