අපේ පරම්පරාව බියෙන් සලිත කළ ඛේදජනක මෙන්ම අඳුරු දශක තුනක අවසානය සනිටුහන් කිරීම වෙනුවන් මව්බිම හැර අන් සියල්ල දෙවැනි කොට සකලමින් ඇස්ඉස් මස් ලේ දන් දෙමින්ද ජීවිත පූජා කරමින්ද රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ පින්බිමෙන් අතුගා දමා යුද බිය නැති රටක් බිහිකරනු වස් කැපකිරීම් කළාවූ විරුවන් වෙනුවෙන් උපහාර පිදීමක් වශයෙ මෙරට චෛත්‍ය වංශ කතාවට නවමු පරිච්ඡේදයක් එකතු කරමින් සඳහිරු සෑය ඉදිවෙයි.
එවකට ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උදාරතර සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සඳහිරුසෑය ඉදිකිරීම ආරම්භ කෙරුණි. මෙහි සියලු ඉදිකිරීම ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සම්පූර්ණ ශ්‍රම දායකත්වය මත සිදුවන නිසා මෙහි සියලු කටයුතු සිදුවන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේය.
සඳහිරුසෑය ඉදිවන භූමිය මහමෙව්නා උයනේ ඉපැරණි ගැල්ගාල පිහිටි ස්ථානය ලෙස සැලකෙන අතර පුරාවිද්‍යා නිලධාරීන්ගේ මතයට අනුව එළාර දුටුගැමුණු යුද්ධය අවසන් කළ භූමිය ද මෙය ලෙස සැලකේ. සඳහිරු සෑය ලෙසින් මේ ගොඩනැගෙන්නේ අභිමානවත් ජාතියක ඓතිහාසික ශිෂ්ඨාචාරයේ නොබිඳුණු අභිමානය හා බැඳුණු ඒකාත්මික සබැඳියාවේ මානව ප්‍රේම ප‍්‍රකාශනයයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් සඳහිරුසෑය ඉදිකිරීමේ කටයුතු මේවන විට කඩිනම් කර ඇති අතර ඊට සමඟාමීව ගුවන් හා නාවික හමුදාවන් විසින් සිය දායත්වයද ඉහළ නංවා ඇත.
මේවන විට සඳහිරුසෑය ව්‍යාපෘතිය යටතේ ඇති සඳහිරුසෑය ව්‍යාපෘති සම්බන්ධීකරණ කාර්යාලය, සඳහිරුසෑය ස්තූප භූමිය, ඇලයාපත්තුව/ බෝගොඩ/අම්පාර/ මහියංගණය / බිංගිරිය / ගල්කඩවල ආදී විශේෂ ගඩොල් ව්‍යාපෘති, කළුගඟ – දර ව්‍යාපෘතිය සහ නාවුල – හුණුගල් ව්‍යාපෘතිය ආදී ව්‍යෘපෘතිවල ත්‍රිවිධ හමුදා නිලධාරීන් 19 ක් සහ සෙසු නිලයින් 1627 ක් ශ්‍රමදායකත්වය ලබා දෙති.

2010 වසරේ නොවැම්බර් මස 11 වැනි දිනට යෙදුණු සුබ මොහොතින් අටමස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඤායනා මධ්‍යයේ මෙම ස්ථූපයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර නොවැම්බර් 22 දින ස්ථූප පාදමෙහි මුල්ගල තැබීම සහ නිධන් වස්තු තැන්පත්කිරීම සිදුකෙරුණි. එලෙස ඇරඹි සඳහිරුසෑය දැනට අඩි 96ක් දක්වා ගොඩනඟා ඇති අතර එම ප්‍රමාණය සමස්ථ ව්‍යාපෘතියෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයකි.

වර්තමානයේ අපේ වීරත්වය පෞඪත්වය විදහාපාන දැවැන්ත ඉදිකිරීම වන්නේ සඳහිරුසෑයයි. උස අඩි 282.6කින්ද වට ප්‍රමාණය අඩි 800 කින්ද යුතු දැවැන්ත නිර්මාණයක් බිහිවන්නේ අවුරුදු අටසිය හැට ගණනකට පසුවය. එනම් ක්‍රිව 1153 දී පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයේ දී ඉදිකළ දෙමළ මහාසෑයට පසුවයි. මෙම චෛත්‍යයේ සුවිශේෂීත්වය වන්නේ චෛත්‍ය ගර්භය පස් පිරවීමකින් තොරව සහ කිසිදු කුහරයක් නොමැතිව ස්තූප ගඩොලින් පමණක්ම ඉදිවීමයි. ස්තූප ගඩොලක් අඟල් 16×8×2 ප්‍රමාණයෙන් යුක්තය.මේ චෛත්‍යය නිමකිරීමේ දී ගඩොල් 16,773,278ක් සිමෙන්ති කිලෝ 50 මිටි 139,689 ක් අළුහුණු කිලෝ 7,969,603ක් වැලි කියුබ් 12,926,41ක් මෙටල් කියුබ් 501,03ක් සහ කළුගල් කියුබ් 6439 ක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු කර තිබේ. මේ සියල්ලම සම්පාදනය කරගනු ලබන්නේ වීරෝධාර රණවිරුවන් විසිනි. එපමණක් නොව මෙම ස්ථූඵය නිර්මාණය කරනන්ට වැයවන මුදල් ප්‍රතිපාදන සඳහාද සියලුම රණවිරුවන් සෑම මසකම සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරනු ලබයි. එම වැලි ප‍්‍රමාණය ලබාදීමට ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව දායකත්වය ලබාදෙනු ලබන අතර කළු ගල් සැපයීම සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ය.
මේ චෛත්‍යයේ පාදම ඉදිකරනු ලැබුවේ පිහිටි පොළවේ සිට මව් පාෂාණය දක්වා සෑය ඉදිකර තිබෙන භූමියේ ස්වාභාවිකව පිහිටි පොළොව අභ්‍යන්තරයේ කළු ගල දක්වා අඩි 45 ක් පමණ හාරා සම්පූර්ණයෙන්ම පස් ඉවත් කිරීමෙනි. ඉන් පසුව මව්පාෂාණය මත අඟල් 6×9 ප‍්‍රමාණයේ කළුගල් කියුබ් 6464 ක ප්‍රමණයක් තට්ටුවශයෙන් අතුරා ඒ මත තවත් ඒ බී සී ගල් කියුබ් 5401 ක මිශ‍්‍රණයක් ලෙස යොදා ගනිමින් ජලය යොදා ටොන් විස්සක් බරැති ගල් රෝලකින් තලා පොළොව මතුපිට දක්වාම කෘතීම කළු ගලක් නිර්මාණය කර ඇත. සෑය ඉදි කර තිබෙන්නේ ඒ මතයි. ඒසේම පාදම වටා අඩි පහක ඝණකමකින් යුතු කොංක්‍රීට් ප්‍රාකාරයක් ඉදිකර පාදම තවත් ශක්තිමත් කර තිබේ.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උපදේශකත්වය සහ සහය ලැබී ඇති අතර මේ සැමගේ දැනුම සහ අත්දැකීම් තුලින් ශ‍්‍රී ලාංකේය ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් සඳහිරු සෑය විරාජමානව ඉදිවෙමින් පවතී.
සඳහිරුසෑය ඉදිකිරීමට අවැසි ගඩොල් අවශ්‍යතාවය සැපිරීමට ශ‍්‍රී ලංකා පිඟන් ගඩොල් සංස්ථාවට අයත් ගල්කඩවල, ඇලයාපත්තුව, මහියංගනය, අම්පාර, ඇඹිලිපිටිය, නාරම්මල, බිංගිරිය, යටියන හා වෑඋඩ යන ප‍්‍රදේශවල පිහිටි උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවලදී ත‍්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය රණවිරුවන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ගඩොල් නිෂ්පාදනය සිදු කෙරුණි. මේවන විට ඇලයාපත්තුව, තන්තිරිමලය, බෝගොඩ, සහ අම්පාර යන කර්මාන්තශාලාවල යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගඩොල් නිෂ්පාදනය කරන අතර ගල්කඩවල කර්මාන්තශාලාවේ ගඩොල් නිෂ්පාදනය කරනු ලබන්නේ නාවික හමුදාව විසිනි. ගුවන් හමුදාව විසින් බිංගිරිය සහ මහියන්ගනය කර්මාන්තශාලාවල ගඩොල් නිෂ්පාදනය කරනු ලබයි.
මේ අතර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා අළුහුණු අවශ්‍යතාව සපුරා ගැනීමට, අති විශාල මුදලක් වැය කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවට සිදුවූ නිසාවෙන් මාතලේ නාවුල සේරුදණ්ඩාපල හුණුගල් නිධියෙන් කඩා අනුරාධපුර ඇලයාපත්තුව කර්මාන්ත ශාලාවේදී යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අළුහුණු නිෂ්පාදනය සිදු සිදු කෙරේ.

ගඩොල් ව්‍යාපෘති සඳහා අවශ්‍ය දර ලබා ගැනීම මොරගහකන්ද ව්‍යෘපෘතියේ ජලයෙන් යටවන ප්‍රදේශයෙන් සිදුකරනු ලබන අතර ඊට යුද්ධ හමුදාවත් නාවික හමුදාවත් ශ්‍රමදායකත්වය සපයනු ලබයි. එසේම පුත්තලම තබ්බෝව ප්‍රදේශයෙන් කලපු අන්දර ඉවත් කිරීමේ ව්‍යාපෘතියෙන්ම මේ සඳහා දර සැපයීඹ සිදුකරනු ලබයි. ඊට අමතරව යුද්ධ හමුදාව විසින් කනගරායන්කුලම් සිටත් නාවික හමුදාව සිලාවතුර ප්‍රදේශයේ කල්ලාරු ඔයෙන් ලබාගන්නා වැලි ව්‍යාපෘතිය වෙත ප්‍රවාහනය කරනු ලැබීය.
මෙහි තවත් සුවිශේෂීත්වයක් තිබේ. ඒ අපේ පුරාණ චෛත්‍යයේ තිබෙන ඇත්පවුර මෙහි දක්නට නොලැබීමයි. ඇත් පවුර වෙනුවෙට සඳහිරුසෑයේ දක්නට ලැබෙන්නේ කලුගලින් කළ කැටයම්ය. එවන් කැටයම් සහිත කලුගල් පුවරු 200ක් සඳහිරුසෑය වටා ඉදිකෙරෙන අතර එහි බුද්ධ චරිතය, ශ්‍රී ලංකා ඉතිහාසය, ඇතුළු කැටයම් රාශියකින් ඔපවත් කෙරෙයි.
මේ පිළිබඳ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල ගුණරත්න මහතා මෙසේ පැවසීය.
තිස්වසරක් පුරා පැවති අපේ මව්බිම වසා ගත් කුරිරු යුද්ධය 2009 මැයි මාසේ 19 වැනිදා සම්පූර්ණයෙන්ම තුරන් කළා. මේ යෝධ ක්‍රියාවලියේ දී ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 29000කට අධික සංඛ්‍යාවක් මිය ගියා. හැට දහසකට අධික තුවාල ලැබුවා. ඉන් දාහතර දහසකට අධික සංඛ්‍යාවක් අදටත් බරපතල ලෙස තුවාල ලැබීම නිසා ජීවිත කාලය පුරාවටම ඇඳනවලට රෝද පුටුවලට සීමා වෙලා ඉන්නවා. ඉතින් යුද්ධය අවසන් වුනාට පස්සේ මියගිය සහ තුවාල ලැබූ සියලුම නිලධාරීන් සහ සෙබළුන් සහ යුද්ධයේ දී දරදියඇද්ද සියලුම දෙනාට කෘතගුණ සැලකීම පිණිස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එකතු වෙලා යෝජනා කරපු සංකල්පයක් විදිහට තමයි මේ සඳහිරුසෑය ඉදිකරන්නපටන් ගන්නේ. මීට මුල්ගල තියලා අදවන විට වසර එකොළහක කාලයක් ගත වෙලා තියෙනවා. මේ චෛත්‍යය සම්පූර්ණයෙන්ම ගොඩනඟන්නේ අපේ හමුදාවල නිලධාරීන්ගේ සෙබළුන්ගේ මුදල්වලින්. ඒ වගේම අපේ දානපතියනුත් මෙ වෙනුවෙන් දායක වෙලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය ගඩොල් පවා නිෂ්පාදනය කරන්නේ අපේ සෙබළුන්. දැනට මෙහි තුනෙන් දෙකක වැඩ කොටසක් අවසන් කරලා තියෙනවා. සඳහිරසෑය අපේ අටමස්ථාන පුදබිමේ පිහිටලා තියෙන්නේ. අපේ බෞද්ධ ජනතාවට වැඳපුදාගන්න පුළුවන් තවත් ඓතිහාසික සිද්ධස්ථානයක් බවට ඉක්මනට ම පත්වේවි.යැයි ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
වසර 2150කට පෙර ක්‍රිස්තුපූර්ව 161ත් 137ත් අතර ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය දැරූ දුටුගැමුණු රජතුමා වසර තුනහමාරක කාලයක් යුද්ධ කර ත්‍රී සිංහලය එක්සේසත් කර ගැනීමෙන් පසුව මිරිසවැටිය ස්ථූපය නිර්මාණය කරනු ලැබීය. ඒ ලෙයින් රුධිරයෙන්, දහඩියෙන්, කඳුළෙන් තෙත් වූ මහපොලවේ අධ්‍යාත්මික සශ්‍රීකත්වය වගාකිරීම පිණිසයි. එසේම වලගම්බා රජු යුද්ධය අවසන් වූ පසු අභයගිරිය චෛත්‍යය ඉදිකරනු ලැබීමය. මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකරනු ලැබුවේ ද යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුවය.
ඒ අනුව යුද්ධයක්අවසන් වූ පසු අනිවාර්යෙන්ම අධ්‍යාත්මික පුදබිමක් ඉදිකළ බවට ඕනෑ තරම් සාක්ෂි වංශකතා සාහිත්‍යයේ දක්නට තිබේ. මෑත ඉතිහාසයේ ලැබූ විශාලතම ජයග්‍රහණයක් වන යුද ජයග්‍රහණයේ අපේ වීරයන් සිහිකිරීම පිණිස ඉදිවන පුණ්‍ය භූමියක් සඳහිරු සෑයයි. මෙය සැබැවින්ම 26000 ක් ජීවිත දානය දුන්, හාරදහසක පමණ ප්‍රමාණයක් අතුරුදන් වී තවත් විශාල පිරිසක් තුවාල ලබමින්, හයදහසකට ආසන්න පිරිසක් පූර්ණ කාලීන ආබාධිතයින් බවට පත් කරමින් ලබාගත් ජයග්‍රහණයේ විරුවන් උදෙසා කරන උපහාරයකි. අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුනට ගෞරව කරන්නට මෙම සුවිසල් සෑරදුන් තව නොබෝ කලකින් ජනතාභිවන්දනයට පත්වනු ඇත.
දිලංක ගුණතිලක (සඳහිරුසෑය ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකින් පසුව)











