ඉකුත් යහපාලන ආණ්ඩඩුව සමයේ ස්ථාපිත කළ ස්වාධීන සභා වත්මන් ආණ්ඩුව විසින් අකර්මණ්‍ය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපති නීතිඥයන් හා නීතීඥවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමු වූ අවස්ථාවේදීය.
එහිදී හිටපු අගමැතිවරයා සඳහන් කළේ 2015 දී විවිධ බාධක මැද රැගෙන ආ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය අද වන විට ආරක්ෂා වී ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම තුළින් මැතිවරණය ස්වාධීනව කරගෙන යෑමට නියෝග ලබා දීමේ හැකියාව එම නිලධාරීන්ට ලැබී ඇති බවත්, පොලිස් කොමිසම ඇති කිරිම තුළින් පොලීසිය දේශපාලනීකරණය නොවූ නිසාවෙන් දේශපාලන අවශ්‍යතාවයන්ට අනුකූලව යහපාලන කාලවකවානුවේදීද නිලධාරීන් මාරු කිරීම සිදු නොවුනු බැවින් පොලිසියට හොඳට වැඩ කරගෙන යාමට හැකියාව ලැබුණු බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු වූ දින හවස් වරුවේදීම එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබුණු බව හෙතෙම කීය.
රාජ්‍ය සේවා කොමිසම පිහිටුවීම තුළින් දේශපාලන බලපෑම්වලින් රාජ්‍ය සේවකයා ආරක්ෂා කළ බවත්, අද වන විට මේවා නැති කිරීම සඳහා පොහොට්ටුවෙන් විශාල බලපෑමක් සිදු වන බවද හිටපු අගමැතිවරයා ප්‍රකාශ කරන ලදී.
“ඡන්දය තමන්ට අවශ්‍ය දිනවල දී තමන්ට අවශ්‍ය විදිහට පවත්වා ගැනීම සඳහා අද වන විට පොහොට්ටුවේ අය මැතිවරණ කොමිසමේ සභාපතිටත් අනෙකුත් සාමාජිකයන්ටත් විශාල බලපෑමක් කරනවා. ප්‍රසිද්ධියේ ඔවුන් සඳහා බැන වදිනවා. හූල් මහත්මයාටත් සභාපතිතුමන්ටත් බොරු චෝදනා නගනවා. ක්‍රමානුකූලව මෙම කොමිසමේ ස්වාධීනත්වය නැති කිරීමට උත්සාහ දරනව. මේ වන විට පොලිස් කොමිසම නැති කරමින් පොලිස් අද නිලධාරීන් රැසක් මාරු කර තිබෙනවා. අද වන විට පොලිස් නිලධාරින් යටකරමින් හමුදා නිලධාරීන් පත් කොට තිබෙනවා. මේ දේශපාලනීකරණය නිසා පොලිසියට වැඩ කරන්න බැරි වී තිබෙනවා. කවදාවත් නොදැකපු විදිහට නිදහස් චතුරස්‍රය අභියස මළසිරුරක් දකිනවා. නීතිඥවරු පවසන්නේ එම සිදු වීම සිය දිවි නසා ගැනීමක් ලෙස පිළිගන්නා නමුත් එය ස්වෙච්ඡාවෙන් සිදුකළ සියදිවි නසා ගැනීමක් ද නැතිනම් බලෙන් සිදු වූ සියදිවි නසා ගැනීමක්ද යන්න ප්‍රශ්න සහගත බවකින් යුක්ත බවයි.”
පොලිසියට සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් නිසා තවමත් මෙය සොයා ගැනීමට නො හැකි වී තිබෙන බවද හිටපු අගමැතිවරයා සඳහන් කර සිටියේය.
රාජ්‍ය සේවා කොමිසම නිසා සිදුවී ඇති දෙය පිළිබඳව අදහස් දක්වමින් එතුමන් සඳහන් කළේ, අද රාජ්‍යය නිධාරීන් මාරු කිරීමට නොහැකි වූ කල හමුදා නිලධාරීන් ආයතන ප්‍රධානීන් ලෙස පත් කිරීමට කටයුතු කරන බවයි.
මෙරට රණවිරුවන් යුද්ධ කිරීම සඳහා ලෝකය සිටින අති දක්ෂතම කණ්ඩායමක් වන බවත් පරිපාලන නිලධාරීන් යුද්ධ කිරීමට දක්ෂ නොවන බවත්, පරිපාලන කටයුතු සඳහා ඉතා දක්ෂ පරිපාලනය පිළිබද දන්නා පුද්ගලයන් බවත් එම කටයුත්ත රණවිරුවන්ට කළ නොහැකි බවත් මෙහි දී ඔහු සඳහන් කරන ලදී.
පොහොට්ටුවට ඡන්දය ලබා දුනහොත් මේ නිදහස් වාතාවරණය නැති වී යන බවත් ඒකාධිපති පාලනයක් සඳහා නැවත යා හැකි බවත් එබැවින් එළැඹෙන අගෝස්තු පස්වෙනිදා එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.










