ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට නෝර්වීජියානු පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් අද(21) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට පත්කර ඇත.
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි සේතුපරන් අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ප්‍රශ්නකිරීම්වලට ලක්කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් නෝර්වේ බලා යාම ප්‍රමාද කළ ඔහු, ඊයේ ( 20) මැදියම් රැයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොස් ඇත්තේ යළි නෝර්වේ බලා යාමට ය.
කටාර් ගුවන් සේවය ට අයත් ගුවන් යානයකින් නෝර්වේ බලා යාමට සූදානම්ව සිටි සේතුපරන්ට රටින් පිටව යාමට නොහැකි බවත්, තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසියට අවශ්‍ය බවත් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඔහුගේ ගමනට බාධා එල්ලවී ඇති බවත්, අද (21) අලුයම 2 ට පමණ ඔහු ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) ට යොමු කළ බවත් දැනගන්නට ඇත.
කිසිවෙක් විසින් කන්කසන්තුරේ පොලීසියට කරනලද පැමිණිල්ලක් හේතුවෙන් මෙම පියවර ගත් බව ගුවන්තොටුපල නිලධාරීන් තමන්ට පැවැසූ බව සේතුපරන් පවසා ඇත.
ඒ අනුව, හෙට (2020 ජුනි 22) වන දින කන්කසන්තුරේ පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව තමන්ට එල්ල කරන චෝදනා හා ගැහැට පිළිබඳව සේතුපරන් විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම වෙතද පැමිණිලි කර තිබේ.










