ප්‍රවීණ උතුරු ඉන්දීය චිත්‍රපට නළුවකු වන ‘සුෂාන්ත් සිං රාජ්ටුට්’ සමඟ ඔහුගේ කළමනාකාරිනිය වූ චිෂා සලීයන් සති එකහමාරක් අතරතුර දින දෙකකදී සියදිවි නසාගැනීමකට ලක්වූයේ ප්‍රේක්ෂකයන් මවිතයට පත්කරවමිනි.
දිවි නසාගැනීමට මුල්වූ හේතුව ලෙස අනුමාන වූයේ ඔවුන් ඩිප්‍රෙෂන් තත්ත්වයකට බඳුන්ව සිටීමය. සුපිරි ජීවිත ගෙවන මිනිසුන් ආතතියෙන් පෙළෙන්නේ ඇයි?
සමාජ ජාලා වෙබ් අඩවියක එවැනි සිරස්තලයක් පළවූයේ ඊට ආසන්න දිනකය.
නැවතිල්ලේ සිතා බලන විට ඒ කාරණයෙහි ඇත්තක් නැත්තේම නැත. බොහෝ විට ආතතිය ඇති වන්නේ නැති බැරි හෝ යමක් කරකියා ගන්නට බැරි අසරණ මිනිසුන්ට යන හැඟීමක් සමාජය තුළ පැලපදියම්ව ඇත. ඇතැම් විට එය බොරුවක්ද නොවේය.
එහෙත්, සුපිරි මිනිසුන්ද ආතතියට මැදිවන හේතු තිබෙන බවත්, සුපිරි ජීවිත මත දවස ගෙවීම ආතතිය පිටුදැකීමට හේතුවක් නොවන බවත් යම් පිරිසක් විසින් පසුගිය සතියක එළිදරව් කොට තිබිණි. ඒ එළිදරව්වට හවුල්ව සිටියේ ඉන්දියානු සුපිරි තරු කාණ්ඩයකි.
කිං ඛාන් ලෙස කිරුළ දරා සිටින ෂාරුක් ඛාන්ද ඒ අතර ප්‍රමුඛයෙකි.
ෂාරුක් පවසා තිබුණේ 2010 අවුරුද්දෙ උරහිසෙහි ඇතිවූ තද ආබාධයක් සහ එයට කළ සැත්කමක් නිසා තමා ඉතා දරුණු මානසික පීඩනයකට බඳුන්ව සිටි බවය. ආතතියට තරාතිරම් හෝ උස් පහත් බේද නැති බව කවුරුත් සිතට ගතයුතුය. යනුවෙන් ඔහු සිය කෙටි පණිවුඩය අවසන් කොට තිබිණි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් කියා සිටියේ තමා ආතතිය සමඟ යම් කාල වකවානුවක හොඳින් මිතුරුව සිටි බවකි.
දැඩි තනිකමකින් පීඩා විඳිමින් සිටින අවදියක මම සාංකාවකට මැදිවූයේ නොදැනුවත්වමයි. දුරකතන ඇමැතුමකට පවා මම පිළිතුරු දුන්නේ නැහැ. ‘කොෆි විත් කරන්’ වැඩසටහන පවා මා වෙතින් මඟහැරුණා. දැඩි ආතතියක සිටීමට එයින් ගොඩ ආවේද මගේම උත්සාහයෙන් එම උත්සාහය ඇතිවුණේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනට අසාධාරණයක් කරන එක හොඳ මදි නිසයි.
කිසිවකු කියන්නා සේම ආතතියට සමාජ මට්ටමක් නැහැ.
දීපිකා පදුකෝන් තමා ආතතියෙන් පෙළුණු ඉතා දුක්ඛිත සමයක් ගැන කතා කළේ පද්මාවතී චිත්‍රපටය මුල්කොට ගෙනය. පද්මාවතීට ගල් මුගුරු එල්ල වන විට මම දැඩි වේදනාව සහ මානසිකව අවපීඩනය මත ‘ආතතියට’ ගොදුරු වුණා.
නිතර සුහදව අන්‍යයන් සමඟ හැසිරෙන මුඛරි මම ගොළුවකු සේ කාමරයක තනිවී අඳුර සමඟ කාලය ගෙව්වා ඇත්තටම මට හිතුණා.
‘ආතතිය මේ තරමට මිනිස් සිත් අසරණ කරන්නේ ඇයිදැයි’ කියලා.
හැබැයි මම මගේ මානසිකත්වය සමඟ සටන් කොට මා වෙනුවෙන්ම පෙනී සිට ආතතියට හොඳ අලුත් පහරක් දුන්නා.
විරාත් කෝලිගේ දඟකාර පෙම්වතිය ලෙස සිටි අවදියේ අනුෂාකා ෂර්මාද ආතතියට මැදිව සිටියාය. අනුෂාකා කීයේ විරාත් සහ තමා අතර ඇතිවූ යම් මතබේදයක් හේතුකොටගෙන තමා එයට මුහුණදුන් බවයි.
සැබැවින්ම ආතතිය කියන්නේ ඉතාම කුරිරු වද බන්ධනයකට මැදිව අප්‍රසන්න සිර ගෙදරක ගෙවන දවස් කිහිපයක අවාසනාවන්ත අත්දැකීමක් වැනි හැඟීමක්. වනේ වන හතුරෙකුටවත් ආතතිය ඇති නොවේවා යන්න මම ප්‍රාර්ථනා කරනවා.
කඩවසම් කොලු ගැටයකු ලෙස උතුරු ඉන්දියානු සිනමාව කලඹාලූ වරුන් ඩාවන්ද ආතතියට මැදිව සිටි අයකු බව ඔබ විශ්වාස කරන්නේ නැතිව ඇති.
නමුත් කෙළිදෙලෙන් ජීවිතය ගෙවන වරුන්ද ආතතියෙන් දැඩිව පීඩා විඳි තරුණයෙකි. හේතුවක් නොපැවසුවද වරුන් කීයේ ආතතිය බුර බුරා නඟින ගින්නක් තරමට මිනිසුන් දවා අළු කරන බවයි. ආතතියට මැදිව මම ලෝකයා හමුවේ එය නොපෙන්වා සිටීමට දැඩි වෙහෙසක් ගත්තා. මට ඕනෑ වූයේ ආතතිය මරාදමා මා තුළම නැඟී සිටින්නටයි.
සත්තකින් එය හරිම අසරණ බිඳවැටීමක්. නමුත් මා ජයගත්තා. ආතතියෙන් ගොඩ ඒමට කවුරු අපට අත හිත දුන්නත් අප තුළම එම ගැම්ම ඇති නොවේ නම් අප පරාද වෙනවා. ඒ ගැම්ම තුළ මා සිටියා. මම ආතතිය ජයගත්තා. වරුන් සිය සුපුරුදු සිරියාව මුහුණ පුරා පතුරවමින් කීවේ හදවතින්මය.
බොලිවුඞ් නිළි ආලියා භාට්ගේ සොහොයුරිය වූයේ ෂනීන් භාට් තමා මැදිව සිටි මානසික අවපීඩනය ගැන මෙවැනි සටහනක් සිය ඉන්ටග්‍රෑම් ගිණුමෙහි සඳහන් කළාය.
ආතතියට කිසිවිටෙක ළං නොවන්න. එය ඕනෑම සුන්දර පුද්ගලයකුගේ ජීවිත රටාව අපායකට ඇදදමන්නේය. තත්පරයෙන් තත්පරයට අපව අපේම සමීපතමයන්ගෙන් ඈත් කරලීමට දැඩිව වෙර දරයි.
ආතතිය පලා දමා ලොව හමුවේ සාමාන්‍ය අයකු ලෙස පෙර සිටීමට මට සහාය වූයේ මගේම පවුලේ ආදරණීයන්ය. ආතතිය නිසා නව යොවුන් වියේ මා ලද කම්පනයත්, මා නිසා මගේම පවුලෙ අය ලද කම්පනයත් සුළුපටු නොවේය. ඉන් ජය ගැනීමට මා තුළද යම් නැඟී සිටීමක් ඇති විය. නිවසේ මා වටා සිටි අය පොහොර දැමුවේ ඒ ගැම්මටය.
රවීනා තන්ඩන් සමාන රූ සපුවකින් හෙබි බොලිවුඞ් සහ කොලිවුඞ් නිළි තාරකාවියක වූ ඉලේනා ඩී කෲස්ද ආතතිය මුල්කර ගෙන නිර්මාණය වූ සුපිරි තරු කතාබහට එක්විය. ආතතියට කිසිදුම අනුකම්පාවක් නැහැ. එනිසයි ආතතිය විසින් අපට බිත්තර කටුවක් වැනි තැනක සිරකොට තබන්නේ.
බිත්තර කටුව තුළ දෑත වකුටු කොට ගුළිව සිටීම ලෝකයාගෙන් සැඟව සිටීම හරිම සුවදායක යැයි ආතතිය යන සිරගතවීමේදී ඕනෑම අයකුට දැනෙනවා.
මටද එය දැනුණා. මමත් කළුවරට වී ඔහේ පාඩුවේ හිටියා. මෙයින් නැඟිට ආලෝකය වෙත දිවයෑමේ ආශාව ඇති වුවද ඇතැම් විට ආතතිය නම් රකුසා එය වළකාලනවා. සැබැවින්ම එය හරි දුක හිතෙන අරගලයක්.
ඒ අරගලය ජය ගැනීමට අප වටපිටාවේ සිටන කවුරුන් හෝ උත්සාහ දරන්නේද අපද ඒ සහායට උදව් කළ යුතුයි. නැතිනම් ආතතිය සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නවා. එහි අවසානය දිවිනසා ගැනීමයි.
ආතතියට වැරෙන් පා පහරක් එල්ල කරන්න. නැවත ඔබ වෙත පියමැන ඒමට එයට සහාය නොදෙන්න. ආතතිය ජයගත් කෙල්ලක් ලෙස මම ඔබට කියනවා ආතතිය කෙදිනක හෝ ඔබේ දොරටද තට්ටු කරාවි. හඳුනාගත්තොත් ඒ අමිහිරි රකුසාව දොරෙහි අගුල් කිසි විටෙක ලිහිල් නොකරන්න.
ඉලේනා ඩී කෲස් අවසානයෙහි එලෙස කීවාය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











