ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ එන්.පී.පී. ආණ්ඩුව ට්‍රම්ප් ගැන බොහොම කැමැත්තෙන් ඉන්නා බවය. එයට හේතු දෙකකි. පළමු වැන්න මින් පසු මානව හිමිකම්, ත්‍රස්තවාදය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් අවම වීමය. දෙවැන්න ජවිපෙ සහ රුසියාව අතර පවතින ඓතිහාසික සම්බන්ධයය. මේ හේතු දෙකට අමතරව චීන සම්බාධක සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් එල්ල වන බලපෑම් අඩුවීමද එන්.පී.පී. ආණ්ඩුව සහනයක් සේ සලකයි. Sri Lanka Latest News
මෙය ලංකාවට පමණක් විශේෂිත තත්ත්වයක් නොවේ. ඇමෙරිකාවේ බලපෑම්වලට හසුවූ ලොව තුන්වැනි රටවල ආණ්ඩු ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති දකින්නේ තමන්ගේ ආණ්ඩුවලට සහායක් ලෙසය.
ඒත් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා Free world සංකල්පය නැතිවෙයි යැයි සිතිය නොහැකිය. මෙයට වසර කිහිපයක සිටFree world සංකල්පය සඳහා ඇමෙරිකාව මත යැපීමේ අවදානම පෙන්වා දුන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ය. 2024 ස්වීඩන් සංචාරය අතරතුරදී හා 2023 චීන සංචාරයේදී මැක්රෝන් මේ ගැන කතා කළේය.
මැක්රෝන්ගේ මේ ප්‍රකාශ තුළින් පැහැදිලි වන්නේ යුරෝපා සංගමය ඇමෙරිකාවේ ආධිපත්‍යයෙන් මුදාගෙන තුන්වැනි සුපර් පවර් බවට පත්කරන්න ඔහු කලක සිට හීන දකිමින් සිටි බවය. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය ඔහුගේ ඒ හීනය හැබෑ කරගන්න අවස්ථාව ලබාදී තිබේ.
කොවිඩ්වලින් පසු තුන්වැනි ලෝකයේ රටවල් බංකොලොත්භාවයට පත්වෙද්දී බංකොලොත්භාවයට පත් රටවලට සහාය වීම සඳහා ඔහු ප්‍රංශයේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීය. ලංකාවට අයි.එම්.එෆ්. පැකේජය ලබාගන්න ඔහු උදව් කළේය. ලංකාවට පමණක් නොව බංකොලොත්භාවයට පත් රටවලට අයි.එම්.එෆ්. පැකේජය ලබාගන්න ඔහු උදව් කළේය. ඔහු 2023දී ලංකාවට ආවේ ඉන්දු-පැසිෆික් කලාපයේ සංචාරයකින් පසුවය. ඔහුගේ එම සංචාරය ගැන විදේශ සබඳතා විශේෂඥයන් කීවේ අමෙරිකාව සහ චීනය තමන්ගේ පාලනයට යටත් කරගන්න උත්සාහ දරන ඉන්දු-පැසිෆික් කලාපයට තුන්වැනි බලවේගයක් ලෙස ඇතුළු වෙන්න ඔහු සූදානම් බවය.
පසුගියදා යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් සමග පැවැති සාකච්ඡාවේදීද ඔහු Free world නායකත්වයට ඔහු සතු සුදුසුකම් පෙන්නුවේය. ට්‍රම්ප් විසින් අතහරිනු ලබන Free world නායකත්වයට නායකයන් තිදෙනෙක් ඉදිරිපත් වී සිටී. ඒ, ප්‍රංශයේ ජනාධිපති, බි්‍රතාන්‍යයේ අගමැති සහ ජර්මනියේ අලුත තේරීපත් චාන්සලර්වරයාය. මේ ලෝක බලවතුන් තුන්දෙනාගේ නායකත්වය ඇමෙරිකානු නායකත්වයේ හිඩැස පුරවයිද කියා ලෝකයම බලා සිටී.










