ඉන්දියාවේ මුස්තාර්දුර් දුම්රිය පොළෙහි පසුගිය දිනෙක ඇඟ කිලිපොළා යන අන්දමේ දුක්බර සිදුවීමක් වාර්තා විය. සරලව සැකෙවින් එය සඳහන් කරන්නේ නම්, ළදරු වියෙහි පසුවන සිඟිති දැරියක් තම අම්මාට නින්දෙන් ඇහැරෙන්නැයි කියා හඬමින් ඇවිටිලි කරන එම සිදුවීමට අයත් රූප රාමු එකින් එක දුම්රිය පොළෙහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවෙහි පෙළගැසී තිබිණි.
දැරිය දැඩි කුසගින්නකට මැදිව සිටියාය. කිරි අවැසි යැයි අම්මාට කීවද අම්මා තනපුඩුව තම දෙතොළඟට ළං කිරීමට වෙනදා මෙන් වෙහෙස ගත්තේ නැත්තේ ඇයිද? යන ප්‍රශ්නයෙන් පුංචි එකී කම්පිතව හිටියාය. අම්මා මැදිව සිටි තද නින්දෙන් ඈ අවදි කරන්නට, කුස පුරා කිරි බොන්නට පෙරුම් පිරූ දැරිය ගත් උත්සාහය අපමණ විය. එහෙත් අම්මා මරණයට පත්ව ඇති බවක් යළි කිසිදිනෙක තම මුවගට ඇගේ තනපුඩුවේ උණුසුම නොදැනෙන බවක් දැරිය නොදැන සිටියාය.
නොනවත්වා හඬන දැරිය වටා මිනිසුන් එක්කෙනා දෙන්නා එක්රොක් විය. දුම්රිය ස්ථානයේ නිලධාරීන් වෙතද සිදුවීම සැලවිය. අනතුරුව පොලිසියටත්, ප්‍රවෘත්ති අංශයටත් ‘සී.සී.ටී.වී.’ කැමරා වෙතින් ලද රූප රාමුද ලැබිණි.
ඕනෑම ඕපාදූපයක් පළකරන සමාජජාලා වෙබ් අඩවිවලද මේ සංවේදී සිදුවීම ප්‍රචාරය විය. කෝටි ප්‍රකෝටි ගණන් එය නරඹන්නට වූයේ හද කකියවන තරමේ දුක්බර හැඟීමකින්ය.
සාමාන්‍ය ජන සමූහය අතර එකී සංවේදී සිදුවීම හරහා කඳුළෙන් දෙනෙත තෙත් කරගත් එක් සුවිශේෂී මිනිසකු විය. සුපිරි ජීවිත ගෙවන සුපිරි ධනවතුන් අතර සුපිරි තරුවකු වූ ඔහු අන් කවරකුවත් නොව ඛාන්ලා අතර කිරුළ ලද ‘කිං ඛාන්’ විය. තවත් පහසුවට කියනවා නම් ඔහු ‘ෂාරුක් ඛාන්’ය.
‘වහාම ඒ දරුවා ගැන තොරතුරු හොයන්න…’
ෂාරුක් සිය ලේකම්වරයාට කියා සිටියේ සියල්ල ඉතා කඩිනමින් සිදුවිය යුතු බවට ඉඟියක්ද දෙමින්ය.
සුපිරි තරු ගැන උණුසුම් පුවත් හොයන පැපරාසිනට මෙම ප්‍රවෘත්තිය ෆ්‍රයි කළ කජු පිඟානක් තරමටම රසවත් විය.
එලෙසම සිදුවීමට සම්බන්ධ කුඩා දරුවාගේ වගකීමට උරදෙන්නට සූදානම්ව සිටින ෂාරුක්, මාධ්‍ය හමුවේ ඒ පිළිබඳව කතාබහ කළේද ඉතාම සංවේදී ස්වරයෙනි.
දරුවකුට අම්මා සහ තාත්තා යන දෙදෙනාම අහිමි වෙනවාය කියන්නේ දැඩි කම්පනයක්. එම කම්පනය තුළ දරුවකු විඳින වේදනාව අකුරෙන් අකුර පවා මට කියන්න පුළුවන් වන්නේ ඒ නපුරු අත්දැකීමට මාද මුහුණ දුන් නිසයි.
මගේ තාත්තා නැතිවූයේ මම ඉතාම කුඩා දරුවකුව සිටින කාලයේ. ඒ වගේම මගේ අම්මා නැති වන විට මගේ වයස අවුරුදු විසිහතරකි.
තරුණ පුතකු අම්මා කෙනකුට කෙතරම් නම් සමීපද? මමද එතරම්ම මගේ අම්මාට සමීපව සිටියා. ඇයගේ අහිමි වීම තුළ මම දැඩිව කම්පනය වුණා.’
ඉතින් දෙවියනේ, අර කිරි දරුවා එය කෙසේ විඳදරා ගන්නද?
ෂාරුක් ඒ දුක්බර ප්‍රශ්නය එල්ල කළේ සමස්ත ලෝකයටමය.
සීයාගේ රැකවරණයෙහි සිටින දරුවා හමුවීමට ගිය ෂාරුක් දරුවාගේ හෙට දවස ගැන ඉතා සරලව කතාබහ කළේය. තමාට අයත් ‘මීර්’ පදනම විසින් දරුවාගේ අනාගතය ඉතා සුරක්‍ෂිත කරනු ඇති බව දරුවාගේ සීයා සමඟ ෂාරුක් පැවැසුවේය.
සහතික වශයෙන්ද එහි සියලු කටයුතු නිමවෙමින් පවතී. අසරණයන් පීඩාවට පත්ව සිටින අවස්ථාවන්හිදී වෙස්වළාගෙන පැමිණෙන සුර දූතයන්ද වෙයි. ෂාරුක් ඛාන්ද එවැනි සුරදූතයෙකි.
ෂාරුක් සිය ට්විටර් ගිණුමෙහි, මවුපියන් අහිමිව කතාවේ කටුක අත්දැකීම් තුළ මම තවම පීඩා විඳින්නෙමි. මවුපියන් නැතිව අසරණ වන දරුවන්ට හැකි පමණ පිහිට වීමටද මම උත්සාහ දරන්නෙමි.
එලෙසම…
මගේ දරුවන් වෙතද පියකුගේ රැකවරණයේදී ඇති වන බොහෝ හිස්තැන් සපුරාලන්නෙමි.
තාත්තා යනු..,
ඉතා ගුණවත් චරිතයකි. එය කෙලෙසන අය කෙරෙහි මම පිළිකුල්සහගත වෙමි. එවැන්නන්ට මම මෙසේ පවසමි.
‘දරුවන්ගේ සාක්කු සල්ලිවලින් පුරවන පමණට ඔබට හොඳ තාත්තකු විය නොහැකිය.’
දරුවා ඔබේ ඇසුර අවැසි තැන කොතැනදැයි විමසිලිමත් වන්න. එතැනට යන්න. දරුවාගේ ඇස් දිහා කෙළින් බලා දරුවාගේ දෑතින් හෝ දෙඋරෙන් මෘදුව අල්ලාගෙන,
‘ඇයි පුතේ.., ඔයා නොදන්නේ දැයි’ ආදරයෙන් අහන්න.
එවිට ඔබේ දරුවා කිසිම දිනෙක ඔබ හැර නොයනු ඇත.
මම එය හොඳින් දනිමි.
මන්දයත්,
මම මගේ දරුවන් හමුවේද එලෙස පෙනී සිටින්නෙමි.
දරුවන් නොව බොහෝ තාත්තලාද ෂාරුක්ගේ ඒ දයාවන්ත පෝස්ටුවට ප්‍රතිචාර දී තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











