අප මෙම ලිපිය අරඹන්නේ අනුරාධපුර රාජධානි සමයේ ලියැවුණු බවට සඳහන් “පාලි සහස්ස වත්ථු ප්‍රකරණ” නමැති ග්‍රන්ථයේ එන “නන්දි වෙළෙන්දාගේ කතාව” තුළිනි. ඒ මෙම ලිපියට අපූර්ව ආරම්භයක් ගැනීමටය. එවකට මෙම නන්දි වෙළෙන්දා යනු ඉතා දැහැමි මෙන්ම ධනවත් වෙළෙන්දෙකි. ඔහු පුරා වසර ගණනක්ම වෙළෙඳාම පිණිස සමුද්‍ර යාත්‍රාවේ යෙදුණේ තම රූමත් බිරිඳ නිවෙසේ තබමිනි. මේ අතර කාලයේ එම ප්‍රදේශය බාරව “ශිව” නම් ඇමැතිවරයෙකු සිට තිබේ. ඔහු නන්දි වෙළෙන්දාගේ බිරියගේ රූපය දැක කාමයෙන් උමතුව ඇය වරදට පොලඹවා ගැනීමට තුටු පඬුරු පවා එවූ අයෙකි. ඒ වරක් දෙවරක් නොව තෙවරක්ය. නමුත් ඇය ඊට අකැමති වූයේ ඇය තුළ සැමියා කෙරෙහි තිබූ පතිභක්තිය නිසාය. එහිදී ශිව නම් ඇමැතියා යකැදුරෙකු කැඳවා සොහොනකදී ජීවම් කරනු ලැබූ පිල්ලියක් සමුද්‍ර යාත්‍රාවේ යෙදෙන නන්දිව මරාදැමීමට යවයි. ඒ නන්දිගේ බිරිඳ තමාට ලබාගැනීමටය. එහෙත් සිදුවන්නේ පිල්ලිය තෙවරක් නන්දි වෙළෙන්දාගේ සමුද්‍ර යාත්‍රාව වටේ කරකැවී යළි පැමිණ ශිව සහ යකැදුරාව මරණයට පත් කිරීමයි. එය එසේ වූයේ නන්දි වෙළෙන්දා නිතර බුදු ගුණ සිහිකරන අයෙකු වීමයි. අප දන්නා පරිදි බුදු ගුණ සිහිකරන අය අසලට පිල්ලිවලට ළංවිය නොහැකිය.
වත්මන් සමාජයේ ඇති අණවින කොඩිවින ආදිය සමාජ විද්‍යාත්මකව පැවසෙන්නේ “කළු අභිචාර විධි” යනුවෙනි. අපගේ සම්ප්‍රදායික විශ්වාසයන් අනුව ගුප්ත ශාස්ත්‍රය “අෂ්ට කර්මය” ලෙස කොටස් කීපයකි. එනම් වශී, ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, ශාන්ති, විද්වේෂණ මෙන්ම උච්චාරණ හා මාරණ යනුවෙනි. එයින් දැනට බලසම්පන්න වන්නේ මාරණයි. පිල්ලි යැවීමත් අයත් වන්නේද මෙම මාරණ අතරටය. මේ හරහා හොඳින් සිටිනා පුද්ගලයෙකු එක්වරම මරණයට පත්කිරීමට හැකියාව ඇත. අපේ පැරණි සාහිත්‍ය කෘතිවල මෙන්ම ජනප්‍රවාද තුළ මෙම පිල්ලි යැවීම ගැන සඳහන් වෙයි. කෙසේ වුවද ඊට දක්ෂ අය පවා පවසන්නේ මේ පිල්ලි යැවීම යනු දැළිපිහියෙන් කිරි කනවා හා සමාන වන වැඩක් බවයි. ඒ නිසා පිල්ලි යනු අප ජන සංස්කෘතිය තුළින් ආවක් වුවද එතරම් යහපත් වූ කාර්යයක් නම් නොවේ. එම කතාවද සියල්ලටම කලින් මෙහිදී ඔබට මතක් කළ යුතුය.
සැබෑවටම පිල්ලියක් යනු සතුරන්ට උපද්‍රව කිරීම සඳහා යවන අමනුෂ්‍ය බලවේගයකි. එහිදී සිදුවන්නේ මන්ත්‍ර බලයෙන් මියගිය මළ සිරුරු යළිත් වරක් පණ ගැන්වීමයි. මෙය අපේ ජන සංස්කෘතියේ ඉතා පුරාණ කාලයේ පටන්ම එන්නකි. එහෙත් සැබෑ ලෙසම අපේ ජන සංස්කෘතිය තුළ ජීවත්වෙන සතුන් පවා මන්ත්‍ර බලයෙන් මෙසේ ජීවම් කර පිල්ලි ලෙස යොදාගත් බව අතීතයේ සඳහන් වෙයි. සුනඛ පිල්ලිය මෙන්ම සැවුල් හෙවත් කුකුල් පිල්ලිය ඊට නිදසුන්ය. පිල්ලි යනු අපේ රටට පමණක් ආවේණික අංගයක් නොවේ. පිල්ලි ආ බව පැවසෙන්නේ දකුණු ඉන්දියාවෙනි. එමෙන්ම එදා ලොව බොහෝ රටවල්වල මෙම පිල්ලි යවනු ලැබූ බව පැවසෙයි. නමුත් පිල්ලියක් යැවීම ලේසි පහසු දෙයක්ද නොවේ. ඊට හේතුව මෙම පිල්ලියක් වැරදී ආපිට පවා නැවතත් පැමිණීමට බොහෝ ඉඩකඩ තිබීමයි. එසේ වුවහොත් එහි හානිය වන්නේ පිල්ලිය යැවූ පුද්ගලයා වෙතය. එම නිසාම පිල්ලි යවන්නේ ඒ ගැන හෝඩියේ නැත්නම් අයන්නේ සිට දන්නා පුද්ගලයින් පමණි.
මෙම පිල්ලියක් ගත්කල පිල්ලි කීයක් තිබෙනවාද කියා අපට නිශ්චිතව කිව නොහැකිය. ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට පිල්ලි වෙනස් නිසාය. නමුත් එදා විසිවෙනි සියවසේ මුල්කාලීන පැරණි මූලාශ්‍ර ඔස්සේ ලංකාවේ තොවිල් පිළිබඳ අධ්‍යයනය කළ පර්නොල්ඞ් පඬිවරයා අනාවරණය කර ඇත්තේ මෙරට ඇති ජන සම්මතයේ සමස්ත පිල්ලි වර්ග දහඅටක් පමණ ඇති බවයි. පිල්ලි කොතරම් තිබුණද අදටත් ජන සමාජය තුළ ජනප්‍රිය පිල්ලි දෙකකි. ඒ මළ සිරුරු ජීවම් කර යැවෙන ප්‍රධාන පිල්ලිය. ඒ මළ පිල්ලිය හා තුන්කුලුඳුල් පිල්ලියයි. තුන්කුලුඳුල් පිල්ලියට ඇතැම් ප්‍රදේශයන්හි කුමාර පිල්ලිය කියාද කියයි. මළ පිල්ලිය යනු වියපත් අයෙකුගේ මළ සිරුරක් ජීවම් කර යමෙකු නැසීමට යැවෙනා එක්තරා පිල්ලියකි. තුන්කුලුඳුල් පිල්ලිය යනු තුන්කුලුඳුල් වන දරුවෙකු යොදාගෙන කරනා පිල්ලියකි. අද සමාජයේ වැඩිපුර අවධානයට ලක්වන්නේද මෙම තුන්කුලුඳුල් පිල්ලි වේ. අප පහතින් සඳහන් කරන්නේ මෙම තුන්කුලුඳුල් පිල්ලිය සම්බන්ධයෙනි.
තුන්කුලුඳුල් වූ දරුවෙකු යනුවෙන් පැවසෙන්නේ යම් පවුලක වැඩිමල් පිරිමි දරුවාගේත් තවත් පවුලක වැඩිමල් ගැහැනු දරුවාගේත් විවාහයෙන් අනතුරුව බිහිවෙන පළමු දරුවාට පටබැඳෙන නමයි. එම දරුවා තුන්කුලුඳුල් දරුවෙකි. එදා මෙවැනි විවාහයන් පවා සිදුකිරීමට සමාජය අදිමදි කළේ මෙම පිල්ලි හේතුව නිසාය. එසේ විවාහයක් සිදුවීම තුළ ඔවුන්ගේ තුන්කුලුඳුල් දරුවා ගැන ඉව අල්ලාගෙන සිටින පිරිසක් සිටි අතර ඒ එවකට යකැදුරන්ය. ඔවුන් කරන්නේ දරු ප්‍රසූතිය එළඹෙන දිනය ගැන විමසිල්ලෙන් සිට එම දරු ගැබ බන්ධනය කිරීමයි. ගැබ්බර බන්ධනයක් යනු දරු ප්‍රසූතියේදී අදාළ කාන්තාවගේ ප්‍රසව මාර්ගය හකුළුවන ගුරුකමකි. එහි ප්‍රතිඵලය වන්නේ ඒ අදාළ කාන්තාව මළ දරුවෙකු ප්‍රසූත කිරීමයි. පසුව දරුවාගේ දෙමාපියන්ට සිදුවන්නේ මෙම මළ දරුවා සොහොන් පිටියක වළදැමීමටයි. එහෙත් යකැදුරා ඒ පිළිබඳවද සිටින්නේ අවධානයෙනි. ඊට හේතුව ඔහුගේ කාර්යය තවම නිමා නොවීමයි. සැබෑවටම ඔහුගේ උවමනාව වන්නේ එම තුන්කුලුඳුල් මළ දරුවා යොදාගෙන කාට හෝ පිල්ලියක් යැවීමයි.
අවසානයේ එසේ සොහොන් බිමක වළදැමූ තුන්කුලුඳුල් මළ දරුවා රහසින් ගොඩ ගන්නා යකැදුරා ඊට පිළිවෙත් කීපයක් පුරා යම් තැනක සඟවයි. ඊට ඔහු බොහෝ විට යොදාගන්නේ රුක් බෙනයකි. පසුව අදාළ මොහොත ආ විට එය රැගෙන යකැදුරා සොහොන් පිට්ටනියකට යයි. ඒ තනිව නොව යකෙකුටවත් බිය නොවෙන දෙතුන් දෙනෙක් සමඟිනි. මෙහිදී මළ කඳ අදාළ වස්ත්‍රාභරණවලින් සරසා අලුත් මිනීවළක් මත තබයි. ඉන් පසුව ඊට පණ එනතුරු ජීවම් කරයි. එය ඉතාම බිහිසුණු කාර්යයකි. අනතුරුව පිල්ලිය යැවිය යුතු පුද්ගලයාට පණ ආ මළකඳ බන්ධනය කළ යුතු අතර එසේ බන්ධනය කරනා විට වෙනත් අමනුෂ්‍ය බලවේග එතැනට එන බවද පැවසෙයි. යකැදුරා ඊට සූදානම්ව සිටිය යුතුය. බොහෝ විට එම එන අමනුෂ්‍ය බලවේග පැමිණෙන්නේ සතෙකුගේ වේශයෙනි. එහිදී ඔවුන් වෙනුවෙන් දොළ පිදේනි තබා තිබීම අනිවාර්ය සිරිතකි. මෙලෙසින් යකැදුරා එම පිල්ලිය යැවිය යුතු පුද්ගලයාගේ නම කියමින් ඒ පිල්ලිය යැවෙන අතර එක්වරම පිල්ලිය හූ හඬක් තබා සොහොනින් නික්ම යයි. නමුත් පිල්ලිය අදාළ පුද්ගලයා සොයා ගොස් ඔහුට විනකර නැවත ආපසු එනතුරු බන්ධනය නැවැත්විය නොහැකිය.
මෙවැනි අවස්ථාවක අදාළ පිල්ලියට මුහුණපාන පුද්ගලයාගේ පාර්ශ්වයෙන් එම පිල්ලිය නැවත ආපසු හරවා එවිය හැකිය. එසේ නැත්නම් අදාළ පුද්ගලයා බුදු ගුණ සිහිකිරීම කළහොත් පිල්ලියට ඔහු වෙත ළංවිය නොහැකිය. යම් හෙයකින් එය එසේ සිද්ධ වුවහොත් කලින් කී යකැදුරාට හා ඔහුගේ සහායක පුද්ගලයින්ට සිදුවන්නේ නිකරුණේම මරණයට ලක්වීමටයි. මේවා සියල්ල මිථ්‍යා මත බව කියමින් කියවන ඔබට අප කී දේවල් අවිශ්වාසයි කියා බැහැර කළ හැකිය. අසත්‍යයි කියා අවිශ්වාසද කළ හැකිය. නමුත් කිසිදා ගින්නක් නොමැතිව දුමක් නඟින්නේ නැත. මේ සියල්ල අපගේ පැරණි ජන සංස්කෘතිය තුළින් ආ දේවල්ය. අප පුරාණ මුතුන්මිත්තන් මේවා ගැන හොඳින්ම දනියි. එහෙත් මේ ගැන කියවන ඔබට අසන්නට ඔවුන් අද ජීවතුන් අතර නැත. නමුත් මේ සියල්ල අපට එක්වරම බැහැර කළ නොහැකිය. එදා මෙවැනි කාර්යයන්වල නිරත වූ යකැදුරන් මෙන්ම ඊට මුහුණ දී අකාලයේ මියගිය අය පවා සමාජයේ සිටීම ඊට හේතුවයි. සැබෑවටම මේ දේවල් අදටත් රහසේ කරනා දේවල්ය. එම නිසා පිල්ලි වැනි දේවල් ගැන දැනගෙන සිටීම වැදගත්ය.
රුවන් එස්. සෙනවිරත්න











