මහේන්ද්‍ර පෙරේරා යනු සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයේ සෑම අංගයකින්ම හිණිපෙත්තට පැමිණි විශිෂ්ටයෙකි. එමෙන්ම මහේන්ද්‍ර පෙරේරා යනු ඕනෑම දෙයක් කෙළින් කතා කරන චරිතයකි. කොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත කලා ලෝකය නිහඬව ඇති මොහොතක ලංකාවේ කලාව පිළිබඳ මහේන්ද්‍ර පසුගිය දිනක හඬ අවදි කර තිබුණි. ඒ TALK WITH SUDATHTHA යූටියුබ් නාළිකාව සමඟිනි. එහිදී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව පිළිබඳව මහේන්ද්‍ර තම අදහස සෘජුව ඉදිරිපත් කර තිබුණි. මේ ඒ සංවාදයේදී පළවූ අදහස් කිහිපයකි.
කොහොමද මේ දවස්වල?
මේ දවස්වල ඉතිං ලෝකයේ ඉන්න හැමෝටම වෙලා තියෙන දේ මටත් සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමටත් පහුගිය කාලේ වැඩ ටිකක් අඩු වෙලා තිබුණු හින්දා ගෙදර වැඩියෙන් හිටියා. එහෙම ඉඳගෙන අනිත් අය කියන දේවල් දිහා බලාගෙන මම මං ගැන කල්පනා කළා.
අපි කලාව ගැන කතා කළොත්?
කලාව ගැන හිතා ගන්න බැරුව ඉන්නේ මේ දවස්වල.
ටෙලි නාට්‍ය නම් දැන් රූගත කිරීම් පටන් අරගෙන තියෙන්නේ?
කොරෝනා එන්න කලින් ටෙලි නාට්‍ය දෙකකයි, චිත්‍රපට දෙකකයි වැඩ පටන් ගන්න ඔන්න මෙන්න තිබුණේ. දැන් ඉතිං කවද පටන් ගනියිද දන්නේ නැහැ. මම කරගෙන ගිය වැඩමුළු ඔක්කොම ඉවරයි. සිනමාව නම් ආයෙ කවද ගොඩ එයිද කියලා හිතා ගන්න බැහැ. මම හිතන්නේ කේන්දර බලන අයටවත් ඒක හිතා ගන්න බැහැ.
කොරෝනා අමතක කරලා ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
මෙහෙමයි. මම මෙගාවලට විරුද්ධයි. මම කොහොමටවත් මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්න යන්නේ නැහැ.
මෙගා කියන එක කොහොමද හඳුන ගන්නේ. මෙගා නාට්‍යයකට කොටස් කීයද?
මෙගා නාට්‍යයකට කොටස් 1000ක් තිබුණත් කමක් නැහැ. ඒත් දවස් පහම ඒකට බදා ගන්න එපා. හරිම ආත්මාර්ථකාමී වැඩක් ඒක. අවුරුදු දෙකක් විතර සතියේ දවස් පහම මම බදාගෙන ඉන්නවා. තුන් හතර දෙනෙක් මේ බෙල්ට් අල්ලගෙන ඉන්නවා. එතකොට එකම ඇඳුමක් ඇඳගෙන හිටියා වගේ. කලාව එපා වෙනවා. දැන් මම මෙහෙම දෙයක් අහන්නම්. සතියේ දවස් පහම කෝපි කඬේ පෙන්නුවා නම් මොන වගේ වෙයිද? අවුරුදු ගානක් එහෙම වුණා නම් මොකද වෙන්නේ? රටේ රස වින්දනය ඉවරෙට ඉවරයිනේ. කෝපි කඬේ හෑල්ලු කරනවා නෙවෙයි. ඒ ගොල්ලෝ අවුරුදු ගණනාවක් ඒක අල්ගෙන යනවා. ඒ සතියට එක දවසක් විතරක් පෙන්වන හින්දා. කලාව එහෙම කරන්න බැහැ. අඩු ගානේ සතියට දවස් දෙක ගානේ වත් දුන්නොත් තව කිහිප දෙනකුට ටෙලි නාට්‍ය කරන්න අවස්ථාව ලැබෙනවා. රස වින්දනය විනාශ වුණාම රටක අධ්‍යාත්මය විනාශ වෙනවා.
ඒත් ඒවට ලැබෙන ප්‍රතිචාර වැඩිනේ?
මං ඒකට නාළිකාවලට තමයි දොස් කියන්නේ. අඩු ගානේ සතියට දවස් දෙක ගානේ එක්කෙනකුට දුන්නොත් තව විස්සකට තිහකට ටෙලි නාට්‍ය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අය විවිධ නළු නිළියෝ තෝරාගෙන නාට්‍ය කරයි. එතකොට ඒ හැමෝටම වැඩ තියෙනවා. මම මේක රජයට කියන්නේ. දැන් කසිකබල් කොරියන් නාට්‍ය, ඉන්දියන් නාට්‍ය ගෙනල්ලා දෙබස් කවලා මෙහෙ පෙන්වනවා. දැන් ඒවයින් බිහි වෙන්නේ හඬ කැවීම් ශිල්පීන් විතරයි. කිසිම දවසක නළුවෙක් බිහි වෙන්නේ නැහැ. නිළියක් බිහි වෙන්නේ නැහැ. කතා රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේ කවුරුත් බිහි වෙන්නේ නැහැ. අපේ මිනිස්සු හතර පස් දෙනකුගේ ටෙලි නාට්‍ය අවුරුද්ද පුරාම බලනවා. දැන් ගොඩ දෙනෙක් ඒ නාට්‍ය බලන්නේ නැහැ. කාගෙන් හරි කතාව අහ ගන්නවා. එච්චරයි. කලින් කිව්වා වගේ එකම ඇඳුමක් ඇන්දා වගේ වැඩක්.
අපේ ශිල්පීන්ට වැඩ නැත්තෙත් ඒ හින්දද?
ඔව්. දැන් අපේ රටේ දක්ෂ නළු නිළියෝ ඉන්නවා. අපේ රටේ හොඳ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්න කට්ටිය ඉන්නවා. අධ්‍යක්ෂණය කරන්න කට්ටිය ඉන්නවා. ඒත් වැඩ නැහැ. හරියට අපිට පාර්ටි එකකට අඳින්න ඕනෑ තරම් ඇඳුම් තියෙනවා. ඒත් යන්න පාර්ටි නැහැ. අන්න ඒ වගේ වැඩක්. මම කියන්නේ මේක බෙදලා දෙන්න. ඒ දවස්වල කරගෙන ආව ටෙලි නාට්‍ය දෙස බලන්න. ආසියාවේ හොඳම ටෙලි නාට්‍ය කලාව තිබුණේ අපේ රටේ. දැන් හොඳ දෙයක් කළොත් දාගන්න බැහැ. මේකට රජය අනිවාර්යයෙන් මැදිහත් වෙන්න ඕනෑ.











