පහුගිය දිනෙක හදිසියේම හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්තයාව අත්අඩංගුවට ගත්තේය. ඒ පරණ කතාවකටය. දේශපාලනයේ හැටි ඔහොමය. ඕනෑම වෙලාවට, ඕනෑ ඕනෑ අතට කතන්දර කැරකෙයි. අත්අඩංගුවට ගනී. දඬුවම් නොකරයි. පරෙස්සමට බලා ගනී. ඒ පැත්තට යයි. ඒ නිසා අපි ඕවාට කලබල විය යුතු නැහැ. ඒවා එයාලගේ වැඩය. අපිට තියෙන්නේ ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ බලා ඉන්නය. ජය – පැරැදුම ගැන සතුටු වීමේ හීන් ආතල් එකක් පමණක් ගත්තාට ඒකෙ ලොකු වරදක් නැත. එහෙම නොව ගේ-දොරවල අහල, පහළ අයෙක් ගේම ඉල්ලනවා වගේ ගොං වැඩ නොකළ යුතුය. මොකද ඔය ගොං කතා මේ කරළියට ආ පළමු වතාව නොවේ.
ඒ නිසාම අපි ඕවායේ හොඳ – නරක අරවා මේවා නොසොයා කෙළින්ම ඒ ගැන හොයන්නම තීරණ කළෙමු. එදා උත්සවාකාරයෙන් අත්අඩංගුවට ගත් රාජිත අද කෝ?
අපි තීරණය කළා ඔහුව හොයන්න. ඔහු එදා කිව්වාය කියන විදියට කිඹුලන්ට දැම්මද? එහෙම නැත්තම්, හිරගෙදරට එක්ක ගියාද? එහෙම නැත්තම් බණ්ඩගෙ රෝහලේද, නැත්තම් පරණ පුරුදු විදියට පෞද්ගලික ඉස්පිරිතාලෙක නැඟිටිගන්නවත් බැරුව අසරණ වෙලාද? කෝ රාජිත කෝ?
අද රාජිත ඉන්නෙ ඔය කිසිම තැනක නෙවෙයි. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යතුමාව එදා අත්අඩංගුවට අරගත්තට පස්සෙ, උසාවි නියෝගය නිකුත් වෙනවා. ඒ ඔහුව රිමාන්ඞ් බන්ධනාගාරගත කළ යුතුයි කියලා. ඒත් එක්කම ඔහු අරගෙන ගිය බව කියන්නෙ පල්ලන්සේනට.
‘කොහෙද මේ පල්ලන්සේන’
රටේ බොහෝ දෙනෙක්ට පල්ලන්සේන කිව්වම, ඒ ගැන ඒ තරම්ම ලොකු අවබෝධයක් නැහැ. ඇත්තටම පල්ලන්සේන තියෙන්නේ මීගමුවේ. මීගමුව – පුත්තලං පාරෙ. වැඩි දුරක් යන්න ඕන නැහැ.
‘පල්ලන්සේන,’
තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානය’
කියලා පොළොවේ හිටවපු ලොකු පුවරුවක් තියෙනවා. ඒ තමයි රාජිත සේනාරත්නව අද රඳවලා තියෙන තැන.
‘තරුණ ද?’
රාජිත මරු තරුණයා?
කෙනෙක්ට මේක කිව්ව ගමන්ම එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. ඒත් මේක අද වෙනකොට ‘තරුණ වරදකරුවන්’ වෙනුවෙන් කරපු තැනක් නෙවෙයි. තරුණ වරදකරුවන් විශෝධනය කරන කාර්යාලය මේ පරිශ්‍රයේ සිදුවන්නේ ඉස්සර. වයස අවුරුදු 21ට අඩු වරදකරුවෙක්ව තරුණ වරදකරුවෙක් විදියටයි සැලකෙන්නෙ. ඔවුන් රඳවන්නේ මේ පරිශ්‍රයෙ. මේ ස්ථානය ඒ සඳහා විශේෂයෙන් සකස් කරලා තියෙනවා. මේ පරිශ්‍රයට ඇතුළු වෙන තැනම කාර්යාල සහ ඊට අදාළ ගොඩනැඟිලි තියෙනවා. ඒ වගේම රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන ස්ථානයකුත් එදා ඉඳලම තියෙනවා. ඒක මේ වතාවේ කොරෝනා සඳහා වූ නිරෝධායනය වෙනුවෙන් විශේෂයෙන් සකස් වුණු එකක් නෙවෙයි. මේ පරිශ්‍රය විශාල ක්‍රීඩා පිටියක්. බීච් වොලිබෝල් ක්‍රීඩාංගණයක් ඇතුළු පහසුකම්වලින් යුක්තයි. අද රාජිත සේනාරත්න හිටපු ඇමැතිතුමා ඉන්නෙත් මෙතැන. නමුත් සාමාන්‍යයෙන් හිරකරුවකුගේ දවස කොටස් තුනකින් යුක්තයි. ඉන් පැය අටක් තමයි වරදට දඬුවම් විඳිය යුතු කාලය. තව පැය අටක් ඔවුන්ට විවේකීව ගතකරන්න පුළුවන්. අවශ්‍ය නම් පොත්, පත්තර කියවන්න, ක්‍රීඩාවක් කරන්න, කොහොම නමුත් ඒ පැය අට තියෙන්නෙ ඔවුන්ට විවේකයෙන් ඉන්න. හැබැයි රාජිත සේනාරත්න තවම වරදකරුවෙක් බව අධිකරණය මඟින් තීන්දු කරලා නැති නිසා, ඔහුට මේ කාලසටහන අදාළ නැහැ.
හැබැයි එකක්. මේ විදියට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සෙ කාව වුණත් අතපත නොගා ඉන්න. ඉතාම කිට්ටු වෙන්න මේ වෙලාවෙ හැටියට හොඳද? ඒ අවදානමට දාන්නෙ තමන්ට හැකි ආකාරයෙන් සුරක්‍ෂිතව නිවෙස්වල හිටපු මිනිසුන්වයි. මේ කුදළාගෙන එන්නෙ. ඒ වගේම මේ ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කරන්නෙ මිනිස්සු නිවෙස්වලින් පිටවීම අනාරක්‍ෂිත නිසා. දැන් මේ විදියට මිනිසුන්ව එළියට අරගෙන එන එක අනාරක්‍ෂිත නැත්ද?
කොහොම නමුත් පල්ලන්සේන කාමරයක රාජිතව රඳවලා ඉන්නවා කියලයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නෙ. ඔහුව මුණගැහෙන්න කාටවත් ඉඩකඩ නැහැ. ඒකට හේතුව මේ ස්ථානය දැනට නිරෝධායන මධ්‍යස්ථානයක් විදියට පවත්වාගෙන යෑම. රාජිත හෝ වෙනත් ඕනෑ පුද්ගලයෙක් බන්ධනාගාර පරිශ්‍රයක් තුළට නොගෙන මේ විදියට දවස් දාහතරෙන් හෝ ඊට වැඩි ගානක් නිරෝධායනය කරනවා. ඒක අර ‘බන්ධනාගාර රෝහල’ට යනවා වගේ වැඩක් නෙවෙයි. ඒ නිසා රාජිතව මුණගැහෙන්නත් වෙන කිසිම කෙනෙක්ට ඉඩ ලැබෙන්නෙ නැහැ.
හැබැයි ඔහුගේ විශේෂිතම අවශ්‍යතාවක් තියෙනවා නම් ඊට අවශ්‍ය ඒ පිළියම් යොදන්න මේ අය සූදානම්. ඒ විදියට පොත් කිහිපයක් ගෙන්වා ගත්තා කියලත් දැනගන්න තියෙනවා. රාජිත මේ දවස්වල කරන්නෙ ඒවා කියවන එකලු. ඔහු බොහොම සාමාන්‍ය විදියට ඉන්නවාය කියලයි ආරංචි.
ඒ අතර දැන ගන්නට ලැබෙන්නේ ඔහු දැන් ඉන්නෙ තිදෙනෙක් ඉන්න කාමරයකය. මේ අතර හිටපු අමාත්‍යවරයට අවශ්‍ය බෙහෙත් අරගෙන ගිය පුද්ගලයෙක්ට දැඩි අසීරුතාවයකට පත්වන්නට සිදු වූ බවක් කියවෙයි. ඒ සඳහා දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ගන්නට සිදුවන අතර ඒ සඳහා ඉඩ ලැබෙන්නේ විනාඩි හතළිහක පමණ උත්සහයක නිරත වීමෙන් පසුවය. ඔහුට වෙන කිසිම හේතුවක් නිසා අමුත්තන් මුණගැහෙන්නට ඉඩ කඩක් නැත.
නමුත් ඔහුට අවශ්‍ය ව්‍යායාම සඳහා අවස්ථාව ලබා දී තිබේ.
ඒ අතර රාජිතට මෙසේ තමන් අත්අඩංගුවට ගන්නට යන බව වූ ආරංචිය එන්නේ ඔහු කළුතර ගොස් ඉද්දීය. ඔහු වහාම නිවසට පිටත් වෙයි. නමුත් ඒ වන විටත් රහස් පොලීසියට අයිති නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ අවසන්ය. රාජිත නිවසට එන ගමනේම අවශ්‍ය නීති උපදෙස් ලබා ගත්තේය. ඔවුන් අසා තිබුණේ,
“ඇමැතිතුමා මොකද කියන්නෙ?”
කියාය. ඔහු කියා තිබුණේ,
“මම වරදක් කරලා නෑනෙ, බාර වෙනවා”
යනුවෙනි. රාජිතට පල්ලන්සේනට එන්නට පාර හැදෙන්නේ ඒ අනුවය. ඔහුව කෙළින්ම පල්ලන්සේනට රැගෙන එන අතර, වෙන අතරමග කිසිවක් නැත. මෙතෙක් ඔහු පල්ලන්සේනය. අප දන්නා පරිදි ලංකාවේ කිසිම දේශපාලකයෙක් මෙයට පෙර පල්ලන්සේන රඳවා තබා නැත. ඒ මීට පෙර තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය තිබුණ සමයේ වගේම පසුකාලීන වෙන කම්වලටත් අදාළය. ඒ නිසා මේ ගමනත් ඉතිහාසගතවෙන ගමනක් වෙනු ඇත.
ජීවන පහන් තිළිණ











