භාතිය ජයකොඩි ගැන බොහෝ දේවල් අපි කියවලා තියෙනවා. ඔහුගේ ජීවිතය ගැන, කලාව ගැන ගොඩක් දේ අපි දන්නවා. අද වෙද්දී භාතිය ජයකොඩි කියන්නේ සංගීතයෙන් ජාත්‍යන්තරය පවා ජයගත්තු කෙනෙක්. ඒත් භාතිය ගැන දන්න හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔහු කතා කරද්දී දක්වන අපහසුතාවය. “ගොළු බව” කියලා තමයි මේක අපි සාමාන්‍ය විදියට හඳුන්වන්නේ. මේක උපතින්ම ඇති වන දුර්වලතාවයක්. කතාබහේදී ඇති වන මේ අපහසුතාවය තිබුණත්, ඒක බාධාවක් කර නොගෙන මුළු ලෝකයම ජය ගන්න භාතියට හැකි වුණා. නමුත් මේ සියුම් දුර්වලතාවය හින්දා මුළු ජීවිතයම පරාජය වුණු අයත් අපේ ලංකාව පුරාම ඉන්නවා. මේ වගේ දුර්වලතාවයක් තියාගෙන භාතිය කොහොමද ජීවිතය ජය ගත්තේ. මේ ගැන මීට ටික දවසකට කලින් යූ ටියුබ් නාළිකාවක් හරහා භාතියම පිළිතුරු දීල තිබුණා.
තමන්ව හමු වෙන්න දෙමව්පියන් සමඟ ආව මේ ප්‍රශ්නය තියෙන අවුරුදු 16ක ළමයෙක් ඇසුරින් තමයි භාතිය ඒ කතාව කියන්නේ. ඔවුන් භාතියව හමු වෙන්න ඇවිත් තියෙන්නෙත් සුවිශේෂී දවසක. ඒ අදාළ සිසුවා උසස් පෙළ හදාරන්න වෙනත් පාසලකට යන්න දවසකට කලින්. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය තියෙන කෙනෙක් නොදන්නා පිරිසක් අතරට යන්න ලොකු බියක් දක්වනවා. තමන්ගේ ප්‍රශ්නය කොයි විදියට එතැනට බලපාවිද කියන තැතිගැන්ම ඇති වීම තමයි එයට හේතුව.
“ඒ ළමයා එතකොට උසස් පෙළ හදාරන්න එක ස්කෝලෙකින් තවත් ස්කෝලෙකට යන්න සූදානම් වෙලා හිටියේ. එහෙම යන දවසට කලින් දවසේ තමයි මාව හම්බ වෙන්න ආවේ. මිනිස්සු හිනා වෙන එක තමයි ඒ ළමයට තිබුණු ප්‍රශ්නේ. මම එයාට කිව්වේ මෙහෙමයි. තමන්ට ඔය ප්‍රශ්නයෙන් එළියට එන්න ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් කෙනෙක් මට විහිළු කරනවා. අපිට ඒක ක්‍රම කිහිපයකට බාර ගන්න පුළුවන්නේ. එක විදියක් තමයි මම කේන්ති ගන්න එක. කේන්ති අරගෙන ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්. නැත්නම් දුක් වෙලා පැත්තකට වෙන එක. නැත්නම් ඒක විහිළුවක් විදියටම බාර ගන්න පුළුවන්. විහිළුවක් විදියට බාර අරගෙන එයත් එක්කම ඒකට හිනා වෙන්න පුළුවන්. නැත්නම් ඒක ගැන මොකුත්ම නොහිතා නොසලකා ඉන්න පුළුවන්. ඔය හතර විදියටම ඒක අපිට බාර ගන්න පුළුවන්.” භාතිය පැහැදිලි කරන්නේ එහෙමයි.
ඇත්තටම භාතියගේ කතාවට මේක බාධාවක් වෙලා තිබුණත්, ඔහුගේ ගායනයට මේ ප්‍රශ්නයෙන් කිසිම බාධාවක් වෙලා නැහැ. ගොඩක් කෙනකුට තියෙන ඒ ප්‍රශ්නයටත් භාතිය මේ කතාබහ අතරෙදි පිළිතුරු ලබා දෙනවා.
“තමන්ට උපත්තියෙන් හම්බ වෙන දේවල් තියෙනවනේ. සුදුද, කළුද කියන එක වගේ. මේකත් ඒ වගේ දෙයක්. මේක උප්පත්තියෙන් ලැබුණු හොඳටම හොඳ කරන්න බැරි දෙයක්. මේක වෙන්නේ මෙහෙමයි. මං මේ සාමාන්‍ය පැහැදිලි කිරීමක් කරන්නේ. අපේ මොළයේ එක පැත්තකින් තමයි අපි කතා කරන දේවල් පාලනය කරන්නේ. නමුත් අපි ගීත ගායනා කරන වගේ කලාත්මක දේවල් පාලනය වෙන්නේ මොළයේ අනෙක් පැත්තෙන්. ඉතින් අපේ මොළයේ කටහඬ පාලනය කරන පැත්තේ ඇති වෙලා තියෙන පොඩි දුර්වලතාවයක් හින්දා තමයි මේක ඇති වෙන්නේ. නිකං වයර් ෂෝට් එකක් වගේ දෙයක්. ඒ හින්දා මේක කවදාවත් හදන්න බැහැ.”
ඒ ප්‍රශ්නය තියා ගෙන ජීවිතය ජය ගන්න හැටි භාතිය තවදුරටත් පැහැදිලි කරනවා.
“හදන්න බැරි නම් අපි මොකද කරන්නේ. මිනිස්සු කියන දේවලින් කේන්ති ගන්නවද, දුක හිතෙනවද, සතුටු වෙනවද, මොකුත් නොහිතා ඉන්නවද කියන එක අපි තමයි තීරණය කරන්න ඕනෑ. හැබැයි ඒක කරන්න කලින් අපි අපේ තියෙන දුර්වලතාවය පිළිගන්න ලැහැස්ති වෙන්න ඕනෑ. මේක පිළිගැනීමෙන් තමයි තමන්ට ඉදිරියට යෑමක් තියෙන්නේ. මේක නැහැ නැහැ කියලා බොරුවට හංගගෙන ඉන්නවා නම් කවදාවත් ඉදිරියට යෑමක් නැහැ. මහත කෙනෙක් තමන් මහතයි කියලා පිළි අරගන්න ඕනෑ. ඒ ගැන සතුටු වෙන්න ඕනෑ. මේකත් ඒ වගේ තමයි.
දැන් සාමාන්‍යයෙන් හොඳට කතා කරන කෙනෙක් මොකක් හරි දෙයක් කියද්දි වැය කරන ශක්තියට වඩා දෙගුණයක් ශක්තිය අපි දෙයක් කියද්දී වැය කරන්න ඕනෑ. ඒ හින්දා අපි ලෝකයත් එක්ක කේන්ති අරගෙන වැඩක් නැහැ. මිටි කෙනකුට උස කෙනෙක් එක්ක දුවන්න අමාරුයි. ඒත් ඒක බැරි නැහැ. එහෙමයි කියලා අපි උස කෙනා එක්ක කේන්ති අරගෙන වැඩක් නැහැ. එයා උස වුණු එකට අපිට කරන්න දෙයක් නැහැ. ඔය දෙක ඔය විදියට තේරුම් ගත්තම තමන් කරන වැඩ ගැන අවධානය යොමු කරන්න හරිම ලේසියි. පොඩි කාලේ ළමයි විහිළු කරනවා. කේන්ති එනවා. මට තාම මතකයි මට විහිළු කරපු ළමයින්ට මම හොඳටම ගහලා තියෙනවා. නමුත් ඒක නෙවෙයි මේකට විසඳුම.
පළමුවැනි දේ තමන් මේක පිළිගැනීම. එතකොට ගොතයි කියලා කිව්වට මේක අපේ ඇඟට වදින්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අපි කරන වැඬේ ගැනම අවධානය යොමු කරන්න. අපේ දුර්වලතාවය උපාය මාර්ගිකව විසඳගන්න. ඒ සඳහා අවශ්‍ය වෙලාවට අතිරේක ශක්තිය යොදවන්න අපිට පුළුවන්.”
තමන්ගේ උපදේශනයෙන් පස්සේ මෙච්චර වෙලා බය වෙලා හිටිය ළමයා වෙනස් වුණු විදිය භාතිය මතක් කරන්නේ මෙහෙමයි.
“මම ඔය කතාව කිව්වට පස්සේ මෙච්චර වෙලා නිහඬව හිටිය ළමයට ලොකු හිනාවක් ආවා. ඊට පස්සේ මං එයාට කිව්වේ මෙහෙමයි. දැන් ඔයා හෙට අලුත් ස්කෝලෙකට යනවනේ. ඔයා දැන් එතැන අවුරුදු දෙකක් විතර ඉන්නවා. දැන් ඔයා මෙහෙම හිතා ගන්න ඕනෑ. ඔයා ඔය කාලය තුළ පාසලේ පුළුවන් තරම් යාළුවෝ ඇති කර ගන්න ඕනෑ. ඔය පාසලේ හැමෝම කතා කරන චරිතයක් බවට පත් වෙන්න ඕනෑ. පුළුවන් තරම් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වීම තමයි ඒකට හොඳම දේ. ඒ වගේම පුළුවන් තරම් කණ්ඩායම් ක්‍රියාකාරකම් වලට යන්න ඕනෑ. එතකොට ඔය බයත් නැති වෙනවා. එතකොට මිනිස්සු කියන දේ ගණන් ගන්නේ නැති තැනටත් මනස හැදෙනවා.”
අවුරුදු 16ක ළමයකුට ඒ විදියේ වටිනා උපදේශයක් දුන්න භාතිය වර්තමානයේ තමන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන හැටිත් සිහිපත් කරනවා.
“මට අදටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. දැන් අපිට කැමැති නැති මිනිස්සු පිරිසක් ඉන්නවනේ. ඒ අය මොන දේ කළත් අපිට බනිනවා. බනින්න දෙයක් නැතිම තැන ඒ අය අල්ල ගන්නේ මගේ ඔය ප්‍රශ්නය. මේක ගොඩක් අන්තර්ජාලය හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒව දකිද්දී මට නම් හිනා යනවා. පොඞ්ඩක්වත් තරහා යන්නේ නැහැ. අනේ මේ ලෝකෙ ගැන දන්නෙ තැති මෝඩයෝ නේද කියලයි ඒව දකිද්දි මට හිතෙන්නේ.
ඔය පුරුද්ද මේ ප්‍රශ්න තියෙන පොඩි ළමයින්ට අම්මලා තාත්තලා පොඩි කාලෙම පුරුදු කරවන්න ඕනෑ. මේක හංගන එක නෙවෙයි කරන්න ඕනෑ. මේ අඩුපාඩුව පිළිගන්න පොඩි අයව පුරුදු කරන්න ඕනෑ. එතැනින් තමයි ජීවිතයේ ඉදිරියට යෑම ආරම්භ වෙන්නේ. හැබැයි ඒ අඩුපාඩුව පිළිගන්නකම් ඉදිරියට යෑම පරක්කු වෙනවා.”
චන්දන පොන්නම්පෙරුම











