උසහාරුක්ඛාගාවි යොගවාච
අසෙසා කංසෝ සිඟාලිව කුම්භෝ
පොඛකරණි අපාක වන්දනං
ලාපුනී සිදත්ති සිලා ප්ලවන්ති
මන්ඩුකියෝ කන්හි සප්පේ ගිලන්ති
කාකං සුවන්ණා පරිවාර යන්ති
තසාවතා පලකානං භයාති
එදා සැවැත් නුවර
අගනුවර කරගෙන කොසොල් රටේ පාලකයා බවට පත්වන්නේ පසේනදී කොසොල් රජතුමාය. ඒ බුදුන් ජීවමාන කාලයේදීය. කොසොල් රජු යනු බුදුන් වහන්සේ හා සබඳකම් පැවැත්වූ දැහැමි වූ පාලකයෙකි. දිනක් කොසොල් රජතුමා බුදු රජුන් මුණගැසී සිය මාලිගයට පැමිණ නිදාගත් පසු අපූරු එහෙත් පුදුමසහගත සිහින දහසයක් දකී. ඉන් රජතුමා බියට පත්වෙයි.
එසේ වන්නේ ඒ සිහින දහසය තමාට හෝ රටට හෝ රටවැසියාට අයහපතක් සිදුවීමට නියමිත බවක පෙරනිමිත්තක් ලෙස රජුට දැනුණු නිසාය.
කොසොල් රජු පසුදාම මාලිගයේ සිටින පණ්ඩිත පුරෝහිත ගෙනැවිත් ඒ ගැන ප්‍රශ්න කරයි. එහෙත් ඒ පුරෝහිත පවා එයින් අන්ද මන්ද වී පවසන්නේ මෙය රටට සිදුවන මහා හානියක පෙරනිමිත්තක් බවත් ඒ සඳහා බිලි පූජා ඇතුළත්ව මහා යාගයක් පැවැත්විය යුතු බවත්ය. ඒත් කොසොල් රජුගේ බිසව වූ මල්ලිකා දේවිය පවසන්නේ ඒ ගැන රජුගේ සමීපතමයා වෙන බුදු රජුන්ට පවසා එහි අර්ථ විග්‍රහ කරගන්නා ලෙසයි. පසුව කොසොල් රජුද බුදු රජුන් හමුවීමට යයි. එහිදී බුදු රජුන් පවසන්නේ එම සිහින දහසය බලපාන්නේ රටේ වර්තමානයට නොව රටේ අනාගතයට බවයි. ඒ අනුව දැන් රටට උදා වී ඇත්තේ එදා කියූ එම අනාගතය බව පැහැදිලිය.
(01) පළමු සිහිනය
කළු පැහැති ජවසම්පන්න ගොනුන් හතර දෙනෙක් රජ මිදුල හතර පැත්තෙන් පැමිණ ඇන ගැනීමට මෙන් සැරසෙයි. එය බලා සිටි සියල්ලෝම දැන් මොවුන් මෙතැන මරා ගනීවී යැයි සිතුවද සටනකින් තොරවම ගොනුන් ආ ලෙසින්ම සතර පැත්තට පැන යන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී රාජ්‍ය පාලකයෝ අධර්මිෂ්ටව නොහොබිනා පාපකාරි ක්‍රියාවල යෙදෙයි. යහපත් ගුණ ඇත්තෝ පසුබසින අතර ඔවුන් අප්‍රකට වෙයි. තවද සාහසික අපරාධ වැඩි වේ. නොපෙනෙන බලවේග ඉස්මතු වේ. ධර්මයට තැනක් නැත. ආරක්ෂක දෙවිවරු කැලඹෙයි. වර්ෂාව නැතිව නියඟයන් පැමිණෙයි. වර්ෂාව වසින්නට මෙන් සිවු දිශාවෙන් අහස කළු කරගෙන කළු වළා ආවද ඒවා යළි සුළං හා ඇදී යයි. රටටම දුර්භික්ෂයක් පැමිණෙයි. නිසි කලට වර්ෂාව නොලැබෙයි.
(02) දෙවැනි සිහිනය
සල්, සපු, නා, ඇසතු, නුග මෙන්ම කොස්, පොල්, දෙල්, අඹ, දඹ ආදී වූ පොළොවෙන් හදිසියේ මතු වූ කුඩා ගස් රියන් දෙක තුනක් උසට ගොස් මල් පිපී ඵල දරා මාසයක් හමාරක් තුළදී ඒවා අභාවයට පත්වෙන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී මිනිසුන් පන්සිල් නොරකියි. ඒ නිසා අපරාධ ඉහළ යයි. ඒ නිසා පින් පව් ගැන ඔවුන්ට වගක් නැත. ලෙඩ රෝග ඉහළ ගොස් මිනිස් ආයුෂ අඩුවේ. දරුවන් උපත ලබා ඔවුන් කෙටි කලකින් අවාහ විවාහ වී දරුවන් හදා කෙටි කලකින්ම ඔවුන් ඉහත සිදුවීම් නිසා මරණයට පත්වේ.
(03) තෙවැනි සිහිනය
එදිනම උපන් වසු පැටවුන්ගෙන් උන්ව බිහිකළ මව් එළදෙන කිරි උරා බොන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී දරුවෝ මව්පියන්ට නොසලකයි. ගරු නොකරයි. දෙමාපියන් බිය වද්දා ගනියි. තවද අඩු වයසින් විවාහ වෙන දරුවෝ නොතේරුම්කම නිසාම ටික කලකින් සිය පවුල කඩාකප්පල් කර ගනියි. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට එහි විපාක විඳීමට සිදුවෙයි.
(04) සිවුවැනි සිහිනය
ඉදිරි විය ගසෙහි බාල ගොනුන් දෙදෙනෙක්ද පසු විය ගසෙහි ශක්තිමත් පාර තොට දන්නා ගොනුන් දෙදෙනෙක්ද බැඳ ගැල්වල බඩු පුරවා වෙළෙඳාමේ යන ගැලක් දකියි. එහෙත් ඉදිරියෙන් යන ගොනුන් පාර තොට නොදන්නා සහ ශක්තියෙන් අඩු නිසා ගැල ඇද ගැනීමට නොහැකිව වෙළෙඳුන්ගේ ගමන වැළකී යන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී උගතුන් නොවන මෝඩයින් රාජ රාජ මහාමාත්‍යාදී මැති ඇමැතිකම් දරයි. ඔවුන්ගෙන් වාසි වෙන්නේ ඔවුන්ගේ හිතවතුන්ට මිස රටේ ජනතාවට නොවේ. ඔවුන්ට රාජ්‍ය සේවය ගැන නොවැටහේ. ඒ නිසා රට අර්බුදයකට ලක්වේ. අධර්මිෂ්ඨකම ඉහළ යාමත් රටේ පාලනයට සුදුස්සන් නැතිවීමත් නිසා රට අගාධයට යයි.
(05) පස්වැනි සිහිනය
ජවසම්පන්න ඔළු දෙකේ අශ්වයෙක් සිටියි. අශ්වයාගේ ඉදිරිපස මෙන්ම පසුපසද ඔළුවකි. ඒ ඔළු දෙකේම ඇති කටින් මේ අශ්වයා ආහාර ගන්නා අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී රජ දරුවෝ ලැජ්ජා බියෙන් තොරව රටවැසියා සූරාකයි. ඔවුන්ව පාගා ඔවුන්ගෙන් අල්ලස් ගෙන රජ දරුවෝ සතුටු වෙයි. ඒ නිසාම රටවැසියා දිළිඳු වී ඔවුන්ට රාජ්‍ය ගැන කලකිරෙයි. එහෙත් රටේ අල්ලස සහ දූෂණය ක්‍රමයෙන් ඉහළ යයි.
(06) හයවැනි සිහිනය
මහා ජනකායක් එකතුව කහවණු ලක්ෂයක් වටිනා රන්තලියක් රජ මිදුලේ තබා ඊට වියපත් කැණහිලෙකු ලවා මුත්‍රා කිරීමට සලස්වන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී මෝඩයින් බඳු අධර්මිෂ්ඨ මිනිසුන් උසස් තනතුරු දරයි. රජකම් ඇමැතිකම් ලබා සැප විඳිමින් වැජඹෙයි. රටවැසියාට කරකියාගන්නට දෙයක් නැතිව සිටියි. ඒ අතර කැණහිලුන් ගානට වැටී සිටින්නවුන් රට විනාශ කරයි.
(07) සත්වැනි සිහිනය
එක් අහිංසක මිනිසෙකු මිටි අසුනක වාඩි වී මහත නූල් පොටවල් දෙක තුනක් ගෙන ලණුවක් අඹර අඹරා පුටුව යටට දමයි. එහෙත් ඔහුට නොදැනෙන සේ පුටුව යට කුසගින්නෙන් උන් කැණහිලෙකු ඒවා කා දමන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී තම පුරුෂයෝ දහදිය මහන්සියෙන් උපයා ගත් ධනය ඔවුන්ගේ බිරින්දෑවරු විසින් විනාශ කරයි. වැඩකට නැති සෝබන වැඩවලට යොදවයි. අනියම් පුරුෂයින්ටද වියදම් කරයි. එමෙන්ම කාන්තාවෝ හම්බ කරන දේ පිරිමින් විනාශ කරයි. සුරාවට සූදුවට අනියම් ඇසුරට ඒ ධනය යොදවයි. අවසානයේදී හම්බකළ දෙයක් නැත.
(08) අටවැනි සිහිනය
රජ මිදුලෙහි හිස් කළගෙඩි ගණනාවක් ඇත. ඒ මැද වීශාල ජලය පිරී ගිය කළගෙඩියකි. සතර කුලයන්හි මිනිසුන් නොයෙක් භාජනවලට ජලය ගෙනවිත් හිස් කළ තිබීයදී ජලය පිරුණු කළයටම ඒවා වත්කරයි. එහිදී එම කළය උතුරා ජලය අපතේ යන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී රටවැසියන් ගුණ යහපත්කමින් තොරවෙයි. පංචසීලය නොරකියි. විටෙක නියඟයන් පැමිණෙයි. තව විටෙක ධාරානිපාත වැසි වසියි. ඒ නිසා රාජ්‍ය සේදී යයි. යළි යළිත් දරුණු නියඟයන් ඇතිවී ජලය පවා හිඟ වෙයි. ඒ නිසා රටේ පාලකයෝ ජනතාව බදුවලින් යට කරයි. සොරකමද ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව පීඩාවට පත්වෙයි.
(09) නවවැනි සිහිනය
ඕලු, නෙලුම්, මානෙල් පිපි අලංකාර පොකුණකි. එය වටේ විවිධ සතුන් පැන් බොයි. තවද ජලස්නානය කිරීමෙන් පොකුණු ඉවුර කලඹයි. එහෙත් කැලඹීමෙන් තොරව ඉවුර ආසන්නයේ ජලය පිරිසිදුය. එහෙත් කිසිදු සතෙකු නොයන පොකුණ මැද කැලඹිලි සහගත බව දකියි.
අර්ථය – අනාගතයේදී රජවරු සතර අගතියෙන් කටයුතු කරයි. ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ඉහළ යයි. අල්ලස හා දූෂණය වැඩි වී කරුණාව නැති වේ. රටවැසියන්ට අසුබය. ගොවිතැන් ආදිය පාළුවෙයි. ඒ නිසා ජනතාව ප්‍රදේශය රට අතහැර යයි.
(10) දසවැනි සිහිනය
එකම හැළියේ උයන බත් මුට්ටියකි. එහෙත් ඉන් බත් කොටසක් අමුය. තව කොටසක් බාගෙට තැම්බී ඇත. තවත් කොටසක් ඉතා හොඳට තැම්බී තිබේ. තවත් කොටසක් බෙරිව කැඳ වී ඇත. එකම හැළියේ ඉවූ බතට එසේ වී ඇති අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී රජවරු අදැහැමි වෙයි. ඒ නිසා පිළිවෙළින් ඊට පහතින් ඇති අයද අදැහැමි වෙයි. දෙමාපියන්ට ගරු කිරීමක් නැතිවෙයි. පන්සිල් පිරිහෙයි. ඇතැමුන්ට සුබ වෙයි. ඇතැමුන්ට අසුබ වෙයි. එකම දේශයේ ජීවත් වුවද ඔවුන්ට එකම සැලකීමක් පාලකයින්ගෙන් හිමි නොවෙයි.
(11) එකොළොස්වැනි සිහිනය
කහවණු ලක්ෂ ගණනකට අගය කළ හැකි රත් හඳුන් අරටුවක් නරක් වූ දුගඳ හමන මෝරු මුට්ටියකට විකුණූ අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී බුදු සසුන කෙළෙසීමට ඇතැමුන් කටයුතු කරයි. චීවරය දරාගත් අසිල්වත් මහණුන් ශාසනයට පැමිණෙයි. සිල්වත් මහණුන්ට ඇති සැලකිලි අඩුවේ. ශාසනය පරිහානියට පත්වන අතර ටික දෙනෙක් පමණක් ධර්මයට අනුව ජීවත්වෙයි.
(12) දොළොස්වැනි සිහිනය
වමැද හිස්ව වේළී ගිය කිසිවක් නොමැති පොත්ත පමණක් ඇති ලබු කැට දියට වැටුණු විගස ඒවා ගල් දැමුවා සේ ගිලෙන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී සීලයෙන් පිරිහුණු පිරිසුදු මහණකමින් තොර බලවත්කම් හදාගත් මහණුන් රටේ බිහිවෙයි. ධර්මය ගැන දත් මහණුන්ට තැනක් නැතිවෙයි. ඒ නිසා ශාසනය පලුදු වී රට පිරිහෙයි.
(13) දහතුන්වැනි සිහිනය
විශාල ගෙවල් හා සමාන කළුගල් කුට්ටි ජලයේ පාවෙන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී පාපයට බර රජ දරුවෝ ඇමැතිලා බිහිවෙති. දාමරිකයෝද බිහිවෙති. කරකියාගත නොහී ගුණවතුන් නිහඬ වෙයි. දුසිල් මහණුන් අනවශ්‍ය දෙයට කෑ ගසමින් සුසිල් මහණුන්ව නිහඬ කරයි. සිල්වතුන්ට අනාගතයේදී සියල්ලම අහිමි වී යයි.
(14) දාහතරවැනි සිහිනය
මී මල් පොහොට්ටු වැනි කුඩා මැඩියෝ විසින් විශාල සර්පයන් පසුපස පන්නා ගොස් ඔවුන් ගොදුරු කරගෙන මුරු මුරු ගා ඔවුන්ගේ මස් අනුභව කරන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී රාගික හැඟීම්වලින් පිරි මිනිසුන් බිහිවෙයි. ඔවුන් ඒ නිසාම අඩු වයසින් විවාහ වෙයි. සියල්ලම බිරිඳට පවරන ඔවුන් ඒ නිසාම පසුව දුක් විඳියි. ඔවුන් සැමියන්ට නින්දා කරනු ලබයි. ඒ නිසාම පවුල් අසමඟියද ඇතිවේ.
(15) පහළොස්වැනි සිහිනය
පහත් ගණයට අයත් කපුටන් පිරිවරාගෙන රන්වන් පැහැ ඇති රාජ හංසයින් පියාඹන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී සුදුස්සාට සුදුසු තැන නොලැබී යයි. වැදගතුන් දුප්පතුන් වෙයි. අඩු දැනුම් ඇත්තෝ රට පාලනය කර නම්බුනාම ලබයි. පහත් පුද්ගලයින් නිසා වැදගතුන්ට තැන අහිමි වෙයි. දුසිල් මහණුන් රටේ වැඩිවෙයි.
(16) දාසයවැනි සිහිනය
සිංහයින් කොටියන් වැනි සතුන් පසුපස පන්නන මුවන් සහ එළුවන් ඔවුන් අල්ලාගෙන ඒ මස් අනුභව කරන අයුරු සහ ඔවුන්ට බියෙන් මරබියෙන් පැන යන අයුරු දකියි.
අර්ථය – අනාගතයේදී රාජ්‍ය පුරාවට අධර්මිෂ්ඨකම ඇතිවෙයි. රජ දරුවෝ නිසා රටවැසියා පිරිහෙයි. රටට ප්‍රශ්න ඇතිවෙයි. ස්වාභාවික විපත්, ලෙඩරෝග සහ වසංගත පැතිරී රට විනාශ වෙයි. බලවතුන් දුර්වලයින්ට යටවෙයි.
අවසාන දහසය වෙනි සිහිනයේ එන ආකාරයට රටට වසංගතයක් පැමිණ තිබේ. අනෙක් සිහිනවල තිබූ දේවල්ද දැන් දැන් ඇස් ඉදිරියේ පෙනෙමින් තිබේ. කාලයද ගෙවී ගොස් ඇත. කොසොල් රජුත් ඔහු දුටු ඒ සිහින දහසයත් දැන් අතීතයට එකතු වී ඇත. එහෙත් බුදු රජුන් කොසොල් රජුගේ සිහින දහසයේ වූ අර්ථය පැවසීමේදී එදා පැවසුව එම අනාගතය උදා වී ඇත්තේ දැන්ද? එය තේරුම් ගැනීම බාර බුද්ධිමත් ඔබටය.
රුවන් එස්. සෙනවිරත්න











