කොරෝනා නොහොත් ‘කොවිඞ් – 19’ ගෝලීය වසංගතය හේතුවෙන් අතිශය දරුණු තත්ත්වයකට පත්වී තිබෙන ප්‍රධානතම රටවල් දෙකක් වන ඉතාලිය සහ ඉරානය මේ වන විට මුහුණදී ඇති තවත් අර්බුදයක් හේතුවෙන් ‘කබලෙන් ළිපට වැටීමක්’ සිදුවී තිබෙයි. එනම් මෙම රටවල් දෙකම 2019 වසරේදී චීනය සමග ක්‍රියාත්මක කරන ලද ‘වන් බෙල්ට්, වන් රෝඞ්’ හෙවත් ‘එක් තීරයක්, එක මාවතක්’ නැමති සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් අස්සන් කරන ලද දේශයන් දෙකක් වෙයි. ඒ අනුව පසුගිය කාලයේ ඉතාලිය සහ ඉරානය තුළ සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් චීනය විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. දැන් සිදුවී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු මෙම රටවල් දෙකට කොරෝනා ව්‍යසනය මධ්‍යයේම අදාළ සංවර්ධන කටයුතු සඳහා චීනයට, මහා ධන සම්භාරයක් ගෙවන්නට සිදුවීමය.
2019 වසරේදී චීනය සමඟ අස්සන් කළ ගිවිසුම් යටතේ මේ වන විට ඉතාලිය සහ ඉරානය තුළ චීනයේ පූර්ණ මැදිහත්වීමෙන් සුවිශාල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කෙරෙයි. මෙම ව්‍යාපෘතිවල චීන ජාතික සේවකයන් දහස් ගානක් සේවය කරනු ලබන අතර, එම රටවල් මෙම ව්‍යාපෘති මගින් තමන්ගේ රටවල ආර්ථිකය විශාල වශයෙන් චීනය වෙත විවෘත කරනු ලැබුවේය. කොරෝනා වසංගතය සේයාවක්වත් නොදුටු එම රටවල් දැන් වැටී ඇත්තේ මහා අගාධයකටය. එනම් මෙම සුවිශාල චීන ව්‍යාපෘති සඳහා පොරොන්දු වූ පරිදි චීනයට මහා ධන සම්භාරයක් ගෙවන්නට ඉතාලියට සහ ඉරානයට සිදුවී තිබීමය.
චීනයෙන් අතිශය දුර ප්‍රමාණයකින් ඉතාලිය සහ ඉරානය පිහිටා තිබුණත්, අද කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ චීනයද අභිභවා යමින් එම රටවල් මෙම වසංගතයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටිති. 2019 වසරේ ආරම්භ කරන ලද මෙම සුවිශාල චීන ව්‍යාපෘති යටතේ යටකී රටවල් දෙක තුළ යටිතල පහසුකම්වල සිට ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර දක්වා සුවිශාල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙයි. ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම සමඟද මෙම ‘එක තීරයක්, එක මාවතක්’ සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පූර්ණ සංකල්පයක් සහ මෙහෙයවීමක් යටතේය. ‘වන් බෙල්ට්, වන් රෝඞ්’ ව්‍යාපෘතිය යටතේ ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය තුළ තිබෙන රටවල් 78ක් එකම මාවතක් සේ සලකමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබෙයි. මෙහිදී බොහෝ ව්‍යාපෘතිවලට චීනයේ මැදිහත්වීම ලැබෙයි.

‘ශතවර්ෂයේ මහා ව්‍යාපෘතිය’ ලෙසින් මෙම ව්‍යාපෘතිය අර්ථකථනය කර ඇත. 2013 වසරේදී ආරම්භ කරන ලද ‘සේද මාවත’ සංකල්පය යටතේ මෙම දැවැන්ත වැඩපිළිවෙළ දියත් කරනු ලැබුවේය. මාර්ග ප්‍රවාහන, දුම්රිය සේවා, වරාය කටයුතු, විදුලිබල, තෙල්, ගෑස් සහ තවත් විවිධ වැඩපිළිවෙළ රැසක් මෙම OBOR ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙයි. ඉතාලිය සහ ඉරාකයද මෙම ව්‍යාපෘතියට අයත් ප්‍රධානම දේශයන් දෙකක් වන අතර, එම රටවල් තුළ කොරෝනා වසංගතය ඇරැඹෙන විටදී ඉහත චීන ව්‍යාපෘතිවල කටයුතු එම රටවල් තුළද ආරම්භ කර තිබුණේය. කෙසේ හෝ පසුගිය වසරේදී ජී-7 සංවිධානයේ රටක් වශයෙන් ඉතාලිය විසින් චීනය සමඟ යටකී OBOR ගිවිසුම අස්සන් කරන විටදී එසේ සිදුනොකරන ලෙසට යුරෝපීය සංගමය සහ ඇමෙරිකාව විසින් දැඩි ලෙස අවවාද කර ඇත.

තත්ත්වය එසේ තිබියදී ඉතාලිය එම රටවල්වල උපදෙස් නොතකා තම තනි තීරණයට චීනය සමඟ ගිවිසුම අස්සන් කරනු ලැබුවේය. තමන්ට අනතුරු හැඟවූ රටවලට ඉතාලිය කියා සිටියේ ග්‍රීසිය, පෘතුගාලය සහ මෝල්ටාව වැනි යුරෝපීය රටවල්ද දැනටමත් චීනය සමඟ අදාළ ගිවිසුම අස්සන් කර ඇති බැවින්, මෙම තත්ත්වය ප්‍රශ්නයක් නොවන බැව්ය. කෙසේ හෝ ඉතාලිය අද කොරෝනා වසංගතයෙන් පීඩා විඳින යුරෝපයේ ප්‍රධානතම රට වශයෙන් සැලකෙයි. මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා වසංගතයෙන් දැඩි ලෙසම පීඩා විඳින්නේ ඉරානයය. මේ වන විට ඉරානයේ කොරෝනා රෝගීන් 1,60,000ක් සිටින අතර,මරණ 27,000ක් වාර්තා වී ඇත. ඉරාකයේ කොරෝනා රෝගීන් 90,000ක් සිටින අතර, මරණ 6000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත. මේ අනුව බලන කල එම රටවල පාලකයන් 2019 වසරේදී බුද්ධිමත්ව තීරණ ගත්තේ නම් ඔවුන් චීනයේ උගුලේ පැටලෙනු නොමැති බැව් ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවක් පෙන්වා දෙයි.
මෙහිදී දැන් අපූරු සිදුවීමක් ලෙස වාර්තා වන්නේ ඉතාලියේ පළමු කොරෝනා වෛයිරස් රෝගියා සොයාගෙන ඇත්තේ චීනය විසින් මෙහෙයවනු ලබන විශාල ඉදිකිරීම් ව්‍යාපෘතියක් පිහිටා ඇති ලොම්බර්ඞ් ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශයේ චීන ජාතික සේවකයන් දහස් ගණනින් සේවය කරනු ලබන අතර වසංගතය පැතිර තිබෙන්නේ ඔවුන්ගෙනි. නිරන්තරයෙන්ම චීන ජාතික සේවකයන්ගේ ආගමනය සිදුවන මෙම ලොම්බර්ඞ් ප්‍රදේශය තුළ රටවැසියන් දහස් ගණනින් මියගියේය. දැනටත් මෙම ප්‍රදේශයෙන් වසංගතයෙහි අඩුවක් දක්නට නැත. ඉරානයේද මෙවැනි තත්ත්වයක් තිබූ බවට දැන් කරුණු හෙළිවී ඇත. එනම් එරට විශාල චීන වැඩබිම් කිහිපයක් ඇති ක්වම් නමැති නගරයෙන් පළමු කොරෝනා රෝගියා සොයාගෙන ඇත. මෙම නගරයේ ඇති චීන වැඩබිම්වලද චීන සේවකයෝ දහස් ගණනින් සේවය කරති.
ප්‍රියන්ත හෙට්ටිගේ











