මේ දවස්වල කොරෝනා අමතක කරලා කතා කරන්න දෙයක් කාටවත්ම නැහැ. ඒක හැම ක්ෂේත්‍රයටම අදාළයි. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම කලා ක්ෂේත්‍රයටත් මේ වෙද්දී කොරෝනා වෛරසය ලොකු බලපෑමක් කරලා. ඒ වගේම කොරෝනා වෛරසයේ බලපෑමට ලක් වූ පුද්ගලයන්ට උදවු කරන්න වගේම වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කරන්නත් කලා ක්ෂේත්‍රයට අයත් ගොඩ දෙනෙක් මේ වෙද්දී කටයුතු කරලා. මේ විදියට කලාකරුවෝ එකතු වෙලා නිර්මාණය වුණු වීඩියෝවක් පසුගිය දින කිහිපයේදී ලංකාවෙත් බොහොම ජනප්‍රිය වුණා. සමාජ ජාලා හරහා තම කලා නිර්මාණ ජනතාව අතරට ගෙන යන කලාකරුවෝ තමයි මේ වැඬේට එකතු වෙලා හිටියේ. හැමෝටම තේරෙන විදියට කිව්වොත් ලංකාවේ ජනප්‍රියම youtubers එකතු වෙලා තමයි මේ වැඬේ කරලා තිබුණේ.
චූටි මල්ලියි- පොඩි මල්ලියි, වස්ති, රැට්ටා, ජනයි- ප්‍රියයි, ලකයි- සිකයි, ලෝචි, නවා, විගඩමා, ට්‍රැවල් විත් වයිෆ්, FTT, ඇතුළු තවත් සමාජ ජාල කලාකරුවන් කිහිප දෙනෙක් මේ වැඬේට එකතු වෙලා තිබුණා.වෙනදා තම තමන්ගේ නිර්මාණ හරහා වෙන වෙනම ජනතාව අතරට පැමිණෙන ඔවුන් එක නිර්මාණයක් හරහා එකට දැක ගන්න ලැබීමත් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වුණා. ඒ වගේම තමන් ආදරය කරන සමාජ මාධ්‍ය කලාකරුවන් හැම දෙනාම එක නිර්මාණයකින් දැක ගන්න එකත් ගොඩ දෙනෙක් තුළ කාලයක ඉඳන් තිබුණු බලාපොරොත්තුවක් කිව්වත් ඒක වැරැදි නැහැ.
කෙටි විඩීයෝ හරහා ප්‍රහසන කලාව අපේ රටේ ආරම්භ කළේ චූටි මල්ලියි- පොඩි මල්ලියි. ඒ “අපි නොදන්න ලයිව්” වැඩසටහන හරහා මීට අවුරුදු ගානකට කලින්. ඒත් ඒ කාලේ කරපු නිර්මාණවල වැඩිය අගය දැනෙන්නේ වර්තමානයට. මීට අවුරුදු ගානකට කලින් ඔවුන් කරපු නිර්මාණ අදටත් එකසේ ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒකයි. ඒ කලාවේ පුරෝගාමීන්ගේ ඉඳන් වර්තමාන පරපුරේ සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් පවා මේ වැඬේට එකතු වෙලා හිටියා.
කොවිඞ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තමයි මේ සඳහා මූලිකත්වය අරන් තියෙන්නේ. ඒ වගේම ජාතික රූපවාහිනී සංස්ථාව තමයි මෙහි නිෂ්පාදන කටයුතු බාර අරන් තියෙන්නේ. සියලුම දෙනාගේ උත්සාහය මැද වැඩ කටයුතු අවසන් කෙරුව මේ වීඩියෝව පසුගිය අප්‍රේල් 02 වැනිදා තමයි යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය සඳහා මුදා හැරියේ. වීඩියෝව කොවිඞ් 19 පැතිරවීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත පිලිගැන්වීම සිදු වුණෙත් එදිනමයි.
ලංකාවේ youtubers එකතු වෙලා කරපු මේ වැඬේ ප්‍රේක්ෂක ජනතාවත් ඉතාම ආදරයෙන් වැළඳ ගෙන තිබුණා. ලංකාවේ ප්‍රධාන පෙළේ යූ ටියුබ් චැනල් 7ක් මඟින් එකම වෙලාවක තමයි මේ වීඩියෝව මුදාහැරියේ. වීඩියෝව මුදාහැරලා දවස් පහක් ගත වන විට වස්ති යූටියුබ් නාලිකාවේ පමණක් එය නැරඹූ පිරිස මිලියනය ඉක්මවලා තිබුණා. ඒ වගේම ඒ වෙද්දී ලංකාවේ ජනප්‍රියම(#1 ON TRENDING) යූටියුබ් වීඩියෝව ලෙස වාර්තා වුණෙත් එයයි. ඒ හින්දම මේ වැඬේ ගැන තව ටිකක් විස්තර දැන ගන්න අපි වස්ති කණ්ඩායේම අනුෂ්ක උදානට කතා කළා. වැඬේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකම් සිද්ධ වුණු දේවල් අනුෂ්ක අපි එක්ක කිව්වේ මෙහෙමයි.
“මේ වැඬේ මූලික අදහස ආවේ කොවිඞ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන්. එතැනින් මට කතා කරලා මෙහෙම වැඩක් ගැන සාකච්ඡාවක් යනවා ඒකට එන්න පුළුවන්ද ඇහුවා. මම දෙපාරක් නොහිතා ඒකට කැමැති වුණා. ඇත්තටම මේ වැඬේට නිර්මාණකරුවන් තෝරා ගැනීමේදී අපි වෙනත් කිසිම නිර්ණායකයක් භාවිතා කළේ නැහැ. මේ වෙලාවේ ඉක්මනටම එකතු කර ගන්න පුළුවන් පිරිස තමයි එකතු වුණේ. එක එක්කෙනා වෙන වෙනම වීඩියෝ නිර්මාණය කරලා තම තමන්ගේ චැනල්වල අප්ලෝඞ් කරන්න කියන එක තමයි එතැන සිටි නිලධාරීන්ගේ ඉල්ලීම වුණේ. ඒත් මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වය එක්ක ඒක ටිකක් අමාරුයි. ඒ වගේම කට්ටිය එකතු වෙලා වැඩක් කළොත් ඒ පණිවිඩය සමාජ ගත වෙන ප්‍රමාණයත් වැඩියි. ඒ හින්දා අපි හැමෝම එක වීඩියෝ එකක් කරලා ඒක එකම වෙලාවක චැනල්වල අප්ලෝඞ් කරමු කියලා මම යෝජනා කළා. අන්තිමට ඒ යෝජනාව ස්ථිර වුණා. රජයේ සහයෝගය ලැබීමත්, ජාතික රූපවාහිනිය නිෂ්පාදන කටයුතු බාර ගැනීමත් එක්ක මේ වැඬේ ගොඩක් ලේසි වුණා. කට්ටියටම වෙන වැඩක් තිබුණෙත් නැති හින්දා සතියක් ඇතුළත මේ වැඬේ ඉවර කර ගන්න අපිට පුළුවන් වුණා.”
ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් කරපු වැඩක් වුණත්, ඒ වීඩියෝව හරිම නිර්මාණාත්මකයි. වීඩියෝව ඇදී යන විනාඩි 19ක කාලය කිසිම කම්මැළිකමක් නැතිව බලන් ඉන්න පුළුවන්. ඒ මුළු කාලයම හරිම රසවත්. ඒ හින්දා මේ වීඩියෝවේ තිරපිටපත ලිව්වේ කවුද කියලා දැන ගන්නත් හැමෝගෙම උනන්දුවක් තියෙනවා. ඒ හැමෝම වෙනුවෙන් අපි ඒ ප්‍රශ්නයත් අනුෂ්කගෙන් ඇහුවා.
“මෙහෙමයි. මේ වෙලාවේ පවතින තත්ත්වයක් එක්ක අපිට එළිමහනේ මේ වගේ දෙයක් කරන්න බැහැ. මේක පන්තියක් විදියට කරමු කියන අදහස ඉදිරිපත් කළේ සුනෙත් අයියා (පොඩි මල්ලි). පන්තියේ ගුරුවරයා ලෙස රඟපාන එකත් එයාම බාර ගත්තා. මේ වැඬේට සහභාගි වුණු වෛද්‍යවරයා සහ පොලිස් නිලධාරියා එක්ක සාකච්ඡා කරලා මේ වෙලාවේ රටේ ජනතාව වැඩියෙන්ම උනන්දු ප්‍රශ්න මොනවද කියලා අපි හොයා ගත්තා. ඒ ප්‍රශ්න අහන වැඬේ එක එක්කෙනා බාර ගත්තා. මාස්ක් ගැන අහන්න ජනයි ප්‍රියයි, දේශීය ඖෂධ ගැන අහන්න ලකයි සිකයි, ඇඳිරි නීතිය අතරේ කෑම කන එක අහන්න අපේ තඩියා වගේ වැඩ ටික බෙදා ගත්තා. හැබැයි තම තමන්ට ආවේණික සෛලියෙන් තමයි ඒ වැඬේ කළේ. මේක මෙහෙම කරන්න ඕනෑ කියලා කවුරුත් අපිව මෙහයවූයේ නැහැ. මං හිතන්නේ මේ වැඬේ මෙච්චර ලස්සන වුණෙත් ඒකයි.”
යූටියුබ් නාලිකා 07ක් මඟින් එකවර මුදා හැරියත් වස්තිලගේ වීඩියෝව තමයි ඒ අතරින් වැඩි දෙනෙක් නැරඹුවේ. ඒ ගැන අනුෂ්කගේ අදහස මෙහෙමයි.
“මං හිතන්නේ අපේ චැනල් එක පරිශීලනය කරන ප්‍රමාණය වැඩි වීම තමයි ඒකට හේතුව. දවස් පහක් ඇතුළත මිලියනයකට වැඩි පිරිසක් අපේ චැනලය හරහා එම වීඩියෝව නැරඹුවා. ඒ වගේම අනෙක් චැනල් හරහා නරඹපු ප්‍රමාණයත් එක්ක මේ වීඩියෝව සමස්ත නැරඹුම් ප්‍රමණය ලක්ෂ 25කට වැඩියි. අපිට ඕනෑ වුණෙත් ඒකම තමයි. කොහොම හරි කමක් නැහැ මේක මිනිස්සු බලන්නයි අපිට ඕනෑ. ඒ වගේම ලක්ෂ 25කට වැඩි නැරඹුම් ප්‍රමාණයක් තියෙන වීඩියෝවේ අන්තර්ගතය අඩුම ගාණේ ලක්ෂයක පිරිසක්වත් පිලිපැද්දොත් ඒක තමයි අපේ ජයග්‍රහණය.”
ලංකාවේ සමාජ ජාල නිර්මාණකරුවන් එකතු වෙලා කොරෝනා වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළේ අන්න එහෙමයි. ඔවුන්ගේ යුතුකම සහ වගකීම ඔවුන් ඉටු කළා වගේම ඒ වීඩියෝව රස විඳපු, ඔබට සහ මටත් ලොකු වගකීමක් සහ යුතුකමක් තියෙනවා අඩුම ගානේ අනුෂ්ක කිව්ව ලක්ෂයේ පිරිස අතරටවත් එකතු වෙන්න. ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි කරන්න පුළුවන් තරම් උත්සාහ කරමු. මේ නිර්මාණකරුවෝ එළි පෙහෙළියට ගිහින් කරන රසවත් අලුත් නිර්මාණයක් ඉක්මනටම රස විඳින්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් විතරයි.
චන්දන පොන්නම්පෙරුම











