කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මුළු ලෝකයේම ආර්ථිකය දැඩි අවදානමකට ලක් වී ඇත. ඒ හේතුවෙන් වෙනදා මෙවැනි අවස්ථාවල අපට උදවු කළ බොහෝ රටවල්ද දැඩි ආර්ථික අසීරුතාවයකට පත් වී ඇත. කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිර ගියහොත් එහි ඛේදනීය බව වැඩි කිරීමට එයද ප්‍රධාන හේතුවක් වී ඇත. ලෝකයේ දියුණු රටවල්වලින් ආධාර ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබියදී මේ මොහොතේ රජයට උදවු කිරීමට අපේ රටේම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම ඉදිරිපත් වීම සතුටට කරුණකි. ඒ අතර ඉදිරියේම සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතාය. ඒ මහතා විසින් මේ අසීරු අවස්ථාවේ තම පෞද්ගලික මුදලින් පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 70කට අධික බව සඳහන්ය. එම මුදල් වැය කර ඇත්තේ කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් රඳවා සිටින අයි.ඩී.එච්. රෝහල සඳහා අත්‍යවශ්‍ය වූ උපකරණ මිලදී ගැනීම සඳහාය. එමෙන්ම එම උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටද ධම්මික පෙරේරා මහතා පෞද්ගලිකවම මැදිහත් වීමද විශේෂත්වයකි.


ඒ අනුව ධම්මික පෙරේරා මහතාගේ අනුග්‍රහය යටතේ ගෙන්වූ වෙන්ටිලේටර්ස් 06ක් සහ විශේෂ ඇඳන් 06ක් පසුගිය 24 වැනිදා අංගොඩ උණ රෝහල වෙත ලැබී තිබිණි. මෙම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ වන විට තිබී ඇත්තේ වෙන්ටිලේටර්ස් 02ක් සහ ඇඳන් 2ක් පමණි. නමුත් ධම්මික පෙරේරා මහතාගේ මෙම පරිත්‍යාගයත් සමග දැන් වෙන්ටිලේටරස් 8ක් සහ ඇඳන් 8ක් දක්වා එම ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
කොවිඞ්-19 වෛරසය දරුණු ලෙස අසාදනය වූවකු පත් වන ප්‍රධාන අපහසුතාව වන්නේ පෙනහළු ආශ්‍රිත ක්‍රියාවලිය බිඳ වැටීමය. එම ආසාදිතයන් බොහොමයකගේ මරණය සිදු වන්නේද ඒ හරහා වන බැවින් වෛරසය දරුණු ලෙස ආසාදනය වූවකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුය. වෙන්ටිලේටර්ස් යොදා ගනු ලබන්නේ එම ක්‍රියාවලිය වෙනුවෙනි.
කෙසේ නමුත් මේ වන විට ලොව පුරා පවතින අධික ඉල්ලුම හමුවේ වෙන්ටිලේටර්ස් ලබා ගැනීම සඳහා එය නිෂ්පාදකයන්ගෙන් ඇනවුම් කර මාස 03කට ආසන්න කාලයක් සිටිය යුතු නමුත් ධම්මික පෙරේරා මහතා පෞද්ගලිකව එම ක්‍රියාවලියට සම්බන්ධ වීම මත පොරොන්දු වූ පරිදි දින 2ක් ඇතුළත ඒවා ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කොට ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි මෙම වෙන්ටිලේටර්ස් ලෝකයේ දියුණු රටවල රෝහල් තුළ පවා ඇත්තේ සීමිත ගණනකි. එවැනි පසුබිමක කොරෝනා උවදුර උත්සන්න වීමටත් පෙර එම යන්ත්‍ර 06ක් ගෙන ඒමට හැකි වීම ශ්‍රී ලාංකිකයන් ලද භාග්‍යයකි. ඊට අමතරව ඇඳන් 485ක් සහ ෂක්‍ඹ ඇඳන් 169ක්ද ධම්මික පෙරේරා මහතා විසින් ලබා දී ඇත.
පසුගිය වසර කිහිපය පුරාම ධම්මික පෙරේරා මහතා මේ ආකාරයේ විවිධ සමාජ ක්‍රියාකාරිත්වයන්ට දායකත්වය ලබා දී ඇත. නමුත් ඒවා බොහොමයක් සිදු වූයේ අප්‍රසිද්ධියේය. ධම්මික පෙරේරා දකුණතින් සිදු කරන සමාජ හිතවාදී කටයුතු බොහොමයක් ඒ මහතාගේ වම් අතද නොදන්නා බව පවසන්නේ ඔහුගේම ළඟම හිතවතුන් විසිනි. කොයි ආකාරයෙන් මේ අසීරු අවස්ථාවේ මුළු මහත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ධම්මික පෙරේරා මහතා සිදු කළ සත්ක්‍රියාවට ප්‍රසිද්ධියක් ලැබී ඇත. ඒ වෙනුවෙන් ඒ මහතාට සමස්ත ජාතියේම ගෞරවය හිමි විය යුතුය.
මීට අමතරව මේ වනවිට ධම්මික පෙරේරා මහතා විසින් පාසල් ළමුන් වෙනුවෙන් තවත් සද්ක්‍රියාවක්ද ආරම්භ කර තිබේ. ඒ අන්තර්ජාලය ඔස්සේ ‘ඩීපී එඩියුකේෂන්’ නමින් යූටියුබ් චැනලයක් ආරම්භ කිරීම හරහාය. මෙම යූටියුබ් චැනලය ඔස්සේ 6 වසරේ සිට 11 වසර දක්වා සිංහල, දමිල සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අතිදක්ෂ ගණිත ගුරුවරුන් ලවා ගණිතය විෂය ඉගැන්වීමට ඒ මහතා කටයුතු යොදා ඇත. පසුගිය කාලය පුරා මෙය සාමාන්‍ය මට්ටමකින් පවත්වාගෙන ගියද පාසල් නිවාඩුව ලබා දීමත් සමග එය දැවැන්ත ලෙස සිදුකිරීමට ඒ මහතා කටයුතු කොට තිබේ. දැනටමත් පසුගිය සතිය ඇතුළත පමණක් ඊට 3000කට අධික සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි ප්‍රධානම ක්‍රියා මාර්ගයක් වන්නේ එය පැතිර යතැයි සැලකෙන පිරිස් නිරෝධායනට ලක් කිරීමය. ඒ වෙනුවෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන රාශියක් වෙන් කිරීමට රජය කටයුතු කළ අතර තවත් කිහිපයක් ඉදි කිරීමද ආරම්භ වී ඇත. මේ අතර කාමර 150කින් යුතු සුඛෝපභෝගී වස්කඩුව සිට්‍රස් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දීමට තීරණය කළ බව ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා පසුගියදා දැනුම් දුන්නේය. සිට්‍රස් වැනි තරු පන්තියේ හෝටලයක නිරෝධායනට ලක් වීමට අවස්ථාව ලැබීමත් එක් අතකින් භාග්‍යයක් බඳු වන අතර එහි කළමානාකාර අධ්‍යක්ෂවරයා වන දිලිත් ජයවීර මහතා හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දීමට කටයුතු කර තිබිණ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සතු ත්‍රිකුණාමළයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් වන සිනමන් බ්ලූ හෝටලයද නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දිය හැකි බව එහි පාලනාධිකාරියද පසුගියදා රජයට දැනුම් දුන්නේය. එමෙන්ම හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම සතු කාමර 154කින් යුතු මීගමුව ක්ලබ් ඩොල්ෆින් හෝටලයද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ලබා දී ඇත.
නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ඇතැම් ස්ථාන යොදා ගැනීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමටද රජයට සිදු විය. ඒ අතරින් ප්‍රධාන වූයේ වත්තල ලාදුරු රෝහල සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට තීරණය කිරීමේදී එම ප්‍රදේශවල ජනතාවගෙන් ආ විරෝධතාවයන්ය. මේවා පසුපස සිටියේ වෙන කවුරුවත් නොව රටම දන්නා දේශපාලකයන්ය. හැඳල විරෝධය පිටුපස ප්‍රසිද්ධියේම සිටියේ නිමල් ලන්සාය. මඩකලපු විරෝධය පිටුපස සිටියේ හිස්බුල්ලාය. එවැනි පසුබිමක ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට අමතරව තවත් බොහෝ ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ට අයත් විවිධ ප්‍රමාණයේ සංචාරක හෝටල් කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සඳහා ලබා දීම සැබවින්ම අගය කළ යුතුය.
ඒ අතරින් එක් ව්‍යාපාරිකයකු වූයේ ගාල්ල ප්‍රදේශයේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාය. තමන්ට අයත් කාමර 30කින් යුතු උණවටුනේ පිහිටි සංචාරක හෝටලය සහ තල්ගම්පොල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා පොලිසියට බාර දීමට ඒ මහතා දැනටමත් කටයුතු කර ඇත. සන්හිල් සමූහ ව්‍යාපාරයට අයත් කාමර 25කින් යුතු කටුනායක පිහිටි හෝටලයද නිරෝධායන කටයුතු සඳහා ලබා දීමට එම ව්‍යාපාරයේ අධිපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා තීරණය කර තිබෙන අතර එච්. ටී. එස්. සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ඩී. ආර්. ප්‍රියන්ත මහතා තමන්ට අයත් හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුතු නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබාදීමට තීරණය කර ඇත. එමෙන්ම ප්‍රසන්න දසනායක මහතාද තමන්ට අයත් කාමර 35ක හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා ලබා දී ඇත. ඊට අමතරව තවත් බොහෝ ව්‍යාපාරිකයන් තම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන ලබා දීම සඳහා සූදානමින් සිටින බවද දැන ගන්නට ඇත.
මේ අතර රට පුරා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ අසරණ වූ ජනතාව වෙනුවෙන් තමන්ට හැකි ආකාරයෙන් ආධාර ලබා දෙන විවිධාකාරයේ ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද බොහෝය. ඔවුන් තමතමන්ට හැකි ආකාරයෙන් අසරණ වූ ජනතාවට පිහිටවීමට ඉදිරිපත් වීම හැම දෙනාගේම ඇගයීමට ලක්ව ඇත. මේ සියල්ල සලකා බැලූ විට පෙනී යන්නේ රටක් ජාතියක් ලෙස අප තවමත් අසරණ වී නොමැති බවය. එක්ව සිටියහොත් නැවතත් අපට නැඟී සිටිය හැකි බවය. එබැවින් සාමාන්‍ය ජනතාව ලෙස අපද අපට හැකි උපරිමයෙන් රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කළ යුතුය. ඒ අතරින් පළමුව සිදු කළ යුතු කාර්යය වන්නේ වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඇහිරීමය. එනම් හැකිතාක් අන් අයගෙන් වෙන්ව සිටීමය.
චන්දන පොන්නම්පෙරුම











