• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රධාන පක්ෂ 3ම බරපතළ අර්බුදයක (රාජ්‍ය රහස්)

March 31, 2020
in Exclusive
Reading Time: 18 mins read
A A
ප්‍රධාන පක්ෂ 3ම බරපතළ අර්බුදයක (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණය මුල්කරගෙන උණුසුම් වෙමින් පැවැති ලංකාවේ දේශපාලනය රත්වී ගිනියම් වූ යකඩයකට වතුර දැමූ කලෙක මෙන් එකවරම නිවී ගියේ කොරෝනා වෛරසය ලංකාව පුරා පැතිර යන බවට තොරතුරු වාර්තා වීමත් සමගය. මහ මැතිවරණයේ නාමයෝජනා බාරදුන් 19 වැනි බ්‍රහස්පතින්දා දින වන විට රෝගීන් කිහිපදෙනකු වාර්තා වී රෝගය රට පුරා පැතිර යෑමේ අවදානමක් මතුව තිබුණද ආණ්ඩුව කලින් සැලැසුම් කර තිබූ පරිදි නාමයෝජනා බාර ගැනීමේ කටයුත්ත අවසන් කිරීමට පියවර ගත්තේය. ඒ හරහා කරුණු කිහිපයක්ම මුදුන්පත් කර ගැනීම ආණ්ඩුවේ අරමුණ විය. ඉන් ප්‍රධානතම කරුණ වී තිබුණේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම තහවුරු කරගැනීමය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණ යටතේත්, එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ජන බලවේගය පක්ෂය යටතේ දුරකතනය ලකුණිනුත් නාමයෝජනා බාරදීමට පියවර ගැනීම හරහා ආණ්ඩුවේ එක් සැලැසුමක් සාර්ථක වූ ආකාරයක් දැකගන්නට ලැබිණ. අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ මීට සති දෙකකට ඉහතදී අනාවරණය කළ අයුරින්ම ආණඩුව නාමයෝජනා භාරගත් සැණින් මහ මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීමට පියවර ගත්තේ ඊට පසු දින සිටම රට පුරා කොටස් වශයෙන් ඇඳිරි නීතිය පනවමිනි.
කෙසේ වෙතත් රට තුළ මතුව තිබූ හදිසි තත්ත්වය මුල්කරගෙන ප්‍රධාන පක්ෂ තුනේම තිබූ අභ්‍යන්තර අර්බුද කිසිවක් පසුගිය සතියේ කරළියට ආවේ නැත. සියලුම මාධ්‍ය කොරෝනා සම්බන්ධ පුවත් වාර්තාකරණයට වැඩි ඉඩකඩක් දී තිබූ නිසා නාමයෝජනා මුල්කරගෙන ප්‍රධාන පක්ෂ තුනේම මතුව තිබූ අර්බුද යටගිය ආකාරයක් දැකගන්නට තිබිණ. නමුත් ඉකුත් සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මේ පිළිබඳ කෙටි තොරතුරු කිහිපයක් පමණක් පාඨකයන් වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර මෙවර පළවන්නේ එහි ඊළඟ කොටසය.

පක්ෂ තුන ඇතුළෙම නාමයෝජනා අර්බුද

මෙහිදී දැකගන්නට ලැබුණු බරපතළ අර්බුදය පැන නැඟුණේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේය. ඒ නාමයෝජනා ලබාදීමේ ප්‍රධාන සිදුවීම් 2ක් මුල්කරගෙනය. එකක් මාතර දිස්ත්‍රික්කයෙන්ය. අනෙක කොළඹ දිස්ත්‍රික්කයෙන්ය. දෙකටම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ වී තිබීම විශේෂත්වයක් විය.
මෙහිදී මාතර ලැයිස්තුවේ ප්‍රශ්නය පැනනැඟුණේ සාගල රත්නායක මහතා මුල්කරගෙනය. මාතර දැනට එක්සත් ජාතික පක්ෂයට ආසන 3ක් හිමිව තිබෙන අතර, ඉන් මංගල සමරවීර මහතාත්, බුද්ධික පතිරණ මහතාත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමග එක්ව නාමයෝජනා ලබා දීමට තීන්දු කර තිබීම නිසා එක්සත් ජාතික පක්ෂයට මාතරින් ඉතිරිව සිටියේ සාගල රත්නායක මහතා පමණි. සාගල යනු රනිල්ගේ සමීපතම හිතවතකු බව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි.

රනිල් අන්තිමට මාතරට කරපු දේ

කෙසේ වෙතත් මාතරින් සාගල පමණක් ඉතිරිව සිටියද අවසන් මොහොත වන තෙක්ම සාගල මාතර නාමයෝජනා ලැයිස්තුවට අස්සන් කිරීමට කටයුතු කර නොතිබිණි. එමෙන්ම රනිල්ද අවසන් මොහොත දක්වාම පක්ෂයේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමෙන් වැළකී සිටින ආකාරයක්ද දැකගන්නට ලැබිණි. මේ සිදුවීම් දෙකේම පිටුපස තිබූ රහස එළියට ආවේ රනිල් සාගලගේ නම අවසන් මොහොතේදී ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමට සූදානම් වීමත් සමගය. මේ බව සිරිකොත ඇතුළෙන්ම පක්ෂයේ ප්‍රබලයන් පිරිසකට වාර්තා වීමත් සමඟ නාමයෝජනා බාරදීමට තිබූ අවසන් පැය කිහිපය තුළ විශාල අර්බුදයක් එජාපය ඇතුළේ පැන නැඟුණු ආකාරයක් දැකගන්නට ලැබිණ. එය තවත් දෙගුණ තෙගුණ වූයේ කලක් රනිල්ගේ සමීපතම මිතුරකු වශයෙන් වසර විස්සකට ආසන්න කාලයක් කටයුතු කොට පසුව සජිත් ළඟට ගිය රනිල්ගේ පෞද්ගලික ලේකම්වරයා වූ සුදත් චන්ද්‍රසේකර මහතාවද එජාප ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවට සිරිකොතින් තොරතුරු වාර්තා වීමය. ඒ සම්බන්ධයෙන්ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අදහස් දක්වා තිබුණේ දැඩි කෝපයකින් යුතුව බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

සාගලගේ වැඩෙන් ජ්‍යෙෂ්ඨයන් කැළඹෙයි

කෙසේ වෙතත් සාගල ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන ආරංචිය ලැබීමත් සමඟ කලබලයට පත්ව සිටි පක්ෂයේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන් වන රවි, නවීන්, අකිල වැන්නන් වහාම රනිල් හමුවී ඊට සිය දැඩි විරෝධය පළ කර සිටීමට කටයුතු කළහ. එහිදී සාගලව ජාතික ලයිස්තුවට දැමීමට හේතුව කුමක්ද කියා රනිල්ගෙන් විමසූ විට රනිල් කීවේ සාගල මෙවර තරග කිරීමට අකමැත්තෙන් සිටින බවත්, ඒ හේතුව මත ජාතික ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කිරීමට කටයුතු කරන බවත්ය. නමුත් රවි ඇතුළු පිරිස රනිල් දුන් ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වන ආකාරයක් දැකගන්නට නොලැබිණි. ඔවුන් පෙන්වා දුන්නේ තමන් ඇතුළු කිහිපදෙනා පක්ෂය, අලියා සහ රනිල් වෙනුවෙන් පෙනී සිටි බවත්, කලින් සාකච්ඡා කර එකඟ වූ පරිද්දෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා පක්ෂය වෙනුවෙන් කැප කිරීමක් කොට ඒ ඒ දිස්ත්‍රික්කවලින් තරග වැද පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත්ය.
මීට අමතරව මාතර ආසන සංවිධායකවරුන්ගෙන්ද ඒ වන විට රනිල්ට දැඩි බලපෑම් එල්ල වන ආකාරයක් දැකගන්නට තිබිණ. ඔවුන් රනිල්ගේ මුහුණටම කියා සිටියේ පැවැති යහපාලන ආණ්ඩුව සමයේදී ජනතාවට වැඩක් කළ හැකි හොඳම අමාත්‍යාංශ කිහිපය සාගලට ලබාදී තිබූ බවත්, අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පවා පත්කර තිබූ බවත්, එවැනි තත්ත්වයක් යටතේ පවා මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සාගලට අපහසු නම් එම දේශපාලනයෙන් ඵලක් නොවන බවත්ය.

සාගල දේශපාලනය අත්හරියි

මේ ආකාරයට එල්ලවූ දැඩි බලපෑම හමුවේ අවසානයේදී රනිල්ට සාගලගේ නම ජාතික ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අකැමැත්තෙන් හෝ සිදුවිය. පසුව සාගලගේ නම නැවත වතාවක් මාතර ලැයිස්තුවට දැමීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී ගියේ මාතර ලැයිස්තුවේ සිටි අනෙක් අපේක්ෂකයන් ඊට විරෝධය පළකර සිටීම නිසාය. ඔවුන් රනිල්ට දැනුම්දී සිටියේ අවසන් මොහොතේ සාගලට නාමයෝජනා ලබා දීමට කටයුතු කරන්නේ සියලු දෙනාම නාමයෝජනා අස්සන් නොකිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඒ අනුව අවසානයේදී සාගලට සිදුවූයේ අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් යන දෙකම නැතිවී මෙවර මහ මැතිවරණයේදී ගෙදරට වී සිටින්නටය. නමුත් මේ සිදුවීම් සියල්ල මුල්කරගෙන සාගල කෙතරම් කලකිරීමකට පත්ව සිටියාද කිවහොත් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවට ප්‍රකාශයක් කිරීමට පවා එම කලකිරීම ඉහළ ගොස් තිබිණි.

දෙවැනි අර්බුදය කොළඹින්

එජාපය ඇතුළේ දෙවැනි අර්බුදය මතුවූයේ කොළඹ නාමයෝජනා මුල්කරගෙනය. කොළඹ දිස්ත්‍රික්කයේද මාතර මෙන්ම අනෙකුත් සියලුම හිටපු මන්ත්‍රිවරුන් සජිත්ගේ සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදීමට තීන්දු කර තිබීම නිසා රනිල්ට කොළඹින් ඉතිරිව සිටි එකම මන්ත්‍රිවරයා වූයේ රවි කරුණානායක මහතා පමණි. නමුත් අම්පාරේ දයා ගමගේ මහතා තමන්ට යළිත් අම්පාරෙන් තරග කොට ජයග්‍රහණය කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත්, එම නිසා තමන්ට කොළඹින් නාමයෝජනා ලබාදෙන ලෙසත් කර තිබූ ඉල්ලීම රනිල් පිළිගෙන තිබුණේ මහරගම, හෝමාගම සිංහල, බෞද්ධ ඡන්දවලට කතා කළ හැකි අපේක්ෂකයකු කොළඹ ලැයිස්තුවේ නොසිටීම නිසාය. ඒ අනුව රනිල් තීන්දු කර තිබුණේ මෙවර මැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටය. රනිල් එයද පක්ෂයට දැනුම් දුන්නේ නාමයෝජනා සකස් කොට අවසන් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
සාගලගේ තීන්දුවට මෙන්ම රනිල්ගේ මේ තීන්දුවටද පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉදිරිපත් වූයේ විශාල විරෝධයකි. විශේෂයෙන්ම රවි ඇතුළු පිරිස දැඩිව රනිල්ට කියා සිටියේ තමන් ඇතුළු පිරිස සජිත් සමග අර්බුද ඇතිකර ගත්තේ රනිල් වෙනුවෙන් පෙනී සිට බවත්, රනිල්ද ඒ කැප කිරීම වෙනුවෙන් පෙරළා කැප කිරීමක් සිදු කළ යුතු බවත්ය. එම නිසා මොන තත්ත්වයක් යටතේ හෝ රනිල් කොළඹින් තරග කළ යුතු බව රවී ඇතුළු පිරිසේ ස්ථාවරය විය.

රවී කොළඹට අස්සන් කරන්න බෑ කියයි

මේ සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයක් පක්ෂය ඇතුළේ සිදුකෙරුණු අතර අවසානයේදී රවි, දයා ඇතුළු කොළඹ අපේක්ෂකයන් තීන්දු කළේ රනිල් කොළඹින් තරග වදින තීන්දුව ගන්නා තෙක් කොළඹ නාමයෝජනා ලැයිස්තුවට අස්සන් නොකර සිටීමටය. ඒ අනුව තත්ත්වය තරමක් අර්බුදකාරී වාතාවරණයකට පෙරළෙන ලකුණු පහළ වීමත් සමග මාතර කළාක් මෙන්ම අඩියක් පසුපසට ගැනීමට අවසානයේදී රනිල්ට සිදුවිය. අන්තිම මොහොතේ රනිල් කොළඹ නාමයෝජනා ලැයිස්තුවට අස්සන් කළේ ඒ අනුවය. රවි ඇතුළු කොළඹ අපේක්ෂකයන් නාමයෝජනා අස්සන් කළේ රනිල් කොළඹ ලැයිස්තුවට සිය අස්සන දැමීමෙන් අනතුරුවය.

සජිත්ගේ පැත්තෙත් අර්බුද

රනිල්ගේ පාර්ශ්වයෙන් නාමයෝජනා මුල්කරගෙන මෙවැනි අර්බුද මතුවෙද්දී සජිත්ගේ සමගි ජන බලවේගය තුළද නාමයෝජනා සම්බන්ධයෙන් අර්බුද ඇති නොවුණාම නොවේ. විශේෂයෙන්ම සජිත්ගේ පැත්තෙන් අර්බුදය මතුවූයේ ජාතික ලැයිස්තුව පත්කිරීම සම්බන්ධයෙනි. මුලදී සමගි ජන බලවේගය සමඟ සම්බන්ධ වන සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඒ ඒ දිස්ත්‍රික්කවලින් යළි තරග කොට පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට එකඟතාවක් එම පාර්ශ්වයේ ඇතිකරගෙන තිබිණ. එවැනි අවස්ථාවක සජිත් පවා පැවැති අභ්‍යන්තර සාකච්ඡාවකදී මේ බව අවධාරණය කරමින් කියා සිටියේ සියලු දෙනාම ඒ ඒ දිස්ත්‍රික්කවලින් තරග කළ යුතු යැයි කියාය. නමුත් අවසන් මොහොතේ සජිත්ගේ ජාතික ලැයිස්තුව එළියට එන විට හිටපු මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ අතර සමගි ජන බලවේගයේ මහලේකම්වරයා වන රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකීර් මාකර්ද වූහ.

සජිත් පිලේ කසුකුසුවක්

ඒ අනුව සජිත්ගේ පාර්ශ්වය තුළද මේ පිළිබඳව යම් කසුකුසුවක් ඇති වන ආකාරයක් දැකගන්නට ලැබුණ. එහිදී ඇතැමුන් මේ සම්බන්ධයෙන් වන තම මතය සජිත්ට ප්‍රකාශ කළ අතර ඇතැමුන් ඒ පිළිබඳ නොසතුට සිය හිතවතුන් සමග පමණක් පැවැසුවත් සජිත්ට එය ප්‍රකාශ කළ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. කෙසේ වෙතත් තමන් සමග කතා කළ පිරිස් හට සජිත් ඒ පිළිබඳව යම් යම් පැහැදිලි කිරීම් කරනු දැකගත හැකි විය. විශේෂයෙන්ම රංජිත් මද්දුමබණ්ඩාර සහ හරීන් සම්බන්ධයෙන් සජිත් කියා සිටියේ මෙවර මැතිවරණයේදී ඒ දෙදෙනාටම සුවිශේෂී කාර්යභාරයක් පැවැරී ඇති හෙයින් ඔවුන් ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවකි.
මීට අමතරව සජිත්ගේ ජාතික ලැයිස්තුවේ වෘත්තීයවේදීන්ට අවස්ථාවක් හිමිව නොතිබීමද ඇතැමුන්ගේ විවේචනයට හේතුවී තිබිණ. සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තුව සකස් කර ඇත්තේ මැතිවරණයෙන් තරග කොට ජයග්‍රහණය කළ නොහැකි වෘත්තීයවේදීන්ව නීති සකස් කිරීමේ කාර්යයට සම්බන්ධ කරගැනීමට බැවින් සජිත්ගේ ජාතික ලැයිස්තුව වෘත්තීයවේදීන්ට වඩා හිටපු මැති ඇමැතිවරුන්ගෙන් පිරී තිබීම ඊට හේතුව විය.

ජාතික ලයිස්තුවෙත් ප්‍රශ්න

කෙසේ වෙතත් මේ පසුපස කිසිවකුත් නොදන්නා කතාවක්ද තිබේ. ඒ, ජාතික ලැයිස්තුව නම් කිරීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීයවේදීන් කණ්ඩායමක් පැමිණ සජිත් සමග ඒ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි. එම සාකච්ඡාවට එජාපයට හිතැති ආචාර්ය, මහාචාර්යවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ඔවුන් සජිත් සමඟ ජාතික ලැයිස්තුවට ඇතුළත් වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට පියවර ගෙන තිබිණ. කෙසේ වෙතත් මෙහිදී සජිත් ඔවුන්ට පැහැදිලි කර සිටියේ ඇතැමුන් මෙන් තමන්ට මිනිසුන්ට බොරු කළ නොහැකි බවත්, පවතින තත්ත්වය යටතේ මෙවර තමන්ට විද්වතුන් වෙනුවෙන් වැඩි නියෝජනයක් ලබාදිය නොහැකි බවත්ය.
“අනෙක් අය වගේ මට ඔබතුමන්ලට බොරු කරන්න බෑ. මම ඔබතුමන්ලව ජාතික ලැයිස්තුවට දාලා පාර්ලිමේන්තුවට පත්කරන්න බැරි වුණොත් මම බොරුකාරයෙක් වෙනවා. අනෙක අපි තවම අලුත් පක්ෂයක්. අලුත් පක්ෂයක් විදියට ඉදිරියට යද්දි අපිට තරමක් වැඩිපුර දේශපාලන තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබතුමාලගෙ අනෙක් යෝජනා සම්බන්ධයෙන් අපට සාකච්ඡා කරලා එකඟතාවකට එන්න පුළුවන්. නමුත් මෙවර ජාතික ලැයිස්තුව ගැන තීන්දුවකට එන්න අපට ටිකක් අපහසුයි…” යනුවෙන් සජිත් කළ පැහැදිලි කිරීමෙන් අනතුරුව එම විද්වතුන් පිරිස නැවැත වතාවක් එජාපය සමග සාකච්ඡා කිරීමට පිටව ගිය ආකාරයක් වාර්තා විය.

බයකරන්න එජාපය ගෙනා නීති තර්කය

මීට අමතරව එජාපය පැත්තෙන් නාමයෝජනා බාරදීමට දින දෙක තුනක් තියා මාධ්‍ය ඔස්සේ ගෙන ගිය දැවැන්ත ප්‍රචාරයක් මුල්කරගෙනද රනිල් – සජිත් පිල් අතර අර්බුදයක් මතුව තිබිණි. එහිදී එජාප නීති උපදේශක ලෙස සැලකෙන නීතීඥ නිශ්ශංක නානායක්කාරද, තවත් නීතිඥවරුන් කිහිප දෙනෙකුද මාධ්‍ය ඔස්සේ කියා සිටියේ සජිත්ගේ සමගි ජන බලවේගය නිසි ලෙස ලියාපදිංචි කොට නොමැති බැවින් අවසන් මොහොතේ සජිත් පිලේ නාමයෝජනා ලැයිස්තු සියල්ල ප්‍රතික්ෂේප වීම සිදු වන බවකි. එමෙන්ම එජාපය ඊට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද එහිදී කියැවිණ. මේ තත්ත්වය මත සජිත් පිලේ නාමයෝජනා බාරදීම අවසාන දිනය දක්වාම කල් ඇදෙන බවක් දැකගන්නට ලැබිණි. ඊට හේතු වූයේ සෑම ලැයිස්තුවක්ම නූලට, තිතට බැලීමට සජිත් පිල කටයුතු කිරීම නිසාය. නමුත් නාමයෝජනා ලබාදී අවසන් වුවද රනිල් පිල කී පරිදි ඊට කිසිදු විරෝධතාවක් ඉදිරිපත් වූ ආකාරයක් දැකගන්නට නොලැබිණ. නමුත් රනිල් පිලේ සැලැස්ම වී තිබුණේ බොරු නීති තර්කයක් ගෙනැවිත් සජිත් පිලට එක්වීමට සූදානමින් සිටි අපේක්ෂකයන් තුළ බියක් ඇතිකිරීම බව මෙහිදී පැහැදිලි විය.

පොහොට්ටු ලයිස්තුවෙත් කචල්

මේ අතර නාමයෝජනා ලබා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර මතුව තිබූ බරපතළ අර්බුදවලින් පසුව අවසන් මොහොතේ කුරුණෑගල ලයිස්තුවට අස්සන් තබා ප්‍රශ්නය තාවකාලිකව සමතයකට පත් කර ගැනීමට ශ්‍රීලනිපය කටයුතු කළත් ජාතික ලයිස්තුව සකස් කිරීමේදීද දෙපාර්ශ්වය අතර බරපතළ මතගැටුම් මතු වූ ආකාරයක් දැකගන්නට තිබිණ. ඊට හේතු වූයේ කලින් ශ්‍රීලනිපයට ලබා දෙන බවට පොරොන්දු වූ කෝටාව ලබා නොදීමට පොහොට්ටුව තීන්දු කර තිබීමය. ශ්‍රීලනිපය ඊට පෙර කියා සිටියේ සන්ධානගතව තරග වදින්නේ නම් ජාතික ලයිස්තුවෙන් නාමයෝජනා 5ක් ශ්‍රීලනිපයට හිමි විය යුතු යැයි කියාය.
මේ සම්බන්ධයෙන් දීර්ඝව දෙපාර්ශ්වය අතර සාකච්ජා වට කිහිපයක් පැවැති අතර ඇතැම් සාකච්ජාවන්ට බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙහිදී ෆයිසර් මුස්තාෆා හට ජාතික ලයිස්තුව ලබා දිය යුතු බවට ශ්‍රීලනිපයෙන් බැසිල් වෙත යෝජනාවක් ඉදිරිපත් වූ අතර බැසිල් කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව තනිව තීන්දුවක් ගත නොහැකි බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ජා කොට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය හැකි බවත්ය. ඒ අනුව වහාම බැසිල් ශ්‍රීලනිපයේ මෙම යෝජනාව ගෝඨාභයටත්, මහින්දටත් ඉදිරිපත් කළ අතර ඒ දෙපාර්ශ්වයන්ම ෆයිසර් සම්බන්ධයෙන් ලැබුණේ එකම පිළිතුරකි. ඒ, කිසිසේත්ම ෆයිසර් වැන්නකු විශ්වාස කළ නොහැකි බවත්, ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී පවා ෆයිසර් අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ අයකු බවත්ය. ඒ අනුව මෙවර ෆයිසර්ට පාර්ලිමේන්තු ඒමට කිසිදු අවස්ථාවක් නැත.

පොහොට්ටුවෙන් සිරිසේනට දෙකයි

අවසානයේදී මෙවර ශ්‍රීලනිපයට පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් හිමි වූයේ නාමයෝජනා 2ක් පමණි. ඉන් එකක් උතුරේ ආණ්ඩුකාරවරයාව සිටි සුරේන් රාඝවන්ටත්, අනෙක ශ්‍රිලනිපයේ වැඩබලන මහලේකම්වරයකුව සිටි රෝහණ ලක්ෂ්මන් පියදාසටත් හිමිව තිබේ.
මීට අමතරව මෙවර නාමයෝජනා ලබා දීමේදී ඉකුත් පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකුටම කිසිදු පාර්ශවයකින් හෝ නාමයෝජනා හිමිව නැති බවක් පෙනෙන්නට තිබේ. ඉන් එක් අයකු වන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කළ කරු ජයසූරිය මහතාය. කරු සැලකෙන්නේ 2018 වසරේ සිදුවූ නීති විරෝධී සහ සදාචාර විරෝධී ආණ්ඩු මාරුවේදී පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ ලා විශාල වැඩකොටසක් සිදු කළ අයකු ලෙසටය. නමුත් මෙවර කරුට එජාපයේ රනිල් පාර්ශ්වයෙන් හෝ සජිත් පාර්ශ්වයෙන් නාමයෝජනා හිමිව නැත.

වසන්තට ‌දෙපැත්තම නෑ: 8කට ඇපත් නෑ

මීට අමතරව එජාපයේ ආරම්භකයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතාටද මෙවර කිසිදු පාර්ශ්වයකින් නාමයා්ජනා ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි. ඒ සඳහා ආසන්නතම හේතුව වී තිබුණේ 2018 සිදුව තිබුණු නීති විරෝධී ආණ්ඩු පෙරළියේදී වසන්ත අවස්ථා 6කට වඩා පැති මාරු කර තිබීමය. මේ ප්‍රතිපත්තියක් නොමැති කම නිසා වසන්තට ලැබුණු දඬුවම වූයේ දේශපාලනයෙන් අකාලයේ විශ්‍රාම ගැනීමය.
එසේම නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන් ලාල් ග්‍රේරු, සරත් අමුණුගම, එස්. බී. නාවින්නටද මෙවර කිසිදු පාර්ශ්වයකින් නාමයෝජනා ලැබී නොතිබීම විශේෂ සිදුවීමකි.

වජිර කරපු මැටිමෝල් වැඬේ

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන අවධානයක් දිනා ගැනීමට සමත් වූ චරිතයක් වී තිබිණ. ඊට හේතු වී තිබුණේ නාමයෝජනා බාරදීමෙන් පසුව වජිර විසින් සිදුකරනු ලැබූ එක්තරා අපූරු ක්‍රියාවකි. ඒ වනවිටත් කොරෝනා රෝගය රට පුරා ව්‍යාප්ත වෙමින් පැවැති බැවින් මුඛ ආවරණවලට විශාල ඉල්ලුමක් පැවතිණ. ඒ නිසාම රට පුරා මුඛ ආවරණ හිඟයක්ද මතුව තිබිණ. සාමාන්‍යයෙන් ජනතාවට ව්‍යසනයක් සිදුවූ අවස්ථාවලදී ඒ මතින් ගොස් දේශපාලන වාසි ලබා ගැනීම ලංකාවේ මජර දේශපාලනයේ උපන්ගෙයි දෝසයක් නිසා වජිරද මේ කොරෝනා වයිරසයෙන් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට කල්පනා කළ බවක් දැකගන්නට තිබිණ. ඒ අනුව වජිර කළේ නාමයෝජනා බාරදීමෙන් අනතුරුව ගාලු නගරයේ ඇවිද යමින් ජනතාවට මුඛ ආවරණ බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමය.
වජිරගේ මේ වැඩපිළිවෙළ ඉතා හොඳ එකක් වුවත් වැඬේ ගැස්සී ගියේ එක්තරා තැනකදී වජිර ‘ඕවර් ඇක්ටින්’ යමින් සිදුකළ ක්‍රියාවක් නිසාය. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ එක් අයකු භාවිත කළ මුඛ ආවරණයක් තවත් අයකුට භාවිත කිරීමට ලබා නොදෙන ලෙසටය. එමෙන්ම තමන් පළඳින මුඛ ආවරණය හෝ අවස්ථා කිහිපයකදී භාවිත නොකළ යුතු බව වෛද්‍ය උපදේශය වී තිබේ. එසේ තිබියදී වජිර එදා කරන්නේ මුඛ ආවරණ ජනතාවට බෙදන ගමන් තමන් පැළඳ සිටි මුඛ ආවරණයද ගලවා ඒ අසල සිටි පුද්ගලයකුට ලබා දීමය. එය එක් අතකින් සදාචාර විරෝධී කටයුත්තක් බව අමුතුවෙන් නොකිවමනාය.
කෙසේවෙතත් ඒ අවස්ථාවේදී වජිරගේ මෙම ක්‍රියාවට කිසිවකුගේ අවධානය යොමු නොවුණත් සමාජ මාධ්‍ය ජාලාවලින් නම් වජිරට කිසිදු ගැලවිල්ලක් ලැබුණේ නැත. වජිර එසේ මුඛ ආවරණ බෙදන වීඩියෝව ඒ මොහොතේම සමාජ මාධ්‍ය ජාලාවන්වලට කිසිවකු විසින් යොමු කර තිබුණු අතර එතැන් සිට මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයන්හි ප්‍රසිද්ධම වීඩියෝව බවට පත්වන්නට වැඩිවේලාවක් ගත වූයේ නැත. එමෙන්ම ඊට පාඨක ප්‍රතිචාරද විශාල වශයෙන් ලැබෙන්නට වූ අතර බොහෝ දෙනා එය හඳුන්වා දී තිබුණේ වජිර විසින් කළ ‘මැටිමෝල්’ වැඩක් ලෙසය.

පොහොට්ටුවෙත් මැටිමෝල් මොඞ්ල් එකක්

කෙසේවෙතත් වජිරගේ මේ මැටිමෝල් වැඬේ උණුසුම පහව යන්නටත් මත්තෙන් මේ හා සමාන තවත් එක් සිදුවීමක්ද විය. එවර ඊට සම්බන්ධ වී තිබුණේ පොහොට්ටුව නියෝජනය කරමින් මෙවර බදුල්ලෙන් මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකි. ඔහු කර තිබුණේ ඇඳිරි නීතියද දමා තිබුණු අවස්ථාවක කොරෝනා වයිරසය රටින් තුරන් කිරීම සඳහා රතන සූත්‍රයෙන් පිරිත් කරනු ලැබූ විශාල පිරිත් පැන් ටැංකියක් කුඩා ලොරි රථයක පටවාගෙන ඇඳිරි නීතිය මධ්‍යයේම ප්‍රදේශවාසීන් අතර බෙදා හැරීමය. ඒ හරහා විශාල වශයෙන් ජනතාව ඒකරාශී වීමක් සිදුවුණු අතර එය රජය රෝගය පාලනය කිරීම සඳහා ජනතාවට ඒකරාශි නොවන ලෙසට කර තිබූ උපදෙස් උල්ලංඝනය කිරීමක් විය.
ඒ අනුව වජිර මෙන්ම මෙම පොහොට්ටුවේ අපේක්ෂකයාද කර තිබුණේ සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් කර තිබූ පරිද්දෙන්ම මැටිමෝල් වැඩකි.

මහින්දගේ ෆොටෝ යළි එළියට

පසුගිය සතියේ තවත් අපූරු ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම ජායාරූවලින් දැක්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ඩිමෝ බට්ටා වාහන පෙළක් ජනතාව වෙත බෙදා හැරීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන ආකාරයක්ය. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම අරමුණු කරගෙන පනවා ඇති ඇඳිරි නීතිය නිසා නිවෙස්වලට වී සිටින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ හරහා බෙදන ආකාරයක්ද එම ජායාරූපවලින් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් මෙම ජායාරූප කිහිපය සමාජ මාධ්‍ය ජාලාවන්හි ව්‍යාප්ත වීමත් සමග ඊට එරෙහිව විශාල විරෝධයක්ද මතුවන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඊට හේතු වූයේ මෙපමණ විපතක් රටට සිදුව ඇති අවස්ථාවක ඒ හරහා දේශපාලනය කිරීමටත්, තම ප්‍රතිරූපය පුම්බා ගැනීමටටත් අගමැතිවරයා කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි ගොඩනැගෙන්නට පටන් ගැනීමය. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු විටෙක තම ජායාරූපය භාවිත නොකරන ලෙසට උපදෙස් දී තිබියදී සහ සමාජ සත්කාරයන් හරහා දේශපාලන වාසි ලබා නොගැනීමට කටයුතු කරමින් සිටියදී අගමැතිවරයා මේ ආකාරයට ජායාරූප ගසාගෙන වාහනවලින් බඩු බෙදීම ජනතාවගේ කෝපයට සහ පිළිකුළට හේතුවක් වී තිබිණ. ඒ නිසාම සමහරු ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මහින්ද තම පරණ පුරුදු සෙල්ලමම පටන් ගෙන ඇති බව කියමින් දෙස්දෙවොල් තබන ආකාරයක්ද දැකගන්නට තිබිණ.

අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලකුත්

මේ තත්ත්වය මොහොතක් යාමට මත්තෙන් මහින්දගේ කනටද වැටිණ. තමන් කිසිදු විටෙක සිය ජායාරූප භාවිත කොට ලොරි රථ උපයෝගී කරගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින ලෙසට දැනුම් දී නොමැති නිසා පුදුමයට පත්වූ මහින්ද වහාම නිලධාරීන්ට දැනුම් දී සිටියේ මේ පිළිබඳව සොයා බලන්න යැයි කියාය. ඒ අනුව කළ සොයාබැලීමකදී ඔවුන්ට වැටහී ගියේ 2014 වසරේ ‘රට පෙරට’ වැඩසටහන යටතේ රට පුරා බෙදාහැරි ජංගම ලොරි රථ පිළිබඳ පළවූ ජායාරූප පෙළක් කිසිවකු විසින් අගමැතිවරයාත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත්කරනු පිණිස වුවමනාවෙන්ම සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කර ඇති බවකි. ඒ සම්බන්ධයෙන් මහින්දව දැනුවත් කිරීමෙන් පසුව මහින්ද සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේ වහාම ඒ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසය. එමෙන්ම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කරන ලෙසට මාධ්‍ය ඒකකයට දැනුම් දීමක්ද කෙරිණ.

ඇඳිරි නීතිය අස්සේ පත්වීම් 2ක්

ඇඳිරි නීතිය මැද පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් වැඩි ප්‍රසිද්ධියකින් තොරව නව පත්වීම් 2ක්ද සිදුකරනු දැකගන්නට ලැබිණ. ඒ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත්කිරීමය. ඒ උතුරුමැද සහ බස්නාහිර පළාත්වලටය. උතුරුමැදට හිටපු ආණ්ඩුකාරවරයකු වූ මහීපාල හේරත් මහතාද, බස්නාහිර සඳහා හිටපු ගුවන් හමුදාපති, මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලකද පත්කරනු ලැබිණ.

රවීන්ද්‍ර බස්නාහිර එපා කියයි

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු සුවිශේෂම සිදුවීම වූයේ බස්නාහිර ආණ්ඩුකාර ධූරය පිරිනැමීමේදීය. රොෂාන් ගුණතිලකට පෙර ජනාධිපතිවරයා විසින් ඒ සඳහා තෝරාගෙන තිබුණේ ප්‍රවීණ කලාකරුවකු වන රවීන්ද්‍ර රන්දෙණිය මහතාය. මේ බව ජනාධිපති කාර්යාලය මගින් රවීන්ද්‍රට දැනුම් දුන්නද රවීන්ද්‍ර එම තනතුර භාර ගැනීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඒ බව රවීන්ද්‍ර ඉතා කාරුණිකව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමටද කටයුතු කළේය. රවීන්ද්‍රගේ ආණ්ඩුකාර ධූරය රොෂාන් ගුණතිලක හට ලැබුණේ ඒ ආකාරයටය.

විපක්ෂයෙන් ආණ්ඩුවට බලපෑම්

කොරෝනා වයිරසය රට තුළ පැතිර යාමේ අවදානම මත පසුගිය සතිය ආරම්භයේදීම ආණ්ඩුව එය මැඩපවත්වා ගැනීම සඳහා වහාම ඇඳිරි නීතිය පැනවූයේ සමාජ දුරස්ථභාවය තබා ගැනීම මගින් රෝගය ව්‍යාප්ත වීම පාලනය වන බවට ලැබී තිබුණු වෛද්‍ය උපදෙස් මතය. මේ තත්ත්වය විපක්ෂයටද වටහා ගැනීමට හැකි වුවද ඔවුන් වහාම පාර්ලිමේන්තුව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ජා කරන ලෙසට ආණ්ඩුවට දැඩිව බල කර සිටින ආකාරයක් දැකගන්නට තිබිණ. මේ සඳහා මූලිකත්වය ගත්තේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. සජිත් වහාම නිවසේ සිටම වීඩියෝවක් මුදා හරිමින් කියා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඊට අමතරව නිවේදනයක්ද නිකුත් කරමින් සජිත් පාර්ලිමේන්තුව කැඳවන ලෙසටත්, මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙසත් ඉල්ලීමක් කිරීමට පියවර ගෙන තිබිණ. එමෙන්ම කරු ජයසූරිය මහතාද හිටපු කතානායකවරයා වශයෙන් මේ හා සමානම නිවේදනයක් පළ කිරීමට පියවර ගෙන තිබිණ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණද කියා සිටියේ මෙවැනි ජාතික ආපදා තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව රැස්කොට සාකච්ජා කිරීමට පියවර ගත යුතු යැයි කියාය.

රනිල් ගහන්න යන ගේම

කෙසේවෙතත් එජාපයේ නායකයා වන රනිල් නම් අනුගමනය කළේ මීට තරමක් වෙනස් ප්‍රතිපත්තියක් සහ උපාය මාර්ගයකි. රනිල් කළේ මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකතනයෙන් ඒ පිළිබඳව සාකච්ජා කිරීමය. අවස්ථා දෙකකදී එසේ මහින්දට කතා කළ රනිල් පෙන්වා දුන්නේ අප්‍රේල් මාසයෙන් පසුව ආණ්ඩුවේ වියදම් දැරීමට මුදල් සම්මත වී නැති බැවින් ආණ්ඩුව වහාම පාර්ලිමේන්තුව කැඳවා ඊට අදාළ මුදල් සම්මත කර ගත යුතු බවත්, ඊට එජාපය සහාය පළ කිරීමට සූදානම් බවත්ය. මීට අමතරව රට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය යටතේ මැතිවරණය පැවැත්විය හැකි දිනයක් පිළිබඳව සිතා ගත නොහැකි නිසා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කොට යම් නිශ්චිත කාලයකට මැතිවරණය කල් දැමිය යුතු බවත් කියමින් රනිල් එහිදී මහින්දට පවතින නීතිමය තත්ත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්නට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් රනිල් මෙසේ මැතිවරණය කල් දමා ගන්නට දතකන්නේ ඇයිද යන්න කාට වෙතත් මහින්දලාට නම් රහසක් නොවේ. රනිල්ට වුවමනා වී ඇත්තේ කොරෝනා පිට දමා කෙසේ හෝ මහමැතිවරණය මාස 3කට වඩා වැඩි කාලයකින් කල් දමාගැනීමටය. ඊට හේතුව වන්නේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කර තිබියදී යම් හේතුවක් මත මැතිවරණය මාස 3කට වඩා කල් දැමීමට සිදුවේ නම් නාමයෝජනා අහෝසි වන බවට මැතිවරණ නීතියේ වගන්තියක් ඇතුළත්ව තිබීමය. ඒ අනුව රනිල්ට වුවමනා වී ඇත්තේ කෙසේ හෝ මාස 3කට වඩා මැතිවරණය කල් දමාගෙන නාමයෝජනා අහෝසි කරගන්නටය. දැනට එජාපයේ හිටපු ප්‍රබල මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සජිත් සමග එක්ව නාමයෝජනා ලබා දී ඇති නිසා එජාපය දෙකඩව තම පිල දුර්වල වී ඇති බැවින් රනිල්ගේ උත්සාහය වී තිබෙන්නේ නාමයෝජනා අහෝසි කොටගෙන නැවත වතාවක් දෙපාර්ශ්වයම එකමුතුව එක් පක්ෂයකින් තරග වැදී තම නායකත්වය ආරක්ෂා කරගැනීමය. එජාපය හැර ගොස් සජිත් ඇතුළු කණ්ඩායම වෙනත් පක්ෂයක් සාදාගත් බවට එජාපයෙන් ආඩපාලි තැබුවද තවමත් ඒ ගිය කිසිවකුගේ තනතුරු හෝ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට හෝ විනය පරීක්ෂණ පැවැත්වීමට රනිල් පියවර ගෙන නැත්තේ ඒ අනුවය.

මහින්ද යුද ප්‍රකාශ කරයි

නමුත් රනිල්ලාගේ මේ සැලසුම ගැන මහින්දලාද නොදන්නවා නොවේ. රනිල්-සජිත් ඇතුලු විපක්ෂයම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවට ප්‍රකාශ කරද්දී ඔවුන් සමග යුද ප්‍රකාශ කරමින් මහින්ද නිවේදනයක් නිකුත් කළේ ඒ නිසාය. එම නිවේදනය මගින් මහින්ද පෙන්වා දී තිබුණේ කොරෝනා වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ආණ්ඩුව නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන තිබියදී සහ ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමට වැඩපිළිවෙළක් සකස් කර තිබියදී විපක්ෂය ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඒ සැණින් සජිත්ද මහින්දගේ මෙම නිවේදනය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කිරීම නිසා කොරෝනා යුද්ධය අස්සේ මහින්ද-සජිත් ලියුම් යුද්ධයක් සිදුවූ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

පක්ෂ නායක රැස්වීමට ආ සැඟවුණු අමුත්තා

ඒ කොයි හැටිවෙතත් පසුගිය සතියේ මහින්ද එක්තරා විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ අඟහරුවාදා දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අරලිය ගහ මන්දිරයේ කැඳවීමටය. ඊට සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කළ මහින්ද හිටපු කතානායක කරුටද ආරාධනා කිරීමට පියවර ගත්තේය. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ විපක්ෂය මෙම පක්ෂ නායක රැස්වීමේදී හොඳ සෙල්ලමක් දමා ආණ්ඩුවට බිමටම වැටෙන්නට පහර දී ලකුණු දමා ගැනීමට කටයුතු කරනු ඇතැයි කියාය. නමුත් මෙම පක්ෂ නායක රැස්වීමේදී සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. එනම් මහින්ද පක්ෂ නායක රැස්වීම ආරම්භයේ සිටම එහි සම්පූර්ණ පාලනය තමන් අතට ගෙන තිබීමය. එ සඳහා මහින්ද එක් විශේෂ තුරුම්පුවක් මෙහිදී ගසා තිබූ බවක් පැහැදිලිවම දැකගන්නට තිබිණ. ඒ, අන් කිසිවක් නොව පසුගිය දින කිහිපය පුරාම පෙනෙන්නට නොසිටි බැසිල් රාජපක්ෂ පළමු වතාවට මෙම රැස්වීමට කැඳවීම හරහාය.

බැසිල් ස්වයං නිරෝධායනයේද

පසුගිය කාලයේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු නිසා කාර්යබහුල වී සිටි බැසිල් එම කටයුතු නිමා වීමත් සමග පෙනෙන්නට තිබුණේ නිහඬ වූ ආකාරයකි. ඒ පිළිබඳව බොහෝ දෙනා විමසද්දී ඇතැමුන් කීවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමත් සමග බැසිල් ස්වයං නිරෝධායනයකට ලක්ව නිවෙසට වී සිටිනවා යැයි කියාය. තවත් සමහරුන් කීවේ අවිවේකී කාලසමයක් ගත කළ බැවින් බැසිල් මේ දිනවල විවේකී සුවයෙන් සිටිනවා යැයි කියාය. කෙසේවෙතත් බැසිල් ගැන කිසිදු නිවැරදි හෝඩුවාවක් සොයා ගැනීමට ඒ කිසිවකුට නොහැකි විය. එවැනි තත්ත්වයක් මධ්‍යයේ පසුගිය දිනෙක අප වෙබ් අඩවිය මගින් බැසිල් සම්බන්ධයෙන් එක්තරා විශේෂ පුවතක් පළ කිරීමට අපි පියවර ගත්තෙමු. ඒ බැසිල් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ ලබා ගැනීමට වෙළෙඳපොළට පැමිණි ජනතාව නීතියට අනුගත වෙමින් මනා සංයමයකින් යුතුව මිලදී ගැනීම් සිදු කළ ආකාරය පිළිබඳව ස්තූති කරමින් තැබූ විශේෂ පණිවුඩයක් අනාවරණය කරමිනි. එහිදී අප බැසිල් විසින් පළ කොට තිබූ විශේෂ ජායාරූප කිහිපයක්ද අප වෙබ් අඩවියේ පළ කිරීමට පියවර ගත් අතර ‘ඔව් අපට පුළුවන්..’ යනුවෙන් බැසිල් පළ කර තිබූ සඳහනද අපි ඒ ආකාරයෙන්ම පළ කිරීමට පියවර ගත්තෙමු.
කෙසේවෙතත් එවැනි නිහඬ දින කිහිපයක් ගත කළ බැසිල් පළමු වතාවට කලඑළි බැස්සේ මෙම පක්ෂ නායක රැස්වීමෙන්ය. බැසිල් එසේ කලඑළි බැස්සේද නිකම් ආවාට ගියාට අත් දෙක වන වනා නොව විපක්ෂය විසින් ඒ වනවිටත් චෝදනා එල්ල කර තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට නොලැබෙන බවට වූ චෝදනාවට පිළිතුරුත් අරගෙනය.

බැසිල් කට්ටියගේම කටවල් වහයි

ජනාධිපතිවරයා සමග කල්තියාම ඒ පිළිබඳව සාකච්ජා කර තිබූ බැසිල් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක්ද සකස් කර තිබිණ. ඉකුත් යුද සමයේදී පවා ජනතාවට අවශ්‍ය ආහාරපාන අගහිඟයකින් තොරව ලබා දී තිබූ අත්දැකීම බැසිල් සතුව තිබීම නිසා ජනාධිපතිවරයාද ඊට කාර්ය සාධක බළකායක් පත් කොට එය බැසිල් යටතට පත්කළේ බැසිල් ගැන හොඳහැටි දන්නා නිසාය. ඒ අනුව බැසිල් පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ විස්තරයක් පිරිස හමුවේ තැබුවේ ප්‍රශ්නයක් හෝ අසන්නට ඉඩක් නැති කරමිනි.
කෙසේවෙතත් පසුව පාර්ලිමේන්තුව රැස්කිරීම පිළිබඳ මාතෘකාව ඇදී ආ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඊට ලැබුණේ අපූරු පිළිතුරකි. ඒ ඇඳිරි නීතිය පනවා සමාජ දුරස්ථභාවය තබා ගන්නා ලෙසට ජනතාවට කියන අතරවාරයේ පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගතහොත් එය ජනතාව අතර විහිළුවක් බවට පත්වීමට ඉඩ ඇතැයි යන්නය. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීම අනවශ්‍ය බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ආණ්ඩුව එහිදී අවධාරණය කර සිටිනු දැකගන්නට ලැබිණ.

රනිල්ගෙන් මානසික මෙහෙයුමක්

මේ ආකාරයට පක්ෂ නායක රැස්වීම අවසන් වීමන් පසුව සිය නිවෙසට ගිය රනිල් මෙම අර්බූදය හමුවේ සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව රනිල් කළේ නිවෙසේ සිට වීඩියෝවක් නිකුත් කරමින් ආණ්ඩුව ඉදිරියේදී මෙම අර්බුදයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමය. ඉන්පසුව එම වීඩියෝව එජාපයට හිතවත් සමාජ මාධ්‍ය ජාලාවල පළ කරවා ඒ හරහා ‘රනිල් තමයි නායකයා’ යන මතය එජාපය ඇතුළේ තහවුරු කර ගැනීමේ මානසික මෙහෙයුමක් දියත් කිරීම රනිල්ගේ අරමුණ වී තිබිණ.

මහජන්දය තියන දිනය

රට තුළ මතුව ඇති තත්ත්වය මත දේශපාලනය ගැන උනන්දු වන පිරිස් මේ වනවිට බලා සිටින්නේ මෙම තත්ත්වය යටතේ මහමැතිවරණය කිනම් කාලයක පැවැත්වෙනු ඇතිද කියාය. එජාපයේ රනිල්ලා නම් මාස 3කට එහා මහමැතිවරණය කල්දමාගැනීමේ සැලසුමක් සහිතව සිටියත් ආණ්ඩුව නම් සිටින්නේ වෙනස්ම සැලසුමක් ඔළුවේ තියාගෙනය. ඒ අනුව ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ දැඩි ක්‍රියාමාර්ග ගැනීම හරහා ඉතාමත් ඉක්මණින් කොරෝනා වයිරසය මැඩපවත්වා මහමැතිවරණය පැවැත්වීමටය. කෙසේවෙතත් දැනට මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපය විසඳා ගත් වහා ආණ්ඩුව මහමැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

රනිල්ටයි-මෛත්‍රීටයි දුන් ජ්‍යොතිෂ උපදෙස

මේ සියල්ල අතරවාරයේ පසුගිය දිනවල ඔළුව හංගාගෙන සිටි ජ්‍යොතිෂවේදීන් යළිත් කලඑළි බැස ඇති ආකාරයක්ද පෙනෙන්නට තිබේ. ඒ අනුව බොහෝ දේශපාලකයන් යළිත් වතාවක් ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳව ජ්‍යොතිෂ අදහස් විමසා බලමින් සිටින බවත්, ඒ අනුව දේශපාලන සැලසුම් සකස් කරමින් සිටින බවත් ආරංචිය. විශේෂයෙන්ම රනිලුත්, මෛත්‍රීපාලත් පසුගිය දින කිහිපයේදී මෙසේ ජ්‍යොතිෂ අදහස් විමසා ඇති අතර එහිදී රනිල්ට ඔවුන් දැනුම් දී ඇත්තේ හැකිතාක් දුරට මැතිවරණය කල් දමා ගත හැකි නම් විශාල වාසියක් රනිල්ට ලබා ගත හැකි යැයි කියාය. විශේෂයෙන්ම අගෝස්තු මාසයෙන් පසුව ආණ්ඩුවට අසීරු සමයක් එළඹෙන බව මෙහිදී රනිල්ට දැනුම් දී ඇති ජ්‍යොතිෂවේදීන් ඉන් පසුව රනිල්ට සුබ කාලයක් එළඹෙන බවත්, රනිල්ගේ ඉල්ලුම ඉහළ යනු ඇති බව දැනුම් දී ඇති බවත් ආරංචිය.
මීට අමතරව මෛත්‍රීපාල සිරිසේනටද ජ්‍යොතිෂවේදීන් උපදෙස් දී ඇත්තේ ලබන වසර ඇතුළත බලගතුම කේන්දරය මෛත්‍රිපාලට හිමිව ඇතැයි කියාය. එම නිසා කෙසේ හෝ ආණ්ඩුව ඇතුළට රිංගාගෙන නියමිත කාලය එනතෙක් ඉවසීමෙන් සිටින ලෙසද එම ජ්‍යේ‍යාතිෂවේදීන් මෛත්‍රිපාලට උපදෙස් ලබා දී ඇති බවද ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ධම්මික-දිලිත්-ජෝන් කීල්ස්-හේමාස්-බ්‍රැන්ඩික්ස්: කොරෝනාවට එරෙහි කෝටිපති හටන

Next Post

පාර්ලිමේන්තුවට එරෙහි කුමන්ත්‍රණයක්: මංගල අනතුරු අඟවයි

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.