පරණ වීරයො දුෂ්ටයො ඔක්කොම එකටජෝකර්ලා වැහි වැහැලා බලන්න හිරිකිත සටන් ජවනිකා…
පහුගිය දවසක පාර්ලිමේන්තුවේ අමුතු දෙයක් වුණා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායකගෙ අතේ තිබ්බ කොලයක් ඇදලා ගන්නවා. විවිධ ආකාරයෙන් මේ ඇතිවුණු කලබලය නතර කරන්න උත්සාහ කළත් සාර්ථක වෙන්නෙ නෑ. ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස දිගින් දිගටම ගේමට එනවා. කතානායකතුමාට මේක බේරගන්නම බැරි වෙනවා. අන්තිමට පාර්ලිමේන්තුව කල්තියලා වැඩේ ගොඩෙන් බේරගන්න වෙනවා.(Sri Lanka Latest News)
සනත් නිශාන්තට පාර්ලිමේන්තුව යම් කාලයකට තහනම් වෙනවා. එච්චරයි වෙන්නෙ. ආයෙත් පාර්ලිමේන්තුව පටන් ගන්නවා. කෑකෝ ගහනවා. හූ කියනවා. රණ්ඩු සරුවල් වෙනවා. හෙටත් ඒකම වෙනවා. ආයෙමත් එහෙමම වෙනවා. තාවකාලිකව දඬුවම් ලැබෙනවා. පාර්ලිමේන්තු ලොබියෙ ඉන්න ළමයින්ව අයින් කරනවා, මේ නොහොබිනා හැසිරීම් දරාගන්න බැරි නිසා. මේ රටේ තියෙන උත්තරීතරම ආයතනයක් බව අපිට අමතක නොවුණට ඒ මහත්තුරු සහ නෝනලා ඒක පයිසෙකට මායිම් කරන්නෙ නෑ. ඒක හැම දාම එහෙමයි.
මතකද දන්නෙ නෑ අපේ පාඨකයන්ට අර දවස් පනස් නවයෙ ආණ්ඩු විගඩම. ඒකෙ අධ්‍යක්ෂතුමා එහෙම තාම හොඳින් ඉන්නවා. ප්‍රධාන නළුවයි දුෂ්ටයයි දෙන්නම එක නාට්‍යයක් පෙන්නුවා. විකට නළුවො නං ඕනෑ තරං. අද විකට නළුවො හුඟ දෙනෙක් එදා ඒ නාඩගමේදී රඟපෑවේ මැරයන්ට. කීප වතාවක්ම එක එක විගඩං වුණා. මතකද දන්නෙ නෑ කතානායකතුමා එදා පාර්ලිමේන්තු ආව හැටි. පොලීසියෙ සිය ගානක් එක පේළියට හැදිලා කතානායකට ආරක්ෂාව දීලා තිබ්බා. ඒත් එන්න ඉඩක් දුන්නෙම නෑ. ජොන්ස්ටන් ප්‍රනාන්දු පුටුවකින් ගැහුව අලංකාර දර්ශනය මුළු ලෝකෙම දැක්කා.
සමහර අය අතට අහුවෙන අහුවෙන එකෙන් ගැහුවා. එහෙට මෙහෙට විසිකළා. කතානායක පුටුවෙ බලහත්කාරෙන් ඉඳගත්තා. ඒ පුටුවට වතුර වත්කළා. ප්‍රසන්න රණවීර මිරිස් කුඩු දියකරපු වතුර ගැහුව බව කියවෙන්න ගත්තා. මේ කෙළිසෙල්ලම් මැද කතානායක පාර්ලිමේන්තුවට ආවා අසීරුවෙන්. එදා ඒ විගඩම් බලන්නම අපි හැමෝම පාර්ලිමේන්තු සජීව විකාශය ඉස්සරහ ඉඳගත්තා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගානකගෙ නොහොබිනා හැසිරීම් පුංචි දරුවො ටිකගෙ දඟ වැඩ විදියට සලකන්න අපේ රටේ උගත් බුද්ධිමත් මහජනතාව පුරුදු වෙලා ඉන්න විදිය අපිට ඊළඟ ඡන්ද ප්‍රතිඵලයෙන් තේරුණා. හැබැයි එදා මේ නොහොබිනා හැසිරීම් කිසිම එකකට කිසිම දඬුවමක් ලැබුණෙ නෑ. නිකං ඔහෙ නම්ගම් කිව්වා විතරයි. නීතියෙන් පියවරක් ගත්තෙත් නෑ. දේශපාලනික වශයෙන් ඒ පක්ෂවලින් මොකොවත් කළෙත් නෑ. ඡන්දෙ වෙලාවේ මහ ජනතාව කරපු දේකුත් නෑ. එදා වගේම අදත් මේ අය ගහගන්නවා, මරාගන්නවා.
ඊට කලින් මැතිසබේ යකා නැටුව වාර අනන්තයි. දෙගොල්ලො ගහගෙන ටෙලිෆෝන් කඩලා පිහි ගෙනල්ලා එක පාරක් නාඩගමක් නැටුවා. තවත් පාරක් හාමුදුරුවරුන්ගෙ අරවා මේවා මිරිකලා විකාරයක් වුණා. හැබැයි මේ කිසිම එකකට නිසියාකාර දඬුවම් ලබාදුන් බවක් අපි දැක්කෙ නෑ. පහුගිය කාලය ඇතුළත අජිත් මාන්නප්පෙරුම, සනත් නිශාන්ත වගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව යම් යම් කාලවල තහනම් කිරීම් සිද්ධ වුණු බව ඇත්ත. නමුත් පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයේ දැඩි ලෙස විනය විරෝධී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව යම් යම් නීතිමය පියවර ගත යුතුව තියෙද්දී ඒවා මගහැරුණේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්.
මොකද ඒකට හේතුව මේ අය පාර්ලිමේන්තුවට එන්නේ රට හදන්න, නීති හදන්න මිසක් මංකොල්ල කන්න, කඩාගෙන බිඳගෙන දුවන්න, අනිත් එකාට කුණුහරුපෙන් බණින්න නෙවෙයි. මේ අදාළ සිදුවීම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා යම් කාරණයක් පැහැදිලි කරද්දී ඔහුට පසුබිමෙන් ඇහෙන කතා ඇත්තටම අපිට පත්තරේක ලියන්න පුළුවන් කතා නෙමෙයි.
ඒ වගේම අපි දැක්කා අර ඩයනා මන්ත්‍රීතුමියගේ රණ්ඩුවේ සිද්ධිය අතරතුරේදී ඔවුන් හැසිරෙන ආකාරය. ඔවුන්ගේ හැසිරීම කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නෙවෙයි සාමාන්‍යයෙන් ගමේ චණ්ඩියෙකුටවත් ගැළපෙන්නෙ නෑ. මේ වගේ හැසිරීමක් මරණාධාර සමිතියකදිවත් සිද්ධ වෙනවා නම් ඒක අනුමත කරන්න බැරි තරමටම පහත් විදිහට තමයි මේ මන්ත්‍රී මහත්වරු හැසිරෙන්නේ සහ මන්ත්‍රී නෝනාවරු හැසිරෙන්නේ.
ඔවුන්ට මේ විනය ගැන කිසිම තැකීමක් නැත්තේම එයට නිසි දඬුවමක් නොලැබෙන නිසා සහ මොන ජාතියේ වැරැද්දක් කරලා පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ ඉල්ලුවත් අපේ රටේ ගොන් වහන්සේලා විසින් ඒ අය පාර්ලිමේන්තුවට යවන නිසා. මේකේ තවත් තියෙනවා නරක පැත්තක්. ඒ තමයි මේ අය විනය විරෝධී නම් මේ අය නරකයි නම් ඇයි ඒ ගොල්ලන්ට ටිකට් එක දෙන්නෙ කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඡන්දෙ ඉල්ලන්න කලින් ඔහුට හෝ ඇයට අදාළ පක්ෂය ලබාදිය යුතුයි ටිකට් එක. ඡන්දය ඉල්ලීමේ වරම.
මේ වරම නොලැබෙනවා නම් මේ කවුරුත් පාර්ලිමේන්තුවේ යන්නෙ නෑ. හැබැයි අවාසනාවකට කිසිම විනය නීතියක් ගැන නොහිතා සම්පූර්ණයෙන්ම තුට්ටු දෙකේ හැසිරීම් තියෙන මිනිස්සුන්ට ටිකට් එක හම්බවෙනවා, පාර්ලිමේන්තු යනවා. ගිහිල්ලා ආයෙත් මේ වගේ පිස්සු නටනවා. හැබැයි ඉවර වෙන පිස්සුවක් නම් නෙමෙයි මේක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයෝ විදිහට මේ අය රට හදන්න නම් මහන්සි වෙනවා අපිට පේන්නේ නෑ.
ජීවන පහන් තිළිණ










