ලංකාවේ ලිංගික ශ්‍රමිකයෝ, එහෙම නැත්නම් ගණිකාවෝ මේ වෙනකොට විශාල වශයෙන් බිහිවෙලා තිබෙනවා. මේ බිහිවීම අභියෝගයට ලක් කරන්න නෙවෙයි මේ ලිපිය ලියන්නේ. වෘත්තියක් විදියට ගණිකා සේවය ලෝකයේ පටන් අරගන්නේ ඈත අතීතයේ. ඒ සඳහා ඉන්දියාවේ විශේෂිත ක්‍රම සහ පුහුණු පාසල් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. අම්බපාලී නම් ගණිකාවගේ දානයක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ පවා සඳහන් වෙනවා.(Sri Lanka Latest News)
මේවා තාර්කිකව අභියෝගයට ලක් කළ හැකි කාරණා නොවන නමුත්, සාකච්ඡාවට බඳුන් කළ යුතු කාරණා බවට දැන් දැන් පත්වෙමින් තිබෙනවා. හරිද, වැරැදිද, හොඳද, නරකද කියන එක නෙවෙයි මේ ලිපියේ අර්ථය. මේ ලිපිය ලියන්නේ පහුගිය දවසක වාර්තා වුණු එක සිද්ධියක් නිශ්චය කරගෙන. ඒ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක තරුණයෙක් තමන්ගේ මත් පෙති අවශ්‍යතාව වෙනුවෙන් තමන්ගේම පෙම්වතියව පුද්ගලයන් හත්දෙනකුට අලෙවි කළ බවට වූ ප්‍රවෘත්තිය. මේ විදියෙම කතාවක් මීට ටික කාලයකට පෙර දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණේ.
ඒ විදියට වාර්තා වුණේ මීටත් වඩා කනගාටුදායක සහ ඇඟ කිලිපොළා යන කතාවක්. මව විසින් තම දියණිය අලෙවි කළ බව තමයි ඒ කතාවෙන් කියැවුණේ. මේ කතන්දරේදී අපට දැනගන්න ලැබුණා අදාළ දරුවාව ඔවුන් විසින් ඉතා වේගයෙන් අලෙවි කරමින් සිටි බව. බොහෝ ගැනුම්කරුවන් මේ වන විට අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා. නමුත් අපි දන්නවා අහිංසකයෝ විතරයි කුඩූ වෙන්නේ කියන එක. අනිත් අය නීතියේ කොහේ හරි හිලක් හොයාගෙන රිංගලා යනවා.
මේ විදියට තමන්ගේ බිරියව, පෙම්වතියව, සහෝදරියව, මිතුරියව අලෙවි කළ ප්‍රථම අවස්ථාව හෝ අවසාන අවස්ථාව මෙය නොවන බව අපි දන්නවා. ඒ නිසා තමයි මේ ලිපිය ලිවිය යුතු බවට අපි තීරණය කරන්නේ. අපට දැනගන්න තියෙන විදියට මේ සිදුවීම සම්බන්ධව තරුණයා ඇතුළු පිරිස අත්අඩංගුවට අරගෙන අවසානයි. මේකෙ යථාර්ථය කුමක්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් අපි මේ ලියන්න යන්නේ මීට වඩා වෙනස් කතන්දරයක් මේ මාතෘකාව තුළදී කතා කළ යුතු බව ඔබට කියන්න. ඒ තමයි අද වෙනකොට අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන එහෙමත් නැත්නම් නව මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන ගණිකා සේවනය ඉතා විශාල වශයෙන් සිද්ධ වෙනවා.
මේකෙ විශේෂත්වය වෙන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය වන කාන්තාවක් පිරිමියකු සමග මුදලට යහන්ගත වීමම තවදුරටත් නොවන නිසා. දැන් මේකෙ අලුත් ක්‍රමෝපායන් නිර්මාණය වෙලා තියෙනවා. අපි දකිනවා විශාල වශයෙන් පිරිමි ගණිකාවන් බිහිවෙමින් තිබෙනවා. කාන්තාවකට ලිංගික තෘප්තිය අවශ්‍ය නම් ඔවුන් ඇමතීමෙන් ඒ සහාය ලබාගැනීමේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම යුවල වශයෙන් ලිංගික කටයුතු සඳහා සහභාගි කරවා ගැනීම සහ යුවලක් විසින් වෙනත් පුද්ගලයෙක්ව ලිංගික කටයුතු සඳහා යොදාගැනීම මුදලට සිද්ධ කරනවා.
දැන්වීම් පළකරන්නේ කෙළින්ම යුවලක් විදියට. ‘අපි දෙන්නෙක් ඉන්නවා, ඔබට පුළුවන් මේ සඳහා සහභාගි වෙන්න’ කියලා තමයි ඒ දැන්වීම්වල සඳහන් කරන්නේ. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ වට්ස්ඇප් හෝ වීඩියෝ දුරකතන ඇමතුම් ඔස්සේ මේ ලිංගික කටයුතුවල යෙදීමත් අද ඉතා බහුල වශයෙන් සිදුවෙන කාරණාවක්.
මේ සියල්ල බැඳ ඇති වැටවල්වලින් පැන ගොස් සිදුකරන දේවල්. එහෙම නැත්නම් නීතියේ අඩුලුහුඬුකම්, රිංගන්න පුළුවන් තැන් හොයාගෙන රිංගලා ගිහින් කරන දේවල්. ඒ නිසා අපි දන්න තරමට නීතියටත් මේවට විශාල මැදිහත් වීමක් කරන්න පුළුවන්කමක් නෑ. යම් යම් සීමාවන්ට යටත්ව තමයි කරන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මනුස්සකම සහ සදාචාරය කියන කාරණාත් මේ වෙලාවේ ඉස්සරහට එනවා.
ඒ තමයි ජීවත් වීම සඳහා ප්‍රශ්නයක් තියෙන මිනිස්සු තමන්ගේ ජීවිතයට පොඩි හරි මුක්කුවක් ගහගන්න මේ දේවල් කරන බව අපිට දැනෙනවා. නමුත් මේ කාරණාවල තියෙන ප්‍රශ්න කිහිපයක් අපි සාකච්ඡා කළ යුතුයි. ඉන් එකක් තමයි විශේෂයෙන්ම ලිංගිකව බෝවන රෝග. ලිංගික රෝග මේ වෙද්දී ඇතැම් රටවල් සම්පූර්ණයෙන්ම ගිලගෙන අවසානයි. නමුත් ලංකාව ඒ විදියේ අවාසනාවන්ත තත්ත්වයකට තවමත් ගොදුරු වෙලා නැහැ. නමුත් මේ වෙනකොට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග දැඩිව පැතිරෙන බව අපි දන්නවා. ඒවා බෝවීම, ඒවායින් ආරක්ෂා නොවීම, ඒවාට නිසි පිළියම් නොයෙදීම මේ හරහා ඇතිවිය හැකි ප්‍රශ්න.
පවුල් කුටුම්භය දෙදරා යෑම, පවුල් සංස්ථාව බිඳවැටීම, ඊළඟ පරම්පරාව සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු අපි දැඩි සේ සාකච්ඡා කළ යුතුයි. මොකද අපි දන්නවා ඊළඟ පරම්පරාවක් ඕනෑම රටකට අවශ්‍යයි. අපේ වගේ පරම්පරාවක් විසින් විනාශ කරන ලද රටකට ඊළඟ පරම්පරාවක් ගැන සිහි බුද්ධියෙන් සිතා බලා බලාපොරොත්තු තබාගෙන බලා සිටින්න සිද්ධ වෙලා තියෙන රටකට ඊළඟ පරම්පරාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ හරහා නිර්මාණය වෙනවා.
ඒකට හේතුව වෙන්නේ ලිංගික සංසර්ගය හරහා මුදල් සෙවීම කියන දේ යම් රටක පටන් අරගත්තොත් ඒ හරහා ලිංගික ශ්‍රමිකයන් සහ වෙනත් ආර්ථික කාරණාවලට මැදිහත් වන්නන් විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එහෙම වුණාම ඒක ඇබ්බැහියක් බවට පත්වෙනවා. එතකොට ඔවුන්ට පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් වෙනවා. පහසු මුදල් සෙවීම කියන කාරණාවට ඔවුන් දිගින් දිගටම යන්න ගත්තොත් ඉදිරි කාලයේදී කිසි දෙයක් කරගන්න බැරිව ගිහිල්ලා ලේසියෙන් මුදල් හොයන තැනට පත්වෙන නිසා මේක සාකච්ඡා කරන්න ඕනෙ.
අපි දන්නවා මේ තත්ත්වය නිසා පවුල් විශාල සංඛ්‍යාවක් අවුල් වෙලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අයට මේ ගැන නිසි අවබෝධයක් නෑ. මේවා අවබෝධ කරගැනීමේ ශක්තියක් නෑ. ඒක නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම මේ හරහා ඇතිවෙන අනීතික ව්‍යාපාර, මුදල් සොරකම් කිරීම වගේ දේවල් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක ගණිකාවන් සමග යන පුද්ගලයන්ව ගසාකන, හොරාකන බවක් අපි දන්නවා. ඒ ගැන අපි මීට වඩා විස්තරාත්මකව ලියන්න පුළුවන් තරමටම කරුණු රැස්කරලා තියෙනවා.
කොහොම නමුත් මේ ලිපියේ වෙනත් කොටසක් තියෙනවා අවධානය යොමුකළ යුතු. අපි මේ ටික කතා කළේ පෙම්වතිය විකිණීම කියන මාතෘකාව යටතේ. ඊළඟට කතා කරන්න අවශ්‍යයි ඇයි ඔහු සිය පෙම්වතිය අලෙවි කරන්නේ කියන එක. ඔහුට මත් පෙති මිලට ගන්න මුදල් නැති නිසා. මොනවද මේ මත් පෙති? මේවා රටේ විශාල වශයෙන් පැතිරිලා තියෙන ජාතියක්. මේ වෙනකොට අපි දන්නවා මේ සම්බන්ධයෙන් නම් ගොඩක් කියැවෙනවා. අපි ඒවා නොලියා සිටින්නේ මේ මොහොතේදී එවැන්නක් කිරීමෙන් තවත් පිරිසක් ඊට ඇබ්බැහි වෙන්න ඉඩ තිබෙන නිසා. මේ වෙනකොට පැහැදිලිව පේන්න තියෙන කාරණයක් තමයි මත්වීම කියන දේ වෙනත් ස්වරූපයක් අරගෙන තියෙනවා.
මීට අවුරුදු 10කට කලින් ලංකාවේ තිබුණු මත්ද්‍රව්‍ය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන මත්ද්‍රව්‍ය භාවිත කරන අයව හොයාගන්න අමාරුයි. ඔවුන්ව අත්අඩංගුවට ගන්න අමාරුයි. සැකකරන්න අමාරුයි. ඒකට හේතුව මීට කලින් මිනිස්සු භාවිත කළේ තහනම් මත්ද්‍රව්‍ය. තහනම් මත්ද්‍රව්‍යයක් ළඟ තබාගැනීම විශාල වරදක්. සිගරට් පැකට් එකේ පිටත ආවරණයේ දුම්බීමේ අහිතකර බව පිළිබඳ විශාල පණිවුඩ ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා පින්තූරත් එක්ක. එතකොට මේකෙ තියෙන ගැටලුකාරී තත්ත්වය පැහැදිලියි. කවුරු හරි ඒවා භාවිත කරන්නේ ඒවායේ ආදීනව දැනගෙන.
ඒ වගේම ඒවා පරීක්ෂණාගාරවලින් සනාථ වෙලා තියෙනවා ඒවායේ තියෙන අඩුපාඩු මොනවද කියන එක. නමුත් මේකෙ තියෙන භයානකකම සහ බරපතළකම වෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධව නීතිරීතිවලට පවා යටත් නොවී මත්ද්‍රව්‍ය මේ අය භාවිත කිරීම. මොකද ඒවා මත්ද්‍රව්‍ය නොවන නිසා. යම් දෙයක් මත්ද්‍රව්‍ය වෙනවා නම්, මත්ද්‍රව්‍යවලට අදාළ නීතිරීතිවලින් ඒවා ආවරණය වෙනවා. නමුත් මත්ද්‍රව්‍ය නොවන දේවල් මත්ද්‍රව්‍යවලට අදාළ නීතිවලින් ආවරණය වෙන්නේ නෑ. නමුත් ඒවායෙන් ශරීරයට සිදුකරන හානිය මත්ද්‍රව්‍යවලින් සිදුකරන හානියටත් වඩා විශාලයි.
උදාහරණයක් විදියට කියනවා නම්, යම් කෙනෙක් ළඟ හෙරොයින් තිබිලා අත්අඩංගුවට ගත්තොත් ඒ සඳහා ඔහුට ලැබෙන දඬුවම ඔහු දන්නවා. නමුත් මේ වෙද්දී වෙළෙඳපොළට ඇවිල්ලා තියෙනවා පොඩි මුද්දරයක් වගේ මත්ද්‍රව්‍යයක් ස්ටෑම්ප් කියලා. ඒක දිව උඩ තියාගත්තාම මත්වෙනවා. මත් පෙති වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ මත් පෙතිවල තියෙන ප්‍රශ්නය තමයි ඒවා ළඟ තබාගත්තාම සැක කරන්න අපහසුයි. හෙරොයින් විකුණනවා වගේ ඉතා රහසිගතව මේවා විකුණන්න අවශ්‍ය නෑ. ඇතැම් වෙලාවට ෆාමසිවලත් මේවා අලෙවි කරනවා කියලා වාර්තා වෙනවා. නමුත් මෙතැන තියෙන ප්‍රශ්නය තමයි මේවා ඖෂධ සඳහා භාවිත කරන පෙති වර්ග නිසා නීතියෙන් තහනම් ඒවා නොවීම.
මේවා සාමාන්‍යයෙන් අපේ රටේ ෆාමසිවල විකුණන්න තියෙන බෙහෙත් වර්ග. ඇතැම් රෝගවලට ලබාදෙන බෙහෙත් වර්ග. ඒ නිසා ඒවා මිලට ගන්න බෙහෙත් තුණ්ඩුවක් ලබාගැනීම වුණත් ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි. මේ මත් පෙතිවල තියෙන අනෙක් ගැටලුව වෙන්නේ හෙරොයින් හෝ ගංජා වගේ මත්ද්‍රව්‍ය පානය කරනකොට ඒ සඳහා යම් කාලයක් ගතවෙනවා. හැබැයි මත් පෙතිවල තියෙන ගැටලුව පෙත්තක් කටේ දාගත්තම මේ කතන්දරේ අවසානයි. එතකොට ඒක ගැන සැකකරන්න තරම් කාලයක් නෑ. ඔවුන්ට එක තත්පරේකින් තමන්ගේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ කටයුත්ත අවසන් කරන්න පුළුවන්.
ඒ නිසා ඒකෙන් සිදුවෙන හානිය විශාල වුණාට ඒ සඳහා ගතවෙන කාලය ඉතා අඩුයි. ඒ නිසා මත්ද්‍රව්‍යවලට මිනිස්සු ඇබ්බැහි වීම ඉතා නරක අතට හැරිලා තියෙනවා. ඒ වගේම මේවායින් සිද්ධ වෙන්නේ බරපතළ ශාරීරික හානියක්. ඔවුන්ගේ මනස විකෘති වෙලා, පිස්සන් බවට පත්වෙනවා. ඒක හැම තත්පරේකම සිද්ධ වෙන දෙයක්. නමුත් මේ ඇබ්බැහියෙන් මිදෙන්න බොහෝ දෙනකුට බැරිවෙලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන සහයෝගය ෆාමසිවලින්, වෙනත් ව්‍යාපාරිකයන්ගෙන්, කළු කඩවලින් ලැබෙන නිසා ඔවුන් ඒ සඳහා පුරුදු වෙලා තියෙනවා. තහනමක් එළිපිට නැති නිසා ඔවුන් මේ සම්බන්ධයෙන් තියෙන බය අඩුයි.
මේ කාරණාවෙදී වැදගත්ම දේ වෙන්නේ ඔවුන්ට මේ ඇබ්බැහියෙන් මිදෙන්න බැරි වීම. ඔවුන්ට ඒ සඳහා වියදම් වෙන මුදල කොහොම හරි හොයාගන්න තමයි මේ විදියට තමන්ගේ පෙම්වතිය අලෙවි කරන තැනට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා කාරණා දෙකක් ගැන සැලිකිලිමත් විය යුතුයි අවසාන වශයෙන්. ඔබේ දරුවා අනාරක්ෂිතයි කියලා වෙනදා ඔබ හිතුවේ නගරයේදී. නිවෙසේ කාමරය ඇතුළේ දොර වහගෙන දරුවා ඉන්නකොට සැනසිල්ලේ හුස්ම ගන්න පුළුවන් වුණා මවුපියන්ට. ඒත් ආදරණීය මවුපියනි, දැන් ඈ නිවෙසින් එළියට ගිහිල්ලා මිනිස්සු ඉන්න තැනක ගැවසෙනකොට ඔබට පුළුවන් සැනසිල්ලේ හුස්ම ගන්න.
ඒත් ඈ කාමරයේ දොර වහගත්තා නම්, මොකක්ද කරන්නේ කියන එක ඔබ අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. කාමරේ දොර වහගෙන ඔන්ලයින් හරහා ගණිකාවන් බවට පත්වෙච්ච තරුණ තරුණියෝ ලක්ෂ ගානක් අද වෙද්දී ලංකාවේ ඉන්නවා. ඔවුන් සල්ලි හොයන්නේ ලෝකෙ කොහේ හරි ඉන්න එකෙක්ට තමන්ගේ ඇඳුම් ගලවලා පෙන්නලා කියන එක ලැජ්ජාවෙන් හිරිකිතෙන් නමුත් ලියන්න සිද්ධ වෙනවා. අනෙත් කාරණාව තමයි ඔබ හිතාගෙන හිටියට, ඔබේ දරුවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා, සමහර විට ඔහුට හෝ ඇයට මේ මත්ද්‍රව්‍ය භාවිත කරන්න දැන් ගතවෙන්නේ තත්පරයයි.
ගඳක් සුවඳක් නැති, බෝතලයක දාලා නැති, පාටක් හොයාගන්න බැරි, ගින්දර අවශ්‍ය නොවන, විනාඩි ගානක්වත් ගත නොවන ආකාරයේ මත්ද්‍රව්‍ය සමහර විට ඔබේ දරුවාගේ යහන අබියස තියෙනවා විය හැකියි. ඒ නිසයි මේ වගේ කතන්දර ඇහෙන්නේ. මේ කතාව ඇතුළේ ලිපිනයන් සඳහන් නොකර මේ ලිපිය ලිව්වේ තවදුරටත් මේ සිද්ධියෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ව පීඩාවට පත් නොකරන්න අවශ්‍ය නිසා. ඔබට අවශ්‍ය නම් මේ කතාවේ නම් ගම් විස්තර සමහර විට පුවත්පත්වල පළවෙලා ඇති.
ජීවන පහන් තිළිණ










