“අද ඉතාලියේ ආදාහනාගාර පැය 24 පුරාම වැඩ කරනවා. ඒත් මැරෙන මිනිසුන්ගේ ප්‍රමාණයේ හැටියට ඒ ආදාහනාගාරත් මදියි. මේ ආදාහනාගාර එළියේ මැරුණු මිනිසුන්ගේ දේහයන් තබාගත් වාහන පෝලිම් නවත්තලා, තමන්ගේ වේලාව එනකම් බලාගෙන ඉන්නවා. රටේ කනතු පිරිලා, ඉතිරිලා ගිහිල්ලා. දෙවියනේ, මේ මොකද වෙන්නේ? මෙතරම් සුන්දර, නිදහස් ඉතාලියට මේ මොකද වුණේ? ඒ දවස්වල සාමාන්‍යයෙන් පත්තරයක මරණ දැන්වීම් තිබුණේ පිටුවයි, දෙකයි, දැන් එක දවසේ පිටු හත, අටක මරණ දැන්වීම් තිබෙනවා. අපි මේ ඉන්න බෙර්ගාමෝ නගරය ටිකක් ඈතින් තියෙන්නේ, මෙහේ තිබෙන රෝහල කොරෝනා ලෙඩුන්ගේ පිරිලා, ඉතිරිලා ගිහින්. හමුදාව ඉස්පිරිතාලේ එළියේ ගිලන් රථ 10ක් විතර නවතාගෙන ඉන්නවා රෝගීන් අරගෙන ඇවිත්. ඒත් ඒ අයට දෙන්න ඉස්පිරිතාලේ හරියට ඇඳක් නැහැ.” ඉන්නේ. මිනිස්සු අහේතුක විදියට නගරයේ ඇවිදින්න ගියොත්, අල්ලා හිර භාරයට ගන්නවා. ආහාර වර්ග ගන්න එළියට යන වෙලාවට භාවිත කරන්න ටිකට් පතක් දීලා තියෙනවා. ඒක පොලිසියට පෙන්නන්න ඕනෑ, ඒක නැතිව එළියට යන්න බැහැ.”
මේ ගත, සිත කීරි ගැසීගෙන යන කතාව පවසන ඇය ක්‍රිස්ටිනා හිගින්ස්(ක්‍යරසිඑසබ් ්යසටටසබ ි) නමැති අමෙරිකානු ජාතික කාන්තාවක්. ඉතාලියේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය ධුරයක් උසුලන ඇය, තම සැමියා සහ දරු තිදෙනා සමඟ ඉතාලියේ බෙර්ගාමෝ නගරයේ වාසය කරන්නීය. අද ඇය තම පවුලේ සාමාජිකයන් සමඟ නිවෙසකට කොටු වූ සිරකරුවන් වී ඇත. ඇය සිහිනයකින් වත් නොසිතූ මෙම මහා විනාශය දැන් ඇය දෑස් මානයේ සජීවීව දර්ශනය වන්නට වී ඇත. ඇය මෙම ශෝකීය කතාන්දරය තමන්ගේ “ෆේස්බුක්” පිටු අතරෙහි මෙසේ ලියා තබා ඇති අතර, ඉතාලියේ “නැෂනල් පෝස්ට්” පුවත්පත සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇත.
අද ලෝකයේ සියලු රටවල් අතරින් ඉතාමත් ප්‍රබල ලෙස කොරෝනා වසංගත තර්ජනය ඇති අංක එකේ රට වන්නේ ඉතාලියයි. මෙම වසංගතය ඇරැඹි චීනය පවා අභිභවා යමින් මෙම තර්ජනය අද එරට ගිල ගනිමින් ඇත. දැනට ඉතාලියේ කොරෝනා ආසාදිතයන් 30,000ක් සිටින අතර, මේ වනවිට මරණ 2,500ක් වාර්තා වී ඇත. පසුගිය දිනවල එක් දිනකදී මරණ 300-400ක් අතර ප්‍රමාණ පවා වාර්තාවීම මෙම බියකරු තත්ත්වය කියාපායි. ක්‍රිස්ටිනා හිගින්ස් තව දුරටත් තම ත්‍රාසජනක අත්දැකීම් පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටින්නීය.
“පසුගිය පෙබරවාරි මාසයේ අවසාන සතියේදී කොරෝනා රෝගීන් තිදෙනයි වාර්තා වුණේ, ඒත් බලන්න. සති 03ක් යනවිට සිදුවෙලා තිබෙන විනාශය. මේ තත්ත්වය තවත් එන්න එන්නම වැඩි වෙනවා. මෙහෙම මිනිසුන්ට මැරෙන්න පුඵවන්ද? ඉස්සර වෙලා නගර කිහිපයයි වසා දැමුවේ, දැන් ඉතාලියේ නගරවලින් 80%ක්ම වහලා ඉවරයි. මේ මිනිස්සු ජීවත් වන්නේ කොහොමද? මේ නගර අද අන්ධකාර පාඵ සොහොන් පිටි බවට පත්වෙලා. පාරවල්වල පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් විතරයි දකින්න
“අපි ගෙවල්වලට වෙලා සිරවෙලා සිටියත්, හැම විටම සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. රෝම නගරයේ තට්ටු නිවාසවල සමහර වැසියෝ තමන්ගේ අසහනකාරී තත්ත්වය පාලනය කර ගන්න සංගීතය වාදනය කරන අයුරුත්, ගීත ගායනා කරන අයුරුත්, රූපවාහිනීවලින් පෙන්වනවා දැක්කා. අපේ දරුවන්ගේ අධ්‍යාපන වැඩත්, පුඵවන් ආකාරයෙන් ගේ ඇතුළේම ඉඳලා කරගන්න උදව් වෙනවා. ඒ අයගේ මනස සතුටින් තියන්න විවිධ ක්‍රීඩා ආදියත් කරනවා. මේ සියලු දේවල් සිදු කළත්, අද බොහෝ මිනිසුන්ගේ මනසේ එක ප්‍රබල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි මේ තරම් විනාශයක් මේ තරම් ඉක්මනින් සිදුවුණේ කොහොමද කියන එක. ඒත් ඒකට තවම හරි උත්තරයක් නැහැ. අපිට හැම තිස්සෙම ආරංචි වෙනවා අපේ නෑදෑයන්, හිතමිතුරන් රෝගී වන තොරතුරු. අපිටත් මොනවා වෙනවාද කියා කිසි විටෙක හිතාගන්න බැහැ. තව දවස් 27ක් තිබෙනවා මෙහෙම හිරවෙලා ඉන්න. එතැනින් පස්සෙත් ප්රශ්නය විසඳෙනවා කියලා හිතන්නට අමාරුයි. සති දෙක, තුනක් ඇතුළත මේ මහා විනාශය සිදුවීම ගැන බොහෝ මිනිස්සු ඉතාලි රජයට දොස් පවරනවා. ඒක ඇත්ත වෙන්නත් පුඵවන්.”

මේ ආකාරයට එම “නැෂනල් පෝස්ට්” පුවත් පත සමඟ විවිධ තරාතිරමේ කිහිප දෙනකුම තමන්ගේ වත්මන් තත්ත්වය ප්‍රකාශ කර ඇත. මෙම අදහස් සහ මතිමතාන්තරවලින් පෙනෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයක් තමන්ට උදාවී ඇති බැව්ය.
කොරෝනා වෛරස් රෝගය ලොවට ව්‍යාප්ත වූ චීනයටත් වඩා දස ගුණයක් වැඩියෙන් මේ වන විට ඉතාලියේ කොරෝනා ව්‍යසනය පැතිරෙමින් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ දැනට කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය වන්නේ ඉතාලිය බවය. මේ වනවිට ඉතාලියේ සමහර අහිංසක ජනතාව මරණයට පත් වන්නේ තමන්ගේ කිසිදු නෑදෑයකු හෝ හිතවතකු තමන් ළඟ නොසිටින විටෙකදීය. එවැනි නෑ, හිතවතුන්ට තමන් ළඟට පැමිණෙන්නට ප්‍රථම තම ඥාතියා මාරයා විසින් රැගෙන ගොස්ය. මේ වන විට ඉතාලියේ සියලුම ප්‍රධාන නගර වසා දමා සීල් තබා ඇත. ප්‍රධාන නගරවල ඩ්‍රෝන යානා මගින් ගත් ඡායාරූපවලින් පෙනී යන්නේ, සුපිරි මංමාවත් සහ සුවිසල් ගොඩනැඟිලි ඇති ප්‍රදේශ මහා කාන්තාර බවට පත්ව ඇති ආකාරයය.
ඉතාලිය ශ්‍රී ලංකාවටද ඉතා වැදගත් රටක් වන්නේ, ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් ඉතාලියේ රැකියා කරමින් සහ ස්ථිර පදිංචියේ නිරතව සිටිති. ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුටද පසුගියදා කොරෝනා රෝගය වැලඳී ඇතැයි ප්‍රකාශ වුවද මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත. මෙසේ ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පසුගියදා කඩිමුඩියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සමහර පිරිස් ශ්‍රී ලංකාවට ඇතුඵවීමේදී කිසිදු නිරෝධායනයකට ලක් නොවී තිබීම සහ ඔවුන් ඉතා පහසුවෙන් ගුවන් තොටින් පිටව යෑම ගැන මේ වනවිට දැඩි දෝෂාරෝපණයක්ද එල්ල වෙමින් ඇත. කෙසේ හෝ මේ වන විටද ඉතාලිය තුළ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සිටිති. ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔවුන්ගේ තොරතුරු සොයා බලනු ඇතැයි ප්‍රකාශ වෙයි. කෙසේ හෝ ඉතාලිය තුළ මෙතරම් ඉක්මනින් කොරෝනා වසංගතය පැතිර යෑමට එරට පවතින රජය සහ වත්මන් අගමැති ගිසෙප්පේ කොන්තේ වගකිව යුතු යැයි පාර්ශ්ව ගණනාවකින් චෝදනා එල්ල වී තිබිණි. ඉතාලිය යනු ඉතාමත් අපූරු, ගාම්භීර ඉතිහාසයකට උරුමකම් කියන රටක් වෙයි. එනම් ඉතාලියේ, රෝමය කේන්ද්‍ර කරගෙන රෝම අධිරාජ්‍යවරුන් කිහිප දෙනකුම වසර දහස් ගණනකට ඉහතදී ශක්තිමත් පාලනයක් ගෙන ගියේය. අදත් එම රෝම අධිරාජ්‍ය කතා ලෝක ඉතිහාසයට එක්ව ඇත. මා මෙහිදී කියන්නට යන්නේ එම ඉතිහාස කතාන්දර නොවේ. එහෙත් මෙම අතීත වගතුගද මෙම කොරෝනා වසංගතයද සමඟ අත්වැල් බැඳගන්නා කතාවක් වී ඇත. එනම් ක්‍රිස්තු වර්ෂ 65දී රෝමය පාලනය කළේ නීරෝ නම් තරුණ අධිරාජ්යවරයෙකි. තමාගේ පියාගෙන් පසු රාජ්‍ය පාලනය හිමි වූ ඔහු අධිරාජ්‍යයකු පමණක් නොව සංගීතඥයකු සහ ගායකයකුද විය. අදටත් අප සමාජයෙහි ඇති ප්‍රකට කියමනක් වන“රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයුවා සේ” යන කියමන නිර්මාණය වී ඇත්තේ මේ තරුණ රාජ්‍ය පාලකයා වටාය. එනම් නීරෝට එරෙහිව නැඟුණු කැරැල්ලකදී සතුරන්ගේ ආක්‍රමණය වැළැක්වීම සඳහා නීරෝ විසින්ම රෝම නගරයේ අඩකට පමණ ගිනි තැබුවේය. එම ගිනි ජාලා ඇවිළෙන විටදී නීරෝ තම වයලීනය ගෙන වාදනය කරමින් බොහෝ සැහැල්ලු සිතින් සිටියේ යැයි ඉතිහාසය කියයි. මෙය සැබැවින්ම අතිශය අපූරු වගතුගකි. ක්‍රිස්තු වර්ෂ 65දී බලයේ සිටි නීරෝ අධිරාජ්‍යයාගෙන් පසුව රෝම අධිරාජ්‍ය පාලනය නිමාවට පත්විය. නීරෝ රෝමය ගිනි ගනිමින් තිබියදී වීණාව වයමින් සිට අවසානයේදී සතුරන් තමන් වෙත ළඟාවෙන විට සියදිවි හානි කරගෙන ඇත. මෙම සිදුවීම් සියල්ලම සත්‍ය සිදුවීම්ය. කෙසේ හෝ අද වත්මන් කුරිරු කොරෝනා වසංගතයෙන් රෝමය සහ මුඵ ඉතාලියත් ගිනිගෙන තිබෙද්දී, ඉතාලි ජනයා වයලීන සහ වීණා වයමින් සිටින ආකාරය අතිශයින්ම පුදුම සහගතය. මෙය රෝම අධිරාජ්‍යවාදී සමයේ සිටම පැවැතුණු මිනිසුන්ගේ ජානවල තිබුණු විශේෂත්වයක් දැයි පැනයක් නැඟෙණු ඇත. මේ සිටින්නේද රෝමය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝගේ මුතුන්මිත්තන්ය. අද ඔවුන් කොරෝනා යක්ෂයා නිසා තමන්ගේ මනසටත්, හදවතටත් දැනෙන දාහය නිවා ගැනීමට වීණා වයති. ගීත ගයති. පසුගියදා මෙසේ ඉතාලි තරුණ පිරිස් රැසක්ම කටයුතු කළ අතර, එම දසුන් මාධ්‍යයට එක් වී ලොව පුරා විසිර ගියේය. සංගීත භාණ්ඩ නොමැති සහ සංගීතය නොදත් වැඩිහිටි කාන්තාවන් තමන්ගේ කුස්සිවල ඇති පිසුම් උපකරණ ගෙන තට්ටු කරමින් සංගීතය නිපදවා ඇත.
අද ඉතාලිය කෙතරම කොරෝනා යක්ෂයා විසින් ගිලගෙන ඇති දැයි කිවහොත්, පසුගිය කාලයක් පුරාම චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 3,250ක් පමණ වූ අතර, ඉතාලියේ දැනට පමණක් මරණ 4315ක් ඉක්මවා ඇත. මේ වනවිටත් ඉතාලියේ තත්ත්වය දිනෙන් දින බියකරු වෙමින් පවතියි. මෙසේ ඉතාලිය ගින ගනිද්දීත් වීණා වයන මිනිසුන්ට සැබෑ සෙත් ශාන්තියක් ඉක්මනින් උදා වේවා යැයි පතන ගමන්, අපටද සෙත් ශාන්තිය උදාවේවා යැයි පතා ගනිමු.
ප්‍රියන්ත හෙට්ටිගේ











