අයි.ඩී.එච්. රෝහල ගැන අපි කතා කළෙමු.ඒ මීට බොහෝ කලකට පෙරය. එදා අපි කීවේ අයි.ඩී.එච්. දෙවියන් ගැනය. ඒ දෙවියන් නිරන්තරව මනුෂ්‍ය වේසයෙන් විත් සියලු දොස් නිවාලන බව අපි කීවෙමු. එදා අයි.ඩී.එච්. රෝහල් අධ්‍යක්ෂවරයා කීවේ “එන ඕනෑම ප්‍රශ්නයකට අපි ලෑස්තියි” කියලාය. ඒ මෙවන් අර්බුදයක් වෙතැයි සිහිනෙකින්වත් නොහිතමිනි. නමුත් අද බලාපොරොත්තු විරහිතව මේ අර්බුදය පැමිණ තිබේ. දැන් අපි අසරණය. අයි.ඩී.එච්. රෝහල අද ඉන්නේ අතිශය අර්බුදකාරී තැනකය. මේ රෝගය සුළඟෙන් බෝ නොවෙනා මුත් සුළඟෙන් බෝ වෙන මට්ටමේ සිට කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස්දී තිබේ. එවන් තත්ත්වයක් යටතේ කටයුතු කරන්නට අද අයි.ඩී.එච්. රෝහලට සිදුව තිබේ.
මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ තත්ත්වය මොකක්ද?

මේ ලියනා මොහොත වන විට අයි.ඩී.එච්. රෝහල සම්පූර්ණයෙන්ම පිරී ගොස්ය. එහි ගණිතමය අගයන් නිවැරදිව නැත. හැබෑවටම ඒවා අත්‍යාවශ්‍ය බවද අපි නොහිතමු. නමුත් නිරන්තරව රෝහලට නිතර එන යන උණ රෝගීන් නිසා මේ ගණන් හිලව් නිවැරදිව දෙන්නට හැකියාවක් නැති විය හැක. නමුත් අයි.ඩී.එච්. රෝහල නිරන්තරව කාර්යබහුලය. ඔවුන් මේ මොහොතේ එක තත්පරයකටවත් විවේක ගන්නේ නැත.
“ඉස්පිරිතාලෙ වැඩ කරන අය නිවාඩු දාලලු”
වගේ කතන්දර ඔක්කෝම බයිලාය. ඔවුහු සියලුම දෙනා නිවැරදිව රාජකාරිවලට වාර්තා කරති. සමහර විට සිය පවුල්වල බොහෝ දේ පසෙකලා ඔවුන් රෝහලට එයි. කිසිවෙක් ඒ ගැන මැසිවිලි නඟනා බවක් දැන ගන්නටවත් නැත.
රෝහලේ සිවුවැනි වාට්ටුව මුලින්ම කොරෝනා වෙනුවෙන් වෙන්විය. ඒ සාමාන්‍යයෙන් බෝවෙන රෝග වෙනුවෙන් පෙර සිටම වෙන් කළ වාට්ටුවයි. එය සාමාන්‍යයෙන් වීදුරුවලින් ආවරණය කර සකස් කර තිබේ. කාමර එකින් එක වෙන්ව සකස් කර ඇති අතර අතිශය ආරක්ෂිතය. මේ කාමර තට්ටු දෙකක වෙන වෙනම සකස් කර තිබෙනා අතර ඉබෝලා යැයි සැක කරන ලද රෝගියෙක් වරක් මෙයට ඇතුළු කරන ලද බව දැන ගන්නට තිබේ. නමුත් මේ කාමර මේ තරම් බරපතළ තත්ත්වයක් යටතේ ඒ පිරී යන්නේ මේ වතාවේය.
මේ සති අන්තය උදාවන්නටත් පෙරම හතරෙ වාට්ටුව සම්පූර්ණයෙන්ම පිරී යන අතර මේ තත්ත්වය යටතේ ඊළඟ විකල්පයකට යන්නට රෝහලට සිදුවේ. මේ වනවිටත් රෝහලේ වෙනත් රෝගීන් මුල්ලේරියාව රෝහලට පිටත් කර යවන අතර, තුනේ වාට්ටුවේ සිටි එච්.අයි.වී. රෝගීන් පහේ වාට්ටුවට මාරු කරන්නටත්, තුනේ වාට්ටුව කොරෝනා රෝගීන් වෙත ලබා දෙන්නටත් රෝහලට සිදුවෙයි. මේ හරහා රෝගීන් කාමරවලින් පිටතට ගෙන ශාලාවක රැඳවීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය තවත් අනාරක්ෂිත වෙයි. නමුත් මේ වන විට මේ තුනේ වාට්ටුවට ඇතුළු වීම පිරිසිදු කරන්නන්, හෙද කාර්්ය මණ්ඩල සහ වෛද්‍යවරුන්ට පමණක් සීමා කර තිබේ. අයි.ඩී.එච්. රෝහලේ හැබෑ තත්ත්වය ඒකය.

අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍යයෙන් වෙන කවරදාවත් නොවුණ පරිදි මේ වනවිට කොත්තමල්ලි ලබා දෙන තත්ත්වයක් ගැන නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබේ. චීන කාන්තාව රෝගී වූ අවස්ථාවේ ඇයට ෆ්‍රයිඞ් රයිස්, ෆ්‍රයිඞ් නූඞ්ල්ස් ලබා දුන් රෝහල් කාර්ය මණ්ඩලය මේ රෝගීන්ටද ඔවුන් කැමති ආකාරයෙන් ආහාර ලබා දෙයි. පාන්, නූඞ්ලස් බත් ඉඳි ආප්ප වශයෙන් ඔවුන් රිසි පරිදිය. අවශ්‍ය ආහාර වර්ගයක් ඉල්ලා සිටීමේ හැකියාවක් තිබේ.
ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය ඇතුළුව බොහෝ අංශ මේ වන විට රෝගීන් යැයි සැක කරනා අය නිසා පිරී ගොස්ය. බාහිර රෝගීන් ලෙස වෙනත් කිසිම රෝගියෙක්ට ප්‍රතිකාර සිදු නොවේ. මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ සැබෑ තත්ත්වය ඕකය. සියලු අංශ සීරුවෙන්ය. අවශ්‍ය නම් ප්‍රාථමික ප්‍රථිකාර ඒකකයද රෝගීන් වෙනුවෙන් වෙන් කරන්නට අවශ්‍ය කටයුතු සූදනම්ය. හමුදා අංශ නව කාමර පද්ධතියක් සකසමින් සිටී. කෙසේ වෙතත් සියල්ල සාමාන්‍ය අතට හැරෙනා තුරු ඔවුන් ඕනෑම දේකට සූදානම්ය.
ජීවන පහන් තිළිණ











