මුලින්ම ඉතින් මේක දැකපු ගමන් ගොඩක් අය හිතයි මේ කියන්නෙ මොකක් ගැනද කියලා. මොකද සමනල අඩවියේ තියෙන අනෙක් සොඳුරු ඉසව් හැම එකක්ම හරිම රූමත්. සමනල අඩවියේ රූමතියෝ අතරින් අපි අද කියන්නේ දැරණියගල උඩ මාලිබොඩ තියෙන නාය ගඟේ අපූර්වත්වයෙන් මැවුණු දිය ඇලි බලන්න ගිය ගමන ගැනයි. මීට කලින් එක පාරක් මේ ගමන් යන්න ගියත්, මඟදී වුණු පොඩි කරදර වගයක් නිසා ආපහු හැරිලා එන්න වුණා.
මේ ගමනට අපිට වැඩි ප්ලෑන් මුකුත් තිබුණෙම නැහැ. මමත් අමරේ එක්ක කඩුවෙලට සෙට් වෙලා අවිස්සාවේල්ලට යනකොට හවස 6.30 කිට්ටු වෙලා. මේ වෙද්දි ශ්‍රීපාදේ ශ්‍රමදානේදි සෙට් වුණ දසුනත් එන ගමන් තමයි හිටියේ. කොහොමහරි තිලානුත් අවිස්සාවේල්ලෙදී අපිට සෙට් වුණා. දසුන් එනකන් ඉඳලා 7.15ට අද්දපු සීටීබී එකෙන් අපි දැරණියගලට යද්දී 8 වගේ වුණා. උඩ මාලිබොඩ බස් එකක් තියෙනවද කියලා බැලුවත් ඒ වෙලාවේ එකක් තිබුණේ නැහැ.

කොහොමහරි මම බැංකුවට ගිය වෙලාවේ ගාර්මන්ට් බස් එකක් සෙට් වෙලා තිබුණා අපේ අයට. කට්ටියත් එක්ක ඒකට නැඟලා එදා දවසේ අපි මාලිබොඩට කලින් නූරී පාරයි මාලිබොඩ පාරයි වෙන් වෙන තැනින් බැහැගත්තා. මොකද එදා අපේ නැවතුම වුණේ තිලාන්ගේ බාප්පලගේ ගෙදරයි. ගෙදර තිබුණේ පොඩි ඇළ පාරකින් එගොඩ වුණාම පාර මැද්දෙන් තමයි ඇළ පාර යන්නේ. රෑ කළුවරේම සැපට නාගත්තා අපි හතර දෙනා එක්ක. ෆෝන් එහෙම චාර්ජරේට ගහලා අපි රෑට කෑමත් කාලා නින්දට වැටුණේ පට්ට ගමනකට ලෑස්ති වෙන්න පාන්දර 4ට එලාර්ම් එකත් තියාගෙනමයි.
පාන්දර 4 පොඞ්ඩක් පහු වෙනකම් ඉඳලා තේ එකකුත් බීලා කට්ටියම ලෑස්ති වෙන්න පටන්ගත්තා. තිලාන්ගේ බාප්පා මේ වෙද්දී ඔක්කොම ලෑස්ති කරලා පාන් ගේන්න ගිහින් පාන්දරම. දත කට මැදලා මූණ එහෙම පොඞ්ඩක් හෝදගෙන නැන්දා හදපු රසම රස කෑමත් කාලා අපි හනිකට ලෑස්ති වුණේ තව සෑහෙන්න දුර ලොරියකින් යන්නත් තියෙන නිසා. ගමනට ඔක්කොම 14ක් ඉන්නවා කියලා කලින් දවසේ රෑ අපිට දැන ගන්න ලැබුණා.

පොඩි පොඩි පරක්කුවීම් එක්ක ඉඩ එහෙම අහුරලා පොඩි බට්ටා ටයිප් ලොරියකට ගොඩ වුණා අපි බාප්පලගේ ගෙවල් ළඟින්. මඟින් එහෙන් මෙහෙන් කට්ටිය ඔක්කොම 14 දෙනා අන්තිමට එකතු වුණා. කතා කර කර කොහොමහරි ටී ෆැක්ටරියත් පහු කරලා උඩහා ලයිමටම යනකං ලොරියේ ගිහින් එතැනින් ලොරිය දැම්මා තව දුර යන්න අමාරු තරමටම පාර සවුත්තු නිසා. දැන් ඉතින් ගමන පයින් තමයි. බඩු එහෙමත් බෙදාගෙන බෑග් කරේ එල්ලගෙන ඔන්න ගමන පිටත් වුණා. ටික දුරක් ආවට පස්සේ රක්ෂිත සීමාවට ඇතුළු වුණේ පළමුවැනි දෙවැනි ඇලි අසල තියන බලාගාරේ ගේට්ටුව ළඟින්මයි.
අපි බලාගාරේ ළඟින් කට්ටියම ඉන්න ෆොටෝ එකකුත් ගහගෙන ආයේ යන විදියටම එන්නත් සමන් දෙවියන්ගෙන් ඇතුළු ගලේබණ්ඩාර දෙවියන්ගෙන් අවසර අරගෙන එහෙම්ම කැලේට ඇතුළු වුණා. මෙතැන ඉඳන් දෙවැනි ඇල්ල උඩටම යනකන් කිසිම විදියකින් පාර වරදින්නේ නැහැ. මොකද පොඩි කැලෑ කොටසකින් ගිහින් ඊටපස්සේ දිගටම බටේ දිගේ තමයි යන්න තිබුණේ. කොහොමහරි දෙවැනි ඇල්ල උඩ ඩෑම් එක ළඟට යන්න පැයක් වගේ කාලයක් තමයි ගියේ. එතැනින් අපි පාන් එහෙම කාලා දවල්ට බතුත් කාලා ටිකක් වෙලා ඉඳලා ගමන පටන්ගත්තා. මෙතැන ඉඳන් නම් හරියට අඩිපාරක් හොයාගන්න අමාරුයි. දකුණින් කැලේට ඇතුළු වෙලා එහෙම්ම බඹරා මාමාගේ පිටිපස්සෙන් කට්ටියම ඉහළට ඇදුණා. වතුර නම් ඇතිවෙන්න තිබුණා පෑවිල්ල වුණාට. කොහොමහරි ටිකක් අමාරු ගමනකින් පස්සේ අපි තුන්වැනි ඇල්ල ළඟට ආවා. ඒ ටික නම් හොඳටම දැනුණා කට්ටියට. කොහොමහරි එතැනින් පස්සේ අපි හතරවැනි ඇල්ල පාමුලට එන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. එතැනින් කඹයක් දෙපොට දාලා කට්ටියම උඩහට නැග්ගේ ලිස්සන ගතිය ටිකක් වැඩිපුර තිබුණ නිසයි. ටිකක් උඩහට කැලේ අස්සෙන් ගියාට පස්සේ ගලක් ළඟ අපි නැවතුණා. අපි උඩහා ඉඳන් ඇල්ල බැලුවා. තව කට්ටියක් පහළටම බැහැලා ෆොටෝ එහෙමත් අරන් ආවා. මඟ දිගට මාර ලස්සන පරිසරයක් තිබුණේ. එහෙම්ම වතුර ටිකක් එහෙම බීලා පස්වැනි ඇල්ල බලා අපි පිටත් වුණා. ආයෙමත් කැලේ අස්සෙන් ගිහිල්ලා අපි නාය ගඟට බැස්සා. ආයෙමත් එතැනින් එහාට අපි ගමන් කළේ වම් ඉවුරට මාරු වෙලා. ඊටපස්සේ පස්වැනි ඇල්ලත් බලලා අපි ඒකේ උඩහට ගිහින් වම් ඉවුර දිගේ ඉහළටම ඇදුණා.

හයවැනි ඇල්ලයි, හත්වැනි ඇල්ලයි දෙකම තියෙන්නේ එක ළඟමයි. නමුත් අනෙක් හැම දිය ඇල්ලකටම වඩා කන්ද ඇතුළට වෙන්නයි. ඒ තරම් ලස්සනක් විඳින්න නම් පින් කරන්නම වෙනවා. මොකද ලේසියෙන් යන්න අමාරු ගමනක්. වැස්ස කාලෙකට වගේ යනව නම් සීයට සීයක්ම පරිස්සමෙන් යන්න ඕනෑ ගමනක්.
කොහොමහරි අපි ආයෙමත් ගමන පටන්ගත්තා. කැලේ අස්සෙන් ගිහින් පාරවල් කපාගෙන කොහොමහරි අපි හයයි හතයි ඇල්ල පාමුලට ආවා. මෙතැන තමයි ගොඩ දෙනෙක් රාත්‍රී කඳවුරු බඳින්න තෝරගන්නේ. වෙලාවත් 2ට වගේ අපිත් හිතුවේ මෙතැන කඳවුරු බදියි කියලා. නමුත් තව ගමේ කට්ටියක් එතැන ඉඳපු නිසා අපි උඩහා යනවා කියලා ආරංචි වුණා. බැඳගෙන ආපු බත් පාර්සලුත් කාලා හොඳ නින්දක් දාගෙන හිටියා කට්ටිය ඔක්කොම සෙට් වෙනකන්. දිව්‍යලෝකේ සැපක් තිබුණේ කිව්වොත් මම වැරදි නැහැ. මොකද වතුර ගලාගෙන යන සද්දේ අහගෙන කුරුල්ලන්ගේ කීචි බීචී මැද්දේ පොඩි නින්දකට වැටෙන එකේ සැප දන්නේ ඒක විඳපු කෙනෙක්ම තමයි. පැයකින් වගේ බඩු එහෙම එල්ලගෙන ආයෙමත් කට්ටියම ගමන පිටත් වුණා. ඊට කලින් අපි ෆොටෝ ටිකක් එහෙම ගහගන්නත් අමතක කළේ නැහැ. මෙතැන ඉඳන් පැයක වගේ ගමනකින් පස්සේ අපි ඇලි දාමයේ උඩහටම ආවා. පුදුම නිස්කලංක ගතියක් තිබුණේ. අපි කඳවුරු බදින්න තැනක් හොයාගෙන නාය ගඟේ උඩහට යන්න ගත්තා. ඒ අතරමඟ සද්දන්තයෙක්ගේ මතක සටහන් ටිකකුත් දැක්කා. ඒවා හැබයි මාස දෙක තුනකට කලින් එවා.

කොහොමහරි පොඩි ඇල්ලකට උඩහින් හොඳ තැනක් අපිට හම්බු වුණා. කට්ටිය බෑග් එහෙම ගලවලා දර හොයන්න පටන්ගත්තා. ඊටපස්සේ උයන පිහන වැඩ පටන්ගත්තේ 4ටත් කිට්ටු වෙලා තිබුණ නිසා. ඒ අතරේ කට්ටියක් නාගන්න ගියා. එහෙම්ම අපි ටේන්ට් එකත් ගහගත්තා. තේ එකක් එහෙම බීලා අපි ආතල් එකේ වටේ පිටේ ඇවිදලා එහෙම හිටියා. කළුවර වැටීගෙන ආපු නිසා අපි රස කතා එහෙම අහගෙන හිටියා මාමලා කට්ටියගේ. ඒ අය කලින් ඇලි හතේ ඇවිත් විඳපු අත්දැකීම්. තව ගමේ ගැටව් කාලේ කරපුවා ඒවා මේවා හැමදේම අපි හිටියා.
රෑට කෑමත් මේ වෙද්දී හදලා තිබුණ නිසා අපි කට්ටිය කෑවා. රෑ බෝ වුණු හින්දා සින්දු එහෙම කියලා කට්ටිය පැරා එහෙමත් පත්තු කරලා අස්පස් කරලා නින්දට ගියා.
ඊළඟ දවසේ උදේ ඇහැරිලා නෙස්ටමෝල්ට් එකක් බීලා හොඳට නාගත්තා. අම්මෝ ඒ සීතල වතුර ටික නම් පංකාදු පහයි. උදේට කඩල එක්ක නූඞ්ල්ස් තම්බලා තිබුණ හින්දා ඒවත් කාලා එහෙම්ම ගෙනියපු හැමදේම අස්පස් කරලා දාලා අපි පහළට බහින්න පටන්ගත්තා. බඹරා මාමා කියපු විදියට කලින් දවසේ අපි හයවැනි ඇල්ල ළඟින් කැලේට ඇතුළු වෙන්න තමයි තිබුණේ. ආයෙමත් පහළට ඇවිත් ෆොටෝෂූට් එකකුත් කරලා කට්ටිය බහින්න ගත්තා. එතැන ඉඳන් නම් පොඞ්ඩක් පැහැදිලි අඩිපාරක් පහළට යනකන්ම තිබුණා. නමුත් ඇලි එකක්වත් බලාගන්න අමාරුයි. මොකද ඒවාට වෙනම අඩිපාරින් හැරිලා පාරවල් කපන් යන්න ඕනෑ නිසා. ඒ වගේම ඒ හරියේ කටු ගස් විමානේ. බොහොම පරිස්සමට 14 දෙනාම ගියපු විදියටම ආයෙමත් බටේ ඉවර වෙන තැනට ආවා. එහෙම්ම ලොරිය දාපු තැනට එන්න පැයකට වඩා වෙලාවක් එතැන ඉඳන් ගියා.
ඔබත් මේ වගේ ගමනක් ගියොත් පා සටහන් පමණක් ඉතිරි කරලා මතකයන් පමණක් රැගෙන එන්න අමතක කරන්න එපා. ඔබ මේ තැන් විඳින්න මතුවටත් ආරක්ෂා කරලම.
තිසරු රන්දුල කාරියවසම්











