මෙරට ජන සමාජයට අපූරු පණිවුඩයක් ගෙන දුන්නේ නඩරාජාගේ චරිතය තුළින් සරුංගල් චිත්‍රපටය හරහා බව විශ්වාස කෙරේ. එය ප්‍රදර්ශනය වූයේ 1979 මාර්තු 02 වැනිදායි. නඩරාජාගේ ජීවන රටාව මනා ලෙස පවත්වා දුන් කතාව ලියා ඇත්තේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. එකිනෙකට වෙනස්ව විවිධත්වයකින් සිනමා නිර්මාණ ගෙන ඒමේ මනා හැකියාවක් ඇති මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ දෙවැනි සිනමා නිර්මාණය මෙයයි.
රංගධරයන් බහුතරයක් මෙහෙයවා චිත්‍රපට විශාල සංඛ්‍යාවක් මෙරට සිනමාවට දායාද කළ ඔහු ගාමිණී ෆොන්සේකා මෙහෙයවා ඇති පළමු අවස්ථාවත්, අන්තිම අවස්ථාවත් ‘සරුංගලේ’ චිත්‍රපටය විය. නඩරාජාගේ චරිතයට ආවේශ වන්නට සිනමාවේ වෙනත් නළුවකු නොසිටියා වන්නට ඇත. නඩරාජාගේ චරිතයට උචිතම නළුවා ගාමිණී ෆොන්සේකා බව අපට එදා සිතාගන්නට හැකි විය. ගාමිණීට දෙමළ බස හැසිරවීමට හැකියාවක් ඇති හෙයින් උතුරුකරයේ ජනයාට ආවේණික දෙමළ බස ඔහුටද නුහුරු දෙයක් වන්නට නොමැති බව විශ්වාස කළ හැක්කේ එහි විහිදී යන රූපරාමු තුළ ඇති දෙබස් ඛණ්ඩයන් අසන්නට ලැබීමෙනි.
සරුංගලේ සිනමා නිර්මාණය ත්‍රස්තවාදී කලබල ඇතිවීමට පෙර උතුරු ප්‍රදේශයේ රූපගත කර අවසන් කරන ලද්දකි. එම සිනමාපටයෙහි අඩංගු ගීතයක් වන ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි යන ගීය ගැයෙන දර්ශන තලය නිර්මාණය කර ඇත්තේ යාපනයේම කෝවිලක වීම එහි විශේෂත්වයකි. එම ගීත ඛණ්ඩය සමඟ දක්නට ලැබෙන්නේ නඩරාජාගේ විවාහ මංගල්‍යයයි. එහි කුල සිරිතට අනුව එය ආවේණික වූ ඇඳුම් විලාසිතාවකින් සැරසී සිටි නඩරාජා නම් මනමාලයාගෙන් ඉස්මතුව පෙනී තිබුණේ නඩරාජා මිස ගාමිණී ෆොන්සේකා නොවන තරම්ය.
50 දශකයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව සිනමාපටයෙන් සිනමාවට එක්වී එහි ඉතා සුළු කොටසකට පෙනී සිටිමින් ගාමිණී ෆොන්සේකා තම සිනමා චාරිකාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු දෛවයෝගය සිනමාපටයෙන් ප්‍රේක්ෂකයා හමුවන්නේ චරිතාංග නළුවකු හැටියටය. ඉන් නොනැවතී ‘සූරයා’ චිත්‍රපට මාලාව හරහා සිනමා ප්‍රේක්ෂක සිත්සතන් පැහැර ගනිමින් රිදී තිරයේ වීරයා බවට පත්විය.
පසුකාලීනව චිත්‍රපට අධ්‍යක්ෂණය මෙන්ම ගීපද රචකයකුද විය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් ‘පරසතුමල්’, ‘උතුමාණෙනි’ හා ‘සාගරයක් මැද’ විචාරක කතාබහටද ලක්විය. ‘සක්විති සුවය’, ‘බාඳුරාමල්’, ‘මයුරිගේ කතාව’ වැනි චිත්‍රපට දින සියය ඉක්මවා ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ප්‍රදර්ශනය විය. ඔහු රචනා කරන ලද ගීත අතරින් සුජාතා අත්තනායක ගායනා කරන ‘සුදෝ මං ආදරෙයි…’ යන ගීය එදා මෙන් අදත් එක ලෙස ජනප්‍රිය ගීතයක්ය. එම ගීතය ඇතුළත් වූයේ මයුරිගේ කතාව චිත්‍රපටය සඳහාය.
1980 වර්ෂයේ පැවැති සරසවි සම්මාන උළෙලේදී ‘සරුංගලේ’ චිත්‍රපටයේ නඩරාජාගේ චරිතය වෙනුවෙන් එම චරිතය නිරූපණය කළ ගාමිණී ෆොන්සේකාට හොඳම නළුවාට හිමි සම්මානය හිමිවිය. සරුංගලේ චිත්‍රපටයේ ගීපද කුලරත්න ආරියවංශ, කුරුවිට බණ්ඩාර, යෝගා බාලචන්ද්‍රන් හා ගාමිණී ෆොන්සේකාගෙනි. ගායනා පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනී, එම්.එස්. ප්‍රනාන්දු, කමලාවතී, අබේවර්ධන බාලසූරිය හා නිරංජලා විය. සංගීතය වික්ටර් රත්නායකය. රංගන දායකත්වය ගාමිණී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, කරුණාරත්න හඟවන්ත, වීණා ජයකොඩි, විමල් කුමාරද කොස්තා, ෆරිනාලායි, සෝමසිරි දෙහිපිටිය හා ළමා නිළි ගංගා උදයකුමාරිය, නිෂ්පාදක වයි.එම්. කරුණාතිලකය.
ගාමිණී වර්ණපුර











