අසාමාන්‍ය බලැති තෙදැති දෙවි කෙනකු වන කඩවර දෙවියෝ විටෙක දෙවියකු ලෙසත්, විටෙක යක්‍ෂයකු ලෙසත් දෙයාකාරයකින් පෙනී සිටින දෙවි කෙනෙකි. කලා වැවට මෙන්ම සමස්ත වාරි කර්මාන්තයට අධිගෘහිත කඩවර දෙවියෝ සියලු ගොවිතැනටත්, එළගව, මීගව සම්පතටත් දිවැස් හෙළා සිටී. මෙනිසාම කඩවර දෙවිඳුන් වියළි කලාපයේ වැව් ගම්මානවල ඉමහත් පුද සත්කාරයන්ට බඳුන් වන දෙවි කෙනෙකි.
සදෙව් ලොවෙන් චාතුර්මහාරාජික දෙව් ලොව වැසි කඩවර දෙවිඳුන්ට කිසිදු දිනක කඩ නොකර ලක් දෙරණ රකින ලෙස කතරගම දෙවිඳුන් වරම් දී ඇත. එසේ වරම් දුන්නේ කතරගම පුද බිමේ දකුණු වාහල්කඩ සුරැකීමටත්, ලක්වැසි ජනී ජනයාගේ දුක-සැප විමසා බැලීමටත්ය. ඉතා සැර පරුෂ දෙවි කෙනකුන් වන කඩවර දෙවියෝ සිතා මතා දැන දැන වැරැදි කරන්නන්ට දැඩි දඬුවම් ලබාදෙයි. මෙලෙසින් හොඳ, නරක දෙකට එකසේ බලවත් කඩවර දෙවිඳුන් විශේෂයෙන් නුවර කලාවිය, හලාවත, මන්නාරම, සමස්ත වයඹ පළාත, පුත්තලම, ත්‍රිකුණාමලය ආදී කොට ඇති මහා වපසරියකට සිය අණසක පතුරා බැල්ම හෙළා සිටී.
දකුණත වක් කැත්තක්ද, වමත පන්දමක්ද දරා සිටින භයංකාර යක්‍ෂ මුහුණකට හිමිකම් කියන කඩවර දෙවිඳුන් සැබෑ අසරණයන්, අහිංසකයන් සුරැකා කරදර, විපත් ව්‍යසන දුරලයි. එසේම අනේක විධ සත්‍ය වූ සර්ව සාධාරණ වූ දුක්ගැනවිලිවලට සවන් දී උපරිම සාධාරණය ඉටු කරයි. විශේෂයෙන් සතුරන් පරාජයට, නඩුහබ ජයග්‍රහණයට, ස්ත්‍රී-පුරුෂ වශීයට කඩවර දෙවි පිහිට උපරිමයෙන්ම ලද හැකිය. කඩවර දෙවිඳුන්ට පුද තැබීමේදී කඩවර ගොටු පිදීම සිදුවෙයි. එම කඩවර ගොටු පිදීමද දෙයාකාරය. ඒ වින ආපිට පෙරළා කැපීමට හා සතුරු කරදර, ලෙඩ රෝග, නඩුහබ, වශී ආදියට සාර්ථකව මුහුණ දීමටය. සාමාන්‍ය තත්ත්ව යටතේ ලෙඩරෝග, සතුරු කරදර වැනි දෙයින් සහනයට ගෙවත්තේ ඊසාන දිශාවට වන්නට පිරිසුදු ස්ථානයක කහ දියර ඉස රුක්අත්තන කරුවක කඩවර ගොටුව පිදිය යුතුය.
මේ සඳහා නැවුම් මුට්ටියක් සහ දියරෙන් සෝදා පිරිසුදු කර සුදුහාල් ග්‍රෑම් 250 පමණ බත් පිසගනු ලැබේ. මේ සඳහා යොදාගන්නා සහල්වල ප්‍රමිතිය විය යුත්තේ වී කොටා සහල් කර සහල් ලබා ගැනීම හෝ අලුතින්ම වෙළෙඳපොළෙන් මිලදී ගැනීමය. කෙසේ නමුත් බත පිසගැනීම හත්මාළුව සකසා ගැනීම ආදිය ඉතා පිරිසුදුව මුකවාඩම් බැඳ සිදුකළ යුතුය.
සාමාන්‍යයෙන් කඩවර ගොටුව සඳහා පුදනු ලබන පුද අතර සුදු හාලේ බත්, රත් ඇඹුල, හත්මාළුව, පස් පුළුටු, රා, අරක්කු, විලක්කුව, හඳුන්කූරු, කපුරු, පිනිදිය, දුම්මල, සාම්බ්‍රානි කුඩු ආදිය මූලිකය. හත්මාළුව ලෙස එළවළු වර්ග 7ක් නැවුම් ඇතිළියක උයාගත යුතු අතර, ඇට ඇටි පස් වර්ගය ලෙස උඳු, මුං, තල, මෑ, වී ආදිය යොදාගත යුතුය. සාමාන්‍යයෙන් ආහාරපාන ආදියට ගිජු බවක් දක්වන බවට ප්‍රචලිත කඩවර දෙවියෝ කඩවර සත් කට්ටුවක් ලෙසත් කඩවර දොළොස් කට්ටුවක් ලෙසත් පෙනී සිටී. මෙහිදී කඩවර සත් කට්ටුව ලෙස තෙල් කඩවර, මල් කඩවර, ගොපලු කඩවර, සඳුන් කඩවර, අඳුන් කඩවර, දළ කඩවර, සොහොන් කඩවර ලෙස වෙයි. මේ විශේෂයෙන් පහතරට ශාන්තිකර්මවල යොදා ගන්නා කඩවර සත් කට්ටුවයි. කඩවර අවතාර පිළිබඳ මතිමතාන්තර බොහෝය. ඒ අතර සඳහන් ඉහත නාමිකව දැක්වූ කඩවර දොළොස් කට්ටුව මෙසේය. තෙල් කඩවර, මල් කඩවර, අඳුන් කඩවර, හඳුන් කඩවර, ආසමෙ කඩවර, තොටයක් කඩවර, වැදියක් කඩවර, ගිනි කඩවර, ගොපලු කඩවර, රත්න කඩවර, තනි කඩවර, මුල් කඩවර විශේෂයෙන් කඩවර දොළොස් කට්ටුව අතිරේකව කොහොඹා කංකාරියේදී පුළුටු වූ කඩවර ගැනත් කියැවෙයි.
කෙසේ නමුත් කඩවර ගොටු පිදීමේදී යක්බෙර, උඩැක්කි ආදිය වාදනය කරනු ඇතැම් ප්‍රදේශවලදී දැකිය හැකිය. යමකුට කඩවර දෙවිඳුන් වෙතින් පිහිට ලැබීමට නම් පිහිට යදින්නා ධාර්මික විය යුතුය. සාමාන්‍යයෙන් කඩවර දෙවිඳුන් උදෙසා කඩවර ගොටු පිදීමේදී ඊශ්වර දෙවිඳුන්, කතරගම දෙවිඳුන්, සූනියම් දෙවිඳුන් හා ගම්භාර දෙවිඳුන්ට වැඳ අවසර ගතයුතුය. එසේ කළයුතු වන්නේ යම් ප්‍රමාද දෝෂයකින් සුළු හෝ අත්වැරැද්දක් සිදුවුවහොත් ඊට සමාව බලාපොරොත්තුවක් පතන පිහිට විගසින් හිමිවීමටත්ය. විශේෂයෙන් කඩවර දෙවිඳුන් උදෙසා රතු පැහැති මල් පුදන අතර, උන්වහන්සේ වෙනුවෙන් පහන් ආලෝක දීමට අබ තෙල් හෝ පොල්තෙල් යොදාගත හැකිය. සාමාන්‍යයෙන් කඩවර දෙවිඳුන් උදෙසා පහන් දැල්වීමට රාත්‍රි 07.12 සිට 07.36 දක්වා නිර්දේශිතය. තවද කඩවර දෙවිඳුන්ට පොල් ගැසීම හොඳින් දැන විමසා කළයුතුය. කෙසේ නමුත් ඔබ නිවැරැදිව ධාර්මිකව ඔබේ දුක්ගැනවිල්ල කියා පිහිට පතනා කල කඩවර දෙවිඳුන් ඔබට පිහිට වනු නිසැකය. ඔබත් ඔබ කරනා පින්කම්වලදී කඩවර දෙවිඳුන්ටද පින් අනුමෝදන් කිරීමට වගබලා ගන්න. එවිට ඔබට කඩවර දෙවිඳුන්ගේ පිහිට, සරණ, ආරක්‍ෂාව උපරිමයෙන්ම ලැබගත හැකිය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද











