‘කහෝනා පෙයාර් හේ’ නිසා එක රැයින්ම අහසේ දිදුලන සුපිරි තරුවක් වූ රිතික් රොෂාන් එම ජනප්‍රියත්වයෙන් පසුව දැඩි ස්ත්‍රීලෝලී චරිතයක් වූ බව එරට සිනමා සඟරා විසින් එළිදරව් කොට තිබුණේ වරක් දෙවරක් නොවේය. ප්‍රියංකා චොප්රා, බාබ්රා මෝරි සහ සරාගී රංගවේදිනියක වූ කන්ගනා රනවුට් සමඟද පෙම් සබඳතා ඇතිකරගත් රිතික් ඒ ගැන නොසඟවා කතා කළේද කිසිදු චාරයක් නැති ආකාරයටය.
මේ කඩවසම් නළුවාගේ සල්ලාල සෙල්ලම නිමාවූයේ සුසෑන් ඛාන් සිය දික්කසාදය ඉල්ලා සිටි නිසාය. සුසෑන් ඛාන් වැදගත් පවුලකින් පැවත එන වැදගත් තරුණියක වූවාය. රිතික් තුළ සැඟව තිබූ සමහර නෝන්ජල් ගති පැවතුම් සහ ගොතගසන කතා විලාසය නිවැරැදි කර ගැනීම සුසෑන් ඛාන් ඔහුට සහාය දුන්නේ ඉතාම සෙනෙහසිනි.
පෙම්වතියක ලෙස එලෙස ඔහු හමුවේ සෙනෙහස දුන් සොඳුරු කෙල්ලක වූ සුසෑන් පසු කලෙක ඉතාම යහපත් බිරියක වූවාය. අපූරු පුතුන් දෙදෙනකුද ඔහුට තිළිණ කර දුන්නාය.
නමුත් රිතික්ගේ සීමාවක් නැති නොසණ්ඩාලකම් හමුවේ සියල්ල ඉවසා සිටීමට තරම් සුසෑන් බැගෑපත් වූවාය. වරක් දෙවරක්ම රිතික්ට සමාව දුන්නද හැමදාමත් ඔහු කරන නොහොබිනා ක්‍රියාවන් ඉවසා සිටීමට තමා තෙරේසා මව්තුමිය තරම්ම ශුද්ධවත් අයකු නොවන බව පැවැසූ සුසෑන් රිතික්ගෙන් දික්කසාද විය.
රිතික්ද ලෝබකමක් නැතිව එය ඇයට තිළිණයක් කොට දුන්නේ මහා සැහැල්ලුවකින් වාගේය.
නිදහස මැද රිතික් එයට පසුව සිය පෙම් රැඟුම් තුළ නිදහසේ සැරිසැරුවේය. මසකට වතාවක් නඩත්තු ගෙවීම ඔහුට පහසු කරුණක් විය. බොහෝ විට රිතික් කාර්යබහුල වූ බැවින් දරුවන් බැහැදැකීමට ලැබෙන අවස්ථාවන් සමහර විටෙක ඔහු වෙතින් ගිලිහිණි.
2019 වසර රිතික්ට බොහෝ සුබදායක වූ බැවින් ඔහු තම නිර්මාණ වෙනුවෙන් මෙහෙයවන්නට විය. ‘සුපර් තර්ටි’ සහ ‘වෝ’ වෙනුවෙන් 2019 වසර පුරාම වෙහෙසිණි.
තමා වෙතින් යමක් මඟහැරුණු බව රිතික්ට සිහිවන්නට වූයේ 2020 ජනවාරියත් සමගය. එය සපුරාලීමේ අදහසින් රිතික් සිය ආදරණීය පුතුන් දෙපළ වූ (හ්)ර්හාන් සහ රිහාන්ට පමණක් නොව සුසෑන්ටද දිවා ආහාර වේලක් සඳහා ආරාධනා කළේය. දරුවන්ගේ හොඳම මිතුරන් දෙදෙනකුද ඊට ඇතුළත් විය.
සුසෑන් ඛාන් එම ආරාධනය භාරගෙන පැමිණියේ ඉතා චාම් පෙනුමක් දිස්වන ආකාරයටය. (හ්)ර්හාන් සහ රිහාන් ලුමිනස් කොළ පැහැයට ලස්සන ටීෂර්ට් ඇඳ සිටියහ.
දරුවන් කැමැතිම ඉතා රසවත් මිල අධික පීට්සාවලින් සහ සෞඛ්‍යසම්පන්න වූ තවත් කෙටි කෑම වර්ගයන්ද රිතික් ඇණවුම් කොට තිබිණි.
බොහෝ කලකට පසුව සිදුවූ මේ ලස්සන හමුවීම තුළදී වැඩියෙන්ම කතා කළ අය රිතික් වූ අතර සුසෑන්ගේ මුවින් පිටවූයේ සුළු වචන ටිකක් පමණි.
පින්තූර ගන්නා විට තම රුව මුවාකරන්නැයි සුසෑන් සිය හිටපු සැමියාගෙන් සහ නව යොවුන් දරුවාගෙන් ඉල්ලා සිටියාය.
රිතික් මේ අපූරු හමුව තම ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ මිතුරන් සමඟ බෙදා ගැනීමට සැලැසුම් කරන අවස්ථාවේදී සුසෑන් ඉතා ආචාරශීලී ලෙස තම අසුනින් නැඟිට ඉවතට ගියාය.
‘ඔයාලට මොනවාදැයි තම තාත්තාගෙන් ඕනෑ’ සමුගන්නා මොහොතේ සිය දරු දෙදෙනාව ඉතා සංවේදීව වැලඳ ගත් රිතික් ඇසුවේය. දරුවන් නිහඬව සිනාසුණා පමණි.
‘මතක් වුණාම එය මට දන්වන්න. මම කොතැන හිටියත් ඔයාලගේ එකම තාත්තා මමයි. එය වෙනස් වෙන්නෙ නැහැ කවදාවත්’
රිතික් ඔවුනට කීයේ බොළඳ සතුටකිනි.
“මම දැන් තරුණ පුතුන් දෙදෙනකුගේ තාත්තා කෙනෙක්. තව කෙටි කාලයකින් ඔවුන් මගේ උරහිස ළඟටම උස්වේවි. මගේ පාවහන්ද ඔවුන්ට හරියටම හරියන බව විශ්වාසයි. ඔවුන් සමඟත් ඔවුන්ගේ අම්මට සමීපවත් ඉඳගෙන රසවත් පීසා ටේස්ට් කළ මේ කදිම දහවල කිසි විටෙක මට අමතක නොවනු ඇත. දැක්වූ සහයෝගයට ස්තූති. සුසෑන්”
යනුවෙන් රිතික් රොෂාන් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සඳහනක් කර තිබුණේය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











