සද්ද බද්ද නැතුව කරන වැඬේ හරියට කරන නිර්මාණකරුවන් අතර තවත් සුවිශේෂී නිර්මාණකරුවෙක් අපට හමුවුණා. පසුගිය ආදරවන්තයන්ගේ දිනයදා පුංචි තිරයට ආදරයෙන් තිළිණ කළ ‘කිඳුරාදරී’ කාගේ වැඩක්ද කියලා ගොඩදෙනෙක් හොයන්නට පටන් ගත්තේ කරපු වැඬේ හඬ පැතිරෙද්දී. ඒ වෙන කවුරුවත් නොව ප්‍රවීණ රංගන ශිල්පී සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසයි.
ප්‍රදීප් ඔබ කළ නිර්මාණ අතර ‘කිඳුරාදරී’ වෙනස් නිර්මාණයක් නේද?
‘කිඳුරාදරී’ ආදරණීය කතාවක්. එය විකාශය වීමට පටන්ගෙන වැඩි කාලයක් නැහැ. පෙබරවාරි 14 වැනි දින ආදරවන්තයන්ගේ දිනයේ තමයි විකාශය වීම ආරම්භ වුණේ. ඉතින් ඒ වෙනස් මාවත තමයි මම නිර්මාණ කිරීමට උත්සාහ කළේ. මම කාටවත් දෝෂාරෝපණය කරනවා නෙමේ. අද ගොඩක් මෙගා ටෙලිනාට්‍ය පවුලේ කතා, නැතිනම් අල්ලපු ගෙදර අය සමඟ බැඳුණු කතා තමයි නිර්මාණය වෙන්නේ. ඔය අතර හොඳ නිර්මාණත් විකාශය වෙනවා. අපි හැමෝම ආදරයට කැමැතියි. විවිධ ආදරයන් තිබෙනවා. පාසල් කාලයේ අය ආදරයට පිස්සු වැටෙනවා. නමුත් තාරුණ්‍යයේදී ඔවුන් ආදරය කරන්නේ අත්දැකීම් එක්ක. ‘කිඳුරාදරී’ ආදරය ගැන කතා කරනවා වගේම ඩාන්සින් පැත්තට බර ටෙලිනාට්‍යයක්.
අද පවතින ටෙලිනාට්‍ය රැල්ලට අභියෝගයක් වේවිද ‘කිඳුරාදරී’?
කිසිම ටෙලිනාට්‍යයකට අභියෝග කරන්න, තරග කරන්න නෙමේ ‘කිඳුරාදරී’ නිර්මාණය වුණේ. ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් වෙනස් රසවින්දනයක් ලබාදීමටයි අපි උත්සාහ කළේ. සියලුම දෙනා අදහස්, උදහස් යෝජනා බලා උරෙන් උර ගැටිලා අපි සියලුම දෙනා එකම තීරණයට ඇවිත් සාමූහිකව හදපු කතාවක් ‘කිඳුරාදරී’. ප්‍රේක්ෂකයා කැමැති දෙය අප ඔවුන්ට ලබාදිය යුතුයි.
බහුතරයක් නිර්මාණකරුවන් එකම රාමුවක තමයි නිර්මාණ කරන්නේ. එයට හේතුව?
එයට හේතුව මම කියන්න දන්නේ නැහැ. නමුත් මම හිතන විදියට අපි එකිනෙකාට වෙනස්. අපි හැමෝටම නිර්මාණකරුවන් වශයෙන් විවිධ දේවල් නිර්මාණ කරන්න පුළුවන්. මම ටෙලිනාට්‍ය දහයක් කළොත් දහ විදිහක්. ‘සමනලයන්ට වෙඩි තියන්න’, ‘ඇහිපිල්ලමක් යට’, ‘ත්‍රෛලෝකා’ එකිනෙකට වෙනස්. ඒ විතරක් නෙමේ ‘දෙයියන්ගේ රටේ’ හරහා මම හාස්‍ය මතුකරන ටෙලිනාට්‍යයක් නිර්මාණය කළා. මම රාමුවකට කොටුවෙන්න කැමැති නැහැ. මගේ පාත් එකක් නැහැ. වැඬේ අවුට්පුට් එක තමයි මට වැදගත්. ඒ වෙනුවෙන් මම අවංකවම වැඩ කරනවා.
දැන් පවතින ජනප්‍රිය ටෙලිනාට්‍ය අනුකරණයෙන් සැකසුණ නිර්මාණ. ‘කිඳුරාදරීත්’ ඒ තැන ගනීවිද?
කොපි කිරීමක් නැහැ. හැමදේම පවතින්නේ තියෙන දේවල් එක්කයි. ඔබට කියවන්නේ නැතුව ලියන්න බැහැ. ලෝකේ චිත්‍රපට බලන්නෙ නැතුව චිත්‍රපට හදන්න බැහැ. නමුත් ලෝකයේ ටෙලිනාට්‍ය බලා ටෙලිනාට්‍ය හදන්න, ලියන්න බැහැ.
ප්‍රදීප් දැන් ටෙලිනාට්‍යවල රඟපානවට වඩා නිර්මාණකරණයට මූලික වෙලා වැඩ කරන්නේ. ඔබේ නිර්මාණයක ඔබ රඟපෑවොත් නරකද?
මට නළුවෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. අහම්බෙන් තල්ලු කිරීමක් එක්ක තමයි මම රඟපෑමට සම්බන්ධ වුණේ. මගේ ලොකු ආශාවක් තිබුණේ එදා ඉඳලා සිනමා අධ්‍යක්ෂවරයකු වෙන්න තමයි. ටෙලිනාට්‍ය කිහිපයකයි මම රඟපෑවේ. මම අධ්‍යක්ෂණය කළ ‘අත්තටුවක පිහාටුවක’ ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතය රඟපානවා. එය සමහර විට මම රඟපාන අවසාන ටෙලිනාට්‍ය වෙන්න පුළුවන්.
ඔබ හාපුරා කියා රිදී තිරයට නිර්මාණය කළ ‘අයිස්ක්‍රීම්’ සිනමා නිර්මාණය ගැන කතා කළොත්?
චිත්‍රපටයේ සියලුම වැඩකටයුතු අවසන් මේ වසරේ. එය මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන් වෙයි. එතකොට අපි එය ගැන කතා කරමු.
වසන්ත විතාරණගේ











