එදා පුරාණ ලක්දිවේ ආර්ථිකය ගොඩනැඟී තිබුණේ කෘෂිකාර්මික පදනමක් මත බවට අපට අපමණ සාක්‍ෂි තිබේ. වර්තමානයේ සිට එහි මූලාරම්භය සොයා යෑම ඉතාම අපහසු කාර්යයක් බවද අපි දනිමු.
වර්තමානයේ අප රටේ ආර්ථිකය හසුරුවාලීමට කැස කවන ආර්ථික විiාඥයන් ගෙන හැර දක්වන්නේ ගෘහස්ථ වශයෙන් රටේ ආර්ථික රටාව පෙළගැස්ස විය යුතුය යන මතයකි.
සැබෑ ලෙස අප රටේ අතීතයට එබී බලන විට එබඳු අර්ථ රටාවක් අප රටේ තිබී ඇති බවත්, ඒ අනුව කෘෂිකාර්මික අතින් මේ රට ස්වයං පෝෂිතව දියුණුම මට්ටමක පැවැතී ඇති බවද පෙනී යයි.
එබඳු අර්ථ රටාවකට සැබැවින්ම අප රට උරුමකම් කියා ඇති බව අනුරාධපුර යුගයට එබී බලන විට පැහැදිලිව පෙනී යන්නේය.
එම යුගයේ නිසි කලට මෝසම් වැසි ලැබීමත්, සැබැවින්ම රට තුළ වගා කටයුතුවලට සුදුසු දේශගුණයක් පැවැතීමත්, වනාන්තරවලින් වැසී ගිය සාරවත් භූමියක හිමිකම පැවැතීමත්, වියළි කලාපය මැදිකොට ගෙන ගලාගිය ගංගාවන්ගෙන් අවශ්‍ය ජලපහසුව ලැබීමත් යන කරුණු කාරණා කරන කොට ගෙන එදා හෙළදිවේ එබඳු ආර්ථික රටාවක් සැබැවින්ම ගොඩනැඟී තිබී ඇති බවද පෙනේ.
මෙම කෘෂිකාර්මික රටාව කොතෙක් සාර්ථක වීද යත්, එදා අප රට කෘෂිකාර්මික අතින් මනාලෙස ස්වයංපෝෂිත වී තිබේ. ඒ විතරක් නොව එසේ ස්වයං පෝෂණය ලැබූ අපේ පැරැන්නෝ සාර්ථක ලෙස ලබාගත් අසීමිත ධාන්‍ය අස්වනු විදෙස් රටවලට අපනයනය කිරීමට තරම් වාසනාව ලබා සිටියහ.
එම කාලයේදී රටේ කෘෂි කර්මාන්තය කෙතරම් දියුණු වී තිබුණේද යත් විමසා බැලීමේදී රට තුළ සාර්ථක වගා කෙරුණු ධාන්‍ය අස්වනු රටවැසියන් පරිභෝජනය කිරීමෙන් පසු අතිරික්තයක් තිබී ඇති බවද එකී අතිරික්ත ධාන්‍ය අස්වනු විදෙස් රටවලට අපනයනය කර ඇති බව පැහැදිලි වෙයි. මෙහි සැබෑව ‘පොත්තුප්පාට්ටු’ නම් ද්‍රවිඩ මූලාශ්‍ර තුළින් සනාථ වෙයි.
එසේ අතීතයට එබී බලන විට එදා අපේ හෙළදිවට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු සමඟ සහසම්බන්ධතා ගොඩනැඟුණු පෙරපර-දෙදිග යාකළා වූ කදිම සේද මාවතක් නිර්මාණය වී තිබී ඇති බවද පැහැදිලිය.
ඒ අනුව එදා හෙළදිව වාණිජමය වැදගත් කේන්ද්‍රස්ථානයක් වී පැවැතී ඇති බවද, ආනයන වෙළෙඳාමද, අපනයන වෙළෙඳාමද, ඉතා උසස් මට්ටමක පැවැතී ඇති බවද, ඒ හැර රටේ අභ්‍යන්තර වෙළෙඳ කටයුතුද ඉහළම තලයක පැවැතී ඇති බවද වංශකතා සාහිත්‍ය තුළින් මොනවට පැහැදිලි වෙයි.
අප සතුව පවත්නා අනුරාධපුර යුගයට නෑකම් කියැවෙන සෙල්ලිපි මඟින්ද පුරා විiාත්මක සාධක තුළින්ද මේ බැව් වැඩිදුරටත් සනාථ වෙයි.
එදා රජරට ප්‍රදේශ වහ වහා ජනාවාස වීමට බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ වී මෙන්ම ධාන්‍ය වර්ග ගොවිතැන් කිරීමට සුදුසුම පසක් එහි තිබීමත්, මෙකී තත්ත්වය නිසාම සිංහල රාජ්‍යයේ කේන්ද්‍රය අනුරාධපුරය වීමට හේතු වී තිබේ.
මෙකී ප්‍රදේශයේ ජනගහනය ක්‍රමක්‍රමයෙන් වඩා වර්ධනය වෙත්ම, වියළි කාලයන්හිදී ආහාර නිෂ්පාදන කටයුතු බොහෝ සෙයින් අසීරු වී තිබේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන ගම්වැසියන් එක්රැස්වී කුඩා වැවක් දෙකක් ඉදිකර ගනු ලැබීය.
රජරට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට මේ කුඩා වැව්වල ජලධාරිතාව ප්‍රමාණවත් නොවන බැව් පෙනී ගියෙන්, කල්යෑමේදී රාජ්‍ය අනුග්‍රහය ලැබී මහා පරිමාණයේ වාරි කර්මාන්ත ගොඩනැංවී තිබේ. පසුකාලීනව වැව් සංස්කෘතිය සමඟ බැඳුණු වී ගොවිතැන් කටයුතු මනාසේ සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත්වීමට එම කරුණු කාරණාද ප්‍රබල සාධක විය.
ගෙවී ගිය මෑත කාල වකවානුවල අප රටේ කෘෂිකර්ම සංවර්ධන මණ්ඩල පිහිටුවීම කෙරෙහි ශ්‍රී ලංකා රාජ්‍යවල අවධානය මතුව තිබූ බව පෙනේ. සැබැවින්ම මෙම තත්ත්වය අප රටට අලුත් දෙයක් නොවන බව අනුරාධපුර යුගයේ මධ්‍ය කාලවකවානු දෙස හැරී බලන විට පෙනේ. එදා අප හෙළදිවේ කෘෂිකර්ම සංවර්ධන මණ්ඩල පිහිටුවා තිබුණු බව මින්නේරි ලිපියේ වෙලයුරා පස්දෙනා යන සඳහනෙන්ද සනාථ වෙයි.
එයින් පැහැදිලි වන්නේ වෙල් පිළිබඳ සොයා බලන ලේකම්වරයෙක්, ‘වෙල්කැමි’ වශයෙන්ද, ‘වෙල් බැඳිය’ නමින් වෙල්වලින් බදු අයකර ගැනීමට තැනැත්තෙක්ද, ‘වෙල් වැඩිය’ නමින් ගොවීන්ගේ ගොවිතැන් කටයුතුවලට උපදේස ලබා දුන් තැනැත්තෙක්ද සිට ඇති බවයි.
මෙයින් පෙනී යන්නේ අදටද වඩා රටේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා එකල විධිමත් සන්ධානයක සංවිධානාත්මක ව්‍යුහයක් තිබී ඇති බවය.
‘දැන් වැවකින් දිය තබා වපුරනවා හැර මුංඇට නොවපුරනු ඉසා යන වැකියක් වෙස්සගිරිය ශිලා ලිපියේ දැක්වෙයි. මෙයින් පැහැදිලි වන එක දෙයක් තිබේ. එනම් අද මෙන් තමන්ට ඕනෑ ඕනෑ පරිදි නොව කිසියම් භව භෝගයක් වැපිරීමේදී පවා රජය පනවා තිබූ ව්‍යවස්ථාමය උපදේශනයනට නතුව කටයුතු කිරීමට ගොවි ප්‍රජාව බැඳී සිටි බවයි. එබඳු මනා සැලසුම් නිසාම එදා හෙළදිව කෘෂිකර්ම ක්‍ෂේත්‍රය බෙහෙවින් දියුණු අඩියක පැවැතී ඇති බවද පෙනේ.
එසේම ගොවීන්ට වැව් මඟින් බෙදා දෙන ලද ජලය වෙනුවෙන් රජය මඟින් බද්දක් අයකර ගෙන තිබේ. මෙම බද්ද හඳුන්වා දී ඇත්තේ ‘දකපති’ නමිනි. මෙසේ අනුග්‍රහය මත ලබාදෙන ජලය ප්‍රයෝජනයට ගෙන වගා කරන ඉඩම්වල අස්වැන්නෙන් ලද ආදායම බෙදී ගිය ආකාරයක්ද වෙයි. එය බෙදී ගියේ කෙත්වතු හිමියන්ගෙන් ඇළ හිමියන්ටද, ඇළ හිමියන්ගෙන් වැව් හිමියන්ටද, වැව් හිමියන්ගෙන් රජුටද (රජයට) අයුරිනි.
ඒ ආකාරයට එදා රටේ කෘෂි ක්‍ෂේත්‍රයේ ආදායම බෙදී ගිය අයුරු ‘දකපති’ – ‘බෝපකපති’ යන සෙල්ලිපි තුළින් මොනවට පැහැදිලි වෙයි.
තවද තෝනිගල මෙන්ම එප්පාවල සෙල්ලිපිවල තොරතුරුවලට අනුව එදා රජ දවසේ හෙළදිව තිබූ වටිනා බැංකු ක්‍රමයක් පිළිබඳවද කරුණු අනාවරණය වෙයි. එය අද රට තුළ පවත්නා මූල්‍ය බැංකු ක්‍රමයට වෙනස් ආකාරයේ බැංකු පද්ධතියකි. ඒවල ගනුදෙනු සිදුව ඇත්තේ මුදල් පදනම්කොටගෙන නොවේ.
එදා මෙම බැංකුවල තැන්පත් කොට ඇත්තේ බිත්තර වීය. එසේ තැන්පත් කෙරෙන බිත්තර වී සෙසු ගොවීන්ට ණයට දීමද, එකී බැංකුවල තැන්පත් කෙරෙන සෙසු ධාන්‍ය වර්ගද සෙසු අයට ණයට ලබා දීමට සිදුව තිබීම විශේෂත්වයකි.
හෙළදිවේ ඒ ආකාරයේ කෘෂි කර්මාන්තයේ සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම, රට තුළ වෙළෙඳ කටයුතු විධිමත් ආකාරයට පවත්වාගෙන යෑමේ සංවිධාන ව්‍යුහයක්ද තිබී ඇත. මේ පිළිබඳව කදිම සාක්‍ෂි මතු වන්නේ ‘විල්බා වෙහෙර,’ ‘පෙරිය පුලියම් කුලම්’ හා බමර ගස්තලාව’ වැනි ස්ථානවලින් හමුවූ සෙල්ලිපි තුළිනි.
එසේ හමුවූ සෙල්ලිපිවල ‘වාණිජ’ යන වැකිය පැහැදිලිව සඳහන්ව තිබී ඇත.
එදා මෙරට පැවැති වෙළෙඳපොළවල් ‘පූක’ නමින්ද, ‘වානිග්ගාම’ නමින්ද හඳුන්වා දී ඇති බවද පෙනේ. එසේම අනුරාධපුර යුගයට සමකාලීනව සුප්‍රසිද්ධ වෙළෙඳසල්ද තිබී ඇත. තෝනිගල සෙල්ලිපියට අනුව ‘කලහුමනක’ යනුවෙන්ද ලබු ඇට බැඳිගල සෙල්ලිපියට අනුව ‘හෝපිටිගම පදියදී’ යනුවෙන්ද ඊට අදාළ නිදසුන් හුවා දැක්වීමට පිළිවන.
ඉපැරැණි හෙළදිව තුළ විශේෂයෙන් වෙළෙඳ කටයුතු පිළිබඳව බදුලු සෙල්ලිපිය තුළින්ද තොරතුරු රැසක් අනාවරණය වෙයි. එසේ බලන විට එම සෙල්ලිපිය එදා රට තුළ පැවැති වෙළෙඳ කටයුතු ගැන ඉතාම දුර්ලභ ගණයේ තොරතුරු සැපයෙන ඓතිහාසික වැදගත්ම සාධකයක් බවද කිවයුතුය.
තවද එවකට වෙළෙඳ මධ්‍යස්ථානයකදී භාණ්ඩ විකිණීමට අවසර ලබාදී තිබී ඇති බවද, ඒ හැර පෙර මඟට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට ක්‍රියා කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවට නීති පනවා තිබී ඇති බවද පැහැදිලිය. ‘පදිට දිනා බඩු පෙර මඟට ගොස් නොගන්නා ඉසා’ යනුවෙන් සඳහන් සෙල්ලිපි පාඨය එය මොනවට පැහැදිලි කරයි.
එදාද අඩු මිලට නිෂ්පාදකයන්ගෙන් ලබා ගැනෙන බඩු භාණ්ඩ වැඩි මිලට ජනතාවට විකුණන කපටි වෙළෙඳුන්ගෙන් ජනතාව ආරක්‍ෂා කර ගැනීම ඉහත සඳහන් නීති පැනවීමේ අරමුණ වූවා විය හැකිය.
එසේම මෙකී වෙළෙඳ කටයුතු ස්ථාපිත ව්‍යවස්ථා පද්ධතියක් යටතේ පරිපාලනය කරවා ඇති බවද පෙනේ. ඊට කදිම සාක්‍ෂියක් වන්නේ එවකට වාණිජ මණ්ඩල ක්‍රියාත්මක කරවා තිබීමයි. එදා මහියංගණයේ ‘හෝපිටිගමු පදියේ’ ‘වාණිගේ ගාමිණි’ නමින් වාණිජ මණ්ඩල පවත්වාගෙන ගොස් ඇති බවද පෙනී යයි.
මෙම වෙළෙඳ කටයුතු සිදුකිරීමේදී ‘වී’ වැනි ධාන්‍ය වර්ගයන් මැනීම සඳහා සම්මත මිනුම් දඬු තිබී ඇති බවද, එම කටයුතු සඳහා වෙනත් මිනුම් දඬු භාවිත නොකළ යුතු බවට නීති පනවා තිබී ඇති බවද පැහැදිලිය. ඒ බව සනාථ කෙරෙන සෙල්ලිපි වගන්තියක්ද වෙයි. එය නම් ‘ගණ ලහස්සෙන් මිස සෙසු ලහස්සෙකින් නොමනිනු ඉසා’ යනුය.
මෙම වෙළෙඳ කටයුතුවල අද මෙන්ම එදාද ප්‍රධානීන් කොටසක්, සමකාලීන සමාජය තුළ සිට ඇති බවද පැහැදිලි වෙයි. ‘බඹරගස්තලාව’ නමැති සෙල්ලිපියේ වෙළෙඳුන් හට ‘පරුමක’ යන්න භාවිත කර තිබීමෙන් ඒ බව සනාථ වෙයි.
මෙකී යුගයේද වෙළෙඳ පොළෙන් අය කළ බදු රජුගේ (රජයේ) ප්‍රධාන ආදායම් මාර්ගයක්ව තිබී ඇති බවද පෙනී යයි. බදුලු සෙල්ලිපියෙන් හෙළිවන ආකාරයට රජු විසින් පත්කරනු ලැබූ ‘පදිලද දණ්ඩ නායකයන් එකී බදු අයකර ගැනීමේ රාජකාරියේ නියුක්තව සිට ඇත.
මේ නිලධාරීන්ගෙන්ද එබඳු කටයුතුවලදී අත්තනෝමතික (හිතුවක්කාරී) ලෙස කටයුතු සිදුවීම වැළැක්වීමටද නීති පනවා තිබූ බවද පැහැදිලිය. ඉහත සෙල්ලිපියේම එන ‘පෙර සිරිත් දඩ ගණන් මිස අනයා නොකරනු ඉසා’ වැකියෙන් ඒ බව තහවුරු වෙයි.
එසේම එදා හෙළදිවේ ප්‍රධාන නගර ආශ්‍රිතව විදේශීය වෙළෙඳුන් සමඟ භාණ්ඩ හුවමාරු කරගත හැකි පරිදි ජාත්‍යන්තර වෙළෙඳ පොළවල් කිහිපයක්ද පවත්වාගෙන ගොස් තිබේ. වංශ කතා තුළින් හෙළිවන පරිදි උපතිස්ස ග්‍රාමයේ ‘අන්තරාපණ’ නමින්ද අනුරාධපුර නගරයේද එබඳු වෙළෙඳ මධ්‍යස්ථාන තිබී ඇත.
මෙකී වෙළෙඳ මධ්‍යස්ථාන මූලික කොට ගෙන සිදුව ඇත්තේ අලි – ඇතුන්, මුතු-මැණික් වැනි භාණ්ඩ වෙයි. මේවා විදේශ වෙළෙඳුන් සමඟ සිදුකළ ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳාම් වන අතර, එකී වෙළෙඳ කටයුතු රජුට පමණක් සීමාවූ වෙළෙඳ ඒකාධිකාරියක්ද වී තිබේ. ලංකාතිලක විහාර සන්නසට අනුව ‘නියම නිගමස්ථාන…’ යනුවෙන් නියම කරන ලද දේවල් පමණක් විකුණනු ලැබූ වෙළෙඳ මධ්‍යස්ථාන තිබූ බවද හෙළි වෙයි. එහි සඳහන් වන තවත් වැකියක් නම් ‘අටමගඩිය’ වෙයි. එයින් ගම්‍ය වන්නේ එබඳු වෙළෙඳ මධ්‍යස්ථාන අටවර්ගයකට අයත් වූ මධ්‍යස්ථාන ලෙස පැවැතී ඇති බවය.
නන්දන ශ්‍රී දොරකුඹුර











