මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානය දිනා ගත් වේගපන්දු යවන්නා බවට පත්වෙමින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සිටින 20 හැවිරිදි යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රීඩාවේ නිරතවිය යුතු බවට හිටපු වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග කළ ප්‍රකාශය හිටපු ක්‍රීඩකයන් රැසකගේ විමතියට හේතු වී ඇතැයි වාර්තා වේ.
මාලිංග එම ප්‍රකාශය කර ඇත්තේ මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් මහා තරගයට 10 වැනි වරටත් සුදුසුකම් ලැබීමට චෙන්නායි පිලට පන්දුවෙන් කැපී පෙනෙන දායකත්වයක් දුන් මතීෂ වැනි පන්දු යවන්නකු රැක ගැනීමට ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් ඉවත් කර තැබිය යුතු බවට චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමිනි.
ටෙස්ට් ක්‍රීඩාවෙන් සිය ශිල්පීය ක්‍රම සහ ශක්තිය වඩාත් දියුණු වන බැවින් මතීෂ ටෙස්ට් ක්‍රීඩාවට යොදා ගත යුතු බවට මාලිංග කළ ප්‍රකාශය හිටපු ක්‍රීඩකයන් රැසකගේ විමතියට හේතු වී ඇත්තේ එවකට ලසිත් මාලිංග අවුරුදු 27ක් වැනි තරුණ වියේදීම ටෙස්ට් පිටියෙන් සමුගෙන එක්දින හා විස්සයි20 ක්‍රීඩාවට පමණක් යොමුවීම හේතුවෙනි. වසර 2004 දී ටෙස්ට් වරම් ලැබූ මාලිංග 2010 දී ටෙස්ට් පිටියෙන් ඉවත්වූ අතර, ඒ අතරතුර කාලසීමාවේදී ක්‍රීඩා කළේ ටෙස්ට් තරග 30කට පමණි. ඔහුගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 101කි. වසර 2010 දී ටෙස්ට් පිටියෙන් සමුගෙන තවත් වසර 9ක්ම එක්දින, ජාත්‍යන්තර විස්සයි20 හා අයිපීඑල් තරග බිමේ ක්‍රීඩා කළ මාලිංග යොවුන් වේගපන්දු යවන්නා ටෙස්ට් ක්‍රීඩාවේ නිරත විය යුතු බවට කළ ප්‍රකාශය ඔහුගේ ක්‍රියා කලාපය සමඟ සංසන්දනය කිරීමේදී පරස්පර විරෝධී බවද එම ක්‍රීඩකයෝ පෙන්වා දෙති.
එක්දින තරග 226කදී කඩුලු 338ක් ද, විස්සයි20 ජාත්‍යන්තර තරග 84කදි කඩුලු 107ක් දවාගෙන ඇති මාලිංග ඒ සියල්ලටම වඩා අයිපීඑල් තරග බිමට වැඩි දායකත්වයක් දුන් ක්‍රීඩකයකු වන අතර, මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කරමින් අයිපීඑල් තරග 122කට ක්‍රීඩා කර කඩුලු 170ක් දවා ගත්තේය. ඔහු ටෙස්ට් පිටිය හැර දමා අයිපීඑල් යෑම හේතුවෙන් එවකට මෙරට ක්‍රීඩාලෝලීන් අතර සහ හිටපු ක්‍රීඩකයන් අතර දැඩි අප්‍රසාදයට ද ලක් වූවෙකි.
මෙරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම වේගපන්දු යවන්නා ලෙස සැලකෙන චමින්ද වාස් ද මාලිංගගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු දෝනිගේ ප්‍රකාශය අනුමත කරමින් පසුගියදා සඳහන් කර ඇත්තේ මතීෂ වැනි යොවුන් ක්‍රීඩකයන් වැඩි කාලයක් ආරක්ෂා කර ගැනීමට නම් ටෙස්ට් පිටියෙන් ඉවත් කර තැබිය යුතු බවය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111කට ක්‍රීඩා කරමින් වාර්තාගත කඩුලු 355කට හිමිකම් කියන චමින්ද වාස් එක්දින තරග 322කදී දවාගත් කඩුලු සංඛ්‍යාව 400කි.
විස්සයි20 තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 6ක් දවාලූ චමින්ද වාස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය ටෙස්ට් ජයග්‍රහණ රැසකට දායකත්වය දුන් විශිෂ්ට පන්දු යවන්නෙකි. හෙතෙම 1994 සිට 2009 දක්වා වසර 15ක් ටෙස්ට් පිටියේ රැඳී සිටිමින් අවුරුදු 35 වනතුරු ක්‍රීඩා කළේය.










