නළුවකු ලෙස ගත්විට අජේ දේව්ගන් බොහෝ විට ඉතා සරල තරුවක විය.
පසුගිය දිනෙක සුපිරි තරු ලෙස බැබළුණු ඛාන්ලා එකිනෙකා හතරගාතේ දා පල්ලම් බහින විට හැමදාම වාගේ මධ්‍යස්ථ තරු මට්ටමේ තම නාමය රැකගෙන සිටින්නට අජේ දේව්ගන්ට හැකි විය. අජේ ඈත අහසේ දිලෙන්නට කිසිවිටෙක කා සමඟවත් පොර බැදුවේ නැත. යන යන තැන ප්‍රේක්‍ෂකයන් තම ඇඟේ එල්ලෙනු දැකීමේ උණක්වත් අජේට තිබුණේ නැත. ඒ සියල්ලටම වඩා මම කොයි තරම් කාලයක් මේ තරු තරගය තුළ සිටින්නේද? කවදා මහ පොළොවට කඩා වැටෙයිද? යන බියද අජේ තුළ කිසිදු භීතියක් ඇති කළේ නැත.
එලෙසම අජේ සැමදා තම තත්ත්වය රැකගෙන සිටියේය. දක්‍ෂ චරිතාංග නළුවකු වූ අජේට ආකර්ෂණීය රූපකායක් තිබුණේ නැති අතර, සීනිබෝල හෝ අයිසින් කළ කේක් ගෙඩියක ස්වභාවයක්ද නොවීය.
හැබැයි, තද තලෙළු පාට ඔහුගේ හැඩිදැඩි පෙනුමට බොහෝ කාන්තාවන් තුළ හරි අපූරු ප්‍රියතාවක් පැලපදියම්ව තිබිණි. සුවිශේෂීව දඟකාර, හිතුවක්කාර හිත් ඇති තරුණියෝ ඔහුට වැඩිපුර පෙම් කළ වග අතිශයෝක්තියක් නොවේය. තවත් එක් කදිම කාරණයක් වන්නේ පවුල් මට්ටමින්ද අජේට ඇලුම් කළ ප්‍රේක්‍ෂක පිරිසක් බිහිව සිටීමය. සරලව එය පහදන්නේ නම් අම්මා, තාත්තා, දුව, පුතා, ආච්චි, සීයා යන චරිතයක් තුළ සැදුම් ලත් එකම පවුලේ සියල්ලන් අජේට ආදරය කළහ.
ඛාන්ලා මෙන් අජේ වැටුණේ නැත්තේ ඒ නිසාය. 2018 සිට 2019 දක්වා ඛාන්ද සිය චිත්‍රපට නිෂ්පාදකයන්ව නන්නත්තාර කරන විට අජේ දේව්ගන් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ‘බොක්ස් ඔෆීස්’ මට්ටමට ළඟා වූයේ ඒ නිසාය.
තමාව සම්බන්ධ කරගත් නිෂ්පාදකවරුනට ‘අනේ අපොයි’ කියා නළලේ අත ගසා ගන්නට නම් බොහෝ විට අජේ ඉඩ තැබුවේ නැත. ඒ කියන්නේ, බොක්ස් ඔෆීස් වාර්තා බිඳ නොහෙළුවද තමන් රඟපෑ චිත්‍රපට තුළින් නිෂ්පාදකයනට සැනසිල්ලේ හුස්මක් ගෙන පැත්තකට වෙන්නට පුළුවන් සන්තෝෂමක් අජේ විසින් ඔවුනට තිළිණකර දුන්නේය.
2020 වසරද වාසනාව අජේ දේව්ගන් කියන ‘වැඩකාරයාව’ සොයාගෙන ආවේ ඒ නිසාය.
ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සත්‍ය කතා පුවතක් ආශ්‍රිතව නිෂ්පාදනය කළ ‘මයිඩාන්’ චිත්‍රපටය සඳහා අජේ දේව්ගන්ව තෝරා ගත්තේ ඔහු පිළිබඳව වූ දැඩි විශ්වාසයකිනි. ඉන්දියානු පාපන්දු ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය සහ එකී ස්වර්ණමය යුගයෙහි පියා ලෙස හැඳින්වෙන, ඉන්දීය පාපන්දු ක්‍රීඩාවේ ආරම්භක පුරුක ලෙස අදටත් ගෞරවාදරයට පත්ව සිටින ජනප්‍රිය ක්‍රීඩක සහ පුහුණුකරු ෂයිඞ් අබ්දුල් රහීම්ගේ චරිතය මෙයට පාදක වී ඇත. නූතන ඉන්දියානු පාපන්දු ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන ෂයිඞ් අබ්දුල් රහීම් 1950 සිට 1963දී ඔහු මිය යනතෙක්ම ඉන්දීය ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම කළමනාකරු ලෙසද කටයුතු කළේය. කළු පැල්ලමකින් අවිනීත නොවූ ෂයිඞ්ගේ… පෞරුෂයත් චරිතය සහ ප්‍රතිරූපය අජේ දේව්ගන් විසින් ඉතා අපූරුවට රඟදැක්වූ බව බොනී කපූර් සහ සිනමා විචාරකයන්ද පවසා සිටියහ.
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ සහ තිරනාටක තරුවක් වන සයිඛින් ක්වදෝස් සමඟ රිමේෂ් සහ මයිඩාන් අධ්‍යක්‍ෂණය කිරීමේ මෙහෙවර හොඳින් ඉටු කළ බව බොනී උද්දාමයෙන් පවසා තිබිණි.
‘සී’ ස්ටුඩියෝස් විසින් අනුග්‍රහය දක්වා තිබෙන ‘මයිඩාන්’ හින්දි මෙන්ම තෙළිඟු මලයාලම් භාෂාවලින්ද එළි දැක්වීමට නියමිතය.
ෂයිඞ් අබ්දුල් රහීම්ගේ චරිතය සඳහා සුදුසු අපූරුම අය ‘අජේ දේව්ගන්’ බව පළමුව තීරණය කොට තිබුණේ බොනී කපූර් විසිනි. අධ්‍යක්‍ෂවරුන් ඒ සඳහා විරුද්ධත්වයක් දක්වා නොතිබිණි.
‘ෂයිඞ්ගේ ප්‍රතිරූපය අජේ තුළ තිබුණා යැයි ඔබට සිතුණේ ඇයි?’
යනුවෙන් රූපවාහිනී කතිකාවකදී කිසිවකු බොනීගෙන් විමසන විට බොනී, එය ඇත්තෙන්ම මමවත් දන්නේ නැහැ. ‘මයිඩාන්’ ගැන අදහස හිතට එන විට අජේ මගේ හිත කොනක නිදා සිට ඉතා සෙමෙන් නැඟිට ඉදිරියට ආවා.’
යැයි යනුවෙන් පිළිතුරු දුන්නේය.
‘මයිඩාන්’ වෙනුවෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවීම්වලදීද එහි අධ්‍යක්‍ෂවරුන්ද පවසා සිටින්නේ අජේ දේව්ගන්ගේ රංගනය තුළ තමන් කිසිම අඩුවක් නොතිබූ බවය.
ඛාන් ලා තැන් තැන්වල කෙමෙන් කෙමෙන් අවතැන් වෙද්දී 2018 – 2019 පුරාවටද ප්‍රේක්‍ෂක සිත් අතර මතක සටහන් තැබූ අජේ, ‘මයිඩාන්’ හමුවේ ඔවුනට ඉතා කදිම මැජික් එකක් වනු ඇතැයි කවුරුත් කියන්නේ ස්ථිර විශ්වාසයකිනි.
සියලුම රූගත කිරීම් බොහෝ දුරට අවසානව තිබෙන ‘මයිඩාන්’ 2020 දෙසැම්බර් මුල තිරගත වීමට නියමිතව තිබේ. ඒ වෙනුවෙන් කල් තියාම ඉතා අනර්ඝ පෝස්ටරයක් නිර්මාණය වී ඇත.
ඉන්දියාවේ හන්දියක් හන්දියක් ගානේ උජාරුවට විදහා දැක්වෙන මෙම පෝස්ටරය නිසා ප්‍රේක්‍ෂකයන් ‘මයිඩාන්’ පිළිබඳ නොසිතූ කුතුහලයකට පත්ව ඇති බව සමාජ ජාලා වෙබ් අඩවිවල අනාවරණය වන තොරතුරු අතර දැනගන්නට තිබේ.
පසුගිය සමයේ දිගින් දිගටම සාර්ථක වූ අජේ මයිඩාන් තුළින් නොසිතූ විස්කමක් රඟදක්වතැයි යන්න කාගෙත් බලාපොරොත්තුවයි.
කෙසේ වුවද,
උතුරු ඉන්දියානු සිනමාව යම් වෙනසකට සූදානම් වෙමින් සිටියි. එහි හොඳම නිදසුන් වන්නේ ‘රන්වීර් සිං’ කපිල් දේව්ට ආවේශ වීම සහ ‘අජේ දේව්ගන්’ ෂයිඞ් අබ්දුල් රහීම්ට ආවේශ වීමය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











