කොරෝනා වෛරස ගණාවක්ම ලොව පුරා ඇත. එනම් මෙයට පෙර 2002 වසරේදී සොයා ගන්නා ලද ‘සාර්ස්’ Severe Acute Respiratory Syndrome නමැති කොරෝනා වර්ගයට අයත් වෛරසයෙන් ලොව පුරා ජීවිත විශාල සංඛ්‍යාවක් මරණයට පත්විය. ඉන් පසුව 2012 වසරේදී මුල්වරට සොයාගත් ‘මාර්ස්’ Middle East Respiratory Syndrome නමැති කොරෝනා වෛරසයෙන්ද මිනිස් ජීවිත ගණනාවක් අහිමි විය. මෙවර සොයාගත් නවතම ‘2019 -nCov නමැති කොරෝනා වෛරසය ලොවට හඳුනා ගැනීමට ලැබෙන්නේ 2019 දෙසැම්බර් මස අගදීය. මෙම වෛරසය වර්ග තුනම උග්‍ර ශ්වසන සහ ලක්‍ෂණ ඇතිකරවන වෛරසයක් වන අතර, ඒවා මාරාන්තික ඒවා වෙයි. මෙවැනි වෛරසයක් සොයාගත් බව චීනය ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද අතර, එහි ප්‍රථම මරණය ජනවාරි 11දා චීනයේ වුහාන් නගරයෙන් වාර්තා විය. මෙම වෛරසය මඟින් ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය කරන අතර, අවසානයේදී නිව්මෝනියාව වැලඳෙයි.
මෙම වෛරස තෙවර්ගයම ‘සත්වානුබද්ධ’ (Zoonotic) ගණයට අයත් බැව් පැවසෙන අතර, සත්ව විද්‍යාඥයන්ගේ පර්යේෂණවලින් එම කරුණු අනාවරණය කරගෙන ඇත. මෙහිදී විවිධ සත්වයන් කිහිප දෙනකුගේ ප්‍රෝටීන රක්තයන් සමඟ සංසන්දනය වනවාද යන්න සොයා බැලුණු අතර, නව වෛරසය සර්පයන්ගේ ප්‍රෝටීන කේතයන් සමඟ ගැළපෙන බවට කරුණු අනාවරණය කරගත්තේය. වුහාන් නගරයේ සත්ව මාංශ වෙළෙඳපොළෙහි ඇති සර්පයන්ගේ මාංසවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන බැව් හෙළිවිය. එසේම පසුගිය චීන අලුත් අවුරුදු සමයේදී මෙම සර්ප මාංශ ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වූ බවටද අනාවරණය විය. විවිධ සර්පයන් වර්ග කිහිපයකගේම මාංශ මෙම වෙළෙඳපොළෙහි විකිණීමට ඇතත් ප්‍රධාන ඉල්ලුම ඇත්තේ චීන නාගයාගේ මසටය. අවසානයේදී චීන බලධාරීන් තීරණය කළේ මෙම වුහාන් නගරයේ ඇති සත්ව මාංශ වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම වසා දැමීමටය. මෙම මාංශ වෙළෙඳපොළෙහි සාමාන්‍ය සත්ව මාංශ වර්ගවලට අමතරව, තවත් විවිධ සුවිශේෂි සත්වයන්ගේ මාංශ මෙන්ම, එම සත්වයන්ගේ සජීවීවද (පණ පිටින්) විකිණීමට ඇත.
වුහාන් නගරයේ පිහිටා ඇති මෙම සුවිශාල සත්ව මාංශ වෙළෙඳපොළෙහි ගව. කුකුල්, එළු, ඌරු යන සාමාන්‍ය මාංශ වර්ගවලට අමතරව වෙනත් විවිධ සතුන් වර්ග 100කට අධික ප්‍රමාණයේ මාංශ විකිණීමට තබා තිබීම නිසා මෙය ලෝකයේ ඇති විශාලතම මාංශ වෙළෙඳපොළක් බවට පත්වී ඇත. මෙහි සුනඛයන්, නාගයන්, බූරුවන්, මොනරුන්, පැස්බරුන්, ඔටුවන්, මුවන්, නරියන්, හාවුන්, ඉබ්බන්, වෘක පැටවුන්, ඉත්තෑවන්, විවිධ පක්‍ෂීන්, මීයන්, වවුලන්, කිඹුලන් සහ තවත් සර්ප විශේෂ ගණනාවක්ද මාංශ සඳහා විකිණීමට තබා ඇත. ලෝකයේ විශාලතම සුනඛ මාංශ වෙළෙඳපොළ ඇත්තේ චීනයේය. එනම් ලෝකයේ බොහෝ රටවල ජනයා සුනඛයන්ට සෙනෙහසක් දැක්වුවද, චීනයේ ඇත්තේ ඉන් කණපිටය. ගැහැනු – පිරිමි චීන්නු මිලියන ගණනාවක් ‘බලු මස්’ ගිල දැමීමට රුසියන්ය. ඔවුන්ට මාංශ වෙළෙපොළේදී තමන්ට කැමැති සුනඛයා තෝරා දුන්විට එතැනදීම එම අහිංසක සත්වයා මරා දමා අවශ්‍ය මාංශ ලබා දෙයි. මේ ආකාරයටම ‘නාග මස්’ ද පසුගිය චීන අවුරුදු සමයේ විකිනුණේය. මෙම චීන නාගයන්ද පණ පිටින් ප්‍රදර්ශනයට තබා ඇති අතර, අවශ්‍ය නාගයා පෙන්වූ විට ඌ මරා මාංශ ලබා දෙයි. සත්වයා මැරූ පසු පැය දෙක තුනක් යන තුරුත් එම සත්වයාගේ මාංශවල ප්‍රාණය තිබෙනු දක්නට හැකිය. චීන්නු බොහෝ කැමැත්තක් දක්වන්නේ එවැනි නාගමස් කෑමටය. ඔවුන් ‘නාග මාංශ’ තම නිවෙස්වලට ගෙනගොස් තිබියදීත් එම මාංශ ‘නළියමින්’ තිබෙනු නිරීක්‍ෂණය කළ හැකිය.
මෙහිදී තවත් ඇඟපත කීරිගැසී යන පුවතක් ලෙස වාර්තා වන්නේ සමහර චීන්නු මෙම පණගසන නයි මස් අමුවෙන්ම ආහාරයට ගැනීමය. කිසිදු ආකාරයකින් උයා පිසීමක් නොකර සෝස් වර්ග කිහිපයක් පමණක් දමා පණගසන මස් ගිල දැමීමට චීනුන් අති රුසියන්ය. මෙය අතිශයෝක්තියකින් පවසන කතාවක් නොව මේ වන විටත් චීනයේ සිදුවන සාමාන්‍ය සිදුවීමකි. මෙවැනි අතිශය පුදුමාකාර ලෝකයක් අප හමුවේ ඇති අතර, මෙවැනි දසුන් ඕනෑම වේලාවක අන්තර්ජාලයෙන් නිරීක්‍ෂණය කළ හැකිය.

අද මාරාන්තික කොරෝනා වෛරසය ලොවට බිහි වන්නේද මෙවැනි වටපිටාවක් යටතේදීය. මෙහිදී මුලින් ප්‍රකාශ කෙරුණු ආකාරයට මෙතෙක් බිහිවී ඇති කොරෝනා වෛරස වර්ග තුනම (සර්සා, මර්ස් සහ 2019- nCov ) නාගමස් අනුභවය නිසා ඇති වන්නට ඇතැයි පර්යේෂකයන් විසින් සොයා ගත්තේ ඒ ආකාරයටය. සත්වානුබද්ධ ප්‍රෝටීන කේතයන් Zoonotic Protien Codeing) සමඟ කොරෝනා වෛරසය ගැළපෙන්නේ එසේය. එහෙත් සමහර පර්යේෂකයන් ප්‍රකාශ කර ඇත්තේ චීන ජාතිය සියවස් ගණනාවක සිට විවිධ සතුන්ගේ මාංශ අනුභව කරන පිරිසක් හෙයින් එසේ නොවන්නට හැකි බැව්ය. එහෙත් ඔවුනට අභියෝග කරන දැනට සොයා ගැනීම් සිදුකරන පර්යේෂකයන් කියා සිටින්නේ, එසේ මාංශ අනුභවය නිසාම තෙවරක්ම ඉහත කොරෝනා වෛරස වර්ග 3ටම ගොදුරු වුණු බැව්ය. චීනයේ වෛරස් විද්‍යාව ගැනවූ ආයතනය (Instituete of Virology) මඟින් මෙම පර්යේෂණය සිදුකර ඇත.
කෙසේ හෝ මේ වන විට මෙම මාරාන්තික කොරෝනා වෛරසය මුළු ලොවම මහත් අගාධයකට තල්ලු කර දමා ඇත. දැනට චීනයේ මෙම වෛරසය හේතුවෙන් 170කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර, රෝගීන් 7,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. එමෙන්ම මෙම වෛරසය ආසාදනය වූ එහෙත් තවම රෝගී ලක්‍ෂණ නොපෙන්වූ පිරිස් 50,000ක් පමණ සිටිනු ඇතැයිද විශ්වාස කෙරෙයි. එසේම මෙම වෛරසය මුලින්ම ලොවට ගෙන ආ චීනයේ වුහාන් නගරය මේ වන විට පාළු සොහොන් පිටියක ස්වරූපය ගෙන ඇත්තේ, එම නගරය ජනතාවට තහනම් කලාපයක් බවට පත්කිරීමේ හේතුවෙනි. මේ වන විට මෙම නගරයේ වෙසෙන ජනතාවට එයින් පිටතට යා නොහැකි අතර, පිටත සිටින ජනතාවට එම නගරයට ඇතුළු විය නොහැකිය. වුහාන් නගරයේ ජනතාව මෙසේ කොටුකර හෝ සිරකර තැබීම හේතුවෙන් එම නගර වැසියා මේ වන විට උද්ඝෝෂණකාරී තත්ත්වයකටද පත්ව ඇත. ඔවුන් තම නිවෙස් ඇතුළත සිට කෑකෝගසන දර්ශනද දැකිය හැකිය. එමෙන්ම චීනයේ තවත් ප්‍රාන්ත 17කටද මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කර ඇත. එම නගරවලද බාධක සහ සීමාවන් පනවා ඇත. කොරෝනා වෛරසය මෙවර ලොවට කලඑළි කළ වුහාන් නගරයේ පමණක් ජනගහනය එක්කෝටි දසලක්‍ෂයක් වෙයි. මේ නිසා තත්ත්වය ඉතාමත් බියකරුවී ඇත. විද්‍යා පර්යේෂකයන් පවසා සිටින්නේ මින් පෙර වෛරස වර්ග දෙකට වඩා මෙවර වෛරසය ඉතා දිගු කාලයක් පවතිනු ඇති බැව්ය. මේ වන විට එම නගරයේ රෝහල් ජනතාවගෙන් පිරී ඉතිරී පවතින අතර, ප්‍රතිකාර සඳහා ඉඩ පහසුකම්ද නොමැත. ඒ හෙයින් දැන් අපූරු පුවතක් ලෙස චීනයෙන් වාර්තා වන්නේ, වුහාන් නගරයෙහි දින කිහිපයකින් නව රෝහලක් ගොඩනැඟීමේ කටයුත්තයි. මේ සඳහා දැනට වර්ග මීටර 25,000ක් භූමියක් තෝරාගෙන රෝහල ඉදිකිරීමේ කටයුතු ලහි ලහියේ සිදුවෙමින් පවතියි. මෙම නව රෝහල ඇඳන් 1000කින් සමන්විත නවීන එකකි. 2003 වසරේදී ‘සාර්ස්’ වෛරසය පැතිර යෑම වැළැක්වීමේ අරමුණින් මෙවැනිම රෝහලක් කඩිනමින් ඉදිකෙරුණේ බෙයිජින් නගරයේය. මෙය රෝගීන් නිරෝධායනය කළ හැකි රෝගයක් වනු ඇත. චීනය යනු කඩිනම් ඉදිකිරීම් කටයුතුවලට ලොව තිබෙන අංක එකේ රාජ්‍යය ලෙස නම් දරා ඇත. ඒ හෙයින් මෙම රෝහල දින ගණනකින් නිම කිරීමද විස්මිත කාරියකි.
මේ අතර කොරෝනා වෛරසය ගැන තවත් අරුම පුදුම පුවතක්ද ලොවට එළිදැක්වී ඇත. එනම් මෙම කොරෝනා වෛරසය ගෝලීයව ව්‍යාප්ත වී ඇත්තේ, චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක අවි වැඩසටහනට සම්බන්ධ වූ වුහාන් නගරයේ පිහිටි පර්යේෂණාගාරයකින් බැව්ය. මෙම මතය ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල යුද හමුදාවේ ජෛව විද්‍යාත්මක යුද අවි විශේෂඥයකු විසින් යැයි ඇමෙරිකාවේ වොෂින්ටන් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර සිටියේය. මෙය සැබැවින්ම ගතසිත කිලිපොළා යන පුවතකි. චීනයේ වඩාත්ම සංකීර්ණ සහ දියුණුම වෛරස් පර්යේෂණාගාරය ඇත්තේ වුහාන් නගරයේ බවත්, වෛරස් වර්ග සමඟ කටයුතු කිරීමේ හැකියාව ඇත්තේ මෙම පර්යේෂණාගාරයට බවත් ඊශ්‍රායල විශේෂඥයා ප්‍රකාශ කර ඇත. ඩැනී ෂොහාම් නමැති මෙම ජෛව විද්‍යාත්මක යුද අවි විශේෂඥවරයා අවධාරණය කර ඇත්තේ චීනයේ අතිශය රහසිගත ජීව විද්‍යාත්මක අවි පර්යේෂණයකදී හදිසියේ වැරැදීමකින් මෙම වෛරසය ලොවට නිකුත් වූ බැව්ය. එහෙත් ඒ බවක් චීනය කිසිදු ආකාරයකින් හෙළි නොකරන අතර, ප්‍රතික්‍ෂේප කරන සාධකයක් බවටද පත්කරගෙන ඇති බැව්ද ඔහු පවසා සිටියි.

විද්‍යාඥ ඩැනී ෂොහොම් යනු ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති විද්වතකු වන අතර, ඔහු 1970 සිට 1991 දක්වා මැදපෙරදිග හා ලොව තවත් රටවල් කිහිපයකට ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ පිළිබඳ විශ්ලේෂකයකු සහ පර්යේෂකයකුද වෙයි. ලෝකයේ ඇති වන භයානක රෝගකාරකයන් අධ්‍යයනය කිරීම සඳහා ගෝලීය වශයෙන් නම් කරන ලද චීනයේ ඇති එකම විද්‍යාගාරය වන්නේ මෙම වුහාන්හි පිහිටි පර්යේෂණාගාරය බැව්ද පැවසෙයි. 2004 වසරේදී චීනයෙන් බිහිවුණු මාරාන්තික ‘සාර්ස්’ වෛරසයද මෙලෙස චීනයේ බීජින්ග් නුවර පර්යේෂණාගාරයකින් පිටවූ එකක් බැව් ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ වුහාන් විද්‍යාගාරය ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මෙසේ මත ප්‍රකාශ කර ඇතත්, චීන බලධාරීන් එම මත ප්‍රතික්‍ෂේප කර ඇත. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමීප මිතුරන් වන අතර, ඔවුන් නිරන්තරයෙන්ම චීනයට එරෙහි වන මත දරති. ඒ හෙයින් කවුරුන් සත්‍ය ප්‍රකාශ කරන්නේදැයි පොදු ජනතාවට පැනයක් වී ඇත. විනාශය නම් දැන් සිදුවී අවසන්ය.
කෙසේ හෝ මෙම ලිපිය ලියාගෙන යද්දී තවත් වරක් ආරංචි වූයේ මෙම කොරෝනා වෛරසයට හේතුව වී ඇත්තේ අස්වාභාවික සත්ව මාංශ අනුභවය බැව්ය. එනම් තවත් චීන විද්‍යා පර්යේෂකයන් පිරිසක් සිදුකළ පර්යේෂණයකින් ඒ බැව් තහවුරු කරගෙන ඇත. චීන නාග මාංශ (නයි මස්) ප්‍රධානව මාංශ වර්ග කිහිපයක් හරහා මෙම වෛරසය පැතිරෙන්නට ඇති බැව් ඔවුන් දෙවැනි වතාවටත් අනාවරණය කරගෙන ඇත.
මේ අතර අතිශය කනගාටුදායක පුවතක් ලෙස චීනයෙන් වාර්තා වූයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදුකළ චීන ජාතික වෛiවරුන් තිදෙනෙක්ද එම රෝගයට ගොදුරු වී මියයෑමය. කෙතරම් ආරක්‍ෂක විධිවිධාන සහ ක්‍රමවේද තිබුණද මෙම රෝගයේ බරපතළකම ඉන් පැහැදිලිව පෙනෙයි. මේ අතර වුහාන් නගරය පමණක් නොව චීනයේ තවත් නතර 18කටද මුද්‍රා තබා (සීල් තබා) තදබල නීති රීති යටතේ පරිපාලන කටයුතු කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත. පසුගියදා චීනයේ පැවැති සාම්ප්‍රදායික චීන අවුරුදු උත්සවය හේතුවෙන් මෙම රෝගය එරට සහ විදෙස් රටවල ප්‍රචාරණය වීම උත්සන්න විය. මේ වන විට දිනෙන් දින තත්ත්වය තවත් උග්‍රවෙයි.
මෙම භයානක වසංගත රෝග තත්ත්වය ගැන කරුණු සොයා බැලීම සඳහා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, ඇඩො නොම් ගෙබ්‍රයිසස් ප්‍රධාන කණ්ඩායමක්ද චීනයට ගොස් සිටිති. වෛරසය සඳහා ප්‍රතිකර්මයක් ලෙස එන්නතක් සකස් කිරීමද මේ දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙය වීමෙන් සිදුකරන අතර, දැනට රෝගීන් සඳහා ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාදීමක් සිදුකරනු ලබයි.
එසේම එයට අමතරව මාරක කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන්ට මේ වන විට එච්.අයි.වී. ඒඞ්ස් රෝගීන්ට ලබාදෙන විශේෂ ඖෂධ කාණ්ඩයක්ද ලබාදෙන බැව් චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර ඇත. මෙසේ ඒඞ්ස් රෝගීන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ කොරෝනා රෝගීන්ටද ලබා දෙන්නේ කඩිනම් පර්යේෂණයකින් පසුව වන අතර, එයින් යහපත් ප්‍රතිඵල ඇති බැව් පෙන්නුම් කර ඇත. එසේ නොමැතිව මෙම රෝගය සඳහා මෙතෙක් ස්ථිර, සාර්ථක ඖෂධයක් සොයාගෙන නොමැත.
ප්‍රියන්ත හෙට්ටිගේ











