ඇත්තටම මේ මෑත ඉතිහාසයේ අපිට නුහුරු නුපුරුදු දෙයක්. අපි රටක් විදියට මෑත අවුරුදු විස්ස විසිපහ සීමාවේ හිතාගන්න බැරි විදියෙ අර්බුදයකට මුහුණ දුන්නා නම්, ඒ ඩෙංගු විතරයි. සාර්ස්, චිකුන් ගුන්යා වගේ වෛරස් ගැන ඇහුවට ඒවා අපිට දැනුණෙ නැහැ. හැබැයි අද වෙනකොට අපිට දැනිලයි තියෙන්නේ. මුළු රටේම බරපතළ විදියට ‘කොරෝනා’ බය පැතිරිලා. ආගමික නායකයො පවා ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡා තියන තැනට පත්වෙලා. මුහුණු ආවරණ සියල්ලම පාහේ විකිණී අවසන්. ඒවායේ මිල ගණන් පවා වෙනස් කළත්, ඒ ගැන ප්‍රශ්න නොකරන්න පාරිභෝගිකයෝ සූදානම්. එක්තරා ප්‍රධාන නගරයක බෙහෙත් හලකට ගොඩවුණු අපට, ඔහු කිව්වේ,
‘මම වෙනදා මාසෙටම විකුණන්නෙ ‘මාස්ක්’ පෙට්ටි හයක් විතර. ඒත් අද උදේ වරුවෙ විතරක් ‘මාස්ක්’ පෙට්ටි විස්සක් විකුණලා ඉවරයි. ඒ දවල් දහය විතර වෙනකොට. මම දන්නවා රෑ වෙනකල් වික්කා නම් ‘මාස්ක්’ පෙට්ටි පනහක්වත් විකුණගන්න තිබ්බා.’ කියලා.
ඒ තමයි අපි ‘කොරෝනා’ නිසා තිගැස්සුණු ප්‍රමාණය ගැන කතාව. අපි ඒ ගැන තවත් දුරට කතා නොකර
‘අයි.ඩී.එච්.’ රෝහලට ගොඩවෙන්න හිතුවා.
මේ අයි.ඩී.එච්. රෝහල තියෙන්නෙ අංගොඩ බෝවන රෝග විද්‍යායතනය. ඉස්සර කිව්වෙ ‘කැලෑ ඉස්පිරිතාලෙ’ කියලා. පස්සෙ උණ රෝහල වුණා. අද වෙන කොට අයි.ඩී.එච්. රෝහල කියලා කියනවා.
මොකක්ද අයි.ඩී.එච්. රෝහලේ තත්ත්වය?

අපි දන්න විදියට සාමාන්‍යයෙන් ලෝකයේ කුමන මට්ටමේ භයානක රෝගයක් සහිත රෝගියෙක් ආවත්, ඔහුව ඇතුළු කරලා ලංකාවේ පූර්ණ ප්‍රතිකාර සඳහා යොමු කරන අවසාන ස්ථානය තමයි මේ අංගොඩ පිහිටලා තියෙන බෝවන රෝග විද්‍යායතනය. මීට බොහෝ කලකට ඉහත අතිශය ජනශුන්‍ය ප්‍රදේශයක් වෙච්ච මේ රෝහල් ප්‍රදේශය අද වෙනකොට අතිශය ජනාකීර්ණයි. එතකොට මේ රෝහල අසල ජන ජීවිතයට මේ තත්ත්වය බලපාන ආකාරය ගැන විශේෂයෙන්ම සැලකිය යුතුයි. ඇත්තටම මේ රෝහල මෙතැන හදන්න තීරණය කරන්නෙම, කොළඹ නගරාසන්නයේ තියෙන උසම ස්ථානය විදියට, යම්කිසි විසබීජ පැතිරයෑමක් වෙනවා නම්, ඒ බලපෑමක් ඊට පහළින් තියෙන සාමාන්‍ය ජනතාවට වෙන්නෙ නැහැ. ඒ වගේම රෝහල තුළ රෝගීන් රැඳවීමට විශේෂ කුටි සකස් කරලා තියෙනවා. ඒ නිසා මුලින්ම කියලා ඉන්න තීරණය කළේ ඒ කාරණාව.
ඒ ඇයි?
පළමු වැනි එච්.අයි.වී. රෝගියා අයි.ඩී.එච්. රෝහලට ඇතුළු කරන මොහොතේ පවා රෝහල වටා හිටපු සාමාන්‍ය ජනතාව අතිශය කලබලයට පත්වෙනවා. එදා රෝහලේ කාර්ය මණ්ඩලය පවා කටයුතු කරන්නෙ බොහෝම බයෙන්. එදා මේ රෝගියාට බෙහෙත් දීලා තියෙන්න කඩදාසියක ඔතලා විසිකරලා. ඒත් අද වෙනකොට ඒ තත්ත්වය බොහෝම වෙනස්. නමුත් අදත් අයි.ඩී.එච්. රෝහලෙන් සාමාන්‍ය රෝගීන් පිටත්වෙලා ගිහිල්ලා. සාමාන්‍ය රෝගීන් නොපැමිණෙන තැනට අද මේ රෝහල පත්වෙලා.

එතකොට අද වෙනකොට අයි.ඩී.එච්. රෝහලේ තත්ත්වය මොකක්ද?
ඇත්තටම අයි.ඩී.එච්. රෝහල කියන්නෙම ශ්‍රී ලංකාවේ තියෙන විශේෂ පහසුකම් සහිත රෝහලක්. රෝහල් පර්යේෂණාගාරය පැය විසිහතරේම කටයුතු කරනවා. ඒ රාජකාරිය අට – පහ එකක් නෙවෙයි. ඒ වගේම රෝහලේ වෛද්‍යවරු මේ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ අය. විශේෂඥ වෛද්‍ය ආනන්ද වික්‍රමගේ, දමයන්ති ඉඩම්පිටිය, වෛද්‍ය නාරංගොඩ ඇතුළු ඒ අතර විශේෂයි. ඒ වගේම මේ රෝහලේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් රෝහලක තියෙන ස්වභාවය රෝගියා වැඩියෙන්ම නිරාවරණය වෙන්නෙ හවුස් ඔෆිසර් විදියකට හඳුන්වන, අත්දැකීම් ලබමින් ඉන්න අලුත් පත්වීම් සහිත වෛද්‍යවරයාට, විශේෂඥ වෛද්‍යවරයා රෝගියා දකින්නෙ ඉතාම කලාතුරකින්. නමුත් අයි.ඩී.එච්. රෝහලේ ඒ තත්ත්වය වෙනස්. මේ ගැන අපි වරක් විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය සමඟ කතා කළා. ඈ අපිට කිව්වෙ මේ වගේ අදහසක්.
‘සාමාන්‍ය මේ වගේ බරපතළ තත්ත්වයේ රෝගියෙක් ළඟට යනකොට විශේෂ උපක්‍රම යොදන්න වෙනවා. නොදන්න කෙනෙක් ගිහිල්ලා ඒ රෝගය බෝකර ගන්න පුළුවන්. ඒ නිසා අපි ආරක්‍ෂිතව රෝගියා එක්ක ගනුදෙනු කරනවා.’
මොනවද මේ ආරක්‍ෂක උපක්‍රම?
රෝගියා තියන්නෙ සාමාන්‍ය වාට්ටුවල නෙවෙයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරපු කාමර තියෙනවා. ඒ කාමරවල රෝගියා සඳහා තියෙන කොටස වීදුරු ආවරණයක් සහිතයි. ඒ දොර නිරන්තරයෙන්ම වහලා තියෙන අතරෙ, ඊට පිටස්තර තවත් විශේෂ වීදුරු ආවරණයක් තියෙනවා. රෝගියා ඉන්නෙ ඒ තුළ. මේ ‘කොරෝනා’ රෝගියා සහ ඒ පිළිබඳව සැක සහිතව රෝහල්ගත කරපු රෝගීන් දැනට ප්‍රතිකාර ලබන්නෙත් ඒ ආකාරයෙන්. විශේෂයෙන් සකස් කරපු රෝහල් කාමරවල.

මේ රෝගීන් අසලට යෑමට විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරු වගේම හෙද පාලිකා ගීතානි චම්පිකා උඩුගංකෝරලා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරනවා. රෝහලේ අධ්‍යක්‍ෂතුමන් විදියට, වෛද්‍ය හසිත අත්තනායක මහතා කටයුතු කරනවා. මේ රෝගියා ළඟට යන වෛද්‍ය කාර්ය මණ්ඩලයට අතිවිශේෂ ඇඳුමක් තියෙනවා. ඒ පිජාමා එක සහ ඕවර් රෝල් එක ඊට උඩින් අඳින්න ඕනෑ. ඒත් එක්ක ඊට උඩින් අඳින්න පොලිතින් ඒප්රන් එකක් තියෙනවා. එන්.ජී.එස්. වර්ගයේ මාස්ක් (මුහුණු ආවරණ) ගොගොල් (විශේෂිත ඇස් ආවරණය) සහ හිස් වැස්මක් පැලැඳිය යුතුයි. ඒ වගේම විශේෂ අත් ආවරණ සහ පාවැහුම් ඔවුන්ට ලැබෙනවා. මේ තමයි ‘කොරෝනා’ රෝගියා අසලට යන රෝහල් කාර්ය මණ්ඩල නිල ඇඳුම. විශේෂයෙන්ම මේ විශේෂ ඇඳුමෙන් සැරසෙන රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනා, තමන්ම කණ්ණාඩියෙන් බලල තමන්ගේ ඇඳුමෙ අඩුපාඩු ඇත්ද නැත්ද කියලා හඳුනාගත යුතුයි. මේ ලිපිය ලියන මොහොත වෙනකොට ‘කොරෝනා’ රෝගීන්ට නිශ්චිත බෙහෙතක් හොයාගෙන නැහැ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණෙ එච්.අයි.වී. රෝගීන්ට ලබාදෙන බෙහෙත්, විදෙස් රටවල ලබාදෙන බව. නමුත් ලංකාවේදී එවන් තත්ත්වයක් නැහැ. ඒ අයගෙ උණ තත්ත්වය පරීක්‍ෂා කරමින් ඒ සඳහා ප්‍රතිකාර කරන බවයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.
මේ අතර, ‘කොරෝනා’ රෝගී විදේශීය කාන්තාවන් සඳහා විශේෂිත ආහාර වේල් ලබා දෙන්නත් අයි.ඩී.එච්. රෝහල කටයුතු කරලා තියෙනවා. ඒ ඒ ආහාර විදියට දැනගන්න ලැබෙන්නෙ මෙහෙමයි. උදෑසන ආහාරයට ලබා දෙන්නෙ ‘සැන්ඞ්විච්’ වගේ දෙයක්. ඒවා මාළු සහ බිත්තර සහිතයි. දවල් ආහාරය විදියට ලැබෙන්නෙ ෆ්‍රයිඞ් රයිස් හරි ෆ්‍රයිඞ් නූඞ්ල්ස් හරි. ඒ විදියටම රෑ කෑමත් හැදෙනවා. බිත්තර, මාළු වගේම කංකුන් ඩෙවල් වගේ විශේෂ කෑමක් මේ රෝගීන් වෙනුවෙන් සකස් කෙරෙනවා. ඒ විශේෂයෙන්ම රෝගියාට අවශ්‍ය කරන කෑම, බීම ඉතාම වැදගත් නිසා.
කොහොම නමුත් අයි.ඩී.එච්. රෝහල ‘කොරෝනා’ එක්ක කාර්ය බහුලයි කියලා අපි හිතුවට එහෙම නැහැ. මොකද රෝහල් වෙනත් රෝගීන් නැත්තටම නැති නිසා රෝහලේ වැඩ අඩුවෙලා. නමුත් රෝහල් කාර්ය මණ්ඩලය සාමාන්‍ය විදියට රාජකාරි කරනවා. ‘කොරෝනා’ රෝගීන් රඳවලා ඉන්නෙ කිසිසේත්ම බාහිර පරිසරයට විවෘත නොවෙන විදියට. ඒ අයට ප්‍රතිකාර කරන්නෙත් එහෙමයි. ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වගේ දැනුමක් මේ කාර්ය මණ්ඩලයට තියෙනවා. එහෙම නම් මීට වඩා භයානක තත්ත්වයකට වුණත් අයි.ඩී.එච්. රෝහල සූදානම්.
ඒ වගේම දැනගන්න තියෙන්නෙ මේ රෝගියා ඉන්නෙ භයානක තත්ත්වයක නෙවෙයි. අපි මේ ලියන මොහොත වෙනකොට වෙනත් කිසිම රෝගියෙක් ‘කොරෝනා පොසිටිව්’ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ ගැන පළවෙන සමාජ ජාල වාර්තා අසත්‍යයයි. ඒ නිසා අපි ඔබට කියන්නෙ කලබල වෙන්න එපා. නමුත් ආරක්‍ෂා වෙන්න. ඒක තමයි වැදගත්ම.
ජීවන පහන් තිලිණ











