ආදරය යන සොඳුරු විෂයත්, ‘පවුල’ යන අලංකාර තේමාවත් එකට එකතු කර සිත්කලු කතන්දර තනන්නට උපන් හපන්කම් දැක්වූ මැද මාවතේ සිනමාකරුවකු වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ‘වතුර කරත්තය’ නම් වෙනස් ආරක කතා පුවත සිනමාවට ගෙන ආයේ 1982දීය. ‘ජනක සහ මංජු’ වෙනුවෙන් අලුත් කෙල්ලක සොයා එය ‘බොක්ස් ඔෆීස්’ වාර්තා පිහිටුවන ජයග්‍රාහී මායිමට ගෙන ආ මේ අපූරු සිනමාකරුවාට ‘වතුර කරත්තය’ තනන්නට ද අලුත් කෙල්ලක් ඕනෑ විය. යන එන හැම තැනදීම කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා දිග කොණ්ඩයක් තියෙන ගැමි ලස්සනක් ඇති වැදගත් පෙනුමකින් පිරුණු ඒ මුහුණ සෙව්වේය. අහම්බයෙන් වාගේ මිතුරකුගේ මාර්ගයෙන් ඔහුට ඈ හමුවිය. මුහුණෙ උපන් ලපයක්ද තිබූ ඒ දැකුම්කලු කෙල්ල ‘මනෝහරී විමලතුංග’ විය. 1982 ‘වතුර කරත්තයෙන්’ පැමිණ ‘රේල්පාර’ ඔස්සේ ඇවිද ගිහින් ‘වාසිටි කෙල්ලක’ ලෙස රඟපා දැන් දැන් ආලින්දයේ සිනමාව සරසන ‘මනෝහරී විමලතුංග ‘හාට්’ සමඟ එක්වූයේ ‘වතුර කරත්තය’ ගැන කෙටි සමාලෝචනයක යෙදෙන්නටය.
ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. සතුටින් දවස් ගෙවී යනවා. ටෙලි නිර්මාණ දෙකකට ආරාධනා ලැබුණා. හෙට, අනිද්දා එහි රූගත කිරීම් සඳහා යන්නට බලාපොරොත්තුව සිටිනවා.
අපි ආවේ ‘වතුර කරත්තය’ ගැන කතා කරන්නයි?
ඒක හොඳයි. අලංකාර සිනමා නිර්මාණ බිහිවුණු ඒ යුගය ගැන එවැනි මතක් කිරීමක් කරන එක හුඟාක් හොඳයි.
අනෙක ‘වතුර කරත්තය’ නිර්මාණය කරන්නට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයා සමඟ එයට එක්වූ හැමෝම ඒ සඳහා කැපවූ ආකාරය ගැන අද තරුණ පරපුර දැනුවත් කරන එකම කොයිතරම් හොඳද? ඒ මොකද කියනව නම් අලුත් ළමයින් ‘රංගනය’ කියන විෂය ගැන සහ එහි ආධ්‍යාත්මය හරිහැටි හඳුනන්නේ නැහැ.
හොඳයි කියන්න එහෙනම්, ‘වතුර කරත්තය’ ඇදගෙන යන සුඛිනි වූයේ කොහොමද ඔබ?
පෙරේරා මහත්තයා සුඛිනිගේ චරිතයට කෙල්ලක් හොයන කාලේ මට යන්තම් අවුරුදු විස්ස ලැබුවා විතරයි. රඟපාන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා. පාසල් නාට්‍යවල එහෙමත් මම වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණා. ඇත්තෙන්ම මට රඟපෑම ගැන යම් හැකියාවක් තිබෙන බව ගුරුවරු පවා දන්නවා. නිළියක වෙන්න මගේ හිතේ තිබුණු ආසාවට උදව් කළේ මගේ පුංචි අම්මයි. අම්මා නම් එයට කොහොමවත් ඉඩ දුන්නේ නැහැ. තාත්තා මම පුංචි කාලේම නැතිවුණු නිසාත් අම්මා මාව පරෙස්සමට හැදූ නිසාත් මාව නිළියක කරන්න එයා බය වුණා. ඔය වාගේ පසුබිමකදී තමයි පෙරේරා මහත්තයා ‘වතුර කරත්තය’ට අලුත් මුහුණක් හොයන ආරංචිය හිතවතකුගේ මාර්ගයෙන් අපේ පුංචි දැනගත්තේ. පුංචි ඒ හිතවතාට මං ගැන කියල තිබුණු නිසයි පුංචිට ඒ ආරංචිය ආවේ. අනෙක පෙරේරා මහත්තයා එතකොට ‘ජනක සහ මංජු’ චිත්‍රපටය හදපු කාලේ නිසා පුංචිට ලොකු වුවමනාවක් තිබුණා මාව එතුමට මුණගස්සන්න. අම්මට මොනවා කියලද යන්නේ කියලා කල්පනා කරනකොට පුංචි පොඩි ප්ලෑනක් ගැහුවා. අරියධම්ම හාමුදුරුවන්ගේ බණ දේශනාවකට මම කෙල්ලව එක්කගෙන යනව කියල තමයි මාව ගෙදරින් එළියට ගත්තේ සම්මුඛ පරීක්‍ෂණයට යන්න.
සම්මුඛ පරීක්‍ෂණයෙන් සමත්වෙයි කියන විශ්වාසය තිබුණද?
ඔහු සෙවූ අංග ලක්‍ෂණ මට තිබුණු නිසාත්, යම් හැකියාවක් තුළ මා සිටි නිසාත් යන ගමන පලක් වෙයි කියන තැන තමයි මම හිටියේ.
ඊට සහභාගි වීමේදී සිතට තිගැස්මක් දැනුණෙ නැද්ද?
නැහැ, විශේෂ බයක් දැනුණෙ නැහැ. තව ගැහැනු ළමයි හුඟාක් හිටියා. අනේ මාව තේරෙන්නම ඕනෑ කියන හීනය තුළ නොසිටි නිසා මම සම්මුඛ පරීක්‍ෂණ තුළ කැලඹීමට පත්ව හිටියෙ නැහැ.
හැබැයි මට කරන්නට ලැබුණේ ටිකක් ලැජ්ජාවක් හිතෙන රඟපෑමක් නිසා චකිතය කියන එක මට දැනුණා. පෙරේරා මහත්තයා මට කිව්වෙ පෙම්වතාව මුණගැහෙන්න ආව පෙම්වතියට ඔහු වෙන්ව යන මොහොතට දැනෙන ‘දුක් මුසු’ අවස්ථාව රඟපාන්න කියලයි. හැමෝම ඉස්සරහ මහ ලැජ්ජාවක් දැනුණත් මට පිටුපා යන පෙම්වතකුගේ රුව හිතෙ මවාගෙන මම ඒ කොටස රඟපෑවා. බලන් ඉන්න හැමෝම හිනාවෙද්දිත් මම එය හරිම හැඟීම්බරව කළා.
ඔබ ‘සමත්’ කියන වචනය පෙරේරා මහත්තය දුන්නද එතැනදී?
නැහැ, නැහැ. සින්දුවකුත් කියල පෙන්නන්න වුණා. ඒ දවස්වල සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ගැහැනු ළමයි’ ජනප්‍රිය හරිම ජනප්‍රියව තිරගත වූ අවධිය. ‘වියෝ ගී ගැයෙනා හදේ’ තමයි මට කියන්න වුණේ. ගායනයත් නිතර පාසල් වේදිකාවේ කළ නිසා එය හොඳින් ගායනා කළා.
අම්මගේ කැමැත්ත ගන්න කරදර වුණාද?
ලොකු සටනක් කරන්න වුණා. පුංචි, පුංචිගේ මහත්තයයි මං වෙනුවෙන් ඉදිරිපත් වුණා. මගේ කන්නලව්වවත් ඒ අතරට ආව නිසා අම්මගේ හිත වෙනස් වුණා. හැබැයි පුංචිට ඇඟිල්ල දික්කරලා ටිකක් තදින් කිව්වා, මලක් වාගේ පරෙස්සමට මම හැදූ කෙල්ලව බයිස්කෝප් නටන්න එක්ක ගිහින් මොනවා හරි කරදරයක් කෙල්ලගේ ජීවිතේට සිද්ධ වුණොත් එහෙම, මම ඔයාව ඉතුරු කරන්නෑ නංගියෙ’ කියලා. මගේ හිත ඒ වෙලාවේ ටිකක් ගැස්සුණා. ඒත් පුංචි අම්ම ළඟට ගිහින් කිව්වා, මේ කෙල්ල දක්‍ෂ නිළියක් වෙන එක ස්ථිරයි. එච්චරයි මම දන්නෙ කියලා.
පළමු රූගත කිරීම මතකයිද?
මොකෝ අමතක. කවදාවත් ඒක හිතින් යන්නෙ නැහැ. හැබැයි මෙතැනදී කියන්න පුංචි පහේ විස්තරයක් තියෙනවා. ‘වතුර කරත්තරය’ට මාව හොයන අතරේ පෙරේරා මහත්තයා ‘රේල්පාර’ කියන ඔහුගේ අනෙක් චිත්‍රපටයටත් අතගහලයි තිබුණේ. එයටත් ඔහු මාව තෝරාගත්තා. රූගත කිරීමකට මම පළමුව මැදිවුණේ ‘රේල්පාර’ටයි.
‘වතුර කරත්තයෙ’ පළමු රූගත කිරීමේදී ඔබ තදින් වෙහෙසට පත්වුණාලු?
ඔව්නෙ. ‘වතුර කරත්තය’ කළේ බුන්දලම කියන දුෂ්කර පළාතේ. පොළොව කර්කශයි. තණ පියලි අස්සේ විහිදුණු අතුපතර මැද පුංචි නිදිකුම්බා කටු වැනි පඳුරු තිබුණා. ‘වතුර කරත්තය’ තල්ලු කරගෙන යන සුඛිනිට සෙරෙප්පු දෙකක්වත් දාන්න බැරි විදියටයි චරිතය හදල තිබුණේ.
අනේ ඉතින්, අව් කාෂ්ටකේ සෙරෙප්පුත් නැතුවයි. මට ‘වතුර කරත්තය’ ඇදගෙන යන්න තිබුණේ. තුන් මූනින් දාඩිය ගලල මට ඇතිවෙලයි තිබුණේ. ෂූටිං කරන්න තව පැයක් දෙකක් තියෙද්දී මම පෙරේරා මහත්තයා ළඟට ගිහින් කිව්වා, ‘අනේ අංකල් අදට මේ ඇති’ කියලා. ඔහු මා දිහා බැලුවෙ ටිකක් අමුතුවට. පස්සෙ ඔහුම කිව්වා මේ පුංචි එකීට මහන්සියිලු, අදට වැඩ නවත්වමු කියලා.
ඒ කියන්නේ කෝඩුකාරියක් වෙච්චි ඔබ සිනමා කර්මාන්තයේ පතාක යෝධයකුට අණ කළා?
අනේද කියන්නේ, පස්සෙයි මටත් දැනුණෙ මම ඔහුට අණ කළා නේද? කියලා. චිත්‍රපටයේ ෂූටිං ඉවරවෙලා බුන්දලමෙන් යන්න ලෑස්ති වෙනකොට පෙරේරා මහත්තයා හැමෝටම කතා කරල කිව්වා, අවුරුදු ගානක් තිස්සේ චිත්‍රපට හදලා තෙම්පරාදු වෙච්චි මට ෂූටිං නවත්වන්න කියලා අණ කරපු එකම නිළිය තමයි මේ පුංචි කෙල්ල’ කියලා.
ඔබේ මුහුණෙ තියෙන උපන් ලපය, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සෙවූ සුඛිනිට ඔහු නොසිතූ අලංකාරයක් වුණාලු?
ඔව්. මගේ මුහුණේ තිබෙන උපන් ලපය දැක ඔහු තවත් සතුටු වුණා. වෙස්ගන්වන සෑම මොහොතකම ඔහු කිව්වේ ’උපන් ලපය’ හොඳින් මතුකරන ආකාරයට එය නිම කරන්න කියලයි. මේ කතාබහ අවසන් කරන්න පළමුව කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහතාව ඉතා ගෞරවයෙන් මම සිහිකරනවා. සෙට් එකේදී ඔහුට ‘සර්’ කියන්නවත් මට ඉඩ නොදුන් ඔහු ඔහුගෙම දුවකට වාගේ සැලකූ ආකාරය ගැන කියන්න ඇත්තෙන්ම මට වචන නැහැ. අධ්‍යක්‍ෂණය කියන වචනෙදි ප්‍රතිරූපයට කිසිදු හානියක් නොකරන්න, එහි ගෞරවය ඉතාම යහපත්ව ආරක්‍ෂා කළ ඔහු වැනි ප්‍රතාපවත් නිර්මාණකරුවකු සමඟ රංගනයට පිවිසෙන්නට ලැබීම ගැන මම ඉතාම ආඩම්බර වෙනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











