මෙරට ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තුවට කැඳවා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ යෝජනා රාශියක් සලකා බලා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ අණ පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට, අගමැතිවරයාට සහ කතානායකවරයාට ස්තූතිවන්ත වන බවත් ඒ සඳහා තමාට ද ආරාධනා කිරීම සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය. මීට පෙර ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තුවට කැඳවා ඇති නමුත් ඔවුන්ගේ අයිතීන් සම්බන්ධ පනතක් ඉදිරිපත් කර නොමැති බැවින් ඔවුන් මෙම හමුවීම තුළින් සාධාරණයක් සිදුවේයැයි විශ්වාස නොකරන බව පැවසුවත් මේ වන විට එවැනි අණ පනතක් ඉදිරිපත් කර ඇති බැවින් ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය හිමිවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
මෙරට ආදිවාසීන් අද වන විට බොහෝ ගැටලුවලට මුහුණ දී ඇති බවත් ඔවුන් සම්බන්ධ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේවත් හරියාකාර දත්ත නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අප රටක් ලෙස ලැජ්ඡා විය යුතු බවත් එබැවින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරහා අදාළ දත්ත නිවැරදිව එකතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
එසේම රට තුළ ක්‍රියාත්මක ඇතැම් නීති නිසා ආදිවාදී ප්‍රජාවගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් එය ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවට බලපෑමක් එල්ල කර ඇති නිසා එම නීති ද සංශෝධනය කර නව නීති සම්පාදනය කරන ලෙසත් ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් ලෙස එය සලකා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එසේ ම ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පළාත් පාලන ආයතන සහ පළාත් සභා විසින් නව ප්‍රඥප්ති ඇති කළ යුතු බවත් මීට පෙර බිහි වූ සෑම ආණ්ඩුවක් මෙන්ම තමන් සිටි යහපාලන ආණ්ඩුවද මෙම නීති ගෙන ඒමට ප්‍රමාද වූ බවත් එබැවින් දැන්වත් එම නීති සකස් කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය විපක්ෂයක් ලෙස ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.
හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම තම පක්ෂයේ අරමුණු බවත් එම අරමුණු සමඟ යම් මට්ටමකට ආදී වාසීන්ගේ සාම්ප්‍රදායික ක්‍රියා ගලපා ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවරක් තැබීමට කටයුතු කළ යුතු බව ද පැවසීය. එසේ ම ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ගැටලු විසදීමටත් ඔවුන්ගේ සෙසු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවත් ආදීවාසීන්ගේ නියෝජනයත් ඇතුළුව පාර්ලිමේන්තු අනු කමිටුවක් සකස් කරන ලෙස සිදු කරන ලද ඉල්ලීම හා ස්වාධීන කමිටුව පිහිටුවීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ 27/2 යටතේ ප්‍රශ්නයක් නගමිනි.










