පසුගිය කාලය පුරා ජනාධිපතිවරයාට එල්ල වෙමින් තිබුණු එක් චෝදනාවක් වූයේ පරිපාලන කටයුතු නිසි අයුරින් සිදුකළද ජනාධිපතිවරයා දේශපාලන කටයුතුවලට එතරම් මැදිහත් වීමක් සිදු නොකරන බවය. විපක්‍ෂයෙන් පමණක් නොව ආණ්ඩුව ඇතුළෙන්ද අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාට මේ චෝදනාව එල්ල වී තිබිණ. එහි යම් සත්‍යතාවයක්ද ඇති බවක් පෙනෙන්නට තිබුණේ පසුගිය කාල සීමාව පුරාම ආණ්ඩුව ඇතුළෙන්ම පැනනැඟුණු ප්‍රශ්නවලදී දේශපාලනික තීන්දු තීරණ සියල්ලක්ම පාහේ ගනු ලැබ තිබුණේ මහින්දත්, බැසිලුත් වීම නිසාය.
ජනපති ස්ථාවරය වෙනස් කරයි…
කෙසේ වෙතත් ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය තුනෙන් දෙකකින් ජයග්‍රහණය කරන පෙරනිමිති පහළවීමත් සමග ජනාධිපතිවරයා වෙනදා සිටි ස්ථාවරයෙන් පිටතට පැමිණ දේශපාලන කටයුතුවලට නැඹුරු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා මුලින්ම සිය පවුලේ සාමාජිකයන් වූ මහින්ද, බැසිල් සමග විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ප්‍රශ්නගත කණ්ඩායම වූ විමල්, උදය පිල හමුවී වෙනම සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. සාගර කාරියවසම් කැඳවා වෙනම සාකච්ඡා කළේය. ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම වෙන් වෙන් වශයෙන් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මේ සියලු තොරතුරු ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ විශේෂ අනාවරණයක් ලෙස ඉදිරිපත් කිරීමට අපි කටයුතු කළෙමු.
මෛත්‍රීපාලවත් ගෙන්වයි… දැන්වත් දේශපාලනයට බහින්න…
එමෙන්ම නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා එසේ හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන මහතා සමගද විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවකි. එමෙන්ම දයාසිරිවද තනිවම හමුවූ බවට නිල නොවන ආරංචියක්ද පසුගිය සතියේ දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබිණි.
මේ ආකාරයට විශ්වාසභංගයත් සමග ජනාධිපතිවරයාද සක්‍රිය ලෙස දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ ආකාරයක් දැකගන්නට ලැබුණි. එපමණක් නොව මේ පැවැති බොහෝ සාකච්ඡාවලදී අති බහුතරයක් දෙනා ජනාධිපතිවරයාට දේශපාලන කටයුතුවලට මැදිහත් වන ලෙස ඇති ඉල්ලීම් කිරීමටද පියවර ගෙන තිබිණි.
ඊළග ජනාධිපතිවරණයටත් එන්න…
එමෙන්ම තවත් ඉල්ලීමක්ද මේ සාකච්ඡාවලදී වැඩි වැඩියෙන් ඉස්මතු වී සාකච්ඡා කෙරිණි. ඒ, ජනාධිපතිවරයා නැවැත වතාවක් ජනාධිපතිවරණයට තරග වැදිය යුතු බවට වූ යෝජනාවය. එය කල්තියාම ප්‍රකාශයට පත් කළ යුතු බවත්, එසේ නොවුණහොත් රාජ්‍ය යාන්ත්‍රණය කඩාවැටීමේ ඉඩකඩක් පවතින බවත්, රාජ්‍ය නිලධාරීන් ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක නොකරන තත්ත්වයක් පැනනැඟිය හැකි බවත් මෙම පිරිස් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. මීට පෙර යම් යම් දේශපාලකයන් මෙම කරුණ ප්‍රසිද්ධියේම පෙන්වා දී තිබුණද ඒ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.
මහින්දගේ පෞද්ගලික මතය…
මීට අමතරව බැසිල් හා නාමල් සමග මහින්ද සිදුකර තිබූ පෞද්ගලික සාකච්ඡාවන් ගණනාවකදීම මහින්ද පවා පෙන්වා දී තිබුණේ ගෝඨාභය ඊළඟ ජනාධිපතිවරණයට තරගවැදිය යුතු බවත්, එය කල් තියා ප්‍රකාශයට පත් කළ යුතු බවත්ය. ඒ සම්බන්ධයෙන් මීට පෙර ජනාධිපතිවරයාට පවා පණිවුඩ කිහිපයක් යොමු කිරීමටද මහින්ද පියවර ගෙන තිබිණි.
ජනාධිපතිට මහින්ද අන්තිම පණිවුඩයත් යවයි….
කෙසේ වෙතත් විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමග ජනාධිපතිවරයාට නැවැත පණිවුඩයක් යවමින් මහින්ද කියා තිබුණේ ආණ්ඩු බලය ඒකරාශි කරගැනීම සඳහා වහාම ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලෙසටය. මේ නිසාමදෝ පසුගිය සතියේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කෙරුණු අතර, එහි සඳහන් වූයේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවය.
එසේ නම් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම නිවේදනය නිකුත් වූයේ මේ බලපෑම්වල ප්‍රතිපලයක් ලෙසද? ජනාධිපතිවරයා ඇත්තටම දෙවැනි වතාවටත් තරග කරන්න සූදානමින් සිටිනවාද? ඒ සඳහා ජනාධිපතිවරයා සතුව නිශ්චිත වැඩපිළිවෙළක් තිබෙනවාද?
සුද්ද බුද්දය සූදානම්…
අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව නම් ජනාධිපතිවරයා දැන් තියාම ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර අවසානය. ඒ අනුව ඉදිරි සති කිහිපය ඇතුළත ජනාධිපතිවරයා ආණ්ඩුව සුද්ද-බුද්ද කොට ආණ්ඩුවට නව මුහුණුවරක් ලබා දීමේ විශාල වැඩකොටසක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සකස් කර අවසානය. එහි එක් පියවරක් වන්නේ දැනට දූෂණ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සහ සභාපතිවරුන් රැසක් එම තනතුරුවලින් ඉවත් කොට නව නිලධාරීන් පිරිසක් පත්කිරීමට පියවර ගැනීමය. ඊට අමතරව චෝදනා කිසිත් නැති රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් මණ්ඩලයට උසස් කිරීමට ද ජනාධිපතිවරයා මේ වන විට සැලැසුම් කර ඇති බව ආරංචිය. එමෙන්ම පසුපෙළ දක්‍ෂ, තරුණ, ජනප්‍රිය මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටම තනතුරු ලබා දී ආණ්ඩුවේ ඉහළට ගැනීමටද ජනාධිපතිවරයා සැලසුම් සකස් කර ඇති බවක්ද දැනගන්නට තිබේ.
මේ සියල්ලට අමතරව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා දැනෙන සුළු සංශෝධන රැසක් එළිදැක්වීමටත් ජනාධිපතිවරයා සූදානම්ය. මේ හරහා ආණ්ඩුවට නව මුහුණුවරක් දී නව ජවයකින් යුතුව සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවද වාර්තා වේ.
බැසිල්ට මොනවද වෙන්නේ…
ඒ හරහා එන තවත් මාතෘකාවක්ද තිබේ. ඒ ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයට තරග වදින්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා කුමක් කරනු ඇද්ද කියාය. ඊට හේතුව වන්නේ බැසිල්ට සමීප මන්ත්‍රිවරුන් ලෙස සැලකෙන මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජගත් කුමාර වැනි මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ බැසිල් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කර තිබීම නිසාය. නමුත් බැසිල් කිසිදු අවස්ථාවක කොතැනකදීවත් තමන් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන බවක් ප්‍රකාශ කර නොතිබීමද විශේෂිතය. ඒ අනුව පසුගිය සතියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් පසු ඇතැමුන් මේ පිළිබඳව එම මන්ත්‍රීවරුන්ගෙන් විමසද්දී ඔවුන් කියා සිටියේ අපිට දිනන අපේක්‍ෂකයන් ඕනෑ තරම් සිටින නිසා ඊළඟ ජනාධිපතිවරණය පිළිබඳ කිසිදු ගැටලුවක් නැතැයි කියාය.
සහාය ඉල්ලා ගම්මන්පිලගෙන් පසුපෙළට ඇමතුම්….
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබූ විශ්වාසභංගය ආණ්ඩුව පසුගිය අඟහරුවාදා දිනයේදී තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කොට ආණ්ඩුවේ එකමුතු බව රටට පෙන්වීමට අවස්ථාවක් කරගත්තේය. මෙම ඡන්ද විමසීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්ව තුනෙන් දෙකක බහුතරය ලබාගැනීමට පියවර ගත්තද අවසන් මොහොත දක්වාම ඊට තුනෙන් දෙක සොයාගැනීම තිබ්බේ වැට උඩය. ඊට හේතුවී තිබුණේ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද ගම්මන්පිලට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කර තිබීමත්, ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටින බවට තැන් තැන්වල ප්‍රකාශ කොට තිබීමත්ය. ඒ අනුව ඡන්දය පිළිබඳ තරමක දෙගිඩියාවක සිටි ගම්මන්පිලද ඉකුත් සති අන්තයේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇමතුම් ලබාදෙමින් සහාය ඉල්ලා සිටි ආකාරයක්ද දැකගත හැකි විය.
කොතලාවල පනත 3 පාර්ලිමේන්තුවට… 2 ආණ්ඩුවටම වැඩමුලුවක්…
ඉකුත් ඉරිදා (18) සවස 6ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට පියවර ගෙන තිබුණේ මෙවැනි පරිසරයක් මතුව පැවැතියදීය. රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැති මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල් වීරවංශ අමාත්‍යවරයා හැරුණු විට අනෙකුත් සියලු මැති ඇමැතිවරුන් සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව පැමිණ සිටි සියලු දෙනාම පිළිගනිමින් පළමුව ජනාධිපතිවරයා අදහස් දැක්වීමට පටන් ගත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිiාල පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිiාලය සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළවෙමින් පවතින බවත්, උද්ඝෝෂකයන් මෙම විශ්වවිද්‍යාලය තමන් පිට පටවමින් තමන් වැරැද්දක් කළා හා සමානව කතා කරන බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා මෙම විශ්වවිiාලයේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සිදුකළේය. ඉකුත් ආණ්ඩුව දක්වාම මෙම ප්‍රශ්නය ඇදි ඇදී ආ බවත්, ඊට විසඳුමක් මේ මොහොතේ හෝ ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළේය. ඒ අනුව ලබන 03 වැනිදා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, 02 වැනිදා ඒ පිළිබඳ වැඩමුළුවක් පවත්වා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
මුල්ම වෙඩිල්ල ගෙවිදුගෙන්…
ජනාධිපතිවරයාගේ මෙම පැහැදිලි කිරීමෙන් පසුව මුලින්ම කොතලාවල පනත සම්බන්ධයෙන් කිසියම් විරෝධතාවක් මතුකරමින් අදහස් දැක්වූයේ ගෙවිඳු කුමාරතුංගය. ගෙවිඳු කියා සිටියේ තමන්ට මෙම පනත සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බවත්, එහි පවතින යම් යම් වගන්ති සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න පවතින බවත්ය. ගෙවිඳුට අමතරව කොළඹින් පිට සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ මෙම පනත මුල් කරගෙන ගම් මට්ටමේ විශාල විරෝධයක් මතුවෙමින් පවතින බවකි. එමෙන්ම මේ වන විට කොතලාවල ප්‍රශ්නය ගම් මට්ටමේ බිම් මට්ටමේ සිටින විරුද්ධ බලවේග එකතු කරන සටන් පාඨයක් බවට පෙරළෙමින් තිබෙන බවද මෙම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දීමට කටයුතු කළහ.
ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට කියා සිටියේ ලබන 02 වැනිදා පැවැත්වෙන වැඩමුළුවට පෙර මෙම පනතට සිදුකළ යුතු සංශෝධන පිළිබඳ ලිඛිතව දැනුම් දෙන්නැයි කියාය. එහිදී ඒ පිළිබඳ සාකච්ඡා කොට අදාළ සංශෝධන ඇතුළත් කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කිරීමත් සමග එම මාතෘකාව එතැනින් අවසන් විය.
ජොනී ආණ්ඩුවේ මතය කියයි…
ඉන් අනතුරුව විශ්වාසභංග මාතෘකාව සාකච්ඡාවට ඇදී ආවේය. එහිදී මුලින්ම කතා කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේ ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පරාජයට පත්කිරීම සඳහා ඡන්දය ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි කියාය.
ගම්මන්පිලගෙන් විනාඩි 17ක කතාවක්… ඩොලර් ප්‍රශ්නයත් කියයි…
ඉන් අනතුරුව කතා කිරීම ආරම්භ කළේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්ව තිබුණු ගම්මන්පිලය. විනාඩි 17ක් පුරා කතා කළ ගම්මන්පිල තෙල් මිල ඉහළ දැමීමට බලපෑ හේතු, එම තීන්දු ගත් ආකාරය, එය ප්‍රකාශයට පත් කළ ආකාරය ආදී සියල්ල පිළිබඳ දීර්ඝ විස්තරයක් මන්ත්‍රී කණ්ඩායමට සිදු කළේය. තවදුරටත් ගම්මන්පිල කියා සිටියේ රට ඇතුළේ විශාල ඩොලර් ප්‍රශ්නයක් පවතින බවත්, එය මෙම ඉන්ධන මිල ඉහළ දැමීමට ඍජුවම බලපා ඇති බවත්ය.
වැඩි විරෝධයක් ඇවිත් නෑ…
කෙසේ වෙතත් ගම්මන්පිලගේ කතාවෙන් පසු පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තම තමන් සිටි ස්ථාවරවල සිටිමින් සුළු විරෝධයක් පළ කළත් පසුගිය දිනවල මාධ්‍යවල කළාක් මෙන් දැඩි විවේචනයක් සිදුකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ සමගම ජොනීද නැවත කියා සිටියේ කුමන ගැටලු තිබුණත් විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි කියාය.
බැසිල් ගම්මන්පිලට ෂොට් එකක් දෙයි… අනවශ්‍ය මුදල් වියදම් බෑ…
මන්ත්‍රී කණ්ඩායමේ විශේෂම සිදුවීම දැකගන්නට ලැබුණේ ඉන් අනතුරුවය. ඒ, පළමු වතාවට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය මංගල කතාව සිදුකිරීමය. ඒ සඳහා බැසිල් ඉතා සැලසුම් සහගතව පැමිණ සිටි ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව මුලින්ම බැසිල් කතා කළේ ආණ්ඩුවේ ආණ්ඩුවේ සංචිත හිඟ බවටත්, ආණ්ඩුව දැඩි ඩොලර් ප්‍රශ්නයකට මුහුණදී සිටින බවටත් එල්ලවී ඇති චෝදනාව පිළිබඳවය. එය එක්තරා ආකාරයකට ගම්මන්පිල නැගූ චෝදනාවට දුන් ‘පොඩි ෂොට් එකක්’ හා සමාන විය.
“දැන් මේ විපක්ෂයෙන් හැම තැනම කතාවක් පතුරගෙන යනවා ආණ්ඩුවට ඩොලර් නෑ කියලා. අපේ සංචිත බින්දුවට බැහැල කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. අපට දැනට බිලියන 04ක ඩොලර් සංචිතයක් තියෙනවා. අපි පහුගිය කාලෙ යුද්ද කරද්දි ඒක ඩොලර් බිලියන 1.5ටත් බැස්සා. නමුත් අපි රට වැටෙන්න දුන්නෙ නෑ. එහෙම තියාගෙනත් අපි ගොඩ ආවා. මේ සැරෙත් අපට එහෙම කරන්න පුළුවන්. ලබන සැප්තැම්බරය වෙද්දී අපේ සංචිතය ඩොලර් බිලියන 05ට නග්ග ගන්න දැන් සැලසුම් හදාගෙනයි තියෙන්නේ. අපට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගන්න එකයි ප්‍රශ්නය. ඒ නිසා මම හැමෝගෙන්ම ඉල්ලන්නේ පරිපූරක ඇස්තමේන්තු නම් පාර්ලිමේන්තුවට දාන්න ලෑස්ති වෙන්න එපා කියලයි. මොකද ඒවට වියදම් කරන්න අපට සල්ලි නෑ. දැන් මේ පරිපූරක ඇස්තමේන්තු දාන එක ඇමැතිවරු පුරුද්දක් කරගෙන. ඒකෙ කිසි පාලනයක් නෑ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පරිපූරක ඇස්තමේන්තු අරගෙන එනවා. මීට පස්සෙ ඒක කරන්න බෑ. කාට හරි ඇමැතිවරයෙක්ට මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න අවශ්‍යතාව තියෙනව නම් ඒකට සල්ලි හොයාගෙන තමයි කරන්න ඕනෙ. ඒකත් හැබැයි ගිනි පොලියට ණය අරන් නෙවෙයි. එහෙම ව්‍යාපෘතියක් අරන් ආවොත් අපි ඒක අධ්‍යයනය කරලා අනුමැතිය ලබාදෙන්න කටයුතු කරන්නම්.” යනුවෙන් කී බැසිල් ඉන් අනතුරුව කතා කළේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු මේ වන විට මුහුණදී සිටින තවත් අර්බුදයක් පිළිබඳවය. ඒ, වාහන පිළිබඳ ප්‍රශ්නයය.
බැසිල්ට කන් දෙදරන අත්පුඩියක්…
“මම දන්නවා අපේ ඉන්න මැති ඇමැතිවරුන්ට දැන් වාහන ප්‍රශ්නයක් තියෙනවා කියලා. පහුගිය දින කිහිපයේ මම ඒ ගැන ලොකු අධ්‍යයනයක් කළා. මේ මන්ත්‍රීවරුන් එක්කත් මම කතා කළා. ඒ අයටත් ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා මේ මන්ත්‍රීවරුන්ට ගම්වලට යන්න ඕනෙ. ඒ මිනිස්සු එක්ක කතා කරන්න ඕනෙ. එතැනදී වාහන ගැටලුව මතුවෙනවා. හැබැයි එහෙමයි කියලා සල්ලි වියදම් කරලා වාහන ගෙන්නන්න අපට බෑ. ඒ වෙනුවට මම තීන්දු කළා ඉස්සර කළා වගේම මේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එකක් දෙන්න. එතකොට විශාල මුදලක් අපට ඉතිරි කරගන්න පුළුවන්….” යනුවෙන් බැසිල් කියද්දීම මුළු ජනාධිපති මන්දිරයම දෙදරුම් කන ආකාරයේ අත්පොලසන් නාදයක් මන්ත්‍රීවරුන්ගෙන් නිකුත් වන ආකාරයක් දැකගත හැකි විය.
දෙවන වතාවටත් චියර් එක එයි…
“අපි දැනටමත් අනෙකුත් වෘත්තීයවේදීන්ට පර්මිට් දෙනවා. ඒ අය ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් මන්ත්‍රීවරුන්ට දෙන එකේ ප්‍රශ්නෙකුත් නෑ. රටට පාඩුවකුත් නෑ. ඒක නිසා අපි ඒ පර්මිට් එක මන්ත්‍රීවරුන්ටත් දෙන්න තීණය කළා….” යනුවෙන් බැසිල් කියද්දී නැවත වතාවක් මන්ත්‍රීවරුන්ගෙන් බැසිල්ට අත්පොලසන් නාදයක් නිකුත් වන ආකාරයක් දැකගත හැකි විය. බැසිල් විශ්වාසභංගය පිළිබඳ කතා කළේ ඉන් අනතුරුවය.
විශ්වාසභංගය ගැන බැසිල්ගෙන් ගැරන්ට් එකක්…
“මේ විශ්වාසභංගයේදී අපි ඔක්කොම එකතු වෙන්න ඕනෙ. මම ගැරන්ට් කරලා කියනවා මේකෙදි අපි තුනෙන් දෙකක බහුතරයක් අරන් ඒක පරද්දනවා කියලා…” යැයි බැසිල් කියද්දී පැමිණ සිටි සියලු දෙනාම ඒ අවස්ථාවේදී පුදුමයට පත්වෙමින් එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූයේ තමන්ට එරෙහිව අදහස් දැක්වූ ගම්මන්පිල පවා තුනෙන් දෙකකින් දිනවීමට බැසිල් තීන්දු කර තිබීම සම්බන්ධයෙනි.
ඒ සමගම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වූ අතර අගමැති මහින්ද සිය අසුනෙන් නැගිට මන්ත්‍රීවරුන් සමග කතා කරමින් එළියට යන ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම ජොන්ස්ටන්ද නැගීසිටිමින් කියා සිටියේ සියලු මැති ඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා ආරාධනා කර ඇතැයි කියාය.
හකීම්ගේ කෙනෙකුත් ආණ්ඩු රැස්වීමේ ඉදලා…
කෙසේ වෙතත් මෙහිදී කිසිවකුගේත් අවධානයට ලක් නොවූ සිදුවීමක්ද සිදුවිය. ඒ, මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වූ නසීර් අහමඩ් මහතා රැස්වීමේ කොනක සිට පැමිණ බැසිල් හා කතාකිරීමට පටන්ගැනීමය. හකීම්ගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ඒ වන තෙක්ම ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සිටි බවක් මැති ඇමැතිවරුන් දැනගත්තේද එම සිදුවීමත් සමගය. ඒ අනුව බැසිල්ද ජනාධිපති මන්දිරයෙන් පිටතට පැමිණියේ නසීර් අහමඩ් සමග කතාකරමින්ය. බැසිල් තුනෙන් දෙක පෙන්වීමට සූදානම් වන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහායද රැගෙන බව ඒ මොහොතේ සියලු දෙනාටම වැටහී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. සඳුදා දිනයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවාදයට එක්වෙමින් ආණ්ඩුව ඡන්ද 155කින් විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව කැට ඇතිව කියා සිටියේ මේ හේතුව නිසා විය යුතුය. එමෙන්ම එදිනම රාත්‍රියේ සිරස පුවත් විකාශය තුළින් බැසිල්, නසීර් අහමඩ් සමග ජනාධිපති මන්දිරයේ පියගැට පෙළින් පහතට බසින ආකාරයේ රූපරාමු පෙළක් විකාශය කළේද මහින්දානන්දගේ මේ කතාවෙන් අනතුරුවය.
ජොනීගෙන් ඉරි තුනේ නිවේදනයක්…
ඒ අනුව සඳුදා සවස් වරුවේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් සියලු මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ නිවේදනයක් නිකුත් විය. එම ඉරි තුනේ නිවේදනයකින් කියැවෙන්නේ සියලු මන්ත්‍රීවරුන් එය අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු යැයි කියාය. එම නිවේදනයේ සටහන් වී තිබුණේ ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය පරාජයට පත්කිරීම සඳහා සියලු දෙනාම කටයුතු කළ යුතු යැයි කියාය.
හකීම්ගෙන් සජිත්ට සහතිකයක්…
කෙසේ වෙතත් මොහොතක් යෑමට මත්තෙන් මෙසේ හකීම්ගේ හා රිෂාඩ්ගේ මන්ත්‍රීවරුන් විශ්වාසභංගයේදී ආණ්ඩුව සමග එක්ව ඡන්දය භාවිත කිරීමට සූදානම් වෙමින් සිටින බවට සමගි ජන බලවේගයටද දැනගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන් ඒ පිළිබඳ සොයා බලද්දී හකීම් පැමිණ සජිත් මුණගැසී පවතින තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී හකීම් සජිත්ට සහතික කොට කියා සිටියේ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්ව ඡන්දය නොදෙන බවත්, මුස්ලිම් කොංග්‍රසයට එක්ව සිටින වෙනත් සුළු පක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ සහතිකයක් තමන්ට ලබාදිය නොහැකි බවත්ය.
ප්‍රමිත දැකපු කව්රුත් නොදැක්ක දේ…
මේ අතර විශ්වාසභංගයට ඡන්දය භාවිත කරන අවස්ථාවේදී දෙපැත්තේම මන්ත්‍රීවරු කිහිප දෙනකුම පාර්ලිමේන්තුවේ නොසිටි ආකාරයක්ද දැකගත හැකි විය. විපක්ෂයෙන් එසේ පැමිණ නොසිටි මන්ත්‍රීවරුන් වූයේ සමගි ජන බලවේගයේ කුමාර වෙල්ගමත්, හරීන් ප්‍රනාන්දුත්ය. ඒ බව දුටුවේ වෙන කවුරුවත් නොව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය. ඒ අනුව ප්‍රමිත ඡන්දය විමසද්දී කෑගසමින් විපක්ෂයෙන් අසා සිටියේ “කෝ හරීන්? කෝ වෙල්ගම?” යැයි කියාය. ඒ සමගම “හරීන් ඉල්ලෙයි – වෙල්ගම ඉල්ලෙයි” යනුවෙන් කෑගසන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් විපක්ෂයෙන් ඊට පිළිතුරක් නොලැබුණු නිසා ‘රාජ්‍ය රහස්’ තීරයද හරීන්ටත්, වෙල්ගමටත් සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සොයාබැලීමක නිරත විය. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ හරීන් සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවය. වෙල්ගම විශ්වාසභංගය අස්සන් කිරීම ආරම්භ කරන මොහොතේම පැමිණ සජිත් හමුවී තමන්ගේ සිතට එකඟව ඊට අස්සන් කළ නොහැකි බව දැනුම්දීමට පියවර ගෙන තිබිණි. මීට අමතරව රිෂාඩ් බදියුදීන් සහ වේලු කුමාර් යන මන්ත්‍රීවරුන්ද රෝහල්ගතව සිටි බැවින් විශ්වාසභංගයේ ඡන්ද විමසීමට සහභාගිවී නොසිටියහ.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තිදෙනකුද එදින සභා ගැබේ නොසිටිනු දක්නට ලැබිණි. ඒ, චමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ සහ උදයකාන්ත ගුණතිලකය.
රනිල් ආණ්ඩුවත් එක්ක සෙට් වෙලා ගහන්න ගිය ගේම…
මෙම විශ්වාසභංගයේ ඊළඟ ප්‍රධානතම චරිතය වූයේ වෙන කවුරුවත් නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. රනිල් පාර්ලිමේන්තු එද්දී පක්ෂයේ බොහෝ දෙනා තැන් තැන්වල කියන්නට පටන්ගෙන තිබුණේ රනිල් එන්නේ ආණ්ඩුව වට්ටවනවාට වඩා විපක්ෂය දෙකට කඩා ආණ්ඩුව ශක්තිමත් කිරීමට යැයි කියාය. එය නිකම් කටකතාවක් වශයෙන් කියමින් ගියත් එය ඔප්පු කිරීමට සාධක සාක්ෂි ඔවුන්ට තිබුණේ නැත. නමුත් ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය හරහා ඒ සඳහා වුවමනාවටත් වඩා සාක්ෂි ලැබුණු බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබිණි. ඔවුන් ඒ සඳහා පෙන්වා දුන්නේ ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මුළු කැබිනට් මණ්ඩලයටම එරෙහිව රැගෙන එන ලෙස රනිල් කර තිබූ ප්‍රකාශයය. නමුත් සමගි ජන බලවේගයේ අදහස වී තිබුණේ ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය රැගෙන ඒමෙන් ආණ්ඩුව ඇතුළේ බෙදීම තීව්‍ර වනු ඇති බවත්, ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගය රැගෙන ආවොත් ආණ්ඩුව බේරාගැනීමට සියලු දෙනාම එක්සත් වනු ඇති බවත්ය. ඒ අනුව රනිල්ගේ යෝජනාව සමගි ජන බලවේගය මුල් අවස්ථාවේදී එතරම් අවධානයට ලක් කළේ නැත.
සජබෙන් කතානායකට විරෝධය…
නමුත් ප්‍රශ්නය පැනනැගුනේ ඉකුත් සති අන්තය වන විට මෙම සංශෝධනය යෝජනාවක් ලෙස රනිල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමගය. ඒ පිළිබඳ තොරතුරු සොයද්දී ඔවුන්ට දැනගන්නට ලැබුණේ අදාළ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදීමට දැනටමත් රනිල් පියවර ගෙන ඇතැයි කියාය. ඒ අනුව වහාම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් කැඳවූහ. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ අවම වශයෙන් විශ්වාසභංග යෝජනාවට අස්සන් තබා හෝ නොමැති මන්ත්‍රීවරයකුට මේ ආකාරයට සංශෝධන ගෙන ඒමට හැකියාවක් නැතැයි කියාය. එමෙන්ම කතානායකවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකිරීමටද සමගි ජන බලවේගය තීන්දු කළහ. ඒ අනුව වහාම සඳුදා උදෑසන කතානායකවරයා මුණගැසී රනිල්ගේ යෝජනාවට එරෙහිව සජබය කරුණු දැක්වුවත් කතානායකවරයාගේ ඉරියව්වලින් එම කරුණු දැක්වීම් සම්බන්ධයෙන් එතරම් තැකීමක් කළ බවක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව සඳුදා උදෑසන වන විට පසුබිම සැකසී තිබුණේ රනිල්ගේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.
රනිල්ගේ යෝජනාව සම්මත කරන්න කවුරුත් නෑ….
නමුත් ප්‍රශ්නය පැනනැගුනේ රනිල් ඉදිරිපත් කිරීමට යන මෙම යෝජනාව සම්මත කිරීම සඳහා කිසිවකුත් ඉදිරිපත් නොවීමය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් එය සම්මත කිරීමට මන්ත්‍රීවරයකු ඉදිරිපත් විය යුතුය. නමුත් රනිල්ගේ මෙම යෝජනාව සම්මත කිරීමට කිසිවකුත් නොසිටි බැවින් නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවුණේ එම යෝජනාව සම්මත කිරීම සඳහා රනිල් ජවිපෙ සහාය ඉල්ලා පණිවුඩයක් පවා යවා තිබූ බවකි. ජවිපෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු නමුත් ජවිපෙ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කරන බවක්ද ඒ වන තෙක්ම ප්‍රකාශයට පත්කර තිබුණේ නැත.
ජවිපෙ නිහඬ ප්‍රතිපත්තිය හේතුවෙන් රනිල් ඊළඟට කළේ සිය යෝජනාව සම්මත කරගැනීමට සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය පැතීමය. නමුත් ඒ වන විටත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කරන බවට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබීම නිසා රනිල්ගේ යෝජනාව හැරෙන තැපෑලෙන් ප්‍රතික්ෂේප කිරීමට ඔවුහු තීරණය කළහ. ඒ අනුව රනිල් අවසානයේදී හැරුණේ ආණ්ඩුවේ පැත්තටය. වහාම ආණ්ඩුවෙ ප්‍රධානීන්ට පණිවුඩයක් තැබූ රනිල් මෙම යෝජනාව සම්මත කරගැනීමට ආණ්ඩුවේ සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
ආණ්ඩුවෙන් ඩයනාව දෙන්නම් කියලා…
ඒ වන විට මෙම තොරතුරු සජිත්ගේ පිලටද ලැබී තිබිණි. ඒ අනුව වහාම සජිත්ගේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ රැස්වීමක් කැඳවීමට පියවර ගත්තේය.
‘රනිල් ටී.එන්.ඒ. එකෙනුයි ජේ.වී.පී. එකෙනුයි දෙකෙන්ම යෝජනාව සම්මත කරන්න සහාය ඉල්ලා තියෙනවා කියලා ආරංචියි. ජේ.වී.පී. එක නම් මොකවත් කියලා නෑ. ටී.එන්.ඒ. නම් බෑ කියලා. ඒ පාර රනිල් ආණ්ඩුවෙන් සපෝර්ට් එක ඉල්ලලා තියෙනවා. ඒ අය කියල තියෙන්නේ ඕනෙනම් ඩයනව ඒකට දෙන්නම් කියලා. ඒ විදියට මේක වුණොත් අණ්ඩුවයි රනිලුයි අතර තියෙන ඩීල් එක එළිවෙනවා. එහෙම ආවොත් අපි පාර්ලිමේන්තුවේදී මේකට විරුද්ධව ඔක්කොම එකට හිටගමු. එතැනදී අපට ඔප්පු කරන්න පුළුවන් රනිල් ඉන්නෙ ආණ්ඩුවත් එක්ක, අපේ කිසිම මන්ත්‍රීවරයෙක් රනිල් එක්ක නෑ කියලා…’ යනුවෙන් එක් මන්ත්‍රීවරයෙක් කියද්දී සියලු මන්ත්‍රීවරු ඊට එකඟතාව පළ කළහ.
අන්තිමේදී යෝජනාව කුණුකූඩෙට….
කෙසේ වෙතත් යම් හෙයකින් ඩයනා සිය යෝජනාව සම්මත කළහොත් විශාල අපවාදයක් එල්ලවීම නොවැළැක්විය හැකි බැවින් අවසානයේ රනිල් තීන්දු කළේ එම යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන නොයන්නටය. කතානායකවරයා සඳුදා දිනයේදී පාර්ලිමේන්තුට ප්‍රකාශයක් කරමින් රනිල්ගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව දැනුම් දී සිටියේ ඒ අනුවය.
අලුත්ම සන්ධානය කුමාර්ගෙන්…
මේ දිනවල දේශපාලනයේ හැම තැනම කතා කරන්නේ අලුත් සන්ධාන හැදීම පිළිබඳවය. ආණ්ඩුව පැත්තෙන් විමල්ලා, ගම්මන්පිලලා ශ්‍රීලනිපය සමග ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට අලුත් සන්ධාන බිහිකිරීම පිළිබඳ තිරය පිටුපස සාකච්ඡා යද්දී සමගි ජන බලවේගය විපක්ෂයේ දේශපාලන පක්ෂ එක් කොට අලුත් සන්ධානයක් බිහිකිරීමට සැලසුම් කරන ආකාරයක් දැකගන්නට තිබේ. නමුත් මේ සන්ධාන අතරට ඊයේ පෙරේදා එක් වූ අලුත්ම සන්ධාන මාතෘකාව වූයේ ජවිපෙ හා පෙරටුගාමීන් අතර ගොඩනැගීමට නියමිත සන්ධානයක්ය. ඒ සඳහා යෝජනාව ඉදිරිපත්ව තිබුණේද පෙරටුගාමීන්ගේ පාර්ශ්වයෙනි.
ජවිපෙත්, පෙරටුගාමීනුත් අතීතයේදී දේශපාලනය කළේ එක්වය. නමුත් පසුකාලයේදී දේශපාලන මතගැටුම් හේතුවෙන් කුමාර් ගුණරත්නම් අතුළු සාමාජිකයන් ජවිපෙ කඩාගෙන විත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කළේය. ඉන් අනතුරුව දෙපාර්ශ්වයම වෙන වෙනම දේශපාලනය කරන ආකාරයක් දැකගත හැකි විය.
එතකොට කවුද මේ කුමාර් ගුණරත්නම්…?
කුමාර් ගුණරත්නම් යනු විජේවීර සමග සමීපව සිටිමින් එකට ජවිපෙ දේශපාලනයේ නිරත වී සිටියෙකි. එමෙන්ම පිපිරවීම් පිළිබඳ විශේෂඥයෙකි. එවකට කැරැල්ලේදී පල්ලෙකැලේ හමුදා කඳවුරට බෝම්බ ගැසූ බවට චෝදනා එල්ලවී තිබුණේ මේ කියන කුමාර් ගුණරත්නම්ටය. කුමාර්ගේ සහෝදරයා වූ රංජිතම් ගුණරත්නම්ද එවකට ජවිපෙ ප්‍රධානියකුව සිටියේය. ලංකාවට ඉන්දීය සාම සාධක හමුදාව පැමිණි අවස්ථාවේදී ඔවුන්ට බෝම්බ ප්‍රහාර එල්ල කළ බටව චෝදනා එල්ල වූයේ මේ කියන රංජිතම් ගුණරත්නම්ටය. කෙසේ වෙතත් පසුව කුමාර් ගුණරත්නම් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර ගණනක් බෝගම්බර සිරගෙදර ගත කළේය. වරක් ඔහු සිරගෙදරින් පළා යෑමට පවා කටයුතු කොට තිබිණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව රහසිගත ජීවිතයක් ගතකරමින් ජවිපෙ යළිත් ගොඩනැංවීමේ කාර්යභාරයේ කුමාර් නියැලී සිටියේය.
ජවිපෙත් සෙට් වෙන ලකුණු…
කෙසේ වෙතත් පසුගිය දිනෙක නිරෝධායන නීති උල්ලංඝනය කළ බව කියමින් පොලිසිය පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ දුමින්ද නාගමුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට එම පාර්ශ්වය තීන්දු කොට ඇත්තේ ජවිපෙ ඇතුළු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමටය. සාමාන්‍යයෙන් කුමාර් ගුණරත්නම් මාධ්‍ය හමුවල පෙනී නොසිටින චරිතයකි. නමුත් මෙම සිදුවීමත් සමග පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පැවැත්වූ කුමාර් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශ්වවලට ආරාධනා කර සිටීමටද පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ ජවිපෙටත්, දෙමළ සන්ධානයටත්, ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන ශ්‍රීලනිපය, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂවලටත් මේ සඳහා ආරාධනා කරන බවය.
නිදහස ලැබූ දුමින්දට සභාපතිකම ලැබුණු හැටි…
මරණ දඬුවම ලබා ජනාධිපති සමාව හිමිවීමෙන් අනතුරුව නිදහස ලැබූ දුමින්ද සිල්වාට පසුගිය සතියේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුර ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගැනීම තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ඒ සමගම සමාජ මාධ්‍ය ජාලවල මෙම සිදුවීම දැඩිව විවේචනය කරමින් විවිධ පෝස්ට් පළවන ආකාරයක්ද දැකගත හැකි විය. ඒ කෙසේ වෙතත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය මීට පෙරත් ආණ්ඩුව ඇතුළේ යම් ප්‍රශ්නයක් ඇතිකරලීමට සමත් වූ තනතුරකි. මීට පෙරත් අපි ඒ පිළිබද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට කරුණු කියා සිටීමට පියවර ගත්තෙමු.
රේණුකට මුලින් ආ ප්‍රශ්නය…
දුමින්ද සිල්වා පත්කිරීමට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය දැරුවේ රේණුක පෙරේරාය. රේණුක අගමැති මහින්දටත්, මුදල් ඇමැති බැසිල්ටත් අතිශය හිතවත් පුද්ගලයකු ලෙස ප්‍රකටය. ඒ නිසාම බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලය විවෘත කිරීමත් සමග එහි පාලන කටයුතු රේණුක පෙරේරාට බාර දීමට බැසිල් පියවර ගත්තේය. ආණ්ඩුව පිහිටුවීමෙන් පසු මහින්ද තමා යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයද රේණුකට ලබා දීමට පියවර ගත්තේය.
මීට මාස කිහිපයකට ප්‍රථම නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමග රාජකාරි කිරිමට නොහැකි බව කියමින් රේණුක සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබිණි. ඒ අනුව රේණුක සිය ඉල්ලා අස්වීමේ ලිපිය මහින්දට යොමු කරන තෙක් මේ කිසිවක් නොදැන සිටි මහින්ද දැඩි කලබලයට පත්ව රේණුකට එම තනතුරේම සිටින ලෙසත්, ඉල්ලා අස්නොවන ලෙසත් දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මේ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු රේණුක එම සභාපති ධුරයේ දිගටම කටයුතු කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව ලබා දීමට පියවර ගෙන තිබිණ. ජනාධිපතිවරයාම රේණුකට කතා කොට තවදුරටත් තනතුරේ සිටින ලෙස දැනුම් දුන් බව අප ඒ අවස්ථාවේදී විශේෂ හෙළිදරව්වක් කරමින් ‘රාජ්‍ය රහස්’ තීරයේ ලියා තැබීමට පියවර ගත්තේය.
මහින්දගේ තේරීම චිත්‍රා…
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු නැවැත වතාවක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ වෙනසක් සිදුවන බවට පසුගිය සතිය ආරම්භය වන විට කනින් කොණින් ආරංචි පැතිර යමින් තිබිණ. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම වෙනස සිදුකිරීමට සැලැසුම් කර ඇති බවද එම ආරංචිවලින් වැඩිදුරටත් කියැවිණි. ඒ අනුව අගමැති මහින්දද මෙම ආයතනය තමා යටතේ ඇති විෂය පථයට අයත් වන එකක් නිසා ඊට වෙනත් සුදුසු අයකු සෙවීමට පියවර ගත්තේය. මහින්දගේ තේරීම වූයේ රාජපක්‍ෂ පවුලේ හිතවතකු මෙන්ම තම වෘත්තීය සමිති උපදේශකයකු වූ ගාමිණී අබේරත්න හෙවත් ‘ටැක්සි අබේ’ගේ බිරිය එම තනතුරට නිර්දේශ කිරීමය. ඇය චිත්‍රා මන්තිලකය. මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයකුද වූ චිත්‍රා පසුගිය කාලසීමාවේ පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ චරිතයකි. ඒ අනුව මහින්ද නිවාස රාජ්‍ය අමාත්‍යවරයා වූ ඉන්දික අනුරුද්ධටද කතා කොට මෙම පත්වීම සිදුකරන ලෙසට දැනුම් දීමටද පියවර ගෙන තිබිණ.
පි.බී.ගේ ලියුම ලීක් වෙයි….
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා රාත්‍රියේ හිටිහැටියේම සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ ලිපියකින් කියැවුණේ ජනපති උපදෙස් මත ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කිරීමට පියවර ගෙන ඇතැයි කියාය. ඒ ලිපිය කොහෙන් හෝ සමාජ මාධ්‍ය ජාලවලට ‘ලීක්’ කොට තිබුණු අතර, එය දකින තෙක් කිසිවකුත් එවැනි පත්කිරීමක් පිළිබඳව හාන්කවිසියක් හෝ දැන සිටියේද නැත. අඩුම තරමින් දුමින්දගේ පවුලේ උදවිය පවා ඒ පිළිබඳ කිසිවක් දැන නොසිටි බවක් තහවුරු වූයේ ලිපිය සමාජ මාධ්‍ය ජාලවල පළවීමත් සමග ඇතැම් පිරිස් දුමින්දගේ පවුලේ ඥාතීන්ට ලබා දුන් ඇමැතුම්වලට ලැබුණු පිළිතුරුවලිනි. ඔවුන් එහිදී කියා තිබුණේ තමන්ද මේ කිසිවක් නොදන්නවා යැයි කියාය.
කෙසේ වෙතත් පෙර සතියේ දුමින්ද අරලියගහ මන්දිරයට ගොස් මහින්දත් සමග එකට සිටින ඡායාරූපයක් මාධ්‍යවල පළවීම නිසා සියල්ලන්ම සිතා සිටියේ මහින්ද විසින් දුමින්දට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත් කර ඇති බවකි. නමුත් මහින්ද චිත්‍රා මන්තිලකව එම තනතුරට පත්කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබියදී ජනාධිපති ලේකම්වරයා විසින් දුමින්ද එම තනතුරට පත්කර තිබීම හේතුවෙන් අවසානයේදී චිත්‍රා මන්තිලකට වූයේ පැත්තකට වී සිටින්නටය.
කපිල පුංචීමාන්නගේ











