පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප රටට හෙළිදරව් කළේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීමට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී යෝජනා සම්මත කරගත් බවකි. එහිදී රනිල් පාර්ලිමේන්තු රැගෙන ඒම සඳහා ආණ්ඩුව තිරය පිටුපස සිට මෙහෙයුමක් දියත් කර තිබූ ආකාරයත්, ඒ හරහා සමගි ජනබලවේගය කඩා බිඳ දැමීම ආණ්ඩුවේ අරමුණ වී ඇති බවත් අපි අනාවරණය කර සිටියෙමු. එමෙන්ම දැනටමත් සමගි ජනබලවේගයට සම්බන්ධ කිහිප දෙනෙකු රනිල්ට කතා කොට ඇති ආකාරයත්, එක් මන්ත්‍රිවරයකු ග්‍රීන්පාත්හිදී රනිල් හමුවී ඇති ආකාරයත් ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ පළ කිරීමට අපි පියවර ගත්තෙමු.
රනිල්ගේ පුවත් ‘පැළවෙයි’
කෙසේ වෙතත් රනිල්ගේ මෙම පාර්ලිමේන්තු ගමන ස්ථිර කිරීමත් සමග විවිධ පුවත් මාධ්‍යවල පළවන ආකාරයක් දැකගත හැකි විය. ඇත්තම කියනවා නම් මෙහිදී සිදුවූයේ මේ පුවත් ‘පළ’ කිරීමක් නොව ‘පැළ’ කිරීමක්ය. ඒ අනුව එක්තරා වෙබ් අඩවියක පුවතක් ‘පැළ’ කොට තිබුණේ රනිල් සමග දැනටමත් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු 15 දෙනෙකු සාකච්ඡා කරමින් සිටින බවත්, එම පිරිස රනිල් පාර්ලිමේන්තු පැමිණීමෙන් පසු ඔහු සමග වෙනම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවත්ය. එහිදී මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ නම් පවා ඉදිරිපත් කිරීමට මෙම වෙබ් අඩවිය පියවර ගෙන තිබිණි.
ෆොන්සේකාත් යන්න ඉන්නවලු
ඒ සමගම සමාජ මාධ්‍යවලද මේ මන්ත්‍රිවරුන්ගේ නම් සඳහන් කරමින් වෙනම පුවත් පළවන ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම මේ නම් ලැයිස්තුවේ සරත් ෆොන්සේකා මහතාගේ නම පවා සඳහන්ව තිබීමෙන් බොහෝ දෙනෙක් ෆොන්සේකාට කතා කොට මෙහි ඇත්ත නැත්ත විමසීමට පියවර ගත්හ. ඒ කතා කළ සෑම දෙනාටම ෆොන්සේකා කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එවැන්නක් කිරීමට තමන්ට මොළේ අමාරුවක් සෑදී නැති බවත්ය.
අපි දැන් ඉවසුවා ඇති
කෙසේ වෙතත් මෙම පුවත සමාජ මාධ්‍ය ජාලවල වේගයෙන් පැතිර යෑමත් සමග සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් ‘කෝල් කොන්ෆරන්ස්’ ක්‍රමයට අදහස් හුවමාරු කර ගැනීමට පියවර ගත්හ. පක්‍ෂ නායක සජිත් හට ඒ වන විටත් දුරකතන භාවිතය තහනම් කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී තිබීම හේතුවෙන් එම සාකච්ඡාවට සජිත් සම්බන්ධ වූයේ නැත. ඒ වෙනුවට පක්‍ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු කිහිප දෙනෙක් ඊට එක්ව සිටියහ. එහිදී සාකච්ඡාවට සම්බන්ධ වූ බොහෝ මන්ත්‍රිවරුන් පෙන්වා දී තිබුණේ මෙවැනි අසත්‍ය පුවත් මුදල් ගෙන පළ කරන වෙබ් අඩවි හේතුවෙන් වැරැදි මතයක් රටට යා හැකි බවත්, වහාම එය නිවැරැදි කිරීමට පියවර ගත යුතු බවත්ය.
‘ඩිෆෙන්සිව්’ මෝඩ් එකෙන් ‘ඔෆෙන්සිව්’ මෝඩ් එකට
‘අපි දැන් ඉවසුවා ඇති. මේ අය එක එක වෙබ් සයිට්වලට සල්ලි දීලා අතේ පැළවෙන බොරු දානවා. දැන් දාලා තියෙනවා රනිල් එක්ක සමගි ජනබලවේගයේ 15 දෙනෙක් යන්න යනවා කියලා. මේවා අමූලික බොරු. හැබැයි සමහරු මේ නිවුස් විශ්වාස කරනවා. අපේ පක්‍ෂය ඇතුළේ අර්බුදයක් තියෙනවා කියලා හිතනවා. ඒක නිසා අපි මේ ගැන ඇත්ත රටට කියන්න ඕනෑ. අපි මෙච්චර කල් ‘ඩිෆෙන්සිව්’ මෝඩ් එකේ හිටියා ඇති. දැන් ‘ඔෆෙන්සිව්’ මෝඩ් එකට බහින්න වෙලාව ඇවිල්ලයි තියෙන්නේ’ යනුවෙන් එක් මන්ත්‍රිවරයෙක් පැහැදිලි කරද්දී අනෙක් පිරිස එය පිළිගත්හ.
එමෙන්ම ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ගැනද මෙහිදී පිරිස අතර සාකච්ඡාවක් සිදුවිය. එම මාධ්‍ය සහ මාධ්‍යවේදීන් ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ විවිධ වරප්‍රසාද ගත් ආයතන සහ පුද්ගලයන් බවටද මෙහිදී චෝදනා එල්ල විය. ඔවුන් පිළිබඳව රටට හෙළිදරව් කළ යුතු බවටද මෙහිදී තීන්දු විය. ඒ සඳහා සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, පුවත්පත්, ගුවන්විදුලි හා රූපවාහිනී මාධ්‍ය යොදා ගත යුතු බවටද තීන්දු විය.
තීන්දු රැසක් අරන්
ඒ අනුව අවසානයේදී මෙම මන්ත්‍රිවරු එකඟතා කිහිපයකට එළැඹියහ. ඉන් පළමු වැන්න වූයේ මෙම අසත්‍ය පුවත පිළිබඳව පක්‍ෂ මහලේකම්වරයා වූ මද්දුමබණ්ඩාර හරහා නිවැරැදි කිරීමක් මෙම වෙබ් අඩවි වෙත යැවීමය. එම නිවැරැදි කිරීම පළ නොකරන්නේ නම් අනෙකුත් මාධ්‍ය වෙත එම නිවේදනය නිකුත් කිරීමටත්, ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රටට කරුණු කීමටත් එහිදී තීන්දු විය. සාකච්ඡාවට දුරකතනය ඔස්සේ එක්ව සිටි මද්දුමබණ්ඩාරද එම යෝජනාව පිළිගනිමින් පළමු අදියරේදී එකී වෙබ් අඩවිය වෙත නිවැරැදි කිරීමක් යැවීමට පියවර ගත්තේය. අදාළ නිවැරැදි කිරීම එම වෙබ් අඩවියේ පළ කිරීමට එහි සංස්කාරකවරුන් පියවර ගෙන තිබීම හේතුකොට ගෙන එම මාතෘකාව එතැනින් අවසාන විය.
කෙසේ වෙතත් මාධ්‍ය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය එතැනින් අවසන් වුවද සමගි ජනබලවේගය ඇතුළේ මෙම ප්‍රශ්නය දීර්ඝව සාකච්ඡා වූ ආකාරයක් දැකගත හැකි විය. ඒ පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ පැවැති පක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය. රෝහල්ගතව සිටීම හේතු කොටගෙන සජිත් එම රැස්වීමටද සහභාගී සිටියේ නැත.
සියලු පක්ෂ නායකයන් සජිත්ට
කෙසේ වෙතත් මෙම රැස්වීමට සමගි ජනබලවේගය යටතේ සිටින සියලු පක්ෂ නායකයන් සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම ඊට එක්ව සිටි නමුත් දිගම්බරම් විදේශගතව සිටින හේතුවෙන් රැස්වීමට එක්ව සිටියේ නැත. නමුත් දිගම්බරම් ඉකුත් ඉරිදා දින මන්ත්‍රි අශෝක් අබේසිංහට දුරකතනයෙන් කතා කොට රනිල් සමග සජබ මන්ත්‍රිවරුන් 15 දෙනෙකු එක් වන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත පිළිබඳව විමසා සිටීමට පියවර ගත්තේය. එහිදී අශෝක් කියා සිටියේ එය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවත්, එවැනි කිසිදු දෙයක් සිදු නොවන බවත්ය. ඒ අනුව දිගම්බරම්ද අශෝක්ට කියා සිටියේ තමන්ගේ නමද එම නම් ලැයිස්තුවේ ඇතුළත් බවට තොරතුරු ඇති බවත්, තමන් හෝ තමන් සමග සිටින මන්ත්‍රිවරුන් කිසිදු විටෙක වික්‍රමසිංහ පාර්ශ්වය සමග එකතු නොවන බවත්ය. එය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට දැනුම් දෙන ලෙසත් දිගම්බරම් කියා සිටියේය.
යෝජනාව කිරිඇල්ලගෙන්
ඒ අනුව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වූයේ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භයේදීම මේ පිළිබඳව සාකච්ඡා වීම හේතුවෙන් අශෝක් දිගම්බරම්ගේ පැහැදිලි කිරීම මන්ත්‍රි කණ්ඩායමට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
‘දැන් හැම තැනම කතාවක් යනවා අපේ කණ්ඩායමක් රනිල් එක්ක එකතු වෙන්න යනවා කියලා. මට ඊයේ දිගම්බරමුත් කෝල් කරලා මේ ගැන ඇහුවා. එතුමා නම් කිව්වේ එතුමගේ කණ්ඩායම කීයටවත් රනිල් එක්ක එකතු වෙන්නෙ නැහැ කියලයි. හැබැයි දැන් ආණ්ඩුවට හිතවත් කට්ටිය මේ කතාව දිගටම අරගෙන යනවා. ඒ නිසා අපි මේකට විරුද්ධව පියවරක් ගන්න ඕනෑ’ යනුවෙන් අශෝක් කියද්දී කිරිඇල්ල කියා සිටියේ සජිත්ද තමන් සමග ඒ පිළිබඳව කතා කළ බවත්, එසේ නම් පක්‍ෂ නායකත්වය සමග ඉදිරියට යන බවට යෝජනාවක් සම්මත කළ යුතු බවත්ය. ඒ අනුව කිරිඇල්ල යෝජනාව රැගෙන ආ අතර, පක්‍ෂ නායකයන් ඇතුළු සියලු දෙනා ඒකමතිකව සිය අත් ඔසවා එම යෝජනාව ස්ථිර කිරීමට පියවර ගත්හ. එහිදී හකීම්ද සජිත්ට සහාය පළ කරමින් අදහස් දැක්වූ අතර චම්පිකද සජිත්ට සහාය පළ කරන යෝජනාවට සිය නමද ඇතුළත් කරන ලෙසට සඳහන් කර සිටීම විශේෂ සිදුවීමක් විය.
රනිල්ට ආණ්ඩුවෙන් ගජ සැලකිලි
කෙසේ වෙතත් සමගි ජනබලවේගය ආණ්ඩුව පැත්තෙන් දියත් වූ බව කියන මෙම කුමන්ත්‍රණය මේ හරහා බිඳ දැමීමට පියවර ගැනීමත් සමග පළමු අවස්ථාවේදී මෙන් රනිල්ගේ පාර්ශ්වයෙන් පුවත් පළවූයේ නැත. නමුත් දේශපාලන ක්‍ෂේත්‍රයේ විවිධ කටකතා නම් ඒ සම්බන්ධයෙන් පැතිර යන බවක් දැකගන්නට ලැබිණි. එසේ ගිය එක් කටකතාවක් වූයේ රනිල් 22 වැනි දින පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානම්ව සිටින බවත්, දැනටමත් රනිල් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට කතා කොට තමන්ට ආසනයක් වෙන් කරන ලෙස දැනුම් දී ඇති බවත්ය. එමෙන්ම තවත් කටකතාවකින් කියැවුණේ ආණ්ඩුව පැත්තෙන් දිනේෂ්ට රනිල්ගේ පාර්ලිමේන්තු අසුන පිළිබඳව සොයා බලන ලෙසට පණිවුඩයක් ලැබී ඇති බවත්, හිටපු අගමැති ලෙසට රනිල්ට පාර්ලිමේන්තුවේ කාර්යාලයක් ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.
රනිල් අනුර ළගට..
කෙසේ වෙතත් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත්තේ 22 වැනි දින පාර්ලිමේන්තු එන රනිල්ට දැනටමත් විපක්‍ෂයේ ඉදිරි පෙළ ආසනයක් වෙන් කර තිබී ඇති බවකි. ඒ අංක 16 වශයෙන් සැලකෙන අසුන බවත්, එය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආසනයට යාබද අසුන බවත් දැනගන්නට ඇත. එමෙන්ම පාර්ලිමේන්තුව මෙවර සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු මෙම ආසනය කිසිවකුටත් ලබා නොදී එජාපයෙන් පාර්ලිමේන්තු එන නියෝජිතයා සඳහාම වෙන් කොට තිබී ඇති බවක්ද ආරංචිය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ටත් කියයි
මීට අමතරව රනිල් විසින් දැනටමත් පාර්ලිමේන්තු පැමිණීම සඳහා නැකැත් වේලාවන් කිහිපයක්ද බලාගෙන ඇති බවත් දැනගන්නට ඇත. මේ එක් වේලාවක් මන්ත්‍රි ධුරය භාරගන්නා බවට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යැවීම සඳහාත්, තවත් නැකැත් වේලාවක් 22 වැනි දින පාර්ලිමේන්තුවට පිවිසීම සඳහාත් ලබා දී ඇති බවක්ද වාර්තා වේ. එමෙන්ම තමන් 22දා පාර්ලිමේන්තු එන බව රනිල් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට දුරකතනයෙන් කතා කොට දැනුම් දී සිටීමටද පියවර ගෙන තිබිණි.
රනිල් මුට්ටිය දැම්මාද
ඒ එක් පැත්තකින් රනිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන කියැවෙන කටකතාය. තවත් පැත්තකින් කියැවෙන කටකතාවලින් කියැවෙන්නේ රනිල් පාර්ලිමේන්තු නොඑන බවත්, ඊට සුදුසු වාතාවරණයක් පවතින්නේ දැයි සොයා බැලීම සඳහා මුට්ටිය දමමින් සිටින බවත්ය. මේ ආකාරයට සමගි ජනබලවේගය ඇතුළේ අර්බුද මතුව ඇති බව පෙන්වමින් 10ක, 15ක මන්ත්‍රි කණ්ඩායමක් කඩා ගැනීමට නොහැකි වුවහොත් රනිල් තනිවම පාර්ලිමේන්තු පැමිණ පච වීමට කටයුතු නොකරනු ඇති බව එම කටකතාවලින් කියැවෙන්නෙකි. යම් හෙයකින් තමන් සමග සිටින කණ්ඩායමක් නිර්මාණය කරගැනීමට හැකි වුවහොත් පමණක් රනිල් පාර්ලිමේන්තු පැමිණෙනු ඇති බවත්, එසේ නැති වුවහොත් වෙනත් අයකුට අවස්ථාව ලබා දෙනු ඇති බවත් එම කටකතාවලින් වැඩිදුරටත් කියැවෙන ආකාරයක්ද දැකගන්නට තිබේ.
සජබෙන් ප්‍රහාර රැසක්
කෙසේ වෙතත් දැන් තියාම රනිල්ගේ මේ පාර්ලිමේන්තු ගමන සම්බන්ධයෙන් ආණ්ඩුවේත්, විපක්‍ෂයේත් මිශ්‍ර ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. විශේෂයෙන්ම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙය ඉතා ඉහළින් අගය කරමින් කතා කළ අතර, ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් නලින් බණ්ඩාර, හේෂා විතානගේ, තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රිවරුන් තරමක් විවේචනාත්මකව අදහස් පළ කරනුද දැකගත හැකි විය.
හාමුදුරු පක්ෂෙත් ප්‍රශ්න
එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් මතුව පැවැතියදී පාර්ලිමේන්තුවේ තවත් ආසනයක් පිළිබඳව බරපතළ අර්බුදයක්ද මේ වන විට වටින් ගොඩින් මෝදුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට ඇත. ඒ අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ය.
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය මෙන්ම අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයද ආරම්භයේ සිටම මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිවලින් ගහණ එකක් විය. රටේ නමගිය ස්වාමීන් වහන්සේලා අතර හටගත් මෙම සටනින් පළමු වටයේ ජය හිමිකර ගත්තේ අතුරලියේ රතන හිමියන්ය. රතන හිමි සමග සටනට පිවිස සිටි බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පළමු වටයෙන් පරාජය ලැබ පසෙකට වූ අයුරු දැකගත හැකි විය.
රතන හිමි මාස 5න් යනවා කියලා…
කෙසේ වෙතත් ඥානසාර හිමියන් එසේ පසෙකට වී සිටියේ වෙන හේතුවක් නිසා නොව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතාවක් හේතුකොටගෙනය. ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් පවසන්නේ රතන හිමියන් මාස 3ක් තමන් වහන්සේට පාර්ලිමේන්තුවේ සිටීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත්, ඉන් අනතුරුව මන්ත්‍රි ධුරයෙන් ඉවත් වී තමන් වහන්සේට එම ධුරය ලබා දීමට වාචිකව එකඟ වූ බවත්ය. එහිදී තමන් වහන්සේ මාස 3ක් නොව මාස 6ක්ම පාර්ලිමේන්තුවේ සිටින ලෙස උන්වහන්සේට දැනුම් දුන් බවත්, එම කාලය ජූලි 05 වැනි දිනට අවසන් වීමට නියමිත බැවින් ඊට පෙර රතන හිමියන් ඉවත් විය යුතු බවත් ඥානසාර හිමියන් සඳහන් කර සිටියේය.
ඒ අනුව රතන හිමියන් පාර්ලිමේන්තුවට පිවිසියේ එවන් එකඟතාවක් ඇතිකර ගැනීමෙන් අනතුරුව බව පළමු වතාවට එළියට පැමිණියේ ඥානසාර හිමියන්ගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුවය.
රතන හිමි ඥානසාර හිමිට බෑ තියයි
නමුත් තත්ත්වය වෙනස් වූයේ පසුදිනම අතුරලියේ රතන හිමියන් මාධ්‍යයට කළ ප්‍රකාශයත් සමගය. එහිදී රතන හිමියන් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් තමන් කිසිවකුත් සමග එකඟතා ඇතිකර ගෙන නොමැති බවත්, ජූලි 05 වැනි දින තමන් වහන්සේ ඉල්ලා අස්නොවන බවත්ය. මෙම වසර 05ම තමන් වහන්සේ මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණ.
ඒ අනුව අපේ ජනබල පක්‍ෂය ඇතුළේද යළිත් වතාවක් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුවෙමින් පවතින ආකාරයක් දැකගැනීමට තිබේ. ඒ අනුව ස්වාමීන් වහන්සේලා වශයෙන් සහ බුද්ධ පුත්‍රයන් වශයෙන් මුසාවාද වදාරන්නේ ඥානසාර හිමියන්ද, එසේත් නැත්නම් අතුරලියේ රතන හිමියන්ද කියන්න අප දන්නේ නැත.
ජනපති නාමල්ට හයිය දෙයි
විපක්‍ෂය පැත්තෙන් මේ වන විට විවිධ කතා යද්දී ආණ්ඩුවේ පැත්තෙන්ද විවිධ තනතුරු වෙනස් වීම් පිළිබඳ තොරතුරු දේශපාලන ක්‍ෂේත්‍රයේ කනින් කොණින් අසන්නට ලැබේ. ආණ්ඩුව පැත්තේ මේ දිනවල සුපිරි තරුව බවට පත්ව ඇත්තේ වෙන කවුරුවත් නොව ක්‍රීඩා, තරුණ කටයුතු හා ඩිජිටල් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාය. අපි පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ නාමල්ට ඩිජිටල් අමාත්‍ය ධුරය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දු කිරීමට බලපෑ හේතුකාරණා මොනවාද යන්න පැහැදිලි කිරීමට පියවර ගත්තෙමු. එහිදී අප පෙන්වා දුන්නේ රාජපක්‍ෂ පවුල ඇතුළේ මාස 2ක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා නාමල්ට එම අමාත්‍ය ධුරය ලබා දීමට පියවර ගත් බවකි. එසේ අමාත්‍ය ධුරය ලබා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිකම් සිටියේ නැත. නාමල්ට තවත් හයිය ලබා දෙමින් විදුලි සංදේශ ඇතුලු තවත් ප්‍රධාන ධාරාවේ රාජ්‍ය ආයතන ගණනාවක්ම නාමල්ට පවරා දෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. ඒ හරහා තමන් සතුව පැවැති ආයතන ගණනාවක්ම නාමල්ට ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
පොහොට්ටුවේ වගකීමකුත් සූදානම්
මේ ආකාරයට ආණ්ඩුවේ ප්‍රබලතම හා වැඩි වගකීම් සහිත අමාත්‍ය ධූරයන් උසුලන නාමල් සම්බන්ධයෙන් මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ තවත් විශේෂ තොරතුරු කිහිපයක් රටට අනාවරණය කිරීමට සූදානම්ය. ඒ, ඉදිරි කාලවකවානුව තුළ නාමල්ට පොහොට්ටුව ඇතුළේ වැඩි වගකීමක් පැවරිමට රාජපක්ෂවරුන් තීරණය කර තිබීමය. ඒ අනුව ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මහතා යටතේ නාමල්ට පොහොට්ටුවේද වැඩි වගකීමක් පැවරෙනු ඇති බවක් ආරංචිය.
නාමල් සැප්තැම්බරයේදී අගමැති!
මීට අමතරව පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ නාමල්ට අගමැතිකම ලබාදීමට සූදානමක් ඇති බවටද විශාල රාවයක් පැතිර ගියේය. ඒ සම්බන්ධයෙන්ද රාජපක්ෂ පවුල ඇතුළේ සාකච්ජාවක් සිදුව ඇති බවත්, ලබන සැප්තැම්බර් මාසය වනවිට බොහෝ දුරට නාමල්ට අගමැතිකම හිමිවීමට නියමිත බවත් එම ආරංචි මාර්ගවලින් කියැවේ. බොහෝ දුරට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉවත්ව වෙනත් ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්ව අගමැති ධුරය නාමල්ට දෙනු ඇති බව එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් කියැවේ.
ඇමැතිවරුත් කැමැත්තෙන්
මේ සම්බන්ධයෙන් දැන් තියාම ආණ්ඩුව ඇතුළේ මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කරන ආකාරයක්ද දැකගන්නට තිබේ. විශේෂයෙන්ම පසුගිය සතියේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් මාධ්‍ය මේ පිළිබඳ විමසූ විට ඔහු කියා සිටියේ නාමල් ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති බවකි. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්තද පවසා සිටියේ අගමැතිකමට සුදුසු තරුණ ජවය නාමල් සතුව පවතින බවකි.
සියලුම රාජ්‍ය ඇමැතිවරුන් කැදවයි
කෙසේ වෙතත් නාමල් මේ වන විටත් තමන්ට ලැබුණු නව තනතුරු සමග ආණ්ඩුව ඇතුළේ සිටින සක්‍රියම අමාත්‍යවරයා බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම එන්නත්කරණය සම්බන්ධ වැඩි වැඩ කොටසක් මේ වන විට නාමල් කරපිට පැටවී ඇති බැවින් පසුගිය සතියේ සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නාමල් පියවර ගත්තේය. එපමණක් නොව පසුගිය සිකුරාදා (11දා) දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයටද ගොස් කොරෝනා මර්දනය සඳහා නව සොයා ගැනීම් භාවිත කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටද නාමල් පියවර ගෙන තිබිණ.
නාමල්ගේ වැඩ පවුලම බලයි
මීට අමතරව පසුගිය සතියේදී නාමල් එක්තරා රූපවාහිනී වැඩසටහනක සාකච්ජාවක් සදහා සම්බන්ධ වීමට පියවර ගත්තේය. අලුත් ඇමැති ධූරයට පත්වීමෙන් අනතුරුව නාමල් සහභාගී වූ පළමු දේශපාලන සම්මුඛ සාකච්ජාව වූයේ එයය. නාමල් මෙම ප්‍රශ්න විචාරාත්මක දේශපාලන සංවාදයට සහභාගී වී සිටියදී මහින්ද, ශිරන්ති, යෝෂිත ඇතුලු පවුලේ සියලු දෙනාම අරලිය ගහමන්දිරයේ සිට මෙම වැඩසටහන බැලීමට පියවර ගනෙ තිබිණ. මෙම වැඩසටහනේදී නාමල් ඊට මුහුණ දුන් ආකාරයත්, ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ ආකාරයත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේම ඇගයීමට ලක්වූ ආකාරයක් මෙහිදී දැකගන්නට ලැබිණ.
දයාසිරිත් නාමල්ට සෙට්වෙයි
මේ ආකාරයට නාමල්ට අගමැති ධුරය ලබා දීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ආණ්ඩුව ඇතුළේ පැතිර යෑමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළේද කිසියම් මතගැටුමක් මතුවෙමින් පවතින ආකාරයක් මේ වන විට දැනගන්නට තිබේ. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ දිනවල නාමල් සමග ඉතා සමීපව ඇසුරු කරමින් සිටින බවට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට තොරතුරු වාර්තා වීමත් සමගය.
දයාසිරිගේ පුතාගේ වැඩක්
දයාසිරි හා රාජපක්‍ෂ පවුල අතරත්, දයාසිරි හා නාමල් අතරත් පසුගිය කාලයේ ඉතා සමීප හිතවත්කමක් ගොඩනැඟී තිබුණු අතර, ඊට හේතුව වී තිබුණේ වෙන මොකවත් නොව ක්‍රීඩාවය. නාමල් ඇතුළු රාජපක්‍ෂ පවුලේ සොහොයුරන් ශාන්ත තෝමස් විදුහලේ රගර් ක්‍රීඩා කරද්දී දයාසිරිගේ පුතාද එම විදුහලේ සිසුවකු ලෙස නාමල්ලා, රෝහිතලා සමග එකට රගර් ක්‍රීඩා කළේය. ඒ හරහා නාමල්ලා හා දයාසිරිලා අතරද පැවැතියේ ඉතා හිතවත් සමීපකමකි. ඒ නිසා දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිර ගිය ආරංචිවලින් කියැවුණේ නාමල්ට අගමැති ධුරය හිමි වුවහොත් පත්කරනු ලබන කැබිනට් මණ්ඩලයේ ඉහල තනතුරක් දයාසිරිට හිමි වනු ඇති බවකි. දයාසිරි හා ශ්‍රීලනිපය අතර අර්බුදයට ආරම්භය වී ඇත්තේ මෙය බව සඳහන්ය.
දයාසිරි නිසා ශ්‍රිලනිපය ඇතුළේ අර්බුදයක්!
කෙසේ වෙතත් දයාසිරි මේ අයුරින් නාමල්ට සමීපව කටයුතු කළත් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න වැනි ශ්‍රීලනිප ප්‍රබලයන් සිටින්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛව ගොඩනඟන අලුත් සන්ධානයක් හරහා ඉදිරි මැතිවරණවලට තරග වැදිය යුතු බවට වූ ස්ථාවරයේය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය යන මාතෘකා මුල්කරගෙන එම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බිහි කළ යුතු බවද ඔවුන්ගේ ස්ථාවරයය. නමුත් මෙම මාතෘකාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ඇතුළේ පැවැති සාකච්ඡා ගණනාවකදීම දයාසිරි එය දැඩිව විවේචනය කර ඇති බව සඳහන්ය. ඒ අනුව මේ වන විට ශ්‍රීලනිපය ඇතුළේ දයාසිරි හුදකලා වී ඇති බවක් දැකගන්නට තිබේ. මෙම සාකච්ඡාවලට මෛත්‍රිපාලද සහභාගී වී ඇති නමුත් මෛත්‍රි ඊට කිසිවක් කියා නැති බවද දැනගන්නට ඇත. නමුත් මෛත්‍රිද සිටින්නේ ශ්‍රිලනිපය මුල්කරගත් අලුත් සන්ධානයක් බිහි කළ යුතු බවට වූ ස්ථාවරයේය.
විමල්වත් නාමල්ට සෙට් කරන්න දයාසිරිගෙන් ගේමක්…
ඒ අනුව පවතින තත්ත්වය යටතේ දයාසිරිගේ මහලේකම් ධුරය පවා මේ වන විට ඇත්තේ ගැලවී යන තත්ත්වයකය.
කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් මැද දයාසිරි මේ වන විට තවත් මෙහෙයුමකට අත තබා ඇති බවක්ද ආරංචිය. ඒ, ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන විමල් වීරවංශ සහ නාමල් අතර අලුත් සන්ධානයක් ගොඩනැඟීමේ මෙහෙයුමකටය. මේ වන විට විමල් හා බැසිල් අතර යම් දේශපාලන ආරෝවක් ගොඩනැඟී තිබුණත් නාමල් සමග විමල්ට එවැනි ගැටුමක් නැත. ඒ අනුව දයාසිරි මේ දිනවල සිටින්නේ විමල් රුසියාවේ සිට ලංකාවට එන තෙක්ය. ඒ, විමල්, නාමල් සන්ධානය ගැන සාකච්ඡා ආරම්භ කරන්නටය.
බැසිල් එන්නේ මාසෙ අග
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා යළි ලංකාවට එන දිනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම විවිධ කටකතා දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිර ගොස් තිබිණ. මුලින් කියැවුණේ ඉකුත් 05 වැනිදා බැසිල් ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි කියාය. පසුව එම දිනය ද 12 දක්වා කල් දැමිණ. පසුව එම දිනයත් වෙනස් වී මේ වන විට මේ මාසය අන්තිම දක්වා බැසිල්ගේ ලංකා ගමන කල්ගොස් ඇති බවක් දැනගන්නට ඇත.
ස්වාමීන් වහන්සේලා කලකිරෙති
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දරදිය ඇද්ද පිරිස අතර ස්වාමීන් වහන්සේලාද විශාල මෙහෙයක් සිදු කළ බව රහසක් නොවේ. ඒ අතර පෙරමුණේ සිටි ස්වාමීන් වහන්සේලා දෙනම වූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනුත්, ඇල්ලේ ගුණවංශ හිමියනුත්ය. උන්වහන්සේලා එදා දිනක් පාසා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් යහපාලන ආණ්ඩුව විවේචනය කරනු දැකගත හැකි විය.
ඇල්ලේ හිමිගෙන් ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක්
කෙසේ වෙතත් මේ වන විට උන්වහන්සේලා නැවැත වතාවක් තමන් විසින්ම බලයට රැගෙන ආ වත්මන් ආණ්ඩුවට එරෙහිවද ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ආකාරයක් දැකගත හැක. විශේෂයෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව කොළඹ ඇති ඉතා වටිනාම ඉඩකඩම් සියල්ල විකුණා දැමීමට මේ වන විට පිඹුරුපත් සකස් කරමින් සිටින බවකි.
අලුත් දේශපාලන පක්ෂයක්?
මේ ආකාරයට මුරුත්තෙට්ටුවේ හිමියනුත්, ඇල්ලේ ගුණවංශ හිමියනුත් ආණ්ඩුවට එරෙහිව සිදු කරන ප්‍රබල ප්‍රහාර හමුවේ පසුගිය සතිය වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිර ගිය එක්තරා කතාවකින් කියැවුණේ උන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බවක්ය. ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා මෙම පුවත වාර්තා කිරීමත් සමග බොහෝ දෙනා මුරුත්තෙට්ටුවේ හිමියන්ටත්, ඇල්ලේ හිමියන්ටත් කතා කොට ඒ පිළිබඳ විමසන ආකාරයක්ද දැනගන්නට ලැබිණ. නමුත් ඒ කතා කළ සියලු දෙනාටම උන්වහන්සේලා කියා සිටියේ එවැනි කිසි සූදානමක් නොමැති බවත්, එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ පිරිස් විමසා සිටීමෙන් පසු ඇල්ලේ හිමියන් පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ හිමියන් මුණගැසීම සඳහා අභයාරාමයට ගියේය. එසේ ගොස් මෙම පුවත සම්බන්ධයෙන් උන්වහන්සේලා සිනාසෙමින් කතා කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. පක්‍ෂ හැදිල්ල කෙසේ වෙතත් එහිදී එක් විශේෂ කාරණයක් නම් මෙහිදී දැඩිව අවධාරණය කරන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ, ආණ්ඩුව ජාතික සම්පත් විකුණමින් පැවැති ආණ්ඩුව ගමන් කළ මාර්ගයේම යෑම ආරම්භ කොට ඇති බවත්, එය නැවැත්වීමට නම් වහාම ජාතික බලවේගයක් නිර්මාණය කළ යුතු බවත්ය. එසේ නොවුණහොත් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා වැඩි වැඩ කොටසක් කළ තමන් වහන්සේලාටද ජනතාවගෙන් අපවාද එල්ල විය හැකි බවද එහිදී කියැවිණි. ඒ අනුව ඉතාමත් ඉක්මණින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ප්‍රශ්න කරන ස්ථාවරයකට ගමන් කිරීමට උන්වහන්සේලා කතිකා කරගත්හ.
අභයාරාමයේ එන්නත් අවුල
මේ අතරතුර මීට සති දෙකකට ඉහතදී අභයාරාමයේ එන්නත්කරණ වැඩසටහනක් පැවැත්වීමට ගොස් මහා කලබැගෑනියක් සිදුවූ බව මාධ්‍ය මගින් රටටම පෙන්වා දී තිබිණ. අභයාරාමයේ එන්නත්කරණ වැඩසටහනක් පවත්වන බවට කළ දැනුම් දීම හේතුවෙන් විශාල පිරිසක් පැමිණ තිබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් නොපැමිණීම ඊට හේතුව විය. පසුව මාධ්‍ය අමතමින් මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොසැලිකිලිමත්කම හේතුවෙන් මෙම අර්බුදය මතුවුණු බවකි. නමුත් ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රසිද්ධියේ පවසා තිබුණේ අභයාරාමයේ එන්නත්කරණ වැඩසඩහනක් සම්බන්ධයෙන් තමන් හෝ අමාත්‍යාංශය දැනුවත්ව නොසිටි බවකි.
පවිත්‍රාගේ මේ ප්‍රකාශයත් සමග මුරුත්තෙට්ටුවේ හිමියන් නැවැත වතාවක් මාධ්‍ය හමුවට පැමිණ ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිකුත් කළ ලිපියක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. අගමැතිවරයාගේ උපදෙස් පවා පවිත්‍රා ඉටු නොකරන බව කියමින් උන්වහන්සේ එහිදී තවදුරටත් පවිත්‍රාට ප්‍රහාර එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය.
ලියුම යැව්වේ කව්ද?
කෙසේවෙතත් අගමැති කාර්යාලයෙන් නිකුත් කළ බව එම ලිපියත් සමග ජනාධිපති කාර්යාලයද එම සිදුවීමට මැදහත් වන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අගමැති කාර්යාලයට ඇමතුමක් ලැබුණු අතර මෙම ලිපිය සම්බන්ධයෙන් විමසීමක් කර තිබිණ. එහිදී දැනගන්නට ලැබුණේ අගමැතිවරයා හෝ දැනුවත් නොකර මෙවැනි ලිපියක් අගමැති කාර්යාලයේ එක්තරා නිලධාරියකු විසින් මුරුත්තටේටුවේ හිමියන්ට යවා ඇති බවකි. මෙම සම්බන්ධීකරණ නිලධාරියාගේ නමද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවීමටද එහදී අගමැති කාර්යාලය පියවර ගෙන තිබිණ.
කිංස්ලිට රාජ්‍ය මාධ්‍යයෙන් විරෝධයක්
පසුගිය සතියේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානීන් හා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් අතර හමුවක් සංවිධාන කොට තිබිණි. එය සංවිධාන කොට තිබුණේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි හා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකය. තනතුරු භාරගැනීමෙන් පසු මේ දෙදෙනා පසුගිය සති කිහිපය පුරාම කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රතිසංවිධාන කටයුතුය. දෙදෙනාගේම අරමුණ වී ඇත්තේ ඩිජිටල් සන්නිවේදන ක්‍රම ඔස්සේ ජනාධිපතිවරයාගේ සංවර්ධන ව්‍යාපෘති රට ඇතුළට රැගෙන යමින් ජනතාව දැනුවත් කිරීමය.
කෙසේ වෙතත් රාජ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණත් තරමක් අර්බුදකාරී වාතාවරණයක් මතු වූයේ රූපවාහිනී සංස්ථාවේ නිලධාරියකු කිංස්ලිගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමගය. එහිදී මෙම නිලධාරියා කියා සිටියේ ඉකුත් කාලයේදී තමන් ඇතුළු රාජ්‍ය මාධ්‍ය නිලධාරීන් ආණ්ඩුව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරද්දී කිංස්ලි රාජකාරි කළ සිරස ආයතනය ආණ්ඩුවට දැඩිව ප්‍රහාර එල්ල කළ බවකි.
නැගිට ගිය කතා බොරු
මෙම ප්‍රකාශයත් සමග රැස්වීමේ ස්වභාවය තරමක වෙනස් ස්වරූපයක් ගත් අතර දෙපැත්තටම විවිධ වචන හුවමාරු වන ආකාරයක් දැකගන්නට ලැබිණි.කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි මේ සිදුවීමෙන් පසු කිංස්ලි නැගිට ගිය බව වාර්තා කොට තිබුණත් එවැන්නක් එහි සිදුව තිබුණේ නැත.
මෙම සිදුවීමෙන් පසු ජනාධිපති මාධ්‍ය ඒකකයේ මෙම ප්‍රධානීන් හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතරත් විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී සාකච්ඡා කෙරුණේ රාජ්‍ය මාධ්‍ය ලාභ ලබන ආකාරයෙන් පවත්වාගෙන යෑම පිළිබඳවය. ඒ අනුව රාජ්‍ය මාධ්‍ය ආයතනවල කළ යුතු වෙනස්කම් පිළිබඳ දීර්ඝව මෙහිදී සාකච්ඡා වනු දැකගත හැකි විය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ සාකච්ඡාව පැවැත්වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
රාජ්‍ය ඇමැතිවරු කලකිරිලා
පසුගිය අඟහරුවාදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරු බොහෝ දෙනකු ආණ්ඩු පක්ෂ ලොබියේදී මුණගැසී තම තමන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතා පිළිබඳ කතාබස් කරන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවෙන් පසුව ගොවි ජනතාව විශාල වශයෙන් සිටින දිස්ත්‍රික්ක නියෝජනය කරන ඇමැතිවරුන් මෙහිදී දැඩි කලකිරීමකින් යුතුව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගත් ආකාරයක් දැකගත හැකි විය.
“මට නම් මාර වැඩේ තමයි වෙලා තියෙන්නේ. මට දැන් ගමට යන්නත් බෑ. ගොවියො අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් බෑ, ඒ නිසා මම දැන් මහජන දිනය තියන එකත් කැන්සල් කරලයි තියෙන්නේ. මේ ප්‍රශ්න එක්ක මම තීන්දුවක් ගත්තා ඊළඟ පාර ඉල්ලන්නෙත් නෑ කියලා. මේ පාර විතරයි මම පාර්ලිමේන්තුවෙ ඉන්නේ. හැබැයි මම විපක්ෂයට නම් එකතු වෙන්නේ නෑ, මේ අවුරුදු පහ ඉඳලා ගෙදර යනවා…” යනුවෙන් මේ ‘වියත් මඟ’ නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයා විස්සෝපයෙන් යුතුව කියද්දී අනෙකුත් මන්ත්‍රීවරුන් ඔහුගෙන් විමසා සිටියේ, “ඇයි ඔබතුමාලා නෙවෙයිද මේ තීන්දු තීරණ ගන්න කියලා ජනාධිපතිතුමාට කියන්නේ, අපි හිතන් හිටියේ වියත් මග මේ තීන්දු තීරණ පිටිපස්සේ ඉන්නවා ඇති කියලා…” යැයි කියාය.
මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා ඊට දුන්නේ අපූරු පිළිතුරකි.
“අනේ නෑ මන්ත්‍රීතුමා, අපි නෙවෙයි ඔය තීන්දු තීරණ ගන්නේ. සමහර තීන්දු ගැන අපිටත් තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්…” යනුවෙන් එම රාජ්‍ය අමාත්‍යවරයා කියද්දී අනෙක් මන්ත්‍රීවරුන් එකිනෙකාගේ මුහුණු දෙස බලා සිටින ආකාරයක් දැකගත හැකි විය.











