• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රෝහිත රාජපක්ෂ වයඹ මහඇමැති සටනට එයි! ආණ්ඩුවේ ඇස් අරවපු අලුත්ම මත විමසුමේ ප්‍රතිපල! අයවැයේදී චමින්ද-හේෂා ආණ්ඩුවට? යුරෝපා සංගමය කිරිඇල්ල කී කතාව පිළිඅරන්! (රාජ්‍ය රහස්)

October 3, 2021
in Exclusive, Rajya Rahas, Uncategorized
Reading Time: 20 mins read
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

බැසිල් අයවැයේදී මැජික් පෙන්වන්න සූදානමින්!

යුගදනවිට ආණ්ඩුවේ බෙදිල්ල වැඩිවෙයි! විදුරත් විරුද්ධයි!

බෑ කියද්දී සම්බන්ධන් හමුවෙන්න යුරෝපා නියෝජිතයන් ගෙදරටම යයි!

සජිත් රට වෙනුවෙන් ඉල්ලීමක් කරයි!

ජනපතිගෙන් වෙනස්කම් රැසක්!

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා දිවයිනෙන් බැහැරවූ ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ මෙම සති අන්තයේය. ඇත්තම කියනවා නම් ජනාධිපතිවරයා ජගත් සමුළුව ඇමතීමට ඇමෙරිකාව බලා පිටත්ව යද්දී රට පැවැතියේ ජාත්‍යන්තර අර්බුද රැසක් අබිමුව යැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. එක් අතකින් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහිව එහි මහ කොමසාරිස්වරිය බරපතළ චෝදනා වැළක් ඉදිරිපත් කොට තවම සති තුනක් ඉක්ම ගොස් නැත. අනෙක් අතින් යුරෝපා කොමිසමේ නියෝජිතයන් කණ්ඩායමක් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට තවදුරත් ලබාදෙනවාද යන්න තීරණය කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ. ඊට අමතරව චීනය, ලංකාව තුළ සිදුකරන ඉහළ බලපෑමට එරෙහිව ඇමෙරිකාවත්, ඉන්දියාවත් සිය ග්‍රහණය දැඩි කිරීමට සූදානමින් සිටින පසුබිමක් නිර්මාණය වෙමින් තිබේ. ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම මේ සියලු ප්‍රශ්න දෙස ධනාත්මකව බලා ඇති ආකාරයක් දැකගන්නට තිබුණේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහින්ද සමරසිංහ පත්කිරීමටත්, මාස 14ක කාලයක් හිස්ව තිබූ ඉන්දීය මහ කොමසාරිස් ධුරයේ වැඩ භාරගැනීමට මිලින්ද මොරගොඩ පියවර ගෙන තිබීමත් සමගය. ඒ හරහා නැවත ආණ්ඩුව ඉන්දියාව හා ඇමෙරිකාව සමග සමීප සබඳතා ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති ආකාරයක් පෙනී යයි. යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ආණ්ඩුව ගත් තීරණයද එහි එක් පියවරක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

ජීඒල් ඉන්දියාවට දුන් පොරොන්දුව

කෙසේ වෙතත් ඇමෙරිකානු සංචාරයේදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එහිදී දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳවද, උතුර – නැගෙනහිර වාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන්ද, දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳවද දෙදෙනා අතර සාකච්ඡා වූ බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණි. මෙහිදී ජී.එල්. පීරිස් ලබන වසර මුලදී උතුර නැගෙනහිර ඇතුළුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසියම් සහතිකයක් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති බවක්ද ආරංචිය.

පළාත් සභා ලබන වසරේ මුල

ඒ අනුව ආණ්ඩුව මේ වන විට සැලසුම් කොට ඇත්තේ ලබන වසර මුල් භාගයේදී පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමටය. ඒ සඳහා හේතු කිහිපයක්ම ආණ්ඩුවට බලපා ඇති බවක් දැනගන්නට ඇත. ඉන් එකක් වන්නේ මේ වන විට ජනතාව අතර ආණ්ඩුව පිළිබඳ පැවැති ප්‍රසාදය කෙමෙන් කෙමෙන් හීනවී යෑමය. මේ හේතුවෙන් ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමටත්, ඒ වෙනුවට පළාත් සභා මැතිවරණය පවත්වා, ආණ්ඩුවේ ජයග්‍රහණය රටට පෙන්වීමටත් අවශ්‍යව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම පළාත් සභා මැතිවරණයකදී පළාත් පාලන මැතිවරණයකට වඩා ඡන්දය ප්‍රකාශ වීම අඩුවීමද මේ සඳහා බලපා ඇති එක් හේතුවකි.

පරණ විදිහට තියන්න සජබෙ කැමැත්ත

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට ආණ්ඩුව දැනටමත් දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති අතර, අවසන් වරට එම කමිටුව සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මුණගැසුණු අවස්ථාවේදී මේ පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටද පියවර ගෙන තිබේ. එහිදී සජබය වෙනුවෙන් සාකච්ඡාවට සහභාගි වූ හිටපු ඇමැති අජිත් පී. පෙරේරා ඇතුළු පිරිස කමිටුවට පෙන්වා දී ඇත්තේ ඡන්ද පැවැත්වීමට මැතිවරණ ක්‍රමය බාධාවක් නම් පැවැති ඡන්ද ක්‍රමය අනුව මැතිවරණ පැවැත්වීමට සජබය සූදානම් යැයි කියාය. නැවත වතාවක් සීමා නිර්ණය කොට මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමට ගියහොත් එය වසර ගණනාවක් ගතවන කටයුත්තක් නිසා පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සජබය සූදානම් බවත්, එහිදී වත්මන් පනතේ එක් පරිච්ඡේදයක් පමණක් වෙනස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබාදීමට සජබය සූදානම් බවත් අජිත් පී. පෙරේරා මෙහිදී කමිටුවට දැනුම්දී තිබේ.

දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව මෙම යෝජනාද ඇතුළත් කොට මේ වන විට මැතිවරණ කොමිසම වෙත වාර්තාවක් යොමු කොට ඇති බවද දැනගන්නට ඇත. ඒ අනුව මැතිවරණ කොමිසමේ තීන්දුවත් සමග ලබන වසර මුලදී පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීම ආණ්ඩුව මේ වනවිට සැලසුම් කරමින් සිටී.

රෝහිත වයඹට එයි!

පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වූ රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී මුලින්ම කුරුණෑගල ජනාධිපති බාලිකාවට ගිය රෝහිත, පාසලේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීමමට කටයුතු කළේය. එහිදී පාසල් බලධාරීන් රෝහිතට පෙන්වා දුන්නේ පාසලේ අඩුපාඩු වෙනුවෙන් ලක්ෂ 50ක පමණ මුදලක් අවශ්‍ය යැයි කියාය. ඒ අනුව ඒ මොහොතේම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට දුරකතන ඇමතුමක් ලබාදුන් රෝහිත, අදාළ මුදල් පාසලට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය. පියල් එම මුදල් නිදහස් කිරීමට එකඟ විය.

ඉන් අනතුරුව පාසල් බලධාරීන් පරිපාලන ගොඩනැගිල්ලක අවශ්‍යතාව රෝහිතට පෙන්වා දුන්නේය. රෝහිත ඊට පිළිතුරු දෙමින් කීවේ දිනේෂ් සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්නම් යැයි කියාය. පසුව දන්ත වෛද්‍ය සායනයක අවශ්‍යතාව මතු කරද්දී රෝගිත කීවේ කෙහෙළිය සමග සාකච්ඡා කොට එම අඩුපාඩුව සම්පූර්ණ කරන්නම් යැයි කියාය.

දයාසිරිට දෙපැත්තෙන්ම කෝල් ඇවිත්

කෙසේ වෙතත් රෝහිත මේ ආකාරයට කුරුණෑගල ජනාධිපති බාලිකාවට හිටි හැටියේම පැමිණ එහි අඩුපාඩු සොයා බලා ඇති පුවත මොහොතක් යෑමට මත්තෙන් කුරුණෑගල දේශපාලන බලාධිකාරය නියෝජනය කරන අයගේ කන්වලටද වැටිණි. පොහොට්ටුවේ බොහෝ අය කියා සිටියේ එකත් එකටම රෝහිත ඉදිරි පළාත් සභා මැතිවරණයේදී වයඹ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමේ අරමුණෙන් මෙසේ සිය වැඩකටයුතු කුරුණෑගල ආරම්භ කොට ඇති බවකි.

නිල නොවන වශයෙන් මෙම තොරතුරු කුරුණෑගල පැතිර යද්දී ශ්‍රීලනිපය පමණක් නොව පොහොට්ටුව නියෝජනය කරන ප්‍රාදේශීය පළාත් සභා මන්ත්‍රීවරු රැසක්ම අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මේ පිළිබඳ දැනුම් දෙමින් කියා සිටියේ වයඹ මහ ඇමැතිකමට තරග වදින්නේ නම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දයාසිරිගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවකි. මෙසේ ලැබුණු දුරකතන ඇමතුම් කොතෙක්ද කියනවා නම් අවසානයේදී දයාසිරිට වයඹ මහ ඇමැතිකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් පවා කිරීමට සිදුවිය. එහිදී දයාසිරි කියා සිටියේ ඉදිරි පළාත් සභා මැතිවරණයේදී පක්ෂය ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමැතිකමෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන්ද ඉවත්වී වයඹ මහ ඇමැති ධුරයට තරග කිරීමට සූදානම් යැයි කියාය. එහිදී එක් කොන්දේසියක් ඉදිරිපත් කිරීමටද දයාසිරි පියවර ගත්තේය. එම කොන්දේසිය නම් ශ්‍රීලනිපය ප්‍රමුඛව ගොඩනැගෙන සන්ධානයක් හරහා තරග කරන්නේ නම් පමණක් තම මහ ඇමැති අපේක්ෂකත්වය භාරගැනීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් රෝහිතගේ මේ හදිසි කුරුණෑගල ගමන සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකු සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙම දේශපාලන ප්‍රබලයා රෝහිත කුරුණෑගලට පැමිණීම සම්බන්ධයෙන් තැන් තැන්වල සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටින බවක්ද දැනගන්නට ඇත.

සජබෙ පළමු පිපිරුම

සමගි ජන බලවේගය ඇතුළේ පසුගිය සතියේ පළමු දේශපාලන පිපිරුම වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය. ඒ, පැවැති මාධ්‍ය හමුවකදී සජිත්ගේ දේශපාලන ප්‍රතිපත්ති විවේචනයට ලක්කරමිනි. චමින්ද එහිදී කියා සිටියේ ආණ්ඩුවේ වැරැදි පෙන්වමින්, දේශපාලනය කිරීමට සජිත් සිතා සිටිනවා නම් එය වැරැදි බවත්, ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දේශපාලන වැඩපිළිවෙළක් සජිත්ට නොමැති බවත්ය. චමින්දගේ මේ කතාවට ආණ්ඩුවේ ඇතැම් දේශපාලන නාලිකා විශාල ප්‍රචාරයක් ලබාදීම හේතු කොටගෙන සමගි ජන බලවේගය ඇතුළේ බරපතළ අර්බුදයක් මතුව ඇති බව ඕනෑම කෙනකුට දැකගත හැකි කාරණයක් විය.

විජේසිරිට සජිත් දුන් උත්තරේ

කෙසේ වෙතත් චමින්දගේ මේ කතාවට ඊට පසු දිනම සජිත් උත්තර ලබාදීමට පියවර ගත්තේය. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදී පළාත් පාලන නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදීය. එහිදී සජිත් කියා සිටියේ ඕනෑම කෙනකුගේ සාධනීය විවේචන භාරගැනීමට තමන් සූදානම් නමුත් හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තමන් ගණන් නොගන්නා බවය. ඕනෑම විපක්ෂයක කාර්යය වන්නේ සාධනීය ලෙස ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කිරීම වුවද, වත්මන් විපක්ෂය ඉන් එපිටට යමින් ජනතාවට සහන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කොට ඇති බවද සජිත් එහිදී පෙන්වා දුන්නේය.

මීට අමතරව මනුෂ නානායක්කාර සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසුද සජිත් මේ පිළිබඳ මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදීමට කටයුතු කළේය. එහිදීද සජිත් කියා සිටියේ දේශපාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ හරහා බවත්, විපක්ෂය මේ වන විට ඉතා සාධනීය ලෙස ජනතා සේවය සිදුකරමින් ආණ්ඩුවේ වැරැදි පෙන්වා දීමට පියවර ගෙන ඇති බවත්ය.

විජේසිරි එන්න යන්නේ මොකාටද

ඒ අනුව කාටත් ප්‍රශ්නයක් වී තිබුණේ හිටි හැටියේම චමින්ද විජේසිරි මේ අයුරින් සජිත්ට පහර දීමට පියවර ගෙන තිබුණේ කුමන කාරණයක් නිසාද යන්නය. ඒ පිළිබඳ සොයා බලද්දී ඇතැමුන් සඳහන් කළේ ආණ්ඩුව සමග යම් ගනුදෙනුවක් චමින්ද ආරම්භ කර ඇතැයිද යන්න කියාය. විශේෂයෙන් ඉකුත් යහපාලන රජය සමයේ සිටම චමින්ද සහ හේෂා විතානගේ ඉතා සමීපව කටයුතු කරමින් සිටින බවත්, පසුගිය දින කිහිපය පුරා ඔවුන්ගේ හැසිරීමෙහි යම් යම් සැක මුසු තැන් පැවැති බවත් බොහෝ දෙනාගේ මතය විය. විශේෂයෙන්ම චමින්ද යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කර බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අයකු බවත් මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී බොහෝ දෙනකු මතුකර සිටි කාරණය විය.

රංජිත්ගේ කටින් උත්තරේ එළියට පනී

කෙසේ වෙතත් බළලා මල්ලෙන් එළියට පැන්නේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉකුත් බදාදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය. එහිදී රංජිත් ප්‍රසිද්ධියේම කියා සිටියේ ඉදිරියේදී විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටිනවා යැයි කියාය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා අවසන් බවත්, ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව එම පිරිස ආණ්ඩුව සමග එකතු වන බවත් රංජිත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සාමාන්‍යයෙන් රංජිත් සැලකෙන්නේ පොහොට්ටුවේ මහ මොළකරුවා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාට අතිශය සමීප අයකු ලෙසය. ඒ අනුව රංජිත් ආවාට ගියාට යමක් ප්‍රකාශ කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ අනුව ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත 2022 අයවැයේදී බැසිල් දේශපාලන මැජික් පෙන්වීමට සූදානමින් සිටින බව විජේසිරිගේ මෙම සිදුවීම හරහා පෙනෙන්නට ඇති කාරණයකි.

මහින්දත් තහවුරු කරයි

අනෙක් අතට මේ සම්බන්ධයෙන් යම් ඉඟියක් පසුගිය බදාදා දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද පළවිය. එදින අරලියගහ මන්දිරයේදී සිය හිතවතුන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී මහින්ද සඳහන් කර ඇත්තේ ඉදිරියේදී විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුව සමග එකතු වීමට නියමිතව ඇතැයි කියාය. එමෙන්ම මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින්ද මහින්ද කියා සිටියේ ඕනෑම අයකුට ආණ්ඩුවෙන් යෑමට හැකි බවත්, ඕනෑම අයකුට ආණ්ඩුව අතුළට පැමිණීමට හැකි බවත්, ආණ්ඩුවේ සැලුන් දොර විවෘත කොට ඇති බවත්ය. ඒ අනුව ඉදිරියේදී දේශපාලන සෙල්ලමක් දැකගත හැකි වනු ඇති බව අගමැතිවරයාගේ ප්‍රකාශය හරහාද පැහැදිලිය.

යන්නේ ඇමැතිකම්වලටද

එසේ නම් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වූ විට ඔවුන්ට ඇමැති තනතුරු හිමිවෙයිද? දැනට ඇති තොරතුරුවලට අනුව නම් ආණ්ඩුවට එකතු වන බව කියන මේ මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු හිමිවීමේ ඉඩකඩ අඩුය. මන්ද යත් ආණ්ඩුවේම තවමත් ඇමැති තනතුරු නොමැති ජ්‍යෙෂ්ඨයන් අතිවිශාල පිරිසක් සිටියදී මෙම විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමැති තනතුරු ලැබෙතැයි සිතිය නොහැකි නිසාය. අනෙක් අතට 20 වැනි සංශෝධනයේදී ආණ්ඩුවට එක්වූ සජබ ලැයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේටද කිසිදු ඇමැති තනතුරක් ලැබී තිබුණේ නැත. ඒ අනුව වරදාන වරප්‍රසාද මුල් කරගෙන විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එකතු වනු ඇති බව බොහෝ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

ආණ්ඩුව කරපු මත විමසුමේ ප්‍රතිපල

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබේ. ඒ ගෙවුණු වසර දෙකෙන් වැඩි කාලයක් ආණ්ඩුවට ඔට්ටු වීමට සිදුව තිබුණේ ලෝකයම බිලිගත් කොරෝනා වසංගත මාරයා සමග වීම නිසා සංවර්ධන වැඩකටයුතු විශාල ප්‍රමාණයක් අතරමග ඇණහිට තිබූ ආකාරයත්, ජනතාවට සහන ලබාදීම අර්බුදයකට ලක්ව තිබූ ආකාරයත් දැකගත හැකි විය. අනෙක් අතට ආර්ථික අර්බුදය හමුවේ රටට ආදායම් ලැබෙන මාර්ග සියල්ල වැසීගොස් තිබුණු අතර ඩොලර් හිඟය හේතුවෙන් උග්‍ර භාණ්ඩ හිඟයක්ද මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

මේ තත්ත්වය යටතේ ආණ්ඩුව පසුගිය කාලයේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් මත විමසුම් ගණනාවක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණි. රජයට සම්බන්ධ බුද්ධි අංශ හරහාද, ඇතැම් රජයේ ආයතන හරහාද පෞද්ගලික අංශයේ ආයතන හරහාද මෙම මත විමසුම් සිදුකිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණි. ඒ අනුව පසුගිය සතියේ මෙහි ප්‍රතිඵල කිහිපයක්ම ආණ්ඩුවේ වගකිව යුත්තන් අතට ලැබී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මෙහි ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන්, විපක්ෂයේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් සහ පොහොට්ටුවේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ප්‍රතිශත කිහිපයක්ම ලබාදී ඇති බවද ආරංචිය. එමෙන්ම අලුත් දේශපාලන බලවේගයක් පිළිබඳවද මෙහි යම් දැනුම්දීමක් කර ඇති බවද දැනගන්නට තිබේ.

යුරෝපා කොමිසමට මුහුණ දෙන්න දෙපැත්තම ලෑස්ති වෙයි

ඉකුත් 27 වැනි දින යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියේ මේ වන විට ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලංකාවට ලබාදෙන්නේද යන්න තීරණය කිරීම සඳහාත්, ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහාත්ය. ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම කණ්ඩායම ආණ්ඩුවේ බලධාරීන් මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද මුණගැසීමට සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම යුරෝපා කණ්ඩායම ලංකාවට පැමිණෙන විට ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් මෙන්ම විපක්ෂයේ පැත්තෙන්ද යම් යම් ක්‍රියාමාර්ග දියත් කර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගත්, ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා දේශීය යාන්ත්‍රණයක් හරහා විමර්ශනය කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම විපක්ෂයද ආණ්ඩුව සිදුකර ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝන සිදුවීම් විශාල ප්‍රමාණයක් යුරෝපා කොමිසමේ නියෝජිතයන් හමුවේ තැබීමට ලකලැහැස්ති වී සිටියේය.

නියෝජිතයන් සිටිද්දීම මානව හිමිකම් උල්ලංඝනයවෙයි

ඒ අතරවාරයේ යුරෝපා කණ්ඩායම ලංකාවට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී පවා මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් කිහිපයක්ම සිදුවන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඉන් ප්‍රධානම එකක් වී තිබුණේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට කඩාවැදී දෙමළ සිරකරුවන් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය දික්කළ බවට එල්ල වූ චෝදනාවය. මීට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීම් කර තිබුණේ ඔවුන් විසින් සිදුකරන ලද වංචා දූෂණ හෙළිදරව් කිරීමේ සිදුවීම් අදාළවය. චම්පික සහ මනුෂ ඒ අතර ප්‍රධාන විය.

බෑ කියද්දීත් සම්බන්දන් හමුවන්න ගෙදරටම එයි

කෙසේ වෙතත් යුරෝපා කණ්ඩායම පළමුව මුණගැසීමට සූදානම් කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයය. ඒ පිළිබඳ කළ දැනුම්දීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ මේ වන විට පක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් ඒ මහතා සාකච්ඡාවට සම්බන්ධ නොවන බවත්, දෙමළ සන්ධාන මන්ත්‍රී හමුව යාපනයේදී පැවැත්විය හැකි බවත්ය. නමුත් යුරෝපා මන්ත්‍රී කණ්ඩායමට සම්බන්ධන් හමුවී සාකච්ඡා පැවැත්වීම අත්‍යාවශ්‍ය වී තිබිණි. ඒ අනුව ඔවුන් දැනුම් දුන්නේ සම්බන්ධන් මහතා සිටින තැනකට පැමිණ තම කණ්ඩායම සාකච්ඡා පැවැත්වීමට සූදානම් යැයි කියාය. මේ බව සුමන්තිරන් විසින් සම්බන්ධන්ට දැනුම් දීමෙන් පසු සම්බන්ධන් ඊට එකඟතාව පළ කළේය. කැප්පෙටිපොළ මාවතේ පිහිටි සම්බන්ධන්ගේ නිල නිවෙසේදී සාකච්ඡා පැවැත්වීමට තීරණය වූයේ ඒ අනුවය.

මෙම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය මේ වන විට උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු විශාල වශයෙන් යුරෝපා නියෝජිතයන්ගේ අවධානයට යොමු කළේය. විශේෂයෙන්ම වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම, උතුරේ ඉඩම් අත්පත් කරගැනීම, මිලිටරීකරණය වැනි මාතෘකා ඒ අතර ප්‍රධාන විය. එමෙන්ම දෙමළ සිරකරුවන් නිදහස් කරගැනීම, ලොහාන් රත්වත්තේ විසින් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට තර්ජනය කිරීම පිළිබඳවද මෙහිදී දෙමළ ජාතික සන්ධානය යුරෝපා කණ්ඩායම සමග අදහස් හුවමාරු කරගත්තේය.

ජීඑස්පී ප්ලස් හම්බවෙන්නෙ නෑ

කෙසේ වෙතත් සාකච්ඡාවට ලක්වූ කරුණු පිළිබඳව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සුමන්තිරන් ඉතා වැදගත් කාරණාවක් අනාවරණ කළේය. ඒ. දැනටමත් යුරෝපා කොමිසම ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි කියාය. එය එසේ වුවහොත් දැනට ඇති ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බරපතළ ප්‍රහාරයක් එල්ල වීම නොවැළැක්විය හැකිය.

ජනතාව වෙනුවෙන් සජිත් කරපු ඉල්ලීම

මෙම හමුවෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසීමටද යුරෝපා නියෝජිතයන් පියවර ගෙන තිබිණි. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට සජිත් සමග ලක්ෂ්මන් කිරිඇල්ල, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරු එක්ව සිටියහ. මෙහිදීද සාකච්ඡාවට ලක්වූයේ ආණ්ඩුව විසින් සිදුකර ඇති මානව හිමිකම් කවීමේ සිදුවීම් සම්බන්ධයෙනි. උදාහරණයක් ලෙස නඩු පැවරීමක් සිදු නොකොට රිෂාඩ් බදුර්දීන්, අසාද් සාලි, නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවේ තබාගැනීම පිළිබඳ මන්ත්‍රීවරුන් පිරිසේ අවධානය යොමු කළහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මේ සියලු කරුණු මැද වුවද ලංකාවට ජී.එස්.පී. ප්ලස් ලබාදෙන ලෙස සජිත්, යුරෝපා නියෝජිතයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමය. මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් එල්ල කළ යුතු වුවද ජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ තීන්දු නොගන්නා ලෙස සජිත් එහිදී පිරිසෙන් ඉල්ලීමක් කළේය.

කිරිඇල්ලගේ තර්කය පිළිගනී

මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිරිසට පෙන්වා දුන්නේ මේ සියුල සිදුවීම් 20 වැනි සංශෝධනය හරහා පැනනැඟුණු ඒවා බවත්, 20 වැනි සංශෝධනය යටතේ සියලු බලය යළි එක් පුද්ගලයකු යටතට පවරා ඇති බවත්, ඒ හරහා 19 වැනි සංශෝධනය යටතේ පිහිටුවා තිබූ සියලු ස්වාධීන ආයතන අහෝසි වී ගිය බවත්ය.

එහිදී කිරිඇල්ලගේ තර්කය පිළිගනිමින් යුරෝපා නියෝජිතයන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඔවුන් කියා සිටියේ 2015 දී තම කණ්ඩායම ලංකාවට පැමිණීමේදී 19 වැනි සංශෝධනය හරහා රට තුළ මතුව තිබූ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම සම්බන්ධයෙන් පුදුමයට පත්වූවා යැයි කියාය. ඒ පිළිබඳ යුරෝපා කොමිසම සතුටට පත්වූ බව පෙන්වා දුන් පිරිස, මේ වන විට එම තත්ත්වය කණපිට හැරී ඇති බවත්, ඒ පිළිබඳ ඔවුන් කනගාටු වන බවත් සඳහන් කර සිටියහ.

යුගදනවිට ආණ්ඩුවේ බෙදිල්ල වැඩිවෙයි!

යුගදනවි බලාගාරය ඇමෙරිකාවට පැවරීම මුල් කරගෙන ආණ්ඩුව ඇතුළේ මතුවුණු අර්බුදය තවමත් නිමාවී ඇති බවක් දැකගන්නට නැත. දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 10ක් මීට විරෝධය පළ කරමින් ලිපියකට අස්සන් තබා අගමැතිවරයාට භාරදී ඇති අතර, ඔවුන් මේ වන විට ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන තෙක් බලා සිටින්නේ අදාළ ලිපිය ජනාධිපතිවරයාටද භාරදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහාය.

කෙසේ වෙතත් පසුගිය සතිය පුරාම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර එකිනෙකට වෙනස් පරස්පර ප්‍රකාශ නිකුත් වන ආකාරයක් දැකගත හැකි විය. මුලින්ම විමල්, වාසු, උදය ඇතුළු කණ්ඩායම මෙම ගිවිසුම පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් නැතැයි ප්‍රකාශ කළද, ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර සිටියේ එම ප්‍රකාශය අසත්‍ය බවත්, කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත්ය. එහිදී ජනාධිපතිවරයා මෙම ගිවිසුමේ වාසි සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට පැහැදිලි කිරීමක් කළ බවද ප්‍රසන්න ප්‍රසිද්ධියේම කියා සිටියේය.

විමල් රිවස් වෙයි!

මීට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයාද පසුගිය සතියේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තරමක වෙනස් අදහසක් පළ කළේය. එහිදී මුලින් දැරූ දැඩි ස්ථාවරය වෙනස් කරමින් විමල් කියා සිටියේ බලාගාරය කළමනාකරණය කිරීමේ අයිතිය ලංකාව සතුව පවතින්නේ නම් බලාගාරයෙන් 40%ක කොටස් ඇමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි කියාය.

කෙසේ වෙතත් පසුගිය සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී ඩලස්ද මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය. එහිදී ඩලස්ද කියා සිටියේ තවම මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කොට නැති බවත්, එල්.එන්.ජී. ඒකාධිකාරයක් කිසි ලෙසකින්වත් පැවැතිය යුතු නැති බවත්ය.

ඩලසුත් වෙන මතයක

‘මගේ ස්ථාවරය මං පැහැදිලිව කැබිනට්ටුවට ඒ වෙලාවේ දැනුම් දුන්නා. නමුත් අලුත් ගිවිසුම පිළිබඳව තාම දැනුවත් කිරීමක් කරලා නැති නිසා ස්ථිර වශයෙන්ම ලබන පාර්ලිමේන්තු සතියේදී මුදල් අමාත්‍යාංශයත්, විදුලිබල අමාත්‍යාංශයත් ඒ සියලු කාරණා පිළිබඳ දැනුවත් කිරීම් සිද්ධ කරාවි. මම දිගින් දිගටම හිටපු ස්ථාවරය තමයි එල්.එන්.ජී. වැනි එකක් සැපයීමේ ඒකාධිකාරයක් කිසි ලෙසක වෙනත් රටක පවතින්න ඕනෙ නෑ කියන එක. ඒ ඉල්ලීම තමයි විදුලිබල අමාත්‍යවරයාව සිටියදී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවලා ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න තීරණය කළේ….’ යැයි ඩලස් දුන් උත්තරය විය.

විදුර විරුද්ධ වෙයි

ඩලස්ට අමතරව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය සතියේ යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් දියත් කළේය. එහිදී විදුර කියා සිටියේ බණ්ඩාරනායක මහතා ආණ්ඩුව භාරගත් විගස බි්‍රතාන්‍යයන් අත පැවැති කටුනායක සහ ත්‍රිකුණාමල හමුදා කඳවුරු ආණ්ඩුවට පවරාගත් බවත්, එම ඉතිහාසයට පයින් ගසන දේශපාලකයන්ට ඉදිරි පැවැත්මක් නොමැති බවත්ය. එය රටේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවත් විදුර කියා සිටියේය.

ගම්මන්පිල මුලින් වාසි කියා පසුව අවාසි කියයි

මෙහිදී දැකගන්නට ලැබුණු හාස්‍යජනකම සිදුවීම වූයේ විෂය භාර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැරූ ස්ථාවරයය. මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට ඊට එරෙහිව අදහස් දක්වමින් තමන්ට එය අධ්‍යයනය කිරීම සඳහා කල් ඉල්ලා සිටි උදය, පසුව බ්ලූම්බර්ග් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්, ගිවිසුමේ වාසි පැත්ත කතා කිරීමට පියවර ගෙන තිබිණි.

ගම්මන්පිල කියා සිටියේ ඇමෙරිකානු සමාගම සමග අස්සන් කළ ගිවිසුම හරහා අඩු මිල ගණන් යටතේ බලශක්තිය ලබාගැනීමට ලංකාවට හැකි වනු ඇතැයි කියාය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශයෙන් පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් මාධ්‍ය හමුවක් කැඳවූ ගම්මන්පිල කියා සිටියේ 2020 දක්වා ලංකාවට ගෑස් සැපයීම ඇමෙරිකානු සමාගමකට පවරාදීම ලංකාවේ ගෑස් කැනීම්වලට බාධාවක් යැයි කියාය. මෙය තමන් ලිඛිතවම දැනුම්දී ඇති බව කී ගම්මන්පිල රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට තමන් අස්සන් නොකරන බවද කියා සිටියේය.

ජනපතිගේ කතාවෙන් පසු පළමු ඩයස්පෝරා ආයෝජනය ලංකාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවට ගොස් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකින් කියැවුණේ දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයි කියාය. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දෙමළ ඩයස්පෝරාවේ නායකයන් වන සුරේන් සුරේන්දිරන් සහ වී. රුද්‍රකුමාරන් ඊට මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබූ ආකාරය පසුගිය සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරය තුළින් අපි අනාවරණ කර සිටියෙමු.

ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට දෙමළ ඩයස්පෝරාවෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුණත් එම ප්‍රකාශයෙන් පසු දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප්‍රබලයකු වන අලිරාජා සුබාෂ්කරන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට යහපත් ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණි. ඒ, ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනීමට තීන්දු කිරීමත් සමගය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව සිය පළමු ආයෝජනය සුබාෂ්කරන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ යාපනය කණ්ඩායම වූ ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායම මිලදී ගැනීමට පියවර ගත්තේය.

විමල් එදා කියපු කොටි කතාව

මේ, අලිරාජා සුබාෂ්කරන් යනු ඇමෙරිකාවේ ලයිකා මොබයිල් සමාගමේ හිමිකරුය. ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී ලංකාවේ ආයෝජන සිදුකිරීමට අලිරාජා සැරසෙද්දී වත්මන් අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හෙතෙම ‘මහ කොටියකු’ බවත්, ලොව පුරා කොටි සල්ලි ආයෝජනය කිරීමට අලිරාජා කටයුතු කරන බවත්ය. ඒ අනුව අදාළ ආයෝජන සිදුකිරීමට අලිරාජාට එවකදී හැකියාව ලැබුණේ නැත.

නමුත් දැන් විමල් ආණ්ඩුවේ අමාත්‍යවරයකුව සිටියදීම අලිරාජා සිය පළමු ආයෝජනය ලංකාව තුළ සිදුකර තිබේ. නමුත් විමල් නම් තවමත් ඒ ගැන කටක් ඇර වචනයක් කී ආකාරයක් දැකගන්නට නැත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සෝභිත හාමුදුරුවො ආණ්ඩුව ගැන කරපු බරපතළ ප්‍රකාශය! (VIDEO)

Next Post

ආණ්ඩුව ඇතුළේ කුමන්ත්‍රණයක්! එක්කො ඒ අය කුමන්ත්‍රණ නවත්වන්න ඕන! නැත්නම් අපි කුමන්ත්‍රණකාරයෝ අයින් කරන්න ඕන! රාජ්‍ය ඇමැතිගෙන් ‌කරපු හෙළිදරව්ව! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.