විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින් පෞද්ගලික අංශයෙන් විදෙස් සේවය සදහා නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව තෝරාගත් පෞද්ගලික සමාගම් කිහිපයකින් යම් යම් ක්ෂේත්‍රවල නිපුණතාවයන් හොබවන පුද්ගලයන් 20 දෙනකු තෝරාගෙන වසර 2ක කාලයක් සදහා විදෙස් සේවය සදහා යොමු කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කොට ඇත.
වර්තමානයේ ශ්‍රීී ලංකාව මුහුණ දෙන අර්බූදයන් හමුවේ විදෙස් සේවය තුළ ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් සපිරූ නිලධාරීන් හිගවීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ එහි ප්‍රකාශක සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබුණේ, “පෞද්ගලික අංශයේ ප්‍රවීණතාවයෙන් යම් නිශ්චිත ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකා නියෝජිතයින් පුළුල් කිරීමේ වැඩපිළිවෙළට ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදේශ අමාත්‍යාංශය එය ක්‍රියාත්මක කිරීමේ ආයතනයයි. තෝරාගත් මෙහෙයුම් සඳහා වසර දෙකක කාලයක් සඳහා විවිධ ක්ෂේත්‍රයන්ගේ පළපුරුද්ද ඇති පුද්ගලයින් 20 දෙනෙකු තෝරා ගැනීමට තීරණය කර ඇත. දේශගුණික විපර්යාස සහ ජාත්‍යන්තර වෙළෙඳාම වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්ගේ දායකත්වය ලබා ගැනීම මෙහි අරමුණයි’ යනුවෙනි.
එම කාර්යය පැවරී ඇති ශ්‍රී ලාංකික සමාගම් අතර මාස් හෝල්ඩින්ග්ස්, හේලීස්, සිද්ධාලේප, බ්‍රැන්ඩික්ස් සහ ජෝන් කීල්ස් ද ඇතුළත් වන බව පුවත්පත වාර්තා කොට ඇත.
දැනටමත් මාස් හෝල්ඩින්ග්ස් ආයතනය සිය සේවකයන්ගෙන් මේ සදහා අයදුම්පත් කැදවා ඇති බවද දැනගන්නට තිබේ.
බංග්ලාදේශයේ ඩැකා, නිව්යෝර්ක්, ෂැංහයි, නයිරෝබි, ස්ටොක්හෝම්, බර්ලිනය, බීජිං යන නගර ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකට මෙම නියෝජිතයන් පත්කරනු ඇති බව වාර්තා වේ.










