දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා ‘නිදහස ජනතා සභාවේ’ මහනුවර පැවති මැයි දින සැමරුම් උත්සව වේදිකාවේදී ඉතා සාරවත් කතාවක් සිදුකළේය. එහිදී ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙළ පරාජයට පත්කිරීම සඳහා විපක්ෂය දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළ යුතු බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේය. ජයතිලක මහතාගේ එම කතාව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.
සහෝදරවරුනි, සහෝදරියනි, දින ගණනාවකට මත්තෙන් ඩලස් අලහප්පෙරුම සහෝදරයා මට කතා කරලා මේ සභාවට සහභාගි වෙන්න කියලා ඉල්ලීමක් කළා. මට ඒ මොහොතේ සිද්ධ වුණා යම්කිසි තීන්දුවක් ගන්න. හේතුව, අද විපක්ෂයේ සංඛ්‍යාත්මකව විශාලතම බලවේග දෙක කොළඹ තරගකාරීව මැයි දින රැලි පවත්වනවා. දේශපාලන විචාරකයෙක් විදියට මම සාමාන්‍යයෙන් ඒවා නිරීක්ෂණය කරනවා. ඊටත් අමතරව මම තරුණ කාලේ වැඩ කරපු ජනාධිපතිවරයකුගේ 30 වැනි ගුණානුස්මරණයත් අදට යෙදෙනවා. ඒ හින්දා මට තෝරාගැනීමක් කරන්න වුණා. ඩලස් සහෝදරයා සාක්ෂි දරයි ඒ තෝරාගැනීමට, මම හිතන්නේ විනාඩියක්වත් ගියේ නෑ. ඇයි ඒ? එක පැත්තකින් මට කියන්න පුළුවන් දේශපාලනයේ ශිෂ්ටත්වයේ සංකේතය සහ සප්‍රාණිකත්වය වන ඩලස්ගෙන් එවැනි ඇරයුමක් ලැබුණාම සොබාවිකම මම ඒක පිළිගන්නට යෙදුණයි කියලා. නමුත් ඒක සම්පූර්ණ සත්‍යය නෙවෙයි. ඒක එක සාධකයක්. අනෙක් සාධකය නිදහස් ජනතා සභාව අද පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂ අවකාශය තුළ වඩාත්ම ප්‍රබුද්ධ සංඝටකය වන නිසා. ඒ, එදා ඩලස් මට කතා කරලා මේ ඇරයුම කරනවා. අද දින මෙතැනට පැමිණ ඔබට කතා කරන්න මට අවස්ථාව ලබාදීම ගැන මම ආඩම්බර වෙනවා. එදා ආරාධනාව පිළිගන්නා මොහොතේ නොතිබුණු ආඩම්බරයක් තියෙනවා. ඒකට හේතුව තමයි, ඔබ සමස්ත විපක්ෂ අවකාශය තුළ සක්‍රීය විපක්ෂයක් කටයුතු කළ යුත්තේ කොහොමද, හුදෙක් අංක ගණිතමය විපක්ෂයක් නොවී තීරණාත්මක අවස්ථාවකදී කොඳු නාරටියක් ඇතුව කටයුතු කරන්නේ කොහොමද කියන එක පෙන්නලා දුන්නා.

අයි.එම්.එෆ්. ඡන්දයේදී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා මම දේශපාලන විද්‍යාව හදාරපු සහ උගන්වපු කෙනෙක් හැටියට නිතරම සමාජ සම්මුතිය ගැන මතක් කරලා ලියනවා කියලා. ඒ සමාජ සම්මුතියේ කොටසක් නෙවෙයි ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා, ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු ජනතාවගේ ජීවිතයට පරම්පරා ගණනාවකට බලපාන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඡන්දයක් දෙන්න අවස්ථාව එළැඹුණාම අතුරුදන් වීම. ඒක ස්වයං අතුරුදන් වීමක්. වෙන කවුරුත් අතුරුදන් කරලා නෙවෙයි. ඉතින් ඔබේ පක්ෂය ප්‍රබුද්ධ පමණක් නොව, ආත්ම ශක්තියක්, කොඳු නාරටියක් සහිත සංවිධානයක් බව රටට ඔප්පු කරලා තියෙනවා. ඒ වගේ සංවිධානයක් අද රටට අත්‍යාවශ්‍යයි. ඇයි? මේක තමයි මගේ කතාවේ ප්‍රධාන කාරණාව. මෙතැනදී මේ විනාඩි කිහිපය ගැන ප්‍රධාන තේමාවන් දෙකක් ගැන කතා කරන්න මම කැමැතියි. එකක් තමයි සිදුවෙමින් පවතින්නේ කුමක්ද? දෙවැන්න තමයි අපේ දේශපාලන සාහිත්‍යයේ සුප්‍රකට කියමනක් වන කළ යුත්තේ කුමක්ද? සිදුවෙමින් පවතින්නේ මොකක්ද? කියන එක. සහෝදරවරුනි, සහෝදරියනි, අවුරුදු 75ක් තිස්සේ ලංකාවේ කවදාවත් නොතිබුණු භයානක විකෘතියක් යටතේ තමයි අපි ජීවත් වෙන්නේ. මොකක්ද ඒ විකෘතිය? ඒ විකෘතිය තමයි මහජන ඡන්දයෙන් තෝරාපත් නොවුණු පාලකයෙක් සිටීම.
කෙනෙක් කියන්න පුළුවන් ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමත් එහෙම පාලකයෙක් නේද කියන එක. මම ඒකට දෙන උත්තරය තමයි ‘නැහැ’ කියන එක. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට දෙවතාවක් පත්වෙලා තිබුණා. 77 ඡන්දෙදිත්, 89 ඡන්දෙදිත් පත්වුණා. දෙවැනි කරුණ තමයි හොඳ හෝ නරක හෝ වේවා ඔහු නියෝජනය කරපු පක්ෂය පාර්ලිමේන්තුවේ අතිප්‍රධාන බලවේගය මහජන ඡන්දයෙන් පවත්වුණා. තුන්වැනි කාරණය තමයි ඔහුගේ දේශපාලන චර්යාව. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා දැනගෙන හිටියා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටි සංවිධාන විසින් ඝාතනය කළ නිසා තමුන් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වූ බව. එතුමා ඉතා සංයමයෙන් අපට ලෝකී කියලා කියන්න පුළුවන්. මුකුත් උඩුකුරු යටිකුරු කරන්නේ නැතිව, කොටින්ම කියනවා නම් චන්ද්‍රිකාට ආණ්ඩු බලය භාරදෙන තැනට රටේ කටයුතු කරගෙන ගිහිල්ලා, ඒක භාරදීලා ගෙදර ගියා. නමුත් රනිල් වික්‍රමසිංහ එවැන්නෙක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ දේශපාලනයේ බිහිවුණු වඩාත්ම දක්ෂිණාංශික, වඩාත්ම ප්‍රතිගාමී, වඩාත්ම අධිරාජ්‍ය ගැති සහ වඩාත්ම ආඥාදායකවාදී නායකයා. ඒ හින්දා තමයි රටේ ජනතාව කවදාවත් මහජන ඡන්දයෙන් ඔහුව රටේ නායකයා නොකළේ. නමුත් දැන් ඔහු රටේ නායකයා බවට පත්වෙලා තියෙනවා. කොහොමද එහෙම පත්වුණේ? අපි දන්නවා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වුණා. ඒක අපිත් කියනවා. නමුත් ඒකෙ සිද්ධ වුණු දේ අපි හරියට තේරුම් අරගෙන නෑ, එතැන තිබුණු සදාචාරය පිළිබඳ ප්‍රශ්නය සහ බුද්ධිය පිළිබඳ ප්‍රශ්නය.
මිත්‍රවරුනි, විපක්ෂයේ සමහරු අරගලයට කුමන්ත්‍රණයක් කියලා කියනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි, ලබන අවුරුද්දේ ඡන්දයක් ලබාගන්නත් අපට අරගලයක් කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි දේශපාලන ඉතිහාසය දන්න ඕනෙ කෙනෙක් දන්නවා ගිය අවුරුද්දේ අරගලයට කලින් 1953 හර්තාලය සිදුවුණා. ඒ වගේම හිටපු ආණ්ඩු නායකයා අස්වුණා. ඊට පස්සේ 1956 ජනතා බලවේගයට මහ විශාල ජයග්‍රහණයක් ලැබුණා. නමුත් ඒ ජනතා බලවේගය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන වගේ අය කවදාවත් කිව්වේ නෑ හර්තාලය කුමන්ත්‍රණයක් කියලා. කොහොම නමුත් මේ අරගලය සිද්ධ වෙච්ච අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියනකොට අපි දන්නවා ව්‍යතිරේක තිබිලා තියෙනවා. නමුත් ඩලස් අලහප්පෙරුම කියන චරිතයට විරුද්ධව එක වචනයක්වත් කියැවුණේ නෑ, එක ගල් කැටයක්වත් ගැහුවේ නෑ, එක ගිනි පුපුරක්වත් පත්තු කළේ නෑ. දැන් පොහොට්ටුවට මොළයක් කියලා දෙයක් තිබුණා නම් ඒගොල්ලන්ට තිබුණා තමන්ගේම වූ ඓන්ද්‍රීය බුද්ධිමතකු වූ ඩලස් අලහප්පෙරුමව පත්කරන්න ජනාධිපතිවරයා හැටියට. එතකොට ඒගොල්ලොත් ආරක්ෂා වෙනවා, අවශ්‍ය ප්‍රතිසංස්කරණත් කරන්න පුළුවන්. හේතුව ආණ්ඩුවේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ විකල්පය අතේ තිබුණා. ඒක කළේ නෑ.
ලංකාවේ වෙනත් රටවල ආණ්ඩු වුණත් ඔය වගේ දරුණු අර්බුද තියෙන කොට ප්‍රතිරූපය එක පාරටම වෙනස් කරනවා. අකැමැත්තෙන් ජේ.ආර්. ජයවර්ධන සහ එක්සත් ජාතික පක්ෂය රණසිංහ ප්‍රේමදාසට නාමයෝජනා දුන්නා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කම තියෙද්දී රනිල් වික්‍රමසිංහ කියන තමුන්ගේ සාම්ප්‍රදායික සතුරා රටේ නායකයා කළා පොහොට්ටුව. ඒකට හේතු මොනවද කියන එක අපි වෙන අවස්ථාවක කතා කරමු. නමුත් ඒ වගේ මෝඩ ජරා වැඩකින් තමයි රනිල් බලයට පත්වුණේ. ඒ කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ඉඳන්, ඔය ඔක්කොම ඡන්දවල අපිත් හිටපු නිසා, ඒ බලවේගය ජයග්‍රහණය කළේ රනිල්ව පෙන්නලා. හේතුව රනිල්ගේ දේශද්‍රෝහය මත පදනම් වෙලා තමයි ඒ ජයග්‍රහණ සියල්ල සිද්ධ වුණේ. ඒ මතවාදය වෙනස් කරලා නැති, ඒ ආර්ථික වැඩපිළිවෙළම සහිත පුද්ගලයාව එයාට විරුද්ධව ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ආපු කට්ටිය තමන්ගේම වූ නිකෙළෙස් ඓන්දීය බුද්ධිමතෙක් ඉදිරිපත් වෙද්දී ඒක පැත්තකට කරලා රනිල්ව පත් කරගත්තා රටේ නායකයා හැටියට. දැන් රනිල් මොනවද කරගෙන යන්නේ?
තමුන්ව ජනතාව කවදාවත් පත්කළේ නෑ රටේ නායකයා හැටියට. නමුත් දෙවතාවක් අවුරුදු 15ක හිඩැසක් ඇතුව 2001 සහ 2015 අගමැති බවට පත්කළා. ඒ අවස්ථාවලදී ක්‍රියාත්මක කරන්නට හදපු ප්‍රජා පීඩක, ජාති භ්‍රෂ්ට ආර්ථික වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න ගිහින් අවසානයේදී ඔහුට බලය නැතිවුණා. අන්තිමට පාර්ලිමේන්තුවට ඡන්දෙන් පත්වෙන්නත් බැරි වුණා. ඒ වැඩපිළිවෙළ සියල්ල දැන් අයි.එම්.එෆ්. එක සමග තියෙන ගිවිසුමට උඩ තට්ටුවක් හැටියට උත්තරාරෝපණය කරලා ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ දරනවා. මහජනතාව ප්‍රතික්ෂේප කරපු ඉතා දරුණු ආර්ථික දර්ශනයක්. මේවා මම නෙවෙයි කියන්නේ රනිල්ම කියනවා. රනිල් ළඟදී කිව්වා බී.ආර්. ෂෙනෝයිගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් රටේ හොඳ තත්ත්වයක් තියෙනවා කියලා. කවුද බී.ආර්. ෂෙනෝයි කියලා කියන්නේ? බී.ආර්. ෂෙනෝයි කියන්නේ 1965-70 යූ.ඇන්.පී. ආණ්ඩුව දෙබෑ කරන්න තරම් වැඩකොටසක් කරපු ඉන්දියානු ආර්ථික විශේෂඥයෙක්. ඉන්දියාවේ ඔහුට වැඩිය සලකන්නේ නෑ. ඔහු නේරුට විරුද්ධව ලියුමක් ලියුවා ඉන්දියාවේ සැලසුම්ගත කරන ආර්ථික භාවිතාව නවත්වන්න කියලා.
එච්චරටම ඔහු අන්ත දක්ෂිණාංශිකයෙක්. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ තාත්තා, එස්මන්ඩ් වික්‍රමසිංහ, බී.ආර්. ෂෙනෝයි ලව්වා ආර්ථික සැලැස්මක් හදාගෙන ඒක ඉදිරිපත් කළා. යූ.ඇන්.පී. එක ඇතුළේ ඩඩ්ලි සේනානායක, ආචාර්ය ගාමිණී කොරයා, ගොඩ්ෆ්‍රි ගුණතිලක ඒක ප්‍රතික්ෂේප කළා. ඩඩ්ලි සේනානායක අගමැතිතුමා කිව්වා මේක කරලා සුබසාධනය කපලා දාලා ඇතිවෙන තත්ත්වෙට මුහුණ දෙන්න සුබසාධනයට වියදම් කරන සල්ලිවලට වඩා විශාල ධනස්කන්ධයක් වැයකරන්න සිදුවෙනවා හමුදාව වෙනුවෙන් කියලා. ඒ අන්ත දක්ෂිණාංශික අදහස තමයි ඒ කාලේ එස්මන්ඩ් වික්‍රමසිංහ ෂෙනෝයිගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන මුඛයෙන්ම ඒ කාලෙම ඒ අවුරුද්දෙම 1965 ඉන්දුනීසියාවේ හමුදා කුමන්ත්‍රණය ප්‍රශංසා කරලා ඒ අකෘතිය ලංකාවට හොඳයි කියලා කිව්වේ. මොන මොන වැරැදි තිබුණත් අපි ඇත්ත කියන්න ඕනේ. රෝහණ විජේවීර ඉන්දුනීසියාවේ සිද්ධ වෙච්ච මහා ඝාතනය දැකලා, ලංකාවෙත් එහෙම වෙයි කියලා කුලුඳුල් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කරන්න හරි වේවා, වැරැදි වේවා තීන්දුවක් ගත්තේ ඒ කාලේ.
දැන් රනිල් උත්සාහ දරන්නේ ඒ දරුණු ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මේක නිකන්ම ආර්ථික වැඩපිළිවෙළක් නෙවෙයි. අයි.එම්.එෆ්. එකට මුවාවෙලා අයි.එම්.එෆ්. එක කියන නරක දේවලුයි, එයාගේ විකාරයි එකතු කරලා මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් ලංකාවේ සමාජය සහමුලින්ම වෙනස් වෙනවා. උඩුකුරු යටිකුරු වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ කියපු බිඳවැටුණු බමුණු කුලය ප්‍රතිෂ්ඨාපනය වෙනවා. ජාතික ආදායමේ මධ්‍යම පන්තියට, වැඩකරන ජනතාවට, සුළු හා මධ්‍යමපාන්තික ධනපතියන්ට හිමිවන කොටස සංකෝචනය වෙලා අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන කොම්ප්‍රදෝරු ධනේෂ්වර පන්තිය ලෙස හඳුන්වන ඒ සුළු පිරිසට (1%කට) ජාතික ආදායමේ වැඩි ප්‍රතිශතයක් යනවා. නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය කුඩුපට්ටම් කරනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? පරම්පරා ගණනාවක් තිස්සේ අපි ඔක්කොමලා ආවේ සමාජ සුබසාධනය සහ ඒ විවෘත වීම හරහා. මගේ සීයා වත්තේගම ඇපෝතිකරි කෙනෙක්. අපේ තාත්තා ඩේලි නිවුස් පත්තරේ කර්තෘ සහ පිටරට පත්තරවලට ලියපු කෙනෙක්. මම තානාපතිවරයෙක්. නමුත් ඒ ඔක්කොම සිද්ධ වුණේ අපට යම්කිසි සමාජ ආර්ථික අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථා ලැබෙන්නේ නෑ වෙන කාටවත්. වෙන කිසිම පරම්පරාවකට. ඒ මහා ප්‍රතිවිප්ලවය කරන්න තමයි රනිල් උත්සාහ දරන්නේ. ඒ සඳහා අපි කොච්චර මෙහෙ කිව්වත් මම ඔබලගේ හිත බිඳින්න උත්සාහ කරනවා නෙවෙයි. ලබන අවුරුද්දේ ඡන්දය තියලා පළාත් පාලන ඡන්දයකට බය මේ පාලකයා පුළුවන් නම් ජනාධිපතිවරණය තියන්නේ නෑ. මට කියන්න එක තැනක ඔය වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර කියලා තියෙනවද ලබන අවුරුද්ද ඡන්ද අවුරුද්දක් කියලා. එක තැනකවත් කියලා නෑ. ඒ වෙනුවට කියලා තියෙන්නේ නිතරගයෙන් පත්කරන්න ඕනේ, 2048 අවුරුදු 50, අවුරුදු 30 ගැන. ඔය මුට්ටිය දාගෙන යන්නේ පුළුවන් නම් ඡන්දයක් නොතියා ඉන්න.
රනිල්ගේ ආර්ථික වැඩපිළිවෙළේ අනෙක් උපාංගය. ඒක අයි.එම්.එෆ්. එකත් එක්ක එකතුවෙච්ච එකක් නෙවෙයි. එයාගෙම එකක්. මේ පුංචි දූපතේ කෑලි කෑලි විවිධ බලවතුන්ට සහ පිටරට කොම්පැනිවලට භාරදෙන්න. ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා, තව කෑල්ලක් චීනෙට දෙනවා, තව කෑල්ලක් ඇමෙරිකාවට දෙනවා. මහ විශාල රටක් නම් අපට හිතාගන්න පුළුවන් ඒත් කමක් නෑ කියලා. මේ පුංචි දූපත. ඊළඟට දැනටමත් කියලා තියෙනවා මනුෂ නානායක්කාර කම්කරු නීති වෙනස් කරනවා කියලා බොහොම ඉක්මනට. අපි දන්නවා දැන් ප්‍රධාන විපක්ෂයේ ධාරාවන් දෙකක් තියෙනවා. ජනතාවාදී ධාරාවක් තියෙනවා, රනිල්වාදී ධාරාවක් තියෙනවා. ඉකොනොමික් බ්ලූ ප්‍රින්ට් කියලා එකක් තියෙනවා. මම ඒකට කියන්නේ ‘ඉකොනොමික් ග්‍රීන් ප්‍රින්ට්’ කියලා. ඒකෙ තියෙනවා ඉඩම් පනතුයි, කම්කරු පනතුයි වෙනස් කරන්න ඕනෙ කියලා.
ඒ කියන්නේ මොකක්ද? 71 කැරැල්ලෙන් පස්සේ ගෙනාපු ඉඩම් ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම ආපස්සට පෙරළන්න. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් වුණු රණසිංහ ප්‍රේමදාස ලංකාවේ පළමු ජනාධිපති කාර්යසාධක බළකාය ක්‍රියාත්මක කළේ ඉඩම් නැති අයට ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන්. ඒක ගැන මේගොල්ලෝ කතා කරන්නේ නෑ. මහ විශාල ධනකුවේරයන්ට ඉඩම් අත්පත් කරගන්න පනත් වෙනස් කරන්න යන්නේ. එහෙම වුණාම ඒ ලෝක වෙළෙඳපළට අවශ්‍ය විදියට තමයි වවන්නේ මොකක්ද කියන එක තීන්දු කරන්නේ. එතකොට ගොවි ජනතාවට මොකක්ද වෙන්නේ? ඉඩම් තදබදයක් අනිවාර්යයෙන්ම ඇතිවෙනවා. සුද්දගේ මුඩුබිම් පනත වගේ තමයි ඊළඟට මේ සිද්ධ වෙන්න යන වින්නැහැයි. ඒක තමයි සිදුවෙමින් පවතින්නේ කුමක්ද කියන තේමාවට අදාළ කොටස.
දෙවැනි සහ අවසන් කොටස කළ යුත්තේ කුමක්ද කියන එක. ඒක වඩාත් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ ‘නිදහස ජනතා සභාවට’. මොකක්ද ඒ? කරුණු තුනක් විතරක් සඳහන් කරන්නම්. එකක් තමයි, ලබන අවුරුද්දේ ඡන්දයක් සහතික කරගැනීම සඳහා හැකිතාක් පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල පෙරමුණක් නිර්මාණය කිරීම. ඔබලාට තමයි ඒක කරන්න පුළුවන්. ඒක පටන්ගත්තා මට මතකයි පක්ෂ 14ක් එකතු කරලා. නමුත් රනිල්ගේ අධිෂ්ඨානශීලීත්වයට විපක්ෂයේ අධිෂ්ඨානශීලීත්වය ගැළපුණේ නෑ. පළාත් පාලන ඡන්දය මිනිහා ඒක පිහලා දැම්මා. අපි හිතන්න හොඳ නෑ මෙයා මේවා ඔක්කොම කළේ ලබන අවුරුද්දේ ඡන්දයක් තියලා පැරැදිලා ගෙදර යන්න කියලා. දිනන්න පුළුවන් නම් මිනිහා ඡන්දෙ තියයි, නැත්නම් නෑ. ඒ ඡන්දේ උදුරාගන්න වෙනවා. උදුරා ගන්න වඩාත් සාර්ථක විශාල ගැඹුරු දෙවැනි අරගලයක් කරන්න වෙනවා. ඒ අරගලය මම දකින්නෙ 2022 අරගලය සහ 1953 වැඩකරන ජනතාවගේ ශ්‍රේෂ්ඨ හර්තාලය සහ 1976 ශිෂ්‍ය අරගලය, ඒකට මමත් සහභාගි වුණා. අපි පළමු අවුරුද්දේ ඉන්නකොට අපේ සහෝදරයෙක් තමයි වීරසූරිය ශිෂ්‍යයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. පොලිසිය ඔහුට වෙඩි තියලා දැම්මා. 53 හර්තාලය, 76 ශිෂ්‍ය අරගලය, ඒක දුම්රිය අරගලයක් බවට පත්වෙලා මහා වැඩවර්ජනයක් බවට පත්වුණා. සහ 2022 සිවිල් අරගලය.
ඒ ආකෘති තුනේ මුහුවීමක් අවශ්‍ය වෙනවා ඡන්දයක් ගන්න විතරක් නෙවෙයි, රනිල් – අයි.එම්.එෆ්. රනිල්ගේ ආර්ථික මොඩලයයි, අයි.එම්.එෆ්. මොඩලයේ තියෙන වැරැදි පැත්තයි එකතු වෙලා මේ ක්‍රියාත්මක කරන්න හදන දේට විරුද්ධ එක්සත් පෙරමුණකින් මෙහා ඕක නවත්තගන්න බෑ. ප්‍රතිරෝධක එක්සත් පෙරමුණක් තියෙන්න ඕනේ. විපක්ෂයේ අනෙක් ප්‍රධාන බලවේග දෙක සජබය සහ ජනතා විමුක්ති පෙරමුණ. ඒකෙනුත් ජනතා විමුක්ති පෙරමුණ විශේෂයි. ඒ දෙකම පුරුදුවෙලා තියෙන්නේ දේශපාලන ඒකාධිකාරය. අපට විතරයි කරන්න පුළුවන්. අනෙක් ඔක්කොම නරකයි. ඔක්කොමලා කිළිටියි. ඔක්කොමලා අවුරුදු 75ක් තිස්සේ පවුකාරයෝ.
ඒ මතයෙන් ඔවුන්ව ගලවා ගන්න පූර්ණ උත්සාහයක් දරන්න ඕනේ. ඒ උත්සාහය දරන්න පුළුවන්, මගේ විශ්වාසය තියෙනවා ඒ කතිකාව ආරම්භ කරන්න පුළුවන් කවුරුත් ගරුකරන පුද්ගලයෙක් තමයි ඩලස් අලහප්පෙරුම. ඩලස්ගේ දේශපාලන ඉතිහාසය අපි දන්නවා. පුදුමෙකට වගේ දේශපාලන වශයෙන් ජාතික ජන බලවේගයටත් වඩා නම්‍යශීලී බවක්, විවෘත බවක් අපට පේනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයන්ගේ. ඔවුනුත් ඩලස් ගැන දක්වන්නේ එක්තරා දුරකට ගෞරවයක් සහ මිත්‍රශීලී ආකල්පයක්. එහෙම පුද්ගලයෙක් අද ලංකාවේ දේශපාලනයේ වෙන නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ විනිසුරුගේ, තරගයක විනිසුරුගේ කාර්යය කරන්න ඉන්නේ ඩලස් සහ නිදහස ජනතා සභාව. මේ සියලු බලවේග සමග සාකච්ඡාවක් ඇති කරගෙන පාර්ලිමේන්තුව ඇතුළේ සහ පාර්ලිමේන්තුවෙන් පිට බලමුළු ගැන්වීමක් කරන්න.
ඊළඟ කාරණාව තමයි ඊළඟ ආණ්ඩුව ප්‍රගතිශීලී සභාග ආණ්ඩුවක් වෙන්න ඕනෙයි කියන මතය ඔස්සේ කටයුතු කරන්න. පුළුවන් තරම් පුළුල් සහභාගිත්වයක් සහිත සජබෙ ඉඳන් පෙරටුගාමීන් දක්වා සියලු පක්ෂවල හැම දෙනාම එකතු කරගන්න ඕනේ. හේතුව මීළඟ ආණ්ඩුව තනි පක්ෂයකට කරන්න බෑ. ඔබේ පක්ෂයට තමයි පුළුවන්, ඔබට තමයි තියෙන්නේ සංකේන්ද්‍රගත බුද්ධිය, ඒකට අවශ්‍ය න්‍යාය පත්‍රය, රට බේරීමේ න්‍යාය පත්‍රය හදන එක. මාව දන්න සහෝදරයෝ දන්නවා මම සමහර වෙලාවට කෙළින්ම දේවල් කියනවා කියලා. මම මෙහෙම දෙයක් කියන්නම්. මම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක කිට්ටුවෙන් වැඩ කළා. ඒ වැඩපිළිවෙළ තාම වලංගුයි කියලා මගේ මතයක් තියෙනවා. නමුත් මම මෙහෙම දෙයක් කියන්න ඕනේ. සජබෙ ආර්ථිකය ගැන කතාකරන තුන්දෙනෙක් ඉන්නවා. ඒ ත්‍රිත්වයට වඩා රටේ ආර්ථිකය තේරුම් අරගෙන හසුරුවන්න පුළුවන් කියලා මම විශ්වාස කරන තුන්දෙනෙක් හතර දෙනෙක් මේ ඉස්සරහා පේළියේ ඉන්නවා. ඒක මම කෙළින්ම කියනවා. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙනුත් එහෙමයි. ඉතින් ඔබේ පක්ෂය ප්‍රමාණාත්මක වශයෙන් දැනට විශාල පක්ෂයක් නොවුණත්, ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ නිසා පවතින විපක්ෂයේ ප්‍රධාන බලවේගය වෙන්න බෑ තව මාස 13කින් හෝ 18කින්.
නමුත් පවතින විපක්ෂය තුළ ගාමක බලවේගය බවට ඔබට පත්වෙන්න පුළුවන්. ඔබේ අදහස්, නායක අදහස් බවට පත්කරන්න, ඔබේ අදහස් වඩාත් දියුණු අදහස්. ඒ අදහස් වටා මේ බලමුළු ගැන්වීම රනිල්වාදයට ප්‍රතිරෝදක බලවේගය සහ ඒකට මඟ පෙන්වන අදහස් සහ වැඩපිළිවෙළ ඔබේ අදහස් සහ වැඩපිළිවෙළ විය හැකියි, විය යුතුයි. හමුදාවක විශේෂ බළකායක් කටයුතු කරන ආකාරයට, දේශපාලන පොර පිටිය තුළ ඔබේ සංවිධානයට විශේෂ බළකායක් හැටියට කටයුතු කරන්න හොඳටම හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහස් ඔබේ තර්ක ඔබේ චින්තනය, ඔබ ගන්නා සදාචාරශීලී ස්ථාවරය, උදාහරණයක් විදියට අයි.එම්.එෆ්. ඡන්දෙදී ඉදිරිපත් කරපු අදහස්. හැමෝම ඉතා සහේතුකවාදී මතයක් දරන්නේ. අයි.එම්.එෆ්. එකත් එක්ක කතා කරන්න එපා කියන්නේ නෑ, කතා කරන්න. නමුත් මේ ගිවිසුම මේ මේ හේතූන් නිසා ක්‍රියාත්මක කරන්න අපට බෑ. අපි ඒකට විරුද්ධයි. අන්න ඒක තමයි මැද මාවත කියලා කියන්නේ. මැද මාවත කියන්නේ කිසි දේකට නැති පතෝල වගේ එකක් නෙවෙයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයා 1956 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා කතා කරද්දී කිව්වා ”We are not uncommitted, We are committed to the hilt” කියලා. ඒ වගේ යම්කිසි ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටීම සහ මැද මාවතේ ගමන් කිරීම කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ කියන්නේ අන්තවාදී අගතිගාමී මත ප්‍රතික්ෂේප කරලා නව මැද මාවතක් නිර්මාණය කිරීම ඔබේ වගකීම සහ ඔබට තියෙන හැකියාව. ඒ වටා වුවමනාවට වඩා මැදට තල්ලු වෙනවා නම් යම් පක්ෂයක් ඒ පහළ බේස් එක නිසා, ඒක මැද මාවතේ වම් පැත්තට ගෙන්න ගන්න. වුවමනාවට වඩා දකුණට ඇදෙනවා නම් යම් පක්ෂයක්, ඔවුන්ගේ පරණ පෙකණිවැල කපලා නැති හන්දා, ඒගොල්ලන්ව මැද මාවතට ගේන්න. ඒක ඔබට කරන්න පුළුවන්. ජනතාව ගැන විශ්වාස කරන්න. ඔබේ අදහස් කෙළින්ම ජනතාවට කියන්න. හැම තැනම ගිහිල්ලා කියන්න. ජනතාව ඒ අදහස් පිළිගන්නවා ඇති. ඒ නිසා මට මේ අවස්ථාව ලබාදීම ගැන යළිත් වතාවක් ස්තුතියි. ඔබට ජය වේවා….