පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කළ තවත් සුවිශේෂ අනාවරණයකින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මාලිමා මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවතින දුරස්ථභාවය අවසන් කිරීම සඳහා ජනාධිපති කාර්යාලය සහ පාර්ලිමේන්තුව අතර පාලමක් නිර්මාණය කරමින් පාර්ලිමේන්තුව තුළ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු පත්කිරීමට පළමු වතාවට ජනාධිපතිවරයා කටයුතු කළ බවකි. ඒ සඳහා බලපෑ හේතු ගණනාවක්ද පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි වාර්තා කළෙමු. ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ එම තනතුරට කුමාරසිංහ මහතා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා මෙම පත්වීම සිදුකොට පළමුවෙන්ම කළේ දින 3ක් එක දිගට පාර්ලිමේන්තුවට පැමිණ මෙම නිලධාරියා ඉදිරියේ තබාගෙන මාලිමා මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වීමය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියහොත් සභාවට පැමිණ කතා කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන්නකි. නමුත් මෙම නිලධාරියා පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එක දිගට දින 3ක් පාර්ලිමේන්තුවට පැමිණියද ඒ කිසිදු අවස්ථාවක සභාවට පැමිණ වචනයක් හෝ කතා කිරීමට කටයුතු කළේ නැත. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට විශාල වගකීමක් තිබුණද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වචනයක් හෝ කතා නොකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ විශාල කුතුහලයක් මතුව තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.Sri Lanka Latest News
කෙසේවෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි දින තුනේම කළේ අලුතින් පත්කළ මෙම සම්බන්ධීකරණ නිලධාරියා ඉදිරියේ තබාගෙන සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන මාලිමා මන්ත්‍රීවරුන් වෙන් වෙන්ව ගෙන්වා ඔවුන් සමග බොහෝ වේලාවක් සාකච්ඡා කිරීමය. එම සාකච්ඡාවේදී තම තමන්ගේ දිස්ත්‍රික්කවල මාලිමා මන්ත්‍රීවරුන් මුහුණ දෙන ප්‍රශ්න, යෝජනා ආදිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරු පියවර ගත්හ. එහිදී ඔවුන්ගේ දුක්ගැනවිලි විශාල ප්‍රමාණයකට ජනාධිපතිවරයාට සවන් දීමට සිදුවිය. ආණ්ඩුව ඇතුළේ වැඩක් කරගැනීමට ගිය විට ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා, ජවිපෙ දේශපාලන යාන්ත්‍රණයෙන් මාලිමා මන්ත්‍රීවරුන්ට ඇති කෙණෙහිලිකම්, ගමට ගිය පසු පාක්ෂිකයන්ගෙන් සහ ජනතාවගෙන් එල්ල වෙන චෝදනා මෙන්ම පෞද්ගලික ප්‍රශ්න යනාදියද මෙහිදී මාලිමා මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විවෘතව ඉදිරිපත් කළ ආකාරයක් මෙහිදී දැකගත හැකි විය. එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා සම්බන්ධ කරගැනීමේ අසීරුතාවද මෙහිදී දැඩිව මාලිමා මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබූ කාරණාවක් විය. මාලිමා මන්ත්‍රීවරුන් 12 දෙනකු ජවිපෙ මහලේකම්වරයා වෙත සිය කලකිරීම පෙන්වා දෙමින් ලිපියක් ජවිපෙ මහලේකම්වරයා වෙත යොමුකළේ මෙම අසාධාරණකම් ඉවසා බැරිම තැන බවද එහිදී ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඒ අනුව ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගේ මෙම ඇතැම් ප්‍රශ්නවලට ඒ අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට කතාකොට විසඳාගන්නා ආකාරය පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් දැක්වීය. මීට අමතරව ඉදිරියේදී සිය පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා හරහා ඕනෑම අවස්ථාවක තමන් හා සම්බන්ධ වී ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේය.
මේ ආකාරයට ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තු සම්බන්ධීකරණ නිලධාරියකු පත්කොට දින 3ක්ම එක දිගට පාර්ලිමේන්තුවට පැමිණ දිස්ත්‍රික් මට්ටමින් මාලිමා මන්ත්‍රීවරුන් හමුවූයේ ඇයි? ඇතැමුන් නම් කියන්නේ මාලිමා ආණ්ඩුව පැමිණි මුල් කාලයේදී මෙන් නොව මේ වනවිට මාලිමාවේ මන්ත්‍රීවරුන් 20ක 30ක පමණ කණ්ඩායමක් සජබය සහ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අතිශය සමීප හිතවත්කමක් ආරම්භ කොට තිබීම මීට හේතුවූවා යැයි කියාය.











